පාසල් සමයේ එකට හුන් මිතුරෙකු සංඝයා වහන්සේලා සමීපයේ පිළිවෙත් පුරන්නට නික්මුණු පසු ඔහු සොයා එහි ගිය බිනර නවමල් බණ්ඩාර දැන් එහි යන්නේ මිතුරා බැලීමට පමණක් ම නො වේ. එහි ගිය පළමු දිනයේ ම බිනර සම්බුද්ධ ශාසනයක අසිරියත්, වත් පිළිවෙත් ඉටු කිරීමේ අගය ගැනත්, පැවිදි ජීවිතයේ සුව පහසුව ගැනත් උගත්තේ ය.

දැන් ඔහු එ් අසා දැනගත් දේවල් ස්වකීය ජීවිතය තුළ ම ප‍්‍රගුණ කරමින් සතුටු වන්නෙකි. ජීවිතය යහපත් කරවන කලණ මිතුරු ඇසුර සොයා ඔහු ගිය එ් සුන්දර ගමන ගැන කියැවෙන කසාවතෙහි තුන්වන දිගහැරුමයි මේ…

පැවිදි සැපයත්, ගිහි සැපයත් පිළිබඳ ස්වාමීන් වහන්සේ ලබා දුන් අනුශාසනා නිරන්තරයෙන් මා සිතේ රැුව් දෙන්නට විය. එදින අසපු භූමියෙන් මා පිටව ආවේ වචනයෙන් කිව නො හැකි සතුටකිනි. නිවසේ වාසය කරන මාපියන්ට, වැඩිහිටියන්ට, සොයුරු සොයුරියන්ට මීට වඩා උපකාර කළ යුතු යැයි මා හට සිතුණි. වත් පිළිවෙත් වශයෙන් බුදු සසුනේ පවතින්නේ අන්‍යයන්ට උපකාර කිරීම ම බව දැනගත් විට එ් සසුන් පිළිවෙත කොයිතරම් නම් පරාර්ථකාමීදැයි මම කල්පනා කළෙමි.

නිවසේ පරිසරය බොහෝ වෙනස් විය. මා දැන් පෙරට වඩා ක‍්‍රියාශීලි යැයි මාපියන් ද සිතනවා විය හැක. මවගේ මුළුතැන්ගේ වැඩකටයුතු මෙන් ම පියාගේ ඇතැම් කටයුතුවලට ද වුවමනාවෙන් ම මම උපකාර කරන්නට පුරුදු වූයෙමි. නිවසේ අතුපතු ගෑම් ආදියත් බොහෝ අවස්ථාවල දී මා අතින් ම සිදු විය. රාත‍්‍රී ආහාරයෙන් පසු නිවැසියන්ගේ පරිභෝජිත පිඟන් භාජන ආදිය සේදීමට මම දැඩි ප‍්‍රියතාවයක් දැක්වූයෙමි. එ් සෑම මොහොතක ම මට සිහිපත් වන්නේ අනන්ත විසින් පැවසූ වදන් පෙළයි. දැනුදු එ් වදන් මා හට සිහි වේ.

‘‘…මේ කෝප්පය මම සෝදන්නේ බිනර වෙනුවෙන් නෙවෙයි. මම මේ කෝප්පය සෝදන්නේ මී ළ`ගට තේ බොන කෙනා වෙනුවෙන්. ඔහුගේ නිදුක් නීරෝගී භාවයත්, ප‍්‍රියමනාප භාවයත් සුරැකේවා යන අදහසින්. මෙහෙ කාටවත් අයිති කෝප්ප නැහැ. හැම කෝප්පයක් ම පොදු භාවිතයේ තියෙන්නේ. එ් නිසා තේ බීලා කෝප්පය හෝදන්නේ මී ළඟ කෙනා ගැන හිතලා. එයා කෙරෙහි මෛත‍්‍රී කාය කර්මයක් වශයෙන්. එ්ක අපිට පිනක්. එ්කයි වත් පිළිවෙත් කිරීම පිනක් කියල බුදුරජාණන් වහන්සේ පවසල තියෙන්නේ. වත් පිළිවෙත් තියෙන්නේ අනුන්ට උපකාර කිරීම මුල්කරගෙන යි. එ් තුළින් ඇතිවන මෛත‍්‍රි කරුණා මුදිතා සිතිවිලි නිසා අපිට බණ භාවනා කරන්න කැමැත්තක් උපදිනවා. මම මේ පාඩම ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්සේනමකගෙන්. මට තේ කෝප්පයක්, පිඟානක් සෝදන වාරයක් වාරයක් ගානේ එ් වචන ටික මතක් වෙනවා…”

එය සිහි කරමින් ම ‘මම නිවැසියන්ට උපකාර කරමි’යි යන මෛත‍්‍රී සිතෙන් යුතු ව භාජන පිරිසිදු කළෙමි. වත් පිළිවෙත් පිරීමි. පින්රැස් කළෙමි.

දින කිහිපයකට පසු මා පුල පුලා බලා සිටි එ් දිනය යළි උදා වී ය. එ් නැවත අසපු භූමියට ගොස් සංඝයාගේ ඇසුර ලබාගැනීමේ කැමැත්ත මුදුන් පමුණුවා ගැනීම යි.

එදින, මා පෙරට වඩා එම ස්ථානයට හුරු පුරුදු කෙනෙක් යැයි මට හැ`ගුණි. මාගේ නිවසේ ඇවිදින පරිද්දෙන් මම එහි සැරිසැරුවෙමි. මා හට එදින තේ සාදා දුන්නේ වෙනත් උපාසක සොයුරෙකි. එදින මා පානය කළ තේ කෝප්පය මම විසින් ම සේදීමට භාරගතිමි. පෙර අනන්තගේ ඉරියව් සිහි කරමින් ම තේ කෝප්පය සබන් ගා සෝදා වියළි තුවායකින් තෙතගතිය පිස දැමීමෙන් පසු ප‍්‍රවේශමෙන් යුතු ව රාක්කයේ තැබුවෙමි.
අනන්ත යම් කටයුත්තක යෙදී සිිටින බවත්, මා හට එහි පැමිණෙන ලෙසත් පණිවුඩයක් ලැබුණෙන් මම එහි පියමැන්නෙමි. මා කැටුව ගිය තරුණ උපාසක සොයුරා මෙහි පැවිදි වීමට පැමිණ ඇත්තේ මා අවසන් වරට අසපුවට පැමිණියායිනුත් පසුව ය. දින කිහිපයක් තුළ වුවත් අත්හැරීමකට අනුගත වීමට පින්වන්තයෙකුට හැකියැයි මා වටහා ගත්තේ ඔහුගෙනි. සැබැවින් ම ඔහු තුළින් දිස්වූයේ මේ ස්ථානයට පැමිණ තුන්මසක් පමණ ගත වූ අයෙකුගේ පවත්නා සැහැල්ලූව මෙන් වූ මානසිකත්වයකි.

සිතිවිලි මාලා මධ්‍යයේ අපි යම් කුටියක් වෙත ළඟා වී සිටියෙමු. එය කුමක් සඳහා වෙන්කර ඇත්දැයි දුර තියා ම තේරුම්ගත හැකි පරිද්දෙන් විශාල පුවරුවක, ‘ගිලන් කුටිය’ යැයි ලියා තිබුණි. එය මා මින් පෙර දුටු සාමාන්‍ය කුටියකට වඩා විශාල ය. මනා වාතාශ‍්‍රයක් ලැබෙන පරිද්දෙන් තිබූ එම කුටිය වෙත යාමට කඳුකර පාරක් නො වීය. තැනිතලා පාරකින් පහසුවෙන් ළඟා විය හැකි අතර කුටිය ළඟට ම වාහනයක් වුව ද හදිසි අවස්ථාවක ගත හැකි අයුරින් මංපෙත් සකසා තිබුණි. බොහෝ කල්පනා කොට රෝගීන් වෙනුවෙන් ම සැකසූ ගිලන්හලක සලකුණු එහි පැවතුණි. එකල අනුරාධපුරයේ පැවති ගිලන් ශාලා, රෝහල්, බෙහෙත් ඔරු නටබුන් වී තිබුණු අයුරු වන්දනාවේ ගිය විටෙක දැක ඇති බවක් එ් අතරතුරේ මා හට සිහි විය. සැබැවින් ම එකලත් භික්ෂු සමාජයේ මේ අංගෝපාංග අවශ්‍යතා මේ අයුරින් ම පැවතෙන්නට ඇත.

‘‘බිනර… මට සමාවෙන්න. එන්න විදියක් තිබුණෙ නෑ. ගිලන් ස්වාමීන් වහන්සේගේ වතක් තිබුණා.”

‘‘සමාව ඉල්ලන්න දෙයක් නෑ අනන්ත. මේ මල්ලි මට තේත් හදල දුන්නා. අපහසුවක් වුණේ නෑ…”

මා හට උපකාර කළ පින්වතාට ස්තුති කිරීමට මම එම අවස්ථාව උදා කරගත්තෙමි. ඔහු ඉන් සතුටට පත් වූ බවක් පෙනෙන්නට විය. මා අනන්ත වෙත පවරා ඔහු නැවත වත්පිළිවෙත් සිදුවන, අමුත්තන් පැමිණෙන ආවාසය වෙත පිටව ගියේ ය.

‘‘ස්වාමීන් වහන්සේට හොඳට ම සෙම අමාරුව හැදිලා. උණත් වැඩිවෙලා. අද උදේ තමයි අපි කුටියෙන් පහළට වැඩම කරවාගත්තේ…”

ගිලන් කුටිය තුළ ඇඳක වැතිරී සිටි තරුණ ස්වාමීන් වහන්සේනමක් පෙන්වමින් අනන්ත පැවසුවේ ය.

‘‘වෛද්‍යවරයෙකුට පෙන්වන්න වෙයි නේ ද…?” මම විමසීමි.

‘‘උදෙන් ම පෙන්වුවා. වෛද්‍ය වෘත්තියේ නිරත ව සිට පැවිදි වුණු ස්වාමීන් වහන්සේනමක් අසපුවේ ඉන්නවා. එ් ස්වාමීන් වහන්සේ උදේ පරීක්ෂා කළා. ලේ සාම්පලයක් පරික්ෂා කරන්න තමයි දැන් ඉතිරි ව තියෙන්නේ..”

මා හට පිළිවදන් දෙන අතරතුරේ ‘අනන්ත’ ගිලන් ස්වාමීන් වහන්සේගේ කිලූටු වී ගිය චීවර සෝදන්නට රැුගෙන ගියේ ය. මඳක් උණු ජලය පිරවූ භාජනයක එම සිවුරු ආදිය පොඟවා නැවත කුටියට පැමිණි ඔහු ගිලන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සකසා තිබුණු කැඳ වැනි ආහාරයක් පොවමින් සිටි තවත් උපස්ථායක ස්වාමීන් වහන්සේනමක් අසලින් රැඳී සිටියේ යම් අවශ්‍යතාවයක් පැණ නැගුනු වහා ම උදව් කරන අදහසින් විය යුතු යැයි මම වටහා ගත්තෙමි.

‘‘ස්වාමීන් වහන්සේනමක් ගිලන් වුණා ම, හැමෝ ම හොයල බලනව ද අනන්ත?”

මඳ නිහැඬියාවකට පසු යමක් කතා කළ යුතු ම යැයි සිතුණු නිසා මම හඬ අවදි කළෙමි.

අනන්ත එ් මොහොතේ පිළිතුරු දෙන බවක් පෙනෙන්නට නො වී ය. ඔහු මඳ සිනහවකින් මුව සරසා අසල සිටි උපස්ථායක ස්වාමීන් වහන්සේ දෙස නෙත් යොමු කළේ ඊට පිළිතුරු සපයන්නට උන් වහන්සේට භාර කළාක් මෙන් ය. සැබැවින් ම එය එසේ ම ය. එ් අවසරයෙන් ස්වාමීන් වහන්සේ කතා කරන්නට වූහ.

‘‘හැමකෙනා ම හොයල බලන්න අවශ්‍ය නෑ. ගිලන් භික්ෂුවට උපස්ථාන කරන්න පුළුවන් විදියේ කීපදෙනෙක් හිටිය නම් ඇති. අනිත් අයට තියෙන්නේ සුවපත් වීම පිණිස සෙත්පිරිත් සජ්ඣායනා කරල සෙත් පතන්න යි. නමුත් දිනපතා වෙහෙස මහන්සි වෙන උපස්ථායකයන්ට විවේකය පිණිස ඇතැම් විට අනිත් භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ මාස ගණන් පවතින අසනීප තත්ත්වයන්වලදි. කෙටිකාලීන අසනීපවලදි කවුරුත් එ්ක බරක් වශයෙන් දකින්නේ නෑ. මේ ශරීරය කොහොමත් ව්‍යාධියට (ලෙඩ රෝගවලට) ගොදුරු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන නිසා අපි සමඟි සම්පන්න සිතින් යුතු ව, මෛත‍්‍රී සිතින් යුතු ව එ් ව්‍යාධින්ට මුහුණ දෙන්න එකතු විය යුතු යි. අපි වයෝවෘද්ධ වුණාමත් සමඟි සම්පන්න සිතින් යුතු ව, මෛත‍්‍රී සිතින් යුතු ව එ් ජරා ජීර්ණත්වය නිසා දුර්වල වෙන ශරීරයේ අපහසුතා ජයගන්න එකතු වෙන්න ඕන. කඩා වැටෙන ගහක් වළක්වන්න ශක්තිමත් මුක්කු ආධාරක සවිකරනවා වගේ ශක්තිමත් අය දුර්වල අයට සවියක් වෙන්න ඕන. එ් තුළ තියෙන්නේ සැබෑ සම`ගියක්. සංඝ සාමග‍්‍රියක්. සංඝ සාමග‍්‍රිය කියන්නේ සැපයක්. අසනීපවලට උදව් කිරීමෙන්, ගිලානෝපස්ථානය කිරීමෙන් සංඝයා අතරේ සැපය උපදිනවා. සංඝයා සැපයෙන් සමඟියෙන් වාසය කරනවා නම් එ් උපස්ථානය සිදු කරන්නේ අපගේ ශාස්තෘන් වහන්සේට. එ් නිසා සමඟිය උපදවන සෑම ක‍්‍රියාවක් ම භාග්‍යවතුන් වහන්සේට කරන උපස්ථානයක්.

මහාවග්ග පාලියේ තියෙන විස්තරයක දී බුදුරජාණන් වහන්සේ යහපත් උපස්ථායකයාගේ ගති ලක්ෂණ ගැන දේශනා කළා.

පින්වත් මහණෙනි, කාරණා පහකින් යුතු වූ ගිලාන උපස්ථායකයා ගිලානෝපස්ථාන කිරීමට සුදුසු යි.

1. බෙහෙත් පිළියෙළ කිරීමට දක්ෂ යි.
2. රෝගයට සුදුසු නුසුදුසු දේ ගැන දනී. රෝගයට නුසුදුසු දේ නො සපයා සුදුසු දේ සපයයි.
3. මෛත‍්‍රී සිතින් ම, කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී ගිලනාට උපස්ථාන කරයි.
4. රෝගියාගේ මළ හෝ මුත‍්‍රා හෝ වමනය හෝ කෙළ හෝ ඉවත් කරන්නට පිළිකුල් නො කරයි.
5. රෝගියාට කලින් කල දැහැමි කථාවෙන් කරුණු කියන්නට, සමාදන් කරවන්නට, උනන්දු කරවන්නට, සතුටු කරවන්නට දක්ෂ වෙයි.
මෙන්න මේ කරුණු පහ තියෙන උපස්ථායකයා තමයි යහපත් උපස්ථායකයා බවට පත් වෙන්නේ. උපස්ථායකයා කොයි තරම් හොඳින් ගිලන් ස්වාමීන් වහන්සේට හෝ උපාසකයාට උපස්ථාන කළත්, එ් ස්වාමීන් වහන්සේ හෝ උපාසකයා හැසිරෙන ආකාරය නිසා උපස්ථායකයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.

එ් ආකාරයෙන්, ගිලන් වූවකු විසින් නො කළ යුතු දේවල් පහක් බුදුරජාණන් වහන්සේ වදාළා. එ් දේවල් නිසා ගිලන් කෙනාත් දුකට පත්වෙනවා. උපස්ථායකයාත් අපහසුතාවයට පත් වෙනවා.

පළමු කාරණාව තමයි, ගිලනා විසින් සිදු කරන්නේ රෝගයට අහිත වූත් අගුණ වූත් දේවල් ම යි. එ් නිසා බොහෝ ප‍්‍රශ්න ඇති වෙනවා.

දෙවැනි කාරණාව වශයෙන් හඳුන්වන්නේ ගිලනාගේ පමණ නො දන්නා ස්වභාවය යි. යහපත් දේ වුණත් පමණ දැනගන්න ඕන. ගිලන් බවට උපකාරී වන, සිරුරට ශක්තිය ලැබෙන ආහාර පාන ගිලනාට ලැබෙන්න පුළුවන්. එවිට ගිලන් වූ කෙනා පමණ සිහි නො කර ගිජුකමින් එ් ආහාර පාන අනවශ්‍ය ලෙස අනුභව කිරීමෙන් නූපන් රෝගාබාධ උපදින්නටත්, බොහෝ දුක්පීඩා ඇතිවන්නටත් හේතු වෙනවා.

තුන් වැනි කාරණාව තමයි ඖෂධ භාවිත නො කිරීම. ඇතැම් ගිලනුන් බොහොම මුරණ්ඩුයි. ආත්මාර්ථකාමියි. වේදනාවන් ඉවසන්න දක්ෂ නෑ. මාන්නාධිකයි. එ් නිසා උපස්ථායකයා කරුණාවෙන් ලබා දෙන ඖෂධ ප‍්‍රතික්ෂේප කරනවා. ඖෂධ නැතත් තමන්ට යැපිය හැකි බව පවසනවා. ජීවිතය අනියත බැවින් ඖෂධ කුමටදැයි තර්ක කරනවා. මේ හැම දේකින් ම සිදු වන්නේ ඖෂධ ප‍්‍රතික්ෂේප කිරීම යි. බුදුරජාණන් වහන්සේ පවා ගිලන් වූ විට ජීවක වෙදතුමාගෙන් ඖෂධ ලබා ගත්තා. එ් නිසා යම් ගිලනෙක් ඖෂධ ප‍්‍රතික්ෂේප කරයි ද එය එ් ගිලනාගේ අයහපත පිණිසයි පවතින්නේ.

හතරවෙනි කාරණාව තමයි රෝගයේ ස්වභාවය සැඟවීම. ඇතැම් රෝගීන් තම ඥාතීන්ට හෝ උපස්ථායකයා හට රෝගය සඟවනවා. තමාගේ රෝගය නිසා අන් අය අපහසුතාවයට පත් වේවි යන හීන මාන්නයෙන් තමයි මේ ආකාරයට බොහෝ දෙනා රෝගය සඟවන්නේ. ඇතැම් රෝගින් තම රෝගය ගැන විමසනවාට බොහෝ අකමැතියි. එ් නිසාත් රෝග ලක්ෂණ සඟවනවා. එ් නිසා රෝගය අඩුවේදැයි හෝ වැඩිවේදැයි හෝ ඖෂධයන්ගේ ගුණාගුණ භාවය මැන බැලීමට නො හැකි වන සේ රෝගයේ තත්ත්වය සඟවන්නේ නම් එහිදීත් යහපත් උපස්ථායකයකු වුණත් අපහසුතාවයට පත් වෙනවා.

පස්වෙනි කාරණාව තමයි ඉවසීමට දක්ෂ නො වීම. ඇතැම් රෝගීන්ට ඉවසීම ස්වල්පයක්වත් නෑ. සුළු වේදනාවක දී පවා බොහෝ කලබල වෙනවා. කෑ ගසනවා. එ් නිසා ම රළු කටුක දුක් වේදනා ඉවසීම තබා එවන් අවස්ථාවක තමන් භික්ෂුවක් ද යන්න පවා අමතක වන පරිද්දෙන් කෑ ගසනවා. මේ වගේ අවස්ථාවල දී යහපත් උපස්ථායකයන් අපහසුවට පත් වෙනවා. උපස්ථායකයාට සම්පූර්ණයෙන් ම රෝගියාගේ වේදනාව සමනය කරවන්නට හැකියාවක් නෑ. රෝගියා විසින් ද ඉවසිය යුතු දේ ඉවසිය යුතු යි. නමුත් රෝගියා විසින් වේදනාව ඉවසන්නේ නැත්නම්, එයින් සිදු වන්නේ බොහෝ දෙනා දුක් පීඩාවට පත් වීම යි.

යහපත් උපස්ථායකයා විසින් මෙවැනි ගිලනුන් හමුවේ දී පවා මෛත‍්‍රී සහගත ව වාසය කළ යුතු යි. උපස්ථායකයා කිසි විටෙක රෝගියාට පරුෂ වචනයෙන් කතා නො කළ යුතු යි. රෝගියා යම් සැර පරුෂ වදනකින් උපස්ථායකයාට කතා කළත් එ් සියල්ල දුක් වේදනාව නම් වූ ‘හුල’ නිසා ඇති වූ වේදනාව හේතුවෙන් ඉපදුණු වදන් පෙළක් බව සිහිකරගත යුතු යි. එ් වගේ ම, තමා කොයි තරම් උපරිමයෙන් රෝගියාට සැලකුවත් එ් රෝගියාගෙන් සිනහ පොදක් තරම්වත්, කරුණාවන්ත බැල්මක් තරම්වත් දෙයක් බලාපොරොත්තු නො විය යුතු යි. මොකද ඇතැම් අය දේපළ වස්තුව ඉඩ කඩම් හෝ ආරාම විහාරාරාම ලියා ගන්නා අදහසින් යුතු ව බොහෝ ම ඉවසීමෙන් රෝගීන්ට උපස්ථාන කරන බව අප අසා තිබෙනවා. එය මිච්ඡා ආජීවයක්. එ් නිසා අපි කළ යුත්තේ කිසිවක් අපේක්ෂා නො කර පින ම සිහි කොට මෛත‍්‍රී කරුණා පෙරදැරි සිතින් ගිලනුන්ට උවටැන් කිරීම යි. එ් උපස්ථායකයා තමයි සුන්දර උපස්ථායකයෙක් බවට පත් වෙන්නේ.”

පින්වත් ස්වාමීන් වහන්සේ එ් කරුණු කියා දෙන අතරතුරේ දී ගිලන් ස්වාමීන් වහන්සේට ඉතා ම ප‍්‍රවේශමෙන් උපස්ථාන කළහ. එ් වනවිටත් කැඳ පානය වැළඳීම අවසන් කර තිබූ අතර පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ගිලන් ස්වාමීන් වහන්සේට අවශ්‍ය උදැසන ඖෂධ කොටස ලබා දෙන ලදී.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68