පුංචි ළමයි ඉන්නවා, දැක්ක ම හරි ම හුරතල්. අල්ලගෙන වඩා ගන්න හිතෙනවා. කරන දඟ වැඩ බලන් ඉන්න හිතෙනවා. කෙලි පැටික්කියෝ, කොලූ පැටව් කියලා නෑ, දෙගොල්ලට ම එක වගේ විසේ. හරියට වචන කියා ගන්න බැරි වුණත් මහ මිනිස්සු වගේ සිංදු කියනවා. ලොකු අයගෙ ඇඳුම් අඳිනවා, සෙරෙප්පු දානවා. හිච්චි පැටව් වුණාට ඕනෙ ලොකු වැඩ කරන්නයි. අපට එ් ගැන තරහා හිතෙන්නෙ නැහැ. කරුණාව, මෛත‍්‍රිය පිරුණු සෙනෙහසක් තමයි හිතෙන්නේ.

එ් පොඩි එවුන් දිහා බලන් ඉද්දි හිතෙන්නෙ නැහැ අද තරුණ වෙලා ඉන්නෙත් මේ විදිහෙ කිරි වයසෙ හිටපු අපි ම නේ ද කියලා, මේ විදිහට ළමා කාලයක් ගෙවපු අය ම නේ ද දැන් මේ වයසට ගිහින් ඉන්නෙ කියලා. එ් පුංචි එවුන් දැක්ක ම අපට හිතෙනවා අනේ මේ පුංචි දරුවො පුංචි කාලෙදි ම හරි පාරට වැටෙනවා නම් කොච්චර අගේ ද කියලා. මේ දරුවන්ගෙ දෙමව්පියෝ මේ දරුවන්ට හරි ම පාර පෙන්නලා දෙනවා නම් කොයි තරම් හොඳ ද කියලා. එ්ත් අපි හරියට ම දන්නෙ නැහැ එ් දරුවන්ගේ දෙමව්පියෝ මේ හරි ම පාර ගැන හරියට ම දන්නවා ද කියලා…

අද මහලූ වෙලා හිටියත්, මැදි වයසෙ හිටියත් එ් අයටත් හොඳ ලස්සන තරුණ කාලයක් තිබුණා. කයෙන් වයස මුහුකුරා යමින් හිටියත් එ් බොහෝ දෙනා තාමත් හිතෙන් තරුණ බව අල්ලාගෙනයි ඉන්නේ. එ් අය ගැන ගත්තත්, අද හොඳ යොවුන් වයසෙ ඉන්න අය ගත්තත් එ් හැමෝගෙ ම හිත්වල තාමත් එ් තරුණ බවට තියෙන කැමැත්ත වෙනසක් නැතිව ම තියෙන බව පේන්න තියෙනවා. මෙන්න මේ තරුණ හැඟීම් එක්ක ඉන්න අපි ජීවිතේ එක එක කාලවල දී, එක එක ආසාවන්ට යට වෙලා යනවා.

පුංචි ම කාලෙත් එක එක්කෙනාට එක එක ආසාවන් තිබුණා. හැමෝ ම ආසා කළා තරුණ වයස එද්දි හොඳ රස්සාවක් හොයා ගන්න, හොඳ ගෙයක් දොරක් හදා ගන්න, හොඳ පවුලක් හදා ගන්න, හොඳ දරුවො ටිකක් හදා ගන්න, හොඳ වාහනයක් අර ගන්න… එ් විදිහෙ ආසාවන් නිසා ම එක එක අය තමන්ගෙ ජීවිතේ ගෙනියන්න එක එක පාරවල් හදා ගත්තා. සමහරු ඉංජිනේරුවෝ වෙන්න වෙන ම ‘පාරක’ යන්න ගත්තා. සමහරු දොස්තරලා වෙන්න වෙන ම ‘පාරක’ යන්න ගත්තා. සමහරු නීතීඥයෝ වෙන්න, ගණකාධිකාරිවරු වෙන්න, ක‍්‍රිකට් කී‍්‍රඩකයෝ වෙන්න එක එක පාරවල් හොයා ගත්තා. එ් පාරවල යද්දි හිතේ වෙන වෙන ආසාවනුත් ඇති වුණා. එතකොට සමහරු ‘මල් පාරේ’ ගියා, ‘ගල් පාරේ’, ‘වෙරළ පාරේ’, ‘රේල් පාරේ’ එහෙමත් ගියා. හරි කියලා හිතාගෙන ගොඩාක් දෙනා වැරදි පාරවලත් ගියා.

ඉංජිනේරුවෝ වෙන්න හීන මවපු සමහරු පාරවල් හදන කම්කරුවො වුණා. ෙදාස්තරලා වෙන්න හීන මවපු සමහරු කොන්ෙදාස්තරලා වුණා. නීතීඥයෝ වෙන්න හීන මවපු සමහරු උසාවිය ළඟ කඩල විකුණන්න වුණා. ගණකාධිකාරීවරු වෙන්න හිතපු සමහරු කඩවල බඩු කිරන්න වුණා. එ් අයට තම තමන් ආසාවෙන් ගියපු පාරවල් ගැන විශ්වාසය නැති වුණා. සතුට හොයන් ගිය පාරවල කෙළවරේ මහා දුකක් තිබුණා. ‘මේක අපේ උරුමෙ’ කියලා හිත හදාගෙන ජීවිතේ ගෙවද්දි ආයේ ආයෙමත් ජීවිතේ එක එක පාරවල් මුණගැහුනා. සමහරු එ් පාරවල කැමැත්තෙන් ම ගියා. සමහරු අකැමැත්තෙන් අඬ අඬා ම ගියා. සමාජයෙන් නරක නාම ලැබුණා. හිරේ විලංගුවෙත් වැටුනා. අනාථ වුණා. අසරණ වුණා. සිහි කරලා බලපුවා ම අපි ගියපු පාරවල් ගැන, එ් පාරවල යද්දි අපේ හිත් රාගයෙන්, ද්වේෂයෙන් යට වෙලා ගිහින්. ඇරඹුමේ ඉඳන් හැම අඩියක් ම තිබ්බෙ මුළාවෙන් ම යි. එ් නිසයි සැපය හොයාගෙන ගියා ම දුක, කණගාටුව, පසුතැවිල්ල ලැබුණේ.

සමහර අයට නම් ආ ගිය පාරවල් මතක් කරද්දි බලාපොරොත්තු වුණාටත් වඩා ජීවිතේ සාර්ථක වුණා කියලා සතුටක් හිතෙනවා ඇති. එ්ත් හිතෙන් තට්ටු කරලා ඇහුවොත් ‘‘ඇත්තටම ආපු පාර හරි ද?” කියලා එ් සාර්ථක පාරෙ ගියා වුණත් දුකින් මිදීමක් ගැන ඔබ දැනගෙන හිටියෙ නෑ නේ ද?

‘‘එක එක අවස්ථාවල අපි වැරදි පාරවල යද්දි ගුරුවරු අපිට තරවටු කළා. අපිව හරි මඟට ගත්තා. දෙමව්පියෝ අපේ පස්සෙන් ම හිටියා. අපිව යහ මඟට ගත්තා. වැඩිමහලූ සහෝදර සහෝදරියෝ ගිය හරි පාරේ අපිත් ගියා. අපිට වෙන අයට වගේ දුක් විඳින්න වුණේ නෑ.” කියන්න පුළුවන් ජීවිතත් මේ ලෝකෙ තියෙනවා තමයි. නමුත් මේ කවුරුවත් ගිහින් අවසානයක් නො දැකපු, අඬ අඬා හරි යා යුතු, සුන්දර පටන් ගැනීමක් – සුන්දර අවසානයක් ඇති පාරක් මේ ලෝකේ තියෙනවා. එ් පාර ගැන නුවණැති සත්පුරුෂයන්ට දැනගන්න ලැබුණ ම එ් අය දිවි දෙවෙනි කරගෙන එ් පාරෙ ගියා. හැමට උරුම ජරා, ව්‍යාධි, මරණ දුකින් එ් උදවිය නිදහස් වුණා. ඔවුන් ගියපු මඟ තමයි දුකින් නිදහස් වෙන සැබෑ ම මඟ…

එ් මඟ ලොවට විවර කළේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අසාමාන්‍ය, අසහාය, අසමසම කෙනෙක්. එ් තමයි අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ නොයෙක් නොයෙක් ශාස්තාවරු නොයෙක් නොයෙක් මාර්ග දුකින් මිදෙන මාර්ග කියලා කියා හිටියට එ් එක ම මාර්ගයකවත් ගමන් කරලා දුක් අවසන් කරන්න බෑ කියලා උන් වහන්සේ ප‍්‍රත්‍යක්ෂ කර ගත්තා. කාමයන් අත් නො හැර සැප විඳ විඳ ගියත් ජරා මරණ දුකින් නො මිදුන ජීවිත ආයෙ ආයෙ ම දුකට වැටෙන හැටිත් දැන ගත්තා. ශරීරයට අතිශය කටුක දුක් වේදනා දීමෙනුත් දුකෙන් නිදහස් වීමක් නැති බව දැන ගත්තා. දුකින් නිදහස් වීම සිදු කරන්න නම් සියලූ දුක් උපදවන ඉපදීම නිරුද්ධ කළ යුතු බව අවබෝධ කරගෙන ලෝකයට කියා දුන්නේ උන් වහන්සේ යි…

අද අපට නම් ‘‘මේ පාරෙන් එන්න” කියන්න ධර්මය කියා දෙන කලණ මිතුරු ගුරුවරු සිටිනවා. එ්ත් උන් වහන්සේට එහෙම කියලා දෙන්න කවුද හිටියේ? කවුරුවත් ම නැහැ… හරියි කියලා කියලා දුන්නු කිසි ම පාරකින් උන් වහන්සේට අවසානට යන්න පුළුවන් වුණේ නෑ. නමුත් ලොවේ උපන් අග‍්‍ර, ජ්‍යේෂ්ඨ, ශ්‍රේෂ්ඨ උත්තමයා හැටියට, භාග්‍යවන්ත ම, පින්වන්ත ම, වීරියවන්ත ම, ප‍්‍රඥාවන්ත ම උත්තමයා හැටියට අපගේ ශාස්තෘන් වහන්සේ ගුරු උපදෙස් නැති ව ම හරි ම පාර හොයා ගත්තා. මේ ලෝකයේ ඉන්න නුවණ තියෙන කෙනෙක්, දුකින් මිදෙන්න කැමති ම කෙනෙක් යන්න කැමති විය යුතු ‘පාර’, ආරම්භයත් මැදත් අවසානයත් කල්‍යාණ වූ ‘පාර’, දෙවියන්, බඹුන්, මරුන්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත මේ ලෝක ප‍්‍රජාවට වැසී තිබුණ ‘පාර’, සුන්දර ම තැනට නුවණැතියන් පමුණුවන ‘පාර’ උන් වහන්සේ ස්වයංභූ ඤණයෙන් අවබෝධ කොට ගෙන විවර කොට වදාළා. එ් විවර කළ පාර මුලින් ම අසා දැන ගන්න අද වගේ ඇසළ පුන් පොහෝ දිනයක වාසනාවන්ත වුණේ පස්වග ශ‍්‍රමණයන් වහන්සේලා. එදා දස දහසක් සක්වළ කම්පා කරවූ සිංහනාදයකින් විවර වූ එ් සුගත මඟ, නොමඟක් කරවන්න – ආපසු හරවන්න, නියම පාර නො වෙයි කියන්න මේ ලෝකයේ කිසි කෙනෙකුට බැහැ. කිසි ම කෙනෙකුට බැහැ…

ඉසිපතනයෙන් නැගුණු එ් දම්සක හතළිස් පස් වසරක් පුරා බුදු මුවින් ගලා ආවේ ලෝ සත කෙරෙහි පතළ මහා කරුණාවෙන්. එ් බුදු වදන් විශ්වාස කරපු කෝටි ප‍්‍රකෝටි ගණන් දෙවි මිනිසුන් එ් ‘පාරෙ’ ගියා. දුෂ්කරව වුණත් ඔවුන් එ් පාරේ ගියා. දුක සේ තමයි සිල් රකින්න පුළුවන් වුණේ. සමහර විට මුළු ජීවිතේට ම අහන්න වුණේ එක බණ පදය යි. සිටු මැදුරුවල දාසයෝ, අසූචි කත් අදින කුලහීනයෝ, රට රාජ්‍ය පාලනය කළ රජවරු, වෙළ හෙලදාම් කළ ගෘහපතිවරු, පුරෝහිතකම් කළ බ‍්‍රාහ්මණවරු, දරුවන් බොහෝ සිටි අම්මාවරු… දුක සේ, කටුකව වුණත් එ් පාරේ ගියා.

ඇහුණ එකම එක බණ පදයත් නිතර සිහි කළා. කට පාඩමින් දරා ගත්තා. නුවණින් විමසුවා. තෙරුවන් සරණයේ පිහිටියා. අතිශය දුක් විඳිමින් වුණත් ‘සීල සමාධි ප‍්‍රඥ’ වඩන එ් උතුම් පාර දිගේ ම ගියා. සංසාරය පුරා මහා සාගරයක් තරම් දුක පොදි බැඳගෙන ඇවිත් තණකොළ අග රැුඳි පිනි බිඳුවක් තරම් එ් දුක් තුනී කර ගත්තා. එ් හැමෝ ම තමන් ගියපු මඟ ගැන සතුටු වුණා. අවසානයේ සියලූ දුකින් මිදුනා. එ් උත්තම මිනිසුන් මොන තරම් නම් භාග්‍යවන්තයි ද?

එතකොට අපිට අද එ් භාග්‍යය නැද්ද? මෙපමණ කලක් ගිය පාරවල් වැරදිලා ඇති තමයි… එ්ත් අපි අවාසනාවන්තයෝ නෙවෙයි. සමහර අය තමන්ගේ වාසියට මේ හරි පාර වල් බිහි කරවලා, වසා දමන්න හැදුවා තමයි. හැබැයි ඔන්න පහළ වුණා ඇස් ඇති කෙනෙක්. ජවය ඇති කෙනෙක්. පින් ඇති කෙනෙක්. එ් උත්තමයා වැසී යමින් තිබුණ එ් හරි පාර, උතුම් පාර ආයෙමත් ලෝකයට විවෘත කළා. තම තම නැණ පමණින් තේරුම් ගත හැකි වූ එ් ධර්මය තම තමන්ට තේරෙන භාෂාවෙන් ම දැන් කැමැත්ත ඇති ඕනෑම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවනි. එ් පාරෙ යන්න කැමැති අයට කලණ මඟ විවර කළ සත්පුරුෂයන් වහන්සේ උපකාර කරනවා.

මේ තමයි හරි පාර කියන විශ්වාසයට ආවොත් එ්ක ම ලාභයක්. සම්මා දිට්ඨියෙන් පටන් ගෙන සියලූ දුක් අවසන් කිරීමෙන් කෙළවර වෙන මේ පාරට තමයි ලෝකයේ තියෙන සියලූ යහපත් දේ අයිති වෙන්නේ. එ් තමයි සියලූ සැපත උදා කර දෙන පාර. අතිශයින් ම දුර්ලභව ලෝකයට විවෘත වන, නුවණැත්තන්ට පමණක් ගෝචර වන පාර. සියලූ දෙනාට දෙලොව යහපත ඇති කර දෙන පාර. අඬ අඬා හරි කමක් නෑ, සියලූ දුකෙන් නිදහස් වෙන්න ඕනෙ නම් මේ පාරෙන් එන්න…

හොයන්න එ් පාර ගැන, පුරුදු කරන්න එ් පාරෙ ගමන් කරන ක‍්‍රමය, ජීවිතයට ගළපා ගන්න එ් පාරේ යා යුතු අයුර. අනුන් තුළින් නෙමෙයි, තමන් තුළින් දකින්න මේ පාරේ යන විට සිදු වන සුන්දර වෙනස. ඔය පාරේ යන්න උත්සාහවත් නො වීම නිසා ම තමයි අපි ළතැවුණේ, කඳුළු වැගිරුවේ, සුසුම් හෙළුවේ, ශෝක වුණේ, හඬා වැළපුනේ… මේ තියෙන්නේ හරි පාර. ලාභයක් අපට ලැබිලා තියෙන්නේ.

එ් නිසා, ආදරෙන් මේ කියන්නේ, ඔබත් ‘‘මේ පාරෙන් එන්න….”

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
ජේ. පී. මහේෂ් චාමල්