රාගය සිත් සතන් දවාලන ගින්නකි. එකී රාග ගින්නෙන් තමන් පිළිස්සෙන බව තබා රාගය යනු ගින්නක් බවවත් තේරුම් ගන්නෝ ලොව දුලබ ය. කාම ගුණයන් කෙරෙහි ඇලෙමින් රාගය ම උපදවන, එ් රාගයෙන් ම බිය උපදවා ගනිමින් පීඩා විඳින සිත් දරන ලෝකයේ එක සාමාජිකයෙකු පමණක් ම වූ බිනර එයින් නිදහස් වන මඟක් සෙව්වේ රාගයේ පීඩාව කොතරම් ද කියා අවබෝධ වූ නිසා ය. තම මිතුරු අනන්ත ධර්මයේ සේවනය ලබන අසපුවේ සංඝයා වහන්සේලා සමීපයේ හිඳිමින් බිනර, රාග ගිනි නිවාලන දම් අමා පැනින් සැනසුන අයුර අපි මහාමේඝ වප් කලාපයෙන් කියවූවෙමු. ගුරු ගෞරවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව, කෙලෙස් රෝග සුවපත් කරවන අටියෙන් දහම් සුව විඳින උතුම් දිවි පෙවතක අසිරිය අපට කියා දෙන කසාවතේ හත්වන දිගහැරුමයි මේ….
—————————————————————————–
උතුම් බුදු වදනින් මා සිත සන්සුන් විය. සති ගණනාවක් තිස්සේ මා පීඩා විඳි රාග ගින්න විසින් ඇති කළ තුවාල සුවපත් වීමට සුදුසු ඔවදන් රාශියක් ස්වාමීන් වහන්සේ වෙතින් මා හට ලැබුණි. එ් සෑම ඔවදනක් ම බුදු වදනක් බැවින් තර්කයකින් තොර ව පිළිගැනීමට තරම් ශක්තියක් මා හට තිබුණි. එනමුත් ක‍්‍රියාත්මක කිරීමේ දී මේ සියල්ල කිසිසේත් ම අඛණ්ඩව සිදු කරගත නො හැකි බව මම දනිමි. අද දින නිවසට පැමිණි පසු දින කිහිපයක් පමණක් මා මේ උපදෙස් අනුව අසුභය වඩමින් ඉන්ද්‍රිය දමනයකින් යුතු ව සිටිනු ඇත. එනමුත් තවත් සතියකට පසු මා හට ද නො දැනී මා විසින් නැවත පෙර සිටි තැනට ම ඇද වැටී, රාග ගින්නෙන් දැවි දැවී සිටිනු නොඅනුමානයි. තත්ත්වය මෙසේ තිබිය දී, මේ පිළිබඳ ව ද සුදුසු උපදෙසක් ගතයුතු යැයි හැඟී ගියේ ය. අපගේ සාකච්ඡුාව අතරතුර දී ලද විරාමයෙන් අනන්ත පින්වත් ස්වාමීන් වහන්සේට පැන් බඳුනක් සූදානම් කර ගැනීමට උන් වහන්සේගේ කුටිය අසල වූ ගුරුලේත්තුව වෙතට පිය මැන්නේ ය. එ් අතර මම ස්වාමීන් වහන්සේ හා දොඩමලූ වීමි.

‘‘අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, එ් දේශනා කළ කාරණා ගැන මට ලොකු පැහැදීමක් ඇතිවුණා. මේ ක‍්‍රමය පුරුදු කළොත් රාග ගින්න නිවී යන බව මට හැෙඟනවා. නමුත් ස්වාමීනී, මට ප‍්‍රශ්නයක් තියනවා. ඕන ම හොඳ දෙයක් එ් ගැන අහල දැනගත්ත දවසෙ සිට දින දෙක තුනක් හොඳට හිතේ තියෙනවා… පුරුදුත් වෙනවා, නමුත් ටික දිනකින් එ් සියල්ල අමතක වෙලා නැවත පරණ අගාධයට ම ඇද වැටෙනවා. මට මේ අඛණ්ඩ පරාජය මහා පීඩාවක්…. මේ ගැන මම කුමක් ද කළ යුත්තේ…!”

පියකරු මුවමඬලක් සහිත මැදිවියේ පසුවෙන ස්වාමීන් වහන්සේගෙන් මඳ සිනහමුසු බැල්මක් මා වෙත ලැබුණි. උන් වහන්සේ වෙත අනන්ත විසින් කුටියේ ගුරුලේත්තුවෙන් ගත් පැන් භාජනයක් පිළිගැන්විණ. ඉතා ම සීරුවෙන් යුතු ව ඉන් උගුරක් වැළª උන් වහන්සේ, පැන් භාජනය පසෙකින් තැබූහ.

‘‘සිත කියන්නේ… පරාජිතයෙක්නේ…! සසර පුරා ම මේ සිත දිනපු වාරයක් සොයන්න බැරි තරම්. අශ‍්‍රැතවත් පෘථග්ජන සමාජය ම හිතන්නේ තමන්ගේ සිත බොහෝ වාර ගණන්වල ජය ලබා ඇති බවක්. නමුත් මේ සිත මහ පොළොවේ වැලි පමණට ම පරාජය වී තිබෙනවා. අන්න එ් පරාජයේ තවත් එක් ජවනිකාවක් ගැන තමයි පුතා මේ කතා කළේ…”
‘‘මට පැහැදිලි මදි ස්වාමීන් වහන්ස. මම ගොඩක් ජය ලබපු කෙනෙක්. අධ්‍යාපන කඩඉම්වලින් මම දිනුවා, දැනුම මිනුම තරගවලින් මම දිනල තියෙනවා. චිත‍්‍ර තරගවලින් මට සම්මාන ලැබිල තියනවා. මගේ ජීවිතේ ජය ගන්න මට මේ සිත ගොඩක් උදව් වෙලා තියනවා. මේ කෙලෙස් දමනයේදි තමයි මේ සිත මට හසුරුවගන්න අපහසු…”

‘‘පුතා මොකද මේ ගැන හිතන්නේ, යමෙක් යම් ජයක් ලැබුවා නම් යම් තරගයකින්, එ් තරගයෙන් ම නැවත පරදින්න අවස්ථාවක් තියෙනව ද?”

‘‘එහෙම වෙන්න විදියක් නෑ ස්වාමීන් වහන්ස, එ් තරගය එ් ජයත් සමග ම අවසන් වෙනවා…”

‘‘ජයග‍්‍රාහකයා සදාකල් ජයග‍්‍රාහකයෙක් ලෙසින් ම සිටිය යුතුයි. නමුත් සාමාන්‍ය පෙළ ජයගත් දරුවෙක්ට එ් ජය වසර දෙකක්වත් භුක්ති විඳින්න ලැබෙන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වෙන දරුවෙක් උසස් පෙළදි අසමත් වෙලා සියදිවි නසාගන්නේ එ් නිසයි. ඉතින් මේ වගේ තාවකාලික ජයක් තමයි සිත විසින් මේ තාක් අපිට ලබා දී තියෙන්නේ. සිහිනයෙන් රජ වෙන එකත්, මේ දිනුමත් අතර වැඩි වෙනසක් මට නම් පේන්නෙ නැහැ. ජයක් නම් එය සදාකාලික විය යුතුයි, නැවත කිසිදා පරාජය නොවන!”
”එහෙමයි ස්වාමීන් වහන්ස, සාදු! සාදු!! සාදු!!!”

මා ආඩම්බර වූ මාගේ අතීත දිනුම් කෙතරම් නම් නිස්සාර ද! අහෝ.. සදාකාලික ජයක්, කිසිදා යළි නො පරදින දිනුමක් මටත් ලබන්න ඇත්නම්, ඊටත් වඩා වාසනාවක් තවත් තිබේ ද…! මම කල්පනා කළෙමි. ස්වාමීන් වහන්සේ තව දුරටත් කතා කරන්නට වූ බැවින් මාගේ සිතිවිලි කිහිපයට නැවතීමේ තිත තබා ඊට සාවධාන ව කන් යොමු කළෙමි.

‘‘එ් තාවකාලික දිනුම් ටික මතක තියාගෙන පරාජයන්ගේ වේදනාව සඟවගෙන, එ් දිනුම් මිටිය පෙන්වමින් උදම් අනමින් ආඩම්බර වෙමින් තමයි අද ලෝකයේ සියලූ උගතුන් සහ ඉහළින් වැජඹෙන අය ජීවත් වෙන්නෙ. නමුත් වර්තමානයේත්, අනාගතයේත් තමන් ළඟ මොහොතින් මොහොත එකතු වෙමින් පවතින්නේ ජරාවට පත්වීම, ව්‍යාධියට පත් වීම, ඉන්ද්‍රියයන්ගේ මෝරා ගොස් දිරාපත් වීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, තමාගේ මරණයට දිනෙන් දින ළං වීම, සෝක වැළපුම් දුක්දොම්නස් සුසුම් හෙළීම් සහ සිත කය වචනයෙන් සිදු කරන කුසලාකුසල කර්මයන් පමණයි. සැබෑ ම ජයග‍්‍රහණය මේ සිතට සසර පුරා ම ඉතා අඩුවෙන් තමයි ලැබිල තියෙන්නෙ. එ් නිසා ම මේ සිත පරාජිතයෙක්.”

