31 පරිච්ඡේදය

ධාතූන් වහන්සේලා නිදන් කරවීම

45. පිරිවෙනේ වැඩ සිටි සෝණුත්තර යතිවරයාණන් වහන්සේ රජුගේ ගමනාරම්භයේ දී නගරයේ වූ මහත් තූර්ය ශබ්දය අසා

46. පොළවේ කිමිද වහා ම නාග භවනයට වැඩම කොට එහි නා රජු ඉදිරියේ පහළ වූහ.

47. නා රජ තෙමේ හුනස්නෙන් නැගී, වන්දනා කොට උන්වහන්සේ ව පළඟෙහි වඩා හිඳුවා සත්කාර කොට තෙරුන් වහන්සේ (එහි) වැඩම කළා වූ දේශය විමසුවේ ය.

48. එය වදාළ කල්හි නැවතත් තෙරුන් වහන්සේ වැඩම කළ කාරණය ද විමසුවේ ය. ඒ ස්ථවිරයන් වහන්සේ සියලු ම කරුණු කියා සංඝයා වහන්සේලාගේ සන්දේශය වදාළ සේක.

49. “සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා ථූපයේ නිදන් කරවනු පිණිස නියම කොට වදාරණ ලද ධාතූන් වහන්සේලා මෙහි ඔබගේ අත පත් වී ය. ඔබ ඒ ධාතූන් වහන්සේලා මා හට දෙන්න.”

50. ඒ ඇසූ නා රජ තෙමේ බොහෝ සෙයින් අසතුටට පත්ව, ‘මේ ශ්‍රමණ තෙමේ බලහත්කාරයෙන් වුව ද (ධාතූන් වහන්සේලා) ගන්නට සමත් ය.

51. එනිසා ධාතූන් වහන්සේලා අන් තැනක තබමි.’ යි මෙසේ සිතා, එහි සිටි (තම) බෑණනුවන්ට ඉඟියෙන් (ධාතූන් වහන්සේලා සඟවන්න යැයි) දැක්වී ය.

52. නමින් වාසුලදත්ත වූ හෙතෙමේ ඔහුගේ ඉඟිය දැන ඒ චෛත්‍ය මන්දිරයට ගොස් ඒ කරඬුව ගිල දමා

53. මහමේරු පර්වත මුලට ගොස් කුණ්ඩලාවෘත්තව සැතපුණේ ය. (ඔහුට) තුන්සිය යොදුනක් දිගු වූ ශරීරයක් වී ය. (ඔහුගේ) දරණය යොදුනක් වටප්‍රමාණ ඇත්තේ ය.

54. නොයෙක් දහස් ගණන් පෙණ ගොබ ද මවන ලද්දේ ය. මහා ඍද්ධි ඇති හෙතෙමේ සැතපෙමින් දුම් පිට කරන්නේ ය. (ගින්නෙන්) බබළන්නේ ය.

55. (හෙතෙමේ මෙසේ) නොයෙක් දහස් ගණන් තමන් හා සමානව දිස් වන නාගයන් මවා හාත්පස පිරිවර කොට සැතපුණේ ය.

56. එකල්හී බොහෝ දෙවියෝ ද නාගයෝ ද “නාගයන් දෙදෙනාගේ යුද්ධය අපි බලන්නෙමු.” යැයි එහි රැස් වූහ.

57. මාමණ්ඩිය වූ නා රජ තෙමේ බෑණනුවන් විසින් ඒ ධාතු ගෙන යන ලද බව සිතා. “මා ළඟ ධාතු නැත.” යැයි ස්ථවිරයන් වහන්සේට කීවේ ය.

58. ඒ ධාතූන් වහන්සේලාගේ ආගමනය මුල පටන් දැන ගත් ස්ථවිරයන් වහන්සේ “ධාතු දෙන්න.” යැයි ඒ නා රජ හට කීහ.

59. ඒ නා රජ තෙමේ අන් ආකාරයකින් අඟවනු පිණිස ඒ ස්ථවිරයන් වහන්සේ ව චෛත්‍ය මන්දිරයට ගෙන ගොස් උන්වහන්සේට එය වර්ණනා කළේ ය.

60. “ශ්‍රමණයන් වහන්ස, නොයෙක් මැණික්වලින් නොයෙක් ආකාරයෙන් සකස් කරන ලද්දා වූ, මනාව නිර්මාණය කරන ලද්දා වූ සෑය ද සෑ ගෙය ද බලන්න.

61. මුළු ලංකාද්වීපයේ ම ඒ සියලු මැණික් මේ පියගැට පාමුල සඳකඩ පහණවත් නො වටින්නේ ය. (ඉදින්) අන්‍ය වූ වස්තූන් ගැන කවර වර්ණනා ද?

62. ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේලා විසින් මහත් වූ සත්කාර පවත්නා තැනකින් අල්ප වූ සත්කාර පවතිනා තැනකට මේ ධාතූන් වහන්සේලා ගෙන යාම යුතු නැත්තේ ය.”

63. “නාගය, ඔබ වැනි හීන ගති ඇති අය හට (චතුරාර්ය) සත්‍යාවබෝධය නො වන්නේ ය. ධාතූන් වහන්සේලා (චතුරාර්ය) සත්‍යාවබෝධය ඇති තැනකට ගෙන ආ යුතු ය.

64. තථාගතයන් වහන්සේලා සසර දුක් මිදීම පිණිස ම උපදිති. මෙය සම්බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රායකි. ඒ හේතුවෙන් ධාතූන් වහන්සේලා ගෙන යමි.

65. ඒ රජ තෙමේ අද ම ධාතු නිධානය කරවන්නේ ය. එහෙයින් ප්‍රපංච නො කොට වහා ම මට ධාතූන් වහන්සේලා දෙන්න.” (යැයි ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.)

66. “ස්වාමීනී, ඉදින් ඔබ වහන්සේ ධාතූන් වහන්සේලා දකින්නේ නම් ගෙන යන්න.” යැයි ඒ නා රජ තෙම කී ය. ස්ථවිරයන් වහන්සේ ඔහු ලවා ඒ වචනය තුන් වරක් ම කියවාගෙන,

67. එහි වැඩ සිටිය දී ම සියුම් අතක් මවා එකෙණෙහි ම (නා රජුගේ) බෑණනුවන්ගේ මුඛයේ අත හොවා,

68. ධාතු කරඬුව ගෙන, “නාගය, (එසේ නම්) හිඳින්න.” යැයි කියා පොළවේ කිමිදගෙන පිරිවෙණහි නැගී සිටි සේක.

69. නා රජ තෙමේ ‘අප විසින් රවටන ලද භික්ෂූන් වහන්සේ ගියේ ය.’ යැයි සිතා ධාතූන් වහන්සේලා ගෙන එන්න යැයි බෑණනුවන්ට දන්වා යැවී ය.

70. ඉන් පසු (නා රජුගේ) බෑණනු තෙමේ කුස තුළ කරඬුව නො දැක හඬා වැළපෙමින් පැමිණ මාමණ්ඩියට (ඒ බව) දැන්වී ය.

71. එකල ඒ නා රජ තෙමේ ‘අපව රවටන ලද්දේ ය.’ යැයි සිතා හැඬුවේ ය. පීඩාවට පත් සියලු නාගයෝ ද හැඬූහ.

72. රැස් වූ දේව සමූහය ශ්‍රමණ නාගයාණන් වහන්සේගේ විජයග්‍රහණයෙන් සතුටු වූවෝ ඒ ධාතූන් වහන්සේලා පුදමින් උන්වහන්සේ සමඟ පැමිණියෝ ය.

73. ධාතූන් වහන්සේලා අහිමි වීමෙන් දුකට පත් වූ නාගයෝ හඬමින් පැමිණ සංඝයා වහන්සේලා සමීපයේ බොහෝ සෙයින් ම හැඬූහ.

74. සංඝයා වහන්සේලා අනුකම්පාවෙන් යුතුව ඔවුන්ට ධාතූන් වහන්සේලා ස්වල්ප ප්‍රමාණයක් දුන්හ. එයින් සතුටු වූ ඔවුහු ගොස් පූජා භාණ්ඩයන් ගෙන ආවෝ ය.

75. සක් දෙව් රජ තෙමේ මැණික් පළඟක් හා රන් කරඬුවක් ගෙන දෙවියන් සමඟ ඒ ස්ථානයට සපැමිණියේ ය.

76. ස්ථවිරයන් වහන්සේ (පොළවෙන්) නැගුණු ස්ථානයේ විස්කම් දෙව් පුතු ලවා කරවන ලද්දා වූ යහපත් වූ මැණික් මණ්ඩපයේ ඒ පළඟ පිහිටුවා

77. ඒ ස්ථවිරයන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන (තමන්ගේ) කරඬුවේ තබා උතුම් පළඟෙහි තැබුවේ ය.

78. බ්‍රහ්ම තෙමේ ඡත්‍රය දැරුවේ ය. සන්තුසිත දෙව් තෙමේ වල්විදුනාව දැරුවේ ය. සුයාම දෙව් තෙමේ මිණි තල් වැට දැරුවේ ය. ශක්‍ර තෙමේ දිය සහිත වූ සංඛය දැරුවේ ය.

79. සතර වරම් දෙව් රජ දරුවෝ අසිපත් ගත් අත් ඇතිව සිට ගත්හ. මහත් ඍද්ධි ඇති තිස් තුනක් වූ දෙව් පුතුන් මල් වට්ටි ගත් අත් ඇතිව

80. පරසතු මලින් පුදමින් එහි සිට ගත්හ. දෙතිස් දෙව් කුමරියෝ දඬුවැට පහන් දරා සිටියෝ ය.

81. විසි අටක් වූ යක්ෂ සෙන්පතිවරු දුෂ්ට වූ යකුන් පලවා හැර ආරක්ෂාව සදමින් සිට ගත්හ.

82. පන්සිළු තෙමේ වීණාව වයමින් එහි සිටියේ ය. තිම්බරු දෙව් පුත් තෙමේ රංග භූමියක් මවා තූර්ය ඝෝෂා ඇතිව සිටියේ ය.

83. නොයෙක් දෙව් පුත්වරු සාධු ගීතිකා ගයන්නට වූහ. මහාකාල නා රජ තෙමේ නොයෙක් අයුරින් ස්තූති කරමින් සිටින්නේ ය.

84. දිව්‍ය තූර්යයන් වයනු ලැබෙයි. දිව්‍ය ම ය සංගීතය ද වයනු ලැබෙයි. දෙවියෝ දිව්‍ය ම ය සුගන්ධ ඇති වැසි ද වස්සවති.

85. ඒ ඉන්දගුත්ත නම් ස්ථවිරයන් වහන්සේ මරු පසුබස්සවන්නා වූ ලෝහ ම ය ඡත්‍රයක් සක්වළ සම කොට මැවූහ.

86. ධාතූන් වහන්සේලා ඉදිරියේ ඒ ඒ (දෙසින්) පස් තැනක භික්ෂු සංඝයා සජ්ඣායනාවන් සිදු කළහ.

87. අතිශයින් සතුටු වූ ගාමණී අභය මහ රජ තෙමේ එහි පැමිණියේ, හිසින් දරාගෙන ගෙනා රන් කරඬුවේ

88. ධාතු කරඬුව තබා ආසනයේ පිහිටුවා ධාතූන් වහන්සේලා වැඳ පුදා fදාහොත් මුදුනේ නගාගෙන එහි සිටියේ ය.

89. ක්ෂත්‍රීය තෙමේ (එහි පැවති) දිව්‍ය ඡත්‍ර ආදිය ද දිව්‍ය ගන්ධ ආදිය ද දැක, දිව්‍ය තූර්ය ශබ්ද ආදිය ද අසා,

90. බ්‍රහ්මයන් හෝ දෙවියන් නො දැක, අද්භූත ආශ්චර්යයන්ගෙන් තුටු වූයේ සේසතින් ධාතූන් වහන්සේලා පුදා ලංකා රාජ්‍යයේ අභිෂේක ද කළේ ය.

91. “දිව්‍ය ඡත්‍ර ද මනුෂ්‍ය ඡත්‍ර ද විමුක්ති ඡත්‍ර ද යන තෙවැදෑරුම් ඡත්‍ර දරන්නා වූ, ලෝකනාථ වූ ශාස්තෘන් වහන්සේට

92. තුන් වරක් ම මාගේ රාජ්‍යය දෙමි.” යි කියා, සතුටු සිත් ඇතිව (ඒ රජ තෙමේ) ලංකා රාජ්‍යය තුන්වරක් ම ධාතූන් වහන්සේලාට පිදුවේ ය.

93. ක්ෂත්‍රීය තෙමේ දෙව් මිනිසුන් සමඟ ඒ ධාතූන් වහන්සේලා පුදමින් (ධාතු) කරඬුව හිසින් ගෙන,

94. භික්ෂු සංඝයා විසින් පිරිවරන ලද්දේ චෛත්‍යය පැදකුණු කොට නැගෙනහිර දෙසින් ගෙන පැමිණ ධාතු ගර්භයට බැස්සේ ය.

95. අනූ හය කෝටියක් වූ රහතන් වහන්සේලා උතුම් ථූපය හාත්පසින් පිරිවරා ඇඳිලි බැඳගෙන වැඩ සිටියහ.

96. සතුටින් පිරී ගත් රජ තෙමේ ධාතු ගර්භයට බැස ‘(ධාතු කරඬුව) මහාර්ඝ වූ යහපත් යහනේ තබමි.’ යි සිතන කල්හි

97. ධාතූන් වහන්සේලා සහිත වූ කරඬුව ඔහුගේ සිරසින් නැගී තල් ගස් හතක් පමණ (උසින්) අහස් කුස සිටි සේක.

98. ඉන් පසු (ධාතු) කරඬුව හැරුණේ ය. ධාතූන් වහන්සේලා එයින් නැගී (දෙතිස් මහා පුරුෂ) ලක්ෂණයෙන් හා අසූඅනුබ්‍යාංජනයෙන් බබළන්නා වූ බුද්ධ වේශය ගෙන,

99. ගණ්ඩම්බ මූලයෙහි දී බුදුරජාණන් වහන්සේ මෙන් ජීවමාන සුගතයාණන් වහන්සේ අදිටන් කළ පරිදි යමා මහ පෙළහර පෑ සේක.

100. ඒ පෙළහර දැක පැහැදී, එකඟ බවට පත් සිත් ඇති දොළොස් කෝටියක් දෙව් මිනිසුන් අරහත් ඵලයට පැමිණි සේක.

101. (සෝවාන්, සකදාගාමී, අනාගාමී යන) සෙසු මාර්ග ඵල තුනට පැමිණි සෙස්සෝ (සංඛ්‍යාවෙන්) ගිණිය නො හැකි වූහ. බුද්ධ වේශය හැරපියා කරඬුවේ පිහිටි

102. ඒ (ධාතූන් වහන්සේලා සහිත) කරඬුව පහතට බැස රජුගේ සිරසේ පිහිටියේ ය. ඒ රජ තෙමේ ඉන්දගුත්ත ස්ථවිරයන් වහන්සේ හා නාටිකාංගණාවන් සමඟ

103. ධාතු ගර්භය හරිමින් යහපත් යහන කරා පැමිණ බබළන්නා වූ මැණික් පළඟේ කරඬුව තබා

104. නැවත සුවඳ කවන ලද ජලයෙන් හස්තයන් fදා්වනය කොට, ගෞරව සහිතව සිවු දෑ ගඳ ගල්වාලුවේ ය.

105. මහජනයාගේ හිතසුව කැමති රජ තෙමේ කරඬුව විවර කොට ධාතූන් වහන්සේලා ගෙන මෙසේ සිතුවේ ය.

106. ‘ඉදින් ධාතූන් වහන්සේලා කිසිවෙකුගෙන් වුව නිරවුල් වන්නේ ද ඉදින් ධාතූන් වහන්සේලා ජනයාට පිහිට පිණිස වන්නේ ද

107. මනා කොට පනවන ලද මහාර්ඝ වූ යහනේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හුන් ආකාරයෙන් ම සැතපේවා!’

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘ධාතූන් වහන්සේලා නිදන් කරවීම’ නම් වූ තිස් එක් වන පරිච්ඡේදයේ කොටසකි.)