තවත් එක් ව්‍යවහාරික වර්ෂයක එළඹුම හමුවේ අපි සිටින්නෙමු. බොහෝ දෙනෙකුගේ ජීවිතවල යම් යම් තීරණාත්මක දේ මේ කාලසීමාව තුළ සිදු වන්නට ඇත. තීරණාත්මක යැයි අප නොසිතන බොහෝ දේ ද ඒ කාලයේ දී සිදු විය. අලුත් වන්නට අපේක්ෂා පෙරදැරිව ලෝකයේ බොහෝ ජනයා උත්සවශ්‍රීයෙන් සමරමින් පිළිගන්නා ලද ව්‍යවහාරික වර්ෂයක සමාප්තිය මෙසේ සනිටුහන් වද්දී බොහෝ දෙනෙකුගේ එකී අපේක්ෂාවන් සිතූ පැතූ අයුරින් ඉෂ්ට සිද්ධ නොවුණ බව පමණක් පැහැදිලි ව දකින්නට තිබේ.

කාලය ගෙවී යන්නේ නොයෙක් අපේක්ෂාවන්ගෙන් වැසීගෙන ය. එකක් පරයමින් එකක් වශයෙන් සිත තුළ පැනනැගෙන ආශාවන් විසින් ජීවිතය යම් යම් දිශානතීන් වෙත යොමු කරවන අතර ඒ වෙත නැඹුරු වෙමින් අපි කටයුතු සැලසුම් කරන්නෙමු. කුඩා කල වූ අපේක්ෂාවන් තරුණ කල වූයේ නැත. තරුණ කල වූ අපේක්ෂාවන් මැදි වියේ වූයේ නැත. මැදි වියේ වූ අපේක්ෂාවන් මහලු වියේ නැත. එහෙත් අප කිසි කලෙක අපේක්ෂා රහිත වූයේ ද නැත.

සපුරා ගත යුතු ඉලක්ක වශයෙන් තබා ගනිමින් අප කොතරම් දේවල් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඇප කැප වූවා ද? හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක්, හොඳ විවාහයක්, හොඳ දරු පවුලක්, වටිනා වාහනයක්, නිවසක් ආදී දේ වෙනුවෙන් අප දිවා රැය කීයක් නම් වෙහෙසුනා ද? ගෙවී ගිය ජීවිත කාලය පුරා ම අප සිදු කර ඇත්තේ එය යි; ආශා කළ දෙය අත්පත් කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වීම යි.

ජීවිත කාලය මෙසේ නොයෙක් ආශාවන්ගෙන් වැසී ගත් නිසා ගෙවී යන කාලය සමඟ අප අබල දුබල වන අයුරු අප දකින්නේ නැත. කාය බලය ද චිත්ත බලය ද වර්ණය ද පිරිහෙන බව අප හඳුනාගන්නේ නැත. ජරා දුක පිරිවර කොට ගත් ජීවිතයට සැබෑවට ම සිදු වන, නොවැළැක්විය හැකි එකී ඉරණමට කිසිසේත් ම සංවේදී නොවෙමින් කාලික වූ සැපයක් සලසන කාමයන් ලුහුබඳිමින් අප කාලය කා දමා තිබේ. අප කා දැමූ කාලය තුළ ජරා මරණ දුක නොනැවතී අප ලුහුබඳිමින් පැමිණ තිබේ. එනම්, හුදෙක් මේ ගෙවී යන්නේ කාලය පමණක් නො වේ; ජීවිතය යි; ආයුෂය යි.

මොහොතින් මොහොත අපට අහිමි වන්නේ ජීවත් වන්නට ඇති කාලය යි. ‘ගෙවී ගිය කාලය’ මෙපමණකැයි කියා ගණන් මිනුම් දක්වන්නට අපට හැකි නමුදු ‘ජීවත් වන්නට ඇති කාලය’ මෙපමණකැයි කියා කියන්නට අපට නො හැකි ය. මේ එළඹියේ මේ මිනිස් ජීවිතයේ අපට මුණගැසෙන අවසන් පුන් පොහෝ දිනය වන්නට ඉඩක් නො වේ යැයි කෙසේ නම් කිව හැකි ද?

දිනය, තැන, සිදුවන ආකාරය කිසිවක් නොදන්නා නමුදු නිශ්චිත ඉරණමක් කරා අපි වේගයෙන් ගමන් කරමින් සිටින්නෙමු. කාලයේ පහර කෑමට හසුවන දෙයකින් එකී ඉරණම හමුවේ සැලසෙන පිළිසරණක් නැත. අකාලික වූ දෙයකින් ම පමණක් රැකවරණය ලැබිය හැක. ලොව එවන් දේ සුලබ නැත; ඇත්තේ එක ම එකකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වී මහා කරුණාවෙන් පෙන්වා වදහළ උතුම් ධර්මය වනාහී ඒ අකාලික වූ පිළිසරණයි. ගෙවී යන සෑම මොහොතක දී ම ඒ අකාලික මුනි දහම ම සරණ කර ගනිමින් රැකවරණ සලසා ගන්නට සද්ජනයෝ අප්‍රමාදී වෙත්වා!

“කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන ඔය බිය දකින කෙනා, ඒ අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න ඕන.”

(අච්චෙන්ති සූත්‍රය – සං. නි. 1)