‘‘සැබෑ ම ජයග‍්‍රහණය කියන්නෙ මොකක්ද ස්වාමීන් වහන්ස, මේ සිතට ජයගන්න තියෙන සැබෑ ම තරගය කුමක් ද?”

‘‘සිතට ජයගන්න තියෙන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. මේ අකුසල මූල ගලවලා කුසල මූල ඇති කර ගන්න ඕන. එ් කියන්නේ, ලෝභය පරාජය කොට මේ සිතේ අලෝභය දිනවන්න ඕන. ද්වේෂය පරාජය කොට මේ සිතේ අද්වේෂය දිනවන්න ඕන. මෝහය පරාජය කොට මේ සිතේ අමෝහය දිනවන්න ඕන. අලෝභය අද්වේෂය අමෝහය නිසා තමයි අපිට සුගතිය ලැබෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ නිසා අපිට කවදාවත් සුගතිය ලැබෙන්නෙ නැති බව කම්මනිදාන සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා. එ් නිසා අද අපිට ලැබුණු මිනිස් ජීවිතයත්, බුදු සසුනත්, නුවණැති මනසත් මේ සියල්ල ලැබුණේ සසරේ අපි අලෝභ අද්වේෂ අමෝහ පුරුදු කළ නිසයි. නමුත් ඉතා ම අඩුවෙන් තමයි අපි අලෝභ අද්වේෂ අමෝහ සිත් සසරේ පුරුදු කරල තියෙන්නේ. එ් නිසා මේ ජීවිතයේ දී ලැබුණු බුදු සසුනෙන් ප‍්‍රයෝජන ගන්න තරම් ශක්තියක් බොහෝ අයට නැහැ. අන්න එ්කයි දුර්වල වෙලා මැලවිලා ලැබුණු අවස්ථාවත් අහිමි කරගෙන දුසිල් බවට පත් වෙලා සසුනෙන් බැහැර වන්නේ.

අද වුණත්, සැබෑ ම ජය තියෙන්නේ අපි විසින් දානයක් හෝ දී ලෝභය ජයගත් දවසට යි… මෙත් සිත හෝ වඩා ද්වේෂය ජයගත් දවසටයි… ලොව ඇති තතු විමසමින් මෝහය ජයගත් දවසටයි. එ් තාක් මේ සිත පරාජිතයි. ලෝභයේ ද්වේෂයේ මෝහයේ වහලෙක්. සිත තමාට අකීකරු වෙන්නේ මේ පරාජය නිසයි. යම් දවසක මේ තුන් දෙනා පරදලා අපි දිනුවොත් අන්න එදාට මේ සිත අපිට කීකරුයි. දැන් බලන්න, දානයක් දීලා අලෝභ සිත බලවත් වුණ දවසක සිත කොයිතරම් නම් කීකරු ද! එදාට භාවනා කළත් නීවරණ බලවත් නැහැ. සමාධිය වුණත් ඇතිවෙනවා. එ්කසාටක කියල බමුණෙක් හිටියා බුද්ධ කාලයේ. එ් බමුණා තමා සතු එක ම සළුව පූජා කරන්න පැය ගාණක් තිස්සේ කල්පනා කරල, කල්පනා කරල… අවසානයේ දී තම සිතේ වූ එ් ලෝභ සිත දුරු කරල එ් සළුව බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එ් ලෝභ සිත ජයගෙන අලෝභ සිත උපදවා ගත්ත එක ඔහු ලද විශාල ජයක්. කොපමණ සතුටු වුණා ද කියන්නේ කොසොල් රජු පවා බියපත් වෙන තරමට, ‘‘මම දිනුවා… මම දිනුවා…” කියල මහ හඬින් කෑ ගැහුවා. එදා ඔහු පැරදුවේ ලෝභ සිතයි. දිනා ගත්තේ අලෝභ සිත යි. අන්න එ්ක තමයි අපේ සිත ලබන සැබෑ ම ජය කියන්නේ.

අඛණ්ඩ ව ගුණධර්ම පවත්වාගන්න කැමති නම් කළ යුත්තේ, දිනපතා ම ලෝභය පරදමින් අලෝභය දිනවන්න… පරිත්‍යාගය පුරුදු කරන්න. ද්වේෂය පරදවා අද්වේෂය දිනවන්න… මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහගත සිතින් වාසය කරන්න. මෝහය පරදවා අමෝහය දිනවන්න… අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් ලෝකයේ ඇත්ත තත්ත්වය දකිමින් වාසය කරන්න. මේ විදියට දිවි පැවැත්වුවොත්, එ් ශ‍්‍රාවකයා තමාගේ දියුණුව ම තමයි හැම මොහොතක ම දැකගන්නේ… පිරිහීම නෙවෙයි.”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘එ් වගේ ම තවත් දෙයක් ඉතාමත් ම වැදගත්. මේ ජය ලබන්න තමන්ට තනිව ම හැකියාවක් නැහැ. මේ කෙලෙස් දුරු කිරීම වෙනුවෙන්, බාහිර උපකාර අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි කලින් කතා කළේ නුවණින් විමසීම ගැන වගේ ම ජීවිතයට නිවන පිණිස පවතින ප‍්‍රතිපදාව බද්ධ කර ගන්න එක ගැනයි. තව විදියකින් කිවොත්, යෝනිසෝමනසිකාරය යි ධම්මානුධම්මපටිපදාව යි. මේ ගුණධර්ම දෙක උපතින් අපිට ලැබෙන්නෙ නෑ. බාහිර උපකාරය මත, තමා තුළ ම උපදින ගුණධර්ම දෙකක්. එ් බාහිර උපකාර දෙක තමයි කල්‍යාණමිත‍්‍ර ඇසුර සහ සද්ධර්ම ශ‍්‍රවණය. මේ දෙක ලැබෙන්නෙ බාහිරින්. බුද්ධ ශාසනයේ අපි කල්‍යාණමිත‍්‍රයා වශයෙන් හඳුන්වන්නේ ඉතා ම දුර්ලභ කෙනෙක්. සුලභ කෙනෙක් නෙවෙයි.

එ් කල්‍යාණමිත‍්‍ර‍්‍රයා තමයි ධර්ම දැනුමක් තියෙන, ධර්මයේ හැසිරෙන, සත්පුරුෂ ගුණ ඇති මෛත‍්‍රි, කරුණා, මුදිතා, උපේක්්ෂාදි ගුණදමින් සපිරුණු සදහම් ගුරුවරයා. එ් ගුරුවරයාගේ උපකාරයෙන් තමයි සද්ධර්මය ශ‍්‍රවණය වන්නේ. එ් ගුරුවරයා තමයි යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්මපටිපදාව තමා තුළින් ඉපදවීමට අවශ්‍යකරන සත්පුරුෂ උපකාරය කරන්නේ. තුන් කාලය තුළ දී ම ශාස්තෘ ඇසුර ශ‍්‍රාවකයාට සජීවි කරවන්නේ මේ කල්‍යාණමිත‍්‍ර ගුරුවරයා විසිනුයි. සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, මොග්ගලීපුත්තතිස්ස, මිහිඳු, මලියදේව යන නම්වලින් අපි අහල තියෙන බුදු සසුන සුරැුකීමට සහ නගා සිටුවීමට කාලයෙන් කාලයට වෙහෙසුණු සෑම රහතන් වහන්සේනමක් ම එවන් වූ ම, කල්‍යාණමිත‍්‍ර ගුරුවරුන්. ඔවුන්ගේ විශේෂත්වය තමයි ඔවුන්ගේ වෙහෙසින් බුදු සසුන බබළන්නට පටන් ගන්නවා. ශ‍්‍රී සද්ධර්මය පැහැදිලිව දේශනා වෙන්න පටන් ගන්නවා. යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්මපටිපදාවත් දියුණු කරන ශ‍්‍රාවක පිරිසක් බිහිවෙනවා…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. එ් කියන්නේ ශ‍්‍රාවකයා මේ ලෝභ ද්වේෂ මෝහ පරාජය කොට කෙලෙස් යුද්ධය ජය ගන්නේ ගුරුවරයාගේ උපකාරයෙන්…? මුල සිට ම ගුරුවරයාගේ උපකාරය ලබාගත්තා නම්, ඊට කීකරුව සිටියා නම්, මේ දිනුම ලබන්න පුළුවන්.”

‘‘හැමෝ ම දෙන පොදු උත්තරේ…! මම පුදුම වෙන්නෙ නෑ… පුතා.”

නැවතත් මඳක් සිනා සී පැන් උගුරක් වැළඳූ උන් වහන්සේ මා විමතියට පත් කරමින් එසේ පැවසූහ. මම පැවසූ දේ නැවත සිහිපත් කර ගනිමින් සිතින් විමසුවෙමි. මා යම් දෝෂ සහිත ප‍්‍රකාශයක් කළා ද! මගේ දැනුමේ හැටියට මා පැවසූ දේ සත්‍යයකි. එනමුත් ස්වාමීන් වහන්සේ වෙනත් දෙයක් අදහස් කළා සේ පෙනේ.

‘‘සමාවෙන්න ස්වාමීන් වහන්ස, මට තේරුණේ නැහැ..”

‘‘ගුරු කුලයට පා තබද්දි ම, සෑම ශිෂ්‍යයෙකුට ම ඉලක්කයක් තියනවා. විෂය ඉගෙන ගන්නටත් පෙර සිට ම සැකසුණු ඉලක්කයක්. එ් ඉලක්කය තමයි තමන් අපේක්ෂා කරන අවසාන ඵලයේ නිපුණයෙකු වීම. එ් කියන්නේ දුනු ශිල්පය ඉගෙන ගෙන දක්ෂ දුනුවායෙක් වෙන්න හෝ කඩු ශිල්පය ඉගෙන ගෙන දක්ෂ කඩු සටන්කරුවෙක් වෙන්න වගේ සිහිනයක් තමයි මේ ශිෂ්‍යයාට තියෙන්නේ. බුදු සසුනට සමීප වෙනකොටත් එ් ආකාරයේ ම ඉලක්කයක් ශ‍්‍රාවක ශිෂ්‍යයාට තියෙනවා. එ් තමයි කෙසේ හෝ නිවන් අවබෝධ කර ගැනීම. නැතිනම් අරහත්වය.

මේ ඉලක්කය සහිත ව පැමිණෙන ශිෂ්‍යයා ගුරුවරයාට මුණගැසුණු මොහොතේ සිට ම, එ් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතරේ යුද්ධයක් ඇතිවෙනවා. එ් තමයි ශිෂ්‍යයාගේ ඉලක්කය සපුරා ගැනීමට ශිෂ්‍යයාගේ අඩුපාඩු විනාශ කොට දමා ඔහු මාර්ගයේ රැගෙන යාම. එය සැබැවින් ම යුද්ධයක්. එය සිදුකළ යුත්තේ ශිෂ්‍යයාට තම ඉලක්කය එපා නොවෙන අයුරිනුයි. ශිෂ්‍යයාව රැුක ගැනීමත්, ඔහුව ඉලක්කයට යැවීමත් කියන සටන දක්ෂ දහම් ගුරුවරයා විසින් ජය ගන්නවා.

නමුත්, අවාසනාවකට… මේ සබඳතාවය සෑම විට ම මේ තරම් සුන්දර ලෙස අවසන් වෙන්නෙ නැහැ. ඇතැම් ශිෂ්‍යයන් ගුරුවරයාට දිනන්න නො දී තමා ජය ගැනීමට උත්සාහ කරනවා. එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස ශිෂ්‍යයා ජය ගන්න අවස්ථාත් තියෙනවා.

ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සටනෙන් ශිෂ්‍යයා ජය ගත්තොත් එය ශිෂ්‍යයාගේ අවාසනාව. ගුරුවරයා ජය ගත්තොත් එය ශිෂ්‍යයාගේ වාසනාව…!

එ් නිසා නිවැරදි ගුරුවරයෙක් තෝරාගෙන ඇසුරු කරන්න ලැබුණට විතරක් මදි. ශිෂ්‍යයා විසින් තමාව හික්මවන ගුරුවරයාට තමාගේ අඩුපාඩු පෙන්වමින් එ්වා සකසන්නට ඉඩ දෙමින් තමන් ව නිවැරදි මාර්ගයේ හිනිපෙත්තට යැවීම නම් වූ සටන ජය ගන්න ඉඩ දිය යුතු යි. ගුරුවරයාට එ් සටන ජය ගන්න ඉඩ දීමෙන් තමයි ශිෂ්‍යයා ජයග‍්‍රහණය කරන්නේ. තව විදියකින් කීවොත්, ආජානේය අශ්වයා විසින් තමා දමනය කරන්නාට තමා ව හික්මවීමේ කර්තව්‍යය සාර්ථක කර ගන්නට ඉඩ දෙනවා වගේ දෙයක්.”

‘‘සාදු සාදු සාදු! පින්වත් ස්වාමීන් වහන්ස. ඉතා ම උතුම් කාරණාවක් එ් වදාළේ. මගේ ජීවිතේට ම මෙහෙම පැත්තක් මම හිතලවත් නැහැ. ස්වාමීන් වහන්ස, මට එක දෙයක් අපැහැදිලියි. ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි, ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සටනේ දී ගුරුවරයා ජය ගැනීම කියන එක මට පැහැදිලි වුණා. නමුත් ඇතැම් අවස්ථාවල ශිෂ්‍යයා ජය ගන්නවා යැයි පැවසුවා. එ් කියන්නේ මොන වගේ දෙයක් ද? ශිෂ්‍යයා තරග කරන්නේ කුමක් ලබා ගන්න ද?”

‘‘ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර මෙසේ ආරම්භයේ සිට ම ධාර්මික අරගලයක් හට ගන්නේ ශිෂ්‍යයාගේ පවතින චණ්ඩ කෙලෙස් දුර්වල කොට නිවන සාක්ෂාත් කිරීම සඳහා ඔහු ව හික්මවීම පිණිස යි. නමුත් මේ කාලය තුළ දී ඇතැම් අසත්පුරුෂ ශිෂ්‍යයන්ගේ ඉලක්ක වෙනස් වෙනවා. මුලින් නිවන සාක්ෂාත් කිරීම පිණිස ඉලක්කය තිබුණත්, පසුව ඔහුට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා පාප මිත‍්‍ර ඇසුර අයෝනිසෝමනසිකාරය සහ ප‍්‍රමාදය කියන අකුසල් නිසා වෙනත් ඉලක්ක කරා යාමට පටන් ගන්නවා. ඇත්තෙන් ම ඔහුට නිවන් අවබෝධය අමතක වෙන්නත් ඉඩ තියෙනවා. මෙලෙස ශිෂ්‍යයාගේ ඉලක්ක වෙනස් වෙන අතරේ එක ම එක ඉලක්කයක් වෙත ඔහු පියවර තැබුවොත්, එ් නිසා ම ඔහු විනාශය කරා යනවා.

ශිෂ්‍යයාට සුළු කලකින් ම හිතුණොත්, මමත් ගුරුවරයා වගේ ගුරුවරයෙක් වෙනවා කියලා… එ් තමයි ශිෂ්‍යයා ලබා ගන්නා අවාසනාවන්ත ම ඉලක්කය. එ් මොහොතේ සිට ම ශිෂ්‍යයා ගුරුවරයාට සමාන වෙන්න උත්සාහ කරනවා. ගුරුවරයා වගේ ම දන්නා කෙනෙක් බවට පත් වෙන්න දඟලනවා. ගුරුවරයාටත් වඩා අවබෝධ කර ගන්න හිතනවා. ගුරුවරයාගේ බසට හික්මී තමාගේ අඩුපාඩු වනසා ගන්නවා වෙනුවට දැන් ඔහු ගුරුවරයා සමග සටනක් පටන් ගන්නවා. එ් තමයි ඉක්මනින් ම ගුරුවරයෙකු බවට පත් වීම. ගුරු ඇසුරේ සිටින සත්පුරුෂයෙකු කෙදිනවත් තම ප‍්‍රධාන ඉලක්කය අමතක කොට ගුරුවරයා සිටිය දී ම ගුරුවරයෙකු බවට පත් වීමට සිතන්නේ නෑ. මෙය සිදුවන්නේ අසත්පුරුෂ ශිෂ්‍යයෙකු අතින්. මේ සටනේ දී, ගුරුවරයා මර්ධනය කොට ඇතැම් සිසුන් ජයගෙන එ් ගුරු කුලයේ ගුරුවරයෙක් බවට පත් වෙන්නත් පුළුවන්. නමුත් එය එ් ගුරු කුලයේ ම අවාසනාව. තමාගේ හික්මීම සම්පුර්ණ වීම නම් වූ තම ගුරුවරයාගේ ජයග‍්‍රහණය සිදු නො වී තිබිය දී ම, තමා විසින් ගුරුවරයෙක් බවට පත් වීම නම් වු ඉලක්කය ජය ගැනීම එ් සිසුවාටත් ඉන්මතු බිහිවෙන සිසු පරපුරටත් විපත පිණිස පවතිනවා.

මේ සටන හැම තැන ම තියනවා. කාර්යාලයක දී පළමු නිලධාරියා සහ දෙවැන්නා අතරේ, පාසැලක විදුහල්පති සහ උප විදුහල්පති අතරේ, නිවසක පියා සහ වැඩිමහල් පුත‍්‍රයා අතරේ, ගුරු කුලයක සිසුවා සහ ගුරුවරයා අතරේ මේ ජ්‍යේෂ්ඨයාගේ තැනට පැමිණීමේ සටන පවතිනවා.

දේවදත්තත් සිදු කළේ එ් සටනයි. දේවදත්ත අවසන් මොහොත දක්වා ම බුදුරජුන් හා සම වෙන සටන අත්හැරියේ නැහැ. එ් නිසා ම ඔහුගේ ජීවිතය අද අවීචි මහා නිරයේ පැසෙනවා. නමුත් ඔබට මතක ඇති අපගේ බෝසතාණන් වහන්සේ. ආලාරකාලාම සහ උද්දකරාමපුත්ත කියන ගුරුවරු ළඟට ගියේ දුක් නසන ධර්මය සොයාගෙන. එ් ගුරුවරු දන්නා සියල්ල ඉතා ම නිහතමානී ව ඉගෙන ගත්තා. අවසානයේ ගුරුවරුන්ට සමාන සමාධි සමාපත්ති ඇති කර ගත්තා. එ් ගුරුවරු දෙදෙනා ම තමාගේ ගුරු පදවිය බෝසතාණන් වහන්සේට පිරිනැමුවා. අදින් පසු සිසු පිරිස භාරයි කියා. නමුත්, බෝසතාණන් වහන්සේ එ් ගුරු පදවි දෙක ම අත් හැරියා. එ් මොකද උන් වහන්සේට අවශ්‍ය වුණේ ගුරු පදවියක් නෙවෙයි. උන් වහන්සේට අවශ්‍ය වුණේ, අමා මහ නිවන යි. එ් ඉලක්කය සම්පුර්ණ වී නො තිබුණු නිසා ඉන් මෙහාට ලැබෙන කිසිදු පදවියක් උන් වහන්සේට අවශ්‍ය නැහැ. එ් නිසා ම බෝසතාණන් වහන්සේ ගුරු කුලයක ගුරුවරයෙකු වී මිය නො යා, තුන් ලොව ම ජයගත් දෙව්මිනිස් සැමගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වුණා.”

‘‘සාදු සාදු සාදු!!!” මම කඳුලූ පිරි දෙනෙතින් යුතු ව නිරායාසයෙන් ම සාදුකාර දුන්නෙමි. වෙන කිසිවක් පැවසීමට මා හට වදන් නො වී ය. මේ සම්බුදු සසුනේ අසිරිය සිහිකරමින් ම මම තවදුරටත් පින්වත් ස්වාමීන් වහන්සේට සවන් දුනිමි.

‘‘මේ සටන ඇති වන්නේ ප‍්‍රධාන කෙලෙස් ස්වභාව දෙකක් නිසයි. එ් තමයි ‘මක්ඛ සහ පලාස’ කියන අකුසල් වර්ග දෙක. සත්පුරුෂයන් විසින්, වැඩිහිටියන් විසින්, මාපියන් විසින් හෝ ගුරුවරුන් විසින් කළ උපකාරවලින් දියුණු වී, තමාගේ දියුණුවට හේතුව තමාගේ ම වීර්යය යැයි පවසමින් කිසිවෙක් තමාට උපකාර නො කළේ යැයි සිහි කරමින් කළගුණ මැකීම ‘මක්ඛ’ නම් වූ ස්වභාවය යි. එයට ගුණමකුකම කියලත් කියනවා. තමාට මේ ගුණධර්ම ඇතිවුණේ ගුරුවරයා මුණගැසීමට පෙර දී යැයි පැවසීමත් මෙවන් ම වූ ගුණ මැකීමක්.
එසේ ම, තමාට වඩා ගුණයෙන් උසස් අය, ගුරුවරුන්, ජ්‍යේෂ්ඨයන් හා තමා සමකොට ගන්නා ස්වභාවය ‘පලාස’ නම් වූ අකුසල ස්වභාවය යි. මේ මක්ඛ – පලාස කියන අකුසල් දෙක නිසා තමයි අසත්පුරුෂ ශිෂ්‍යයා ගුරුවරයාට එරෙහි ව තරගයක් පටන් ගන්නේ.

සත්පුරුෂ ශිෂ්‍යයන් විසින් තමාගේ සැඟව පවතින මක්ඛ පලාස ආදි අකුසල් දුරු කිරීම සඳහා ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ කීකරු බව, මෘදු බව, නිහතමානී බව, ගුරුවරයාට යටත් වී උතුම් ගුණධර්ම ඉගෙන ගැනීම නම් වූ මාන රහිත නිවාත ගුණය සහ ලද දෙයින් සතුටු වීම, ආදි ගුණ ධර්ම උපකාරී කර ගන්නවා. එ් ගුණධර්ම ගැන කරණීය මෙත්ත සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මනා කොට පෙන්වා දී තිබෙනවා.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස..”

‘‘ශිෂ්‍යයාට අවශ්‍ය නිවන ම වුණත්, යහපත් ගුරුවරයා විසින් ශිෂ්‍යයා ව හික්මවන ආකාරයට ඔහුටත් නො දැනී ඔහු දක්ෂ ගුරුවරයෙකුගේ ලක්ෂණ ඇති කර ගන්නවා. එ් සියල්ල ලැබෙන්නේ ගුරු ඇසුරෙන් ලැබුණ අත්දැකීමෙනුයි. ගුරුවරයාගේ යුතුකම ශිෂ්‍යයාට නිවන සාක්ෂාත් කිරීමට මාර්ගය පෙන්වීමයි. ශිෂ්‍යයා තමාගේ ඉලක්කයට පා තබන ගමනේ දී ඔහු පසුපසින් සිටින අනෙකුත් සගයන්ට උපකාර කිරීමට ලැබෙන හැකියාව අතිරේක හැකියාවක් පමණයි.

අසත්පුරුෂ ශිෂ්‍යයාගේ පළමු ඉලක්කය ගුරුවරයාටත් වඩා දක්ෂ ගුරුවරයෙක් බවට පත් වීම යි. දෙවන ඉලක්කය ගුරුවරයාටත් වඩා හොඳින් එ් සේවාව සිදු කිරීමයි. තුන්වන ඉලක්කය ලොව ම හොල්ලන්න පුළුවන් විදියේ කැපී පෙනෙන රහතන් වහන්සේනමක් වශයෙන් නිවන් අවබෝධ කිරීමයි. නමුත් අසත්පුරුෂ ශිෂ්‍යයාට එ් ඉලක්ක තුන ම සපුරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සත්පුරුෂ ශිෂ්‍යයා විසින් ගුරුවරයා ඇසුරු කිරීමේ පළමු ඉලක්කයත් නිවන සාක්ෂාත් කිරීමයි. දෙවන ඉලක්කයත් නිවන සාක්ෂාත් කිරීමයි. තුන්වන ඉලක්කයත් නිවන සාක්ෂාත් කිරීමයි. අන්න එවිට, ගුරු ගෝල සටනේ ජය ගුරුවරයා ලබා ගන්නවා. එ් විතරක් නෙවෙයි, කිසිදාක නො පරදින – නො පිරිහෙන ජයක් ශිෂ්‍යයාටත් ලැබෙනවා. එ් තමයි ලෝභ ද්වේෂ මෝහ පරාජයට පත් කොට නිවන සාක්ෂාත් කිරීම.

ගුරු ගෝල සබඳතාවයේ සුන්දර ම මොහොත ගුරුවරයා ජීවත් ව සිටිය දී ම, ශිෂ්‍යයා විසින් නිවන සාක්ෂාත් කිරීමයි. එ් තරම් සතුටක් එ් යහපත් ගුරුවරයාට තවත් ඇත්තේ නැහැ. සැබෑ ලෙසින් ම ගුරුවරයා පිදුවා වෙන්නේත් ශිෂ්‍යයා විසින් එ් උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමෙනුයි.

අන්න එ් සුන්දර නිවන සාක්ෂාත් කරන්නට, අප‍්‍රමාදී ව දහම් ගුරුවරයා ඇසුරු කරන්නට මේ පින්වත් දරුවනුත් කල්පනා කරන්න ඕන…!”

‘‘සාදු! සාදු!! සාදු!!!”

මම දොහොත් මුදුන් දී සාදුකාර දුන්නෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68