01. සියලූ ලෝවැසියන්ට යහපත සලසා, පරම ශාන්තියට පැමිණ වදාරා පිරිනිවන් මංචකයෙහි වැඩසිටි ලෝක නායකයන් වහන්සේ,
02. ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිවරයාණන් වහන්සේ උදෙසා රැස්වූ මහත් වූ දේව සමාගමයෙහි සමීපව සිටි සක‍්‍ර දේවේන්ද්‍රයා අමතා මෙසේ වදාළ සේක.
03. ‘‘සිංහබාහු රජුගේ පුත්වූ ඒ විජය කුමරු තම අනුගාමිකයන් වූ සත්සියයක පිරිවර ඇතිව ලාට රටින් පැමිණ ලක්දිව ගොඩ බැස්සේ ය.
04. දේවේන්ද්‍රය, මාගේ ශාසනය ලක්දිව පිහිටන්නේ ය. එනිසා පිරිවර සහිත ඔහු ද ලංකාව ද මැනවින් රකින්න.”
05. තථාගතයන් වහන්සේගේ බස සාදර ගෞරවයෙන් ඇසූ සක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ ලංකාව ආරක්ෂා කිරීම උපුල්වන් දෙවිඳු හට භාර කළේ ය.
06. සක් දෙවිඳු එසේ භාරදුන් සැණින් හෙතෙමේ ලක්දිවට පැමිණ පරිබ‍්‍රාජක වෙස්ගෙන රුක්මුලක සිටියේ ය.
07. විජය කුමරු ඇතුළු සියල්ලෝ ඔහු වෙත පැමිණ, ‘‘පින්වත, මේ කවර දේශයක් ද?” යැයි විමසුවෝ ය. හෙතෙමේ, ‘‘මේ ලංකා ද්වීපය.” යැයි පවසා,
08. ‘‘මෙහි මිනිස් වාසයක් නැත්තේ ය. තොපට භයක් ඇති නො වන්නේ ය.” යැයි කියා කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉස,
09. ඔවුනගේ අතෙහි පිරිත් නූල් බැඳ අහසින් නික්ම ගියේ ය. එහි විසූ එක් පිරිවර යකින්නියක් බැල්ලකගේ වේෂය ගෙන තමා දැක්වූවා ය.
10. රජ පුතු විසින් නවත්වනු ලැබූව ද පිරිස අතුරෙන් අයෙකු, ‘‘ගම් ප‍්‍රදේශ ඇති කල්හි බල්ලන් ඇත්තේ ය.” යැයි සිතා ඒ බැල්ල පසුපස ගියේ ය.
11. ඒ පිරිවර යකින්නගේ ස්වාමි දියණිය වූ කුවේණි නම් යකින්නිය කපු කටිනා තවුසියකගේ වේෂයක් ගෙන එහි රුක් මුලෙක සිටියා ය.
12. හෙතෙමේ ඒ පොකුණ ද එහි සිටි තාපසිය ද දැක එහි පිවිසනා, දිය බී, නෙළුම් අල ද
13. පොකුණෙන් දිය ද ගෙන ගොඩවූයේ ය. යකිනි තොමෝ ඔහුට, ‘‘මාගේ ගොදුරක් වූ තැනැත්ත, සිටුව.” යැයි කීවා ය. ඒ තැනැත්තා බැඳ දමන ලද්දෙකු සේ සිටියේ ය.
14. පිරිත් හූයේ තේජසින් යකිනිය ඔහු කන්නට අසමත් වූවා ය. යකිනිය විසින් ඉල්ලනු ලැබූව ද ඒ මිනිසා පිරිත් හුය නුදුන්නේ ය.
15. යකිනිය හඬමින් සිටි ඔහුව උමඟකට බැස්ස වූවා ය. මෙසේ එක එක්කෙනා බැගින් සත්සියය ම පිරිවර ඒ උමඟට දැමුවා ය.
16. සියල්ලෝ නො පැමිණෙන කල කිසියම් බියෙකැයි සැක කළ විජය කුමරු පංචායුධයන්ගෙන් සැරසීයන්නේ මනා වූ පොකුණ දුටුවේ ය.
17. පොකුණු බඩ තැබූ පියවර සටහන් ද ඒ තවුසිය ද දුටු හෙතෙමේ, ‘කිමෙක් ද? මේ තැනැත්තිය විසින් මාගේ භටයන් අල්ලා ගනු ලැබුවේ ද?’ යැයි සිතා,
18. ‘‘පින්වතිය, ඔබ මාගේ භටයන් දුටුවේ නැති ද?” යැයි ඇයට පැවසුවේ ය. යකිනි තොමෝ, ‘‘රාජ පුත‍්‍රය, භටයන්ගෙන් කවර ඵලක් ද? පැන් බොනු මැනව. ස්නානය කරනු මැනව.” යැයි කීවා ය.
19. ‘යකිනිය මාගේ ජාතිය නිසැකව ම දන්නී ය’ යැයි සැක රහිත බවට පත්වූ හෙතෙමේ සිය නම අසා වහාම දුන්න අමෝරා ගෙන යකින්න වෙත පැමිණ,
20. යකිනියගේ ගෙලෙන් අල්ලා, යකඩ වලල්ල දමා, වමතින් කෙස්වැටිය ද දකුණතින්,
21. කඩුව ද අමෝරා ගෙන, ‘‘මාගේ භටයන් දෙව. නැතිනම් තී මරමි.” යැයි කීවේ ය. ජීවිතය යදින්නා වූ යකිනිතොමෝ,
22. ‘‘ස්වාමීනී, මාගේ ජීවිතය දෙනු මැනව. මම ඔබට රාජ්‍යය දෙන්නෙමි. ස්ත‍්‍රියකගේ කාර්යයන් අන්කිසිවෙකුත් කැමති අයුරින් කරන්නෙමි.” යැයි කීවා ය.
23. කුමරු, ‘‘ද්‍රෝහී නො වන්නෙමි” යැයි යකිනිය පොරොන්දු කරවා ගෙන, ‘‘වහා භටයන් ගෙන එව” යැයි කීවිට ම ඕ ඔවුන් ගෙනාවා ය.
24. ඔවුහු කුසගිනි ඇතැයි පැවසූ විට, ඕ තොමෝ තමන් ගොදුරු කර ගත් වෙළෙඳුන්ගේ නැව්වල තිබූ නොයෙකුත් වූ, බොහෝ වූ සහල් ආදිය පෙන්වූවා ය.
25. ඒ භටයන් බත් හා සූපයන් උයා, රජ කුමරුවන් ආහාර ගන්වා ඔවුන් සියල්ලෝ ද කෑවෝ ය.
26. විජය කුමරු විසින් දෙන ලද අග‍්‍ර වූ භාගය කා ප‍්‍රණීතව ගිය සිත් ඇති යකිනිය සොළොස් හැවිරිදි වූ මනෝහර රුවක් මවා ගෙන,
27. සර්වාභරණයෙන් සැරසී රජ කුමරු වෙත පැමිණියා ය. ඕ රුක් මුලෙක මහානර්ඝ වූ යහනක් ද මැවුවා ය.
28. ඒ යහන තිරයෙන් මැනවින් ආවරණය කරවා මනාව අලංකාර කරවන ලද්දී ය. රජ කුමරු අනාගත අභිවෘද්ධිය බලන්නේ,
29. ඇය සමඟ වාසය කොට යහනෙහි සැප සේ සිටියේ ය. පිරිවර සියලූ භටයන් තිරය සිසාරා සිටියෝ ය.
30. රාතී‍්‍ර කාලයේ ඒ කුමරු තූර්ය නාදයන් සහිත ගී හඬක් අසා ඒ කුමන ශබ්දයක් ද යැයි එක්ව නිදනා යකිනියගෙන් ඇසුවේ ය.
31. ‘සියලූ යක්ෂයන් ඝාතනය කරවා රාජ්‍යය ස්වාමියාට දිය යුත්තේ ය. නැති නම් වුවමනාවෙන් මනුෂ්‍යයන් හා වාසය කළ නිසාවෙන් යකුන් මා මරවන්නෝ ය.’
32. යැයි සිතූ යකිනිතොමෝ, රජ කුමරු හට, ‘‘ස්වාමීනී, මේ යක්ෂපුරය ‘ශීර්ෂ වස්ථු’ නම් වේ.
33. එහි වෙසෙන දෙටු යකුට ලංකා නගරවාසී වූ කුමරියක් ගෙනෙන ලදී. ඇයගේ මව ද පැමිණියා ය.
34. ඔවුන් කැඳවා ගෙන ආ ආවාහ මංගල්‍යයෙහි මෙහි ද මහත්වූ උත්සව ඇත්තේ ය. මේ එහි ශබ්දයයි. එහි මහත් වූ යක්ෂ සමාගමයකි.
35. අද ම ඒ යකුන් ඝාතනය කරනු මැනව. අන්දිනෙක එය කළ නො හැක්කේ ය. ‘‘යැයි පැවසූවා ය. කුමරු තෙමේ, ”ඒ අදෘශ්‍යමාන යක්ෂයන් කෙසේ ඝාතනය කරන්න ද?” යැයි ඇසුවේ ය.
36. ‘‘යම් තැනෙක ශබ්ද කරනු ලබයි ද ඒ හඬ අනුව පහර දෙනු මැනව. මාගේ ආනුභාවයෙන් ආයුධය ඔවුන්ගේ සිරුරේ වදින්නේ ය.” යැයි ඕ කීවා ය.
37. ඇගේ බස ඇසූ හෙතෙමේ එපරිද්දෙන් ම කොට සියලූ යක්ෂයන් ඝාතනය කර වී ය. ජයගත් විජය කුමර තෙමේ යක්ෂ රාජයාගේ ආභරණ පැලැන්දේ ය.
38. සෙසු ආභරණ ඒ ඒ භටයන්ට පැළඳ වී ය. ඔවුහු කිහිප දවසක් එහි ම වාසය කොට තම්බපණ්ණියට පිවිසියෝ ය.
39. විජය කුමරතෙමේ තාම‍්‍රපර්ණ නගරය ඉදිකොට ඇමතියන් පිරිවරා ගෙන යකිනිය සමඟ එහි විසුවේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘විජයාභිෂේකය’ නම් හත්වන පරිච්ඡේදයේ කොටසකි.