අංගුත්තර නිකායේ සත්තසුරියුග්ගමන නම් සූත්‍රයේදී ක්‍රම ක්‍රමයෙන් සූර්යයන් හතක් පායා ලෝක විනාශය සිදුවන අයුරු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත. එහිදී හත්වන සූර්යයාගේ පහළ වීමේදී සිදුවෙන විනාශය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, යම් හෙයකින් දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කාලයක සත්වෙනි සූර්යයෙක් පහළ වෙයි ද, එබඳු කාලයක් ඇත්තේය. සත්වෙනි සූර්යයාගේ පහළ වීමෙන් මේ මහා පෘථිවිය ද, සිනේරු පර්වත රාජයා ද ගිනි ගනී. ඇවිළෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මේ පෘථිවියත්, සිනේරු පර්වතරාජයාත් ගිනි ගන්නේ, දැවෙන්නේ සුළඟින් උඩට ඇදෙන ගින්න බ්‍රහ්ම ලෝකය දක්වා යයි. එම ගිනි කඳින් මැඩෙන්නා වූ සිනේරු පර්වතරාජයාගේ යොදුන් පන්සිය ගණන් උසැති කඳු පවා විනාශ වෙයි. ගිනි ගෙන දැවෙන ගිතෙලක හෝ තෙලක හෝ දැලි හෝ අළු නොපෙනෙන සේ, ගිනි ගෙන දැවෙන සිනේරු පර්වතරාජයාගේත් අළු හෝ දැළි හෝ නොපෙනේ.”

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ මෙසේය. “මෙසේ මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යහ. (ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා) හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අස්ථිරයහ. (ඒවං අද්ධුවා භික්ඛවේ සංඛාරා), හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්වැසිලි රහිතයහ. (ඒවං අනස්සාසිකා භික්ඛවේ සංඛාරා) මහණෙනි, හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සෑම දෙයක් ම පිළිබඳව අවබෝධයෙන්ම එපා වෙන්නට මේ කරුණ ප්‍රමාණවත් ය. නොඇලෙන්නට ප්‍රමාණවත් ය. නිදහස් වෙන්නට ප්‍රමාණවත් ය. (යාවඤ්චිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං)