මහාවිහාරය පිළිගැනීම

178. තුන්වන දවසේ දී ස්ථවිරයන් වහන්සේ රජ ගෙයි දන් වළඳා, නන්දන වනයෙහි වැඩ හිඳ ආශිව්ෂෝපම සූත‍්‍රය දේශනා කොට වදාළ සේක.
179. දහසක් පුරුෂයන් ධර්මාවබෝධයට පමුණුවා ස්ථවිරයන් වහන්සේ එතැනින් තිස්සාරාමයට වැඩම කළ සේක. දේශනය අසන ලද රජ තෙමේ ද
180. ස්ථවිරයන් වහන්සේ සමීපයේ හිඳ ‘‘ස්වාමීනි, බුද්ධ ශාසනය මෙහි පිහිටියේ ද?” යැයි විමසුවේ ය. ‘‘මහරජ, තවම පිහිටියේ නැත.
181. උපෝසථ ආදි කර්ම පිණිස බුද්ධ ආඥාවෙන් මෙහි සීමාවක් බැඳි විට ශාසනය පිහිටන්නේ ය.”
182. මහා ස්ථවිරයන් වහන්සේ එසේ වදාළ සේක. එවිට රජු මෙසේ පැවසුවේ ය. ‘‘ස්වාමීනි, මම එ් සම්බුද්ධ ආඥව ඇතුළත වාසය කරන්නෙමි.
183. එනිසා නගරය අයත්වන ලෙස එ් සීමාව වහා බඳින සේක්වා!” රජු එසේ පැවසූ කල්හි ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.
184. ‘‘රජතුමනි, එය එසේ නම් ඔබේ සීමාව ගමන් කරන තැන් අනුව අපි සීමා බඳින්නෙමු.”
185. ‘‘යහපති.” යි පැවසූ රජ තෙමේ නඳුන් උයනෙන් නික්මෙන ශක‍්‍ර දේවේන්ද්‍රයා සේ රමණීය වූ මහමෙව්නාව ආරාමයෙන් නික්ම ස්වකීය රජ ගෙයට පිවිසුණේ ය.
186. සතරවන දිනයේ දී ස්ථවිරයන් වහන්සේ රජ ගෙයි දන් වළඳා නන්දන වනයේ වැඩ හිඳ අනමතග්ග සංයුත්තය දේශනා කොට වදාළ සේක.
187. එ් මහා ස්ථවිරයන් වහන්සේ එහි දී දහසක් පුරුෂයන්ට අමෘත පානය පොවා මහාමේඝ වන ආරාමයට වැඩම කළ සේක.
188. උදයේ බෙර හසුරුවා, නගරයත්, විහාරයට යන මාර්ගයත්, විහාරය අවටත් මැනවින් සරසවා,
189. එ් රජ තෙමේ, සර්වාලංකාරයෙන් යුතුව ඇමතිවරු ද අන්තඃපුරවාසීන් ද සේනාව හා යුද රථ ද සහිතව රථයට නැගුණේ,
190. මහා පිරිවරින් ස්වකීය ආරාමය වෙත පැමිණියේ ය. එහි වැඩ හුන්, වන්දනාවන්ට සුදුසු වූ ස්ථවිරයන් වහන්සේ කරා එළඹ වන්දනා කොට
191. ස්ථවිරයන් වහන්සේ සමඟින් උඩු ගංතොටට ගොස් රන් නඟුලක් ගෙන එම ස්ථානයේ පටන් හාමින් ගියේ ය.
192. මහා පදුම, කුංජර නම් ඇති අතිශයින් ශෝභමාන වූ ඇතුන් දෙදෙනා රන් නඟුලෙහි යොදන ලද්දේ පළමු කුන්ත මාලකයේ විය.
193. චතුරංගනී මහා සේනාවත්, තෙරුන් වහන්සේත්, රාජකීයයනුත්, නඟුල ගත් රජුත් එහි දර්ශනය විය.
194. නොයෙක් පැහැ ඇති සුන්දර ධජ, පුන්කලසින් අලංකාර කරන ලද්දා වූ එහි ඇත්තේ ය. සඳුන් චූර්ණයෙන් යුතු තලි ද, රන් රිදී දඬු ද ඇත්තේ ය.
195. මලින් පිරී ගත් කැඩපත් ය. මල් පිරි ඇගෑ ය. තොරන්, කෙසෙල් ආදිය ගත් දෑත් ඇති ස්ත‍්‍රීන් ද පිරිවරන ලද්දේ ය.
196. නොයෙක් තූර්ය නාදයන් නගන ලද්දේ ය. මෙසේ සේනා සමූහයා විසින් පිරිවරා, තුති මංගල ගීතයෙන් සිව්දිග පුරවමින්
197. සාධුකාර නාදයෙන් හා සිය ගණනක් පූජාවෙන් ද යුතුව සී සාමින් නඟුල් පාර දක්වමින් ගියේ ය.
198. විහාරය ද නගරය ද පැදකුනු කොට ගංතොටට පැමිණ සීමාව යන තැන අවසන් කළේ ය.
199. එකී සීමාව හඳුනාගැනීමට යොදන ලකුණු කෙසේ ගමන් කළේ ද කියා දැනගනු කැමැත්තෝ එය මෙසේ තේරුම් ගත යුතු ය.
200. කොළොං ඔය, ගලතොටෙහි කුඩා වළට ද එතැනින් කුම්බල නම් වළට ද එතැනින් මහ දූවට ද ගියේ ය.
201. එතැනින් කුඹුක් පෙළටත්, එයින් මහ මළුවටත් ගියේ ය. එයින් කුදු මී ගසට ද එතැනින් මුරුත පොකුණට ද ගියේ ය.
202. එයින් විජයාරාම උයනේ උතුරු ද්වාරකොටුවට ගියේ ය. ගජකුඹු නම් ගලට ද ථූසවැටිය මැදින්,
203. අභය උයනේ බලාකගලට ද මහ සොහොන මැදට ද ගියේ ය. එතැනින් දික්ගලට ගොස් කම්මාරදේව ගමට ගියේ ය.
204. නුග ඔළුවට ගොස් හියගල ආසන්නයේ ගිනිකොණ දෙසින් වූ දියවස් බමුණාගේ දේවාලයට ද
205. එතැනින් තෙලූම්පෙළට ද ගියේ ය. එතැනින් තාලචතුෂ්කයට ගොස් අස්මඬුල්ලේ කොළොන් ගස් දෙක අතරට ගියේ ය.
206. එතැනින් බොරළුතොටට ගොස් ඉහළින් පිහිටි නදියට ගියේ ය. පඨමක චේති ස්ථානයෙන් නැගෙනහිර දිශාවේ කොළොන් ගස් දෙකක් විය.
207. සෙනින්දගුත්ත රාජ්‍යයේ උදකශුද්ධික ද්‍රවිඩ පිරිස නදිය දුර යැයි සිතා බැඳ එය නගරයට සමීප කළහ.
208. එහි ජීවමාන වූ කොළොන් ගස ද සීමාවට ඇතුළු කොට ගියේ ය. මළ කොළොම් රුක පිහිටි ඉවුරෙහි සීමාව එම රුකෙන් උඩු පැත්තට විය.
209. සිංහයන් නෑ තොටින් මතු වී ඉවුරට ගමන් කොට ගල්තොටට පැමිණ සීමාවන් එකතු කරන ලද්දේ ය.
210. දක්වන ලද මඟ ලකුණු මෙසේ එක් වූ කල්හි ‘ශාසනය මැනැවින් පිහිටියේ ය’ යැයි දෙව් මිනිසුන් සාදුකාර පැවැත්වූහ.
211. රජු විසින් නඟුල් පහරවල් දැක්වූ පසු තිස් දෙකක් සීමාවන් පිණිස ද ථූපාරාමය පිණිස ද
212. මහා ස්ථවිරයන් වහන්සේ සලකුණු ප‍්‍රසිද්ධ කළහ. සීමාවන් අතර ද ලකුණු ප‍්‍රසිද්ධ කරවා වුවමනා විධි විධාන සලස්වා
213. සියලූ සීමාවන් එ් දවසේ ම බැඳ අවසන් වූ කල්හි මහ පොළොව කම්පා විය.
214. පස්වන දිනයේ දී ස්ථවිරයන් වහන්සේ රජ ගෙයි දන් වළඳා නන්දන උයනේ වැඩ හිඳ ඛජ්ජනීය සූත‍්‍රය
215. මහජනයාට දේශනා කොට වදාරා දහසක් මනුෂ්‍යයන්ට අමෘත පානය පොවා මහමෙව්නා උයනේ වැඩ සිටි සේක.
216. සයවන දිනයේ ස්ථවිරයන් වහන්සේ රජ ගෙයි දන් වළඳා නන්දන වනයේ වැඩ හිඳ ගෝමයපිණ්ඩික නම් සූත‍්‍රය
217. දේශනා කොට වදාළ සේක. එ් දේශනාවෙන් දහසක් මනුෂ්‍යයන් මාර්ගඵල අවබෝධයට පමුණුවා මහාමෙව්නා උයනේ වැඩ වාසය කළ සේක.
218. සත්වන දිනයේ ස්ථවිරයන් වහන්සේ රජ ගෙයි දන් වළඳා නන්දන වනයේ වැඩ හිඳ දම්සක් පැවතුම් නම් වූ
219. සූත‍්‍රය දේශනා කොට වදාරා දහසක් මනුෂ්‍යයන් මාර්ගඵල අවබෝධයට පමුණුවා මහමෙව්නා උයනේ වැඩ විසූ සේක.
220. මෙසේ ප‍්‍රභාවත් වූ ස්ථවිරයන් වහන්සේ සත් දිනකින් ම අටදහස් පන්සියයක් වූ මනුෂ්‍යයන්ට ධර්මය අවබෝධ කරවූහ.
221. එ් මහා නන්දන වනය, එ් ශ්‍රේෂ්ඨ වූ තෙරුන් වහන්සේ විසින් සම්බුද්ධ ශාසනය බැබළවූ ස්ථානය ය යන අර්ථයෙන් ‘ජෝතිවනය’ යැයි කියනු ලබන්නේ ය.
222. රජ තෙමේ ගිනි හුළෙන් මැටි වියළවා ස්ථවිරයන් වහන්සේ වෙනුවෙන් ඉතා ඉක්මනින් තිස්සාරාමයේ පිරිවෙනක් කරවූයේ ය.
223. එ් ප‍්‍රාසාදය කාලවර්ණ වූයේ ය. එ් නිසා එ් පිරිවෙන ‘කාලප‍්‍රාසාද පිරිවෙන’ යන නම ලැබුවේ ය.
224. අනතුරුව මහා බෝධිඝරයක් ද ලෝවාමහාප‍්‍රාසාදය ද (දන් සීට්ටු බෙදා දෙන) ලහ බත් ගෙයක් ද භෝජන ශාලාවක් ද මැනැවින් කරවූයේ ය.
225. බොහෝ පිරිවෙන් ද යහපත් පොකුණු ද රාත‍්‍රි ස්ථාන ද දