236. මහා යසස් ඇත්තා වූ ඒ ධර්මාශෝක මහ රජ තෙමේ මේ බැව් අසා, එක් අමාත්‍යවරයෙකු අශෝකාරාමය බලා පිටත්කර හැරියේ ය.
237. ‘‘මේ අධිකරණය සංසිඳුවා මාගේ ආරාමයෙහි භික්ෂු සංඝයා වහන්සේ ලවා පොහොය පවාරණය සිදු කරව” යි නියෝග ලත් ඒ නුවණ මඳ ඇමති තෙමේ,
238. අශෝකාරාමයට ගොස් භික්ෂු සංඝයා වහන්සේලා රැස් කරවා ‘‘උපෝසථ සිදු කරනු මැනව” යන රාජ නියෝගය දැනුම් දුන්නේ ය.
239. භික්ෂු සංඝයා වහන්සේලා ‘‘අපි තීර්ථකයන් සමඟ උපෝසථ නො කරන්නෙමු” යැයි ඒ මූඪ චිත්තයකින් යුතු වූ අමාත්‍යවරයාට පැවසූහ.
240. ඇමති තෙමේ කෙසේ හෝ පොහොය කරවම්හ යැයි සිතා පිළිවෙළින් තෙරුන් වහන්සේලා කිහිප නමකගේ හිස් කපා දැමුවේ ය.
241. රජුගේ සොහොයුරු වූ තිස්ස ස්ථවිරයෝ ඒ බැව් දැක වහා පැමිණ අමාත්‍යවරයා හට ආසන්න අසුනෙක වැඩ සිටියේ ය.
242. තිස්ස ස්ථවිරයන් වහන්සේ දුටු ඇමති තෙමේ මේ බව රජු හට දැන් වී ය. එබැව් අසා මහත් වූ බය සංවේගයට පත් වූ මිහිපති තෙමේ,
243. සංඝයා වහන්සේ විෂයෙහි කරන ලද මේ කර්මයේ පාපය කා හට වේ දැයි සංඝයා වහන්සේ විචාළේ ය.
244. භික්ෂු සංඝයා වහන්සේලා අතරින් පිරිසක් ‘‘පාපය ඔබ හට” යැයි පැවසූහ. තව පිරිසක් පාපය දෙදෙනාට ම බව පැවසූහ. පණ්ඩිත වූ උතුමන් රජු හට කිසිදු පාපයක් නො මැති බැව් පැවසූහ.
245. රජ තෙමේ ඒ බැව් අසා තමාගේ විමතිය පහ කොට ශාසනය යථා පරිදි නගා සිටුවන්නට සමර්ථ වන ශ‍්‍රමණයන් වහන්සේ නමක් වැඩ සිටිත් දැයි විචාළේ ය.
246. එයට සුදුසු වන්නා වූ ඒ මොග්ගලී පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ වැඩ සිටින බව සංඝයා වහන්සේලා විසින් පවසනු ලදුව රජ තෙමේ උන්වහන්සේ කෙරෙහි මහත් ආදර ඇත්තේ විය.
247. වෙන් වෙන් වශයෙන් සංඝයා වහන්සේලා දහස බැගින් පිරිවරන ලද ස්ථවිරයන් වහන්සේලා සතර නමක් ද එසේ ම මිනිසුන් දහස බැගින් පිරිවර කොටගත් අමාත්‍යවරුන් සතර දෙනෙක් ද
248. තම වචනයෙන් තෙරුන් වහන්සේ කැඳවා ගෙන එන්නට යැයි කියා රජු විසින් පිටත් කර හැරියේ ය. ඔවුහු රජුගේ බස පවසන ලදුවේ වුව ද ඒ තිස්ස ස්ථවිරයෝ නො වැඩි සේක.
249. එවිට රජ තෙමේ පෙර පරිද්දෙන් ම දහස බැගින් සඟ පිරිවර ඇති ස්ථවිරයන් වහන්සේලා අටනමක් සහ දහස බැගින් මිනිස් පිරිවර ඇති අමාත්‍යවරුන් අට දෙනෙක් තෙරුන් වහන්සේ හමුවට යැ වී ය.
250. එද මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ නො වැඩියෝ ම ය. එවිට රජ තෙමේ කෙසේ නම් තිස්ස ස්ථවිරයන් වහන්සේ වැඩම කරවිය හැක්කේ දැයි සංඝයා වහන්සේ විචාළේ ය.
251. ‘‘මහ රජ, ශාසනය නගා සිටුවීමෙහි ලා උපස්ථම්භක වනු මැනවැයි පැවසීමෙන් තිස්ස ස්ථවිරයන් වහන්සේ වැඩම කර විය හැකි ය” යැයි සංඝයා වහන්සේ වදාළහ.
252. එපවත් ඇසූ රජ තෙමේ එලෙස පවසන්න යැයි කියා නැවත ද වෙන් වෙන් වශයෙන් දහස බැගින් පිරිවරනු ලැබූ ස්ථවිරයන් වහන්සේලා සොළොස් නමක් ද අමාත්‍යවරුන් සොළොසක් ද පිටත් කර හැරියේ ය.
253. මහලූ භාවයෙහි සිටින්නා වූ ඒ තිස්ස ස්ථවිරයන් වහන්සේ යානාවකට නො නඟින බැව් ඇසූ රජ තෙමේ උන්වහන්සේ ව නැවක නංවා ගංගාව ඔස්සේ වැඩම කරවන්න යැයි ද පැවසුවේ ය.
254. මෙපවත් ඇසූ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ නැගී වදාළ සේක. ඒ පරිවාර සේනාවෝ තෙරුන් වහන්සේ ව නැවකින් වැඩම වූහ. රජ තෙමේ එහි පෙර ගමන් කළේ ය.
255. දණක් පමණ දියේ බැස ගත් රජ තෙමේ මහත් ගෞරව ඇත්තේ නැවෙන් බස්නා පිණිෂ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේට දකුණු අත දුන්නේ ය.
256. පුද පූජා ලැබීමට සුදුසු වූ ද රජු කෙරෙහි මහත් අනුකම්පා ඇත්තා වූ ද ස්ථවිරයන් වහන්සේ ඔහුගේ දකුණු අත අල්වා ගෙන නැවෙන් ඉවතට වැඩම කොට වදාළ සේක.
257. ඒ මිහිපති තෙමේ මනෝ රම්‍ය වූ උයනට තෙරුන් වහන්සේ ව වැඩම කරවා, පා දෝවනය කොට, තෙල් ගල්වා හිඳ ගත්තේ,
258. ස්ථවිරයන් වහන්සේගේ සමර්ථ භාවය විමසන්නේ ‘‘මම් වනාහී පෙළහරක් දක්නට කැමැත්ත ඇත්තෙමි” යැයි පැවසී ය.
259. කවර ආකාරයෙක පෙළහරක් දැයි ස්ථවිරයෝ විචාරන ලදින් පෘථිවියෙහි කම්පාවෙක් දක්නට රිසි යැයි පැවසී ය. එවිට ස්ථවිරයෝ සර්ව පෘථිවියෙහි කම්පාවෙක් ද නැතහොත් පෘථිවි ප‍්‍රදේශයක කම්පාවෙක් ද යැයි විචාළ කල්හි,
260. කවරක් වඩා දුෂ්කර දැයි විමසා, එක් දේශයක කම්පාව වඩාත් දුෂ්කර බැව් අසා එය දකින්නට රිසි යැයි පැවසුවේ ය.
261. ස්ථවිරයන් වහන්සේ යොදුනක් සීමාවේ, සතර දිශාවේ රථයක් ද අශ්වයෙකු ද මනුෂ්‍යයෙකු ද දිය පිරි තලියක් ද යන ඒවා තබ්බවා,
262. ඔවුන්ගෙන් සලකුණු වූ ඉම ඇතුළට පත් සියල්ල ඍද්ධි බලයෙන් කම්පා කොට වදාළ සේක. ඒ කම්පාව එතැන හුන් රජු හට ද දකින්නට සැලැස්වූ සේක.
263. ඒ අනුවණ ඇමතියා විසින් සංඝයා වහන්සේලා මරණයට පත් කරන්නට යෙදීමෙන් තමන් හට පාපයක් වී ද නො වී ද යන්න මිහිපති තෙමේ ස්ථවිරයන්ගෙන් විචාළේ ය.
264. අකුසල සිතක් නො වූයෙන්, ඒ නිසාවෙන් කර්මයක් නැතැයි තිත්තිර ජාතකය වදාළ ස්ථවිරයන් වහන්සේ රජු හට අවබෝධ කර වූ සේක.
265. ඒ මනෝරම්‍ය වූ රාජ උද්‍යානයේ සත් දිනක් වැඩ සිටි ස්ථවිරයෝ යහපත් වූ සර්වඥ දහම රජු හට උගන්වාලූහ.
266. මිහිපති තෙමේ ඒ සත් දවස තුළ යක්ෂයන් දෙදෙනෙකු ලවා පොළෝ තලයෙහි වෙසෙන්නා වූ සියලූ භික්ෂු සංඝයා එක් තැනෙක රැස්කර වූයේ ය.
267. සත් වන දිනයෙහි හෙතෙමේ මනෝරම්‍ය වූ ස්වකීය අරමට පැමිණ සියලූ ම භික්ෂු සංඝයා රැස්කර වී ය.
268. මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ සමඟ තිරය තුළ එක් තැනෙක සිටියා වූ ඒ මිහිපති තෙමේ, එක් එක් ලබ්ධි ඇත්තා වූ භික්ෂූන් වහන්සේලා සමීපයට කැඳවා,
269. ‘‘වහන්ස, සුගතයාණන් වහන්සේ කිනම් වාද ඇත්තේ ද?”යැයි විචාළේ ය. ඔවුහු තම මතය වූ පරිද්දෙන් ශාස්වත ආදි දෘෂ්ටි ප‍්‍රකාශ කළෝ ය.
270. රජ තෙමේ ඒ සියලූ මිථ්‍යා දෘෂ්ටිකයන් සිවුරු හැරවී ය. එසේ සිවුරු හරවන ලද්දෝ සැට දහසකි.
271. මිහිපති තෙමේ ධාර්මික වූ භික්ෂූන් වහන්සේලා ද කැඳවා, ‘‘වහන්ස, සුගතයාණන් වහන්සේ කිනම් වාද ඇත්තේ ද?” යැයි විචාළ කල්හි ‘‘විභජ්ජවාදි” යැයි උන්වහන්සේලා වදාළ සේක.
272. මිහිපති තෙමේ ‘‘සර්වඥයන් වහන්සේ විභජ්ජවාදි ද?” යැයි මොග්ගලී පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේගෙන් විසූ කල්හි ‘‘එසේ ය” යැයි උන්වහන්සේ ද වදාළ සේක. ඒ අසා සතුටට පත්වූ හෙතෙමේ,
273. යම් අයුරකින් සංඝයා වහන්සේ ශෝධනය වී ද එහෙයින් සංඝයා වහන්සේලා පොහොය පැවරීම් කරත්වා! යැයි තෙරුන් වහන්සේට පැවසුවේ ය.
274. සංඝයාවහන්සේලාට රැකවල් සැලසූ මිහිපති තෙමේ යහපත් වූ නුවරට පිවිසියේ ය. එකල්හි සමඟි සම්පන්න වූ සංඝයා වහන්සේ පොහොය පවුරුණු සිදු කළහ.
275. මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ අනෙකුත් සංඛ්‍යා ඇති සංඝයා වහන්සේලා අතුරෙන් සය වැදෑරුම් අභිඤ්ඥ ඇත්තා වූ, ත‍්‍රිපිටකධාරී වූ, විශිෂ්ඨ ඤණයක් ඇත්තා වූ,
276. භික්ෂූන් වහන්සේලා දහස්නමක් ධර්මය සංගායනා කරනු පිණිස තෝරා ගත්තෝ උන්වහන්සේලා සමඟ අශෝකාරාමයේ දී සද්ධර්ම සංගායනාව සිදු කළ සේක.
277. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද සබ්බකාමී යස මහරහතන් වහන්සේ ද ධර්ම සංගායනාවන් සිදු කළේ යම් ආකාරයකින් ද ඒ අයුරින් ම මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ මේ ධර්ම සංගායනාව සිදු කළහ.
278. අන්‍ය වාද මැඩපවත්වන්නා වූ ඒ කථා වස්තු ප‍්‍රකරණය, ඒ සංගායනා මණ්ඩලය තුළ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ විසින් ම වදාළහ.
279. මෙසේ ධර්මාශෝක මහ රජුන්ගේ රැකවරණ ලද්දා වූ ඒ දහසක් වූ භික්ෂු සංඝයා වහන්සේලා නව මසකින් ධර්ම සංගායනාව නිම කොට වදාළ සේක.
280. ධර්මාශෝක මහ රජුගේ රාජාභිෂේකයෙන් පසු එළඹි සතළොස්වන වර්ෂයේ දී දෙසැත්තෑ වයස් ඇති ඒ ඍෂිවරයාණෝ වස් පවාරණ දිනයේ දී සංගායනාව සමාප්ත කළෝ ය.
281. ශාසන චිරස්ථිතිය හේතු කොට ගෙන සාදුකාර නංවන්නියක සේ පොළෝ මහීකාන්තාවෝ සංගායනාව අවසන කම්පා වූවා ය.
282. ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ ශ්‍රේෂ්ඨ වූ, මනෝඥ වූ ඒ බ‍්‍රහ්ම විමානය ද හැරපියා ශාසනය හේතු කොට ගෙන පිළිකුල් සහගත වූ මනුලොවට අවුත් කරන ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය ද සිදු කළෝ ය.
ඉඳින් අන් කවරෙක් නම් ශාසන කෘත්‍යයෙහි ලා ප‍්‍රමාද වනු කැමැත්තෝ ද?

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ තෘතීය ධර්ම සංගායනාව නම් වූ පස්වන පරිච්ඡේදය නිම වූයේ ය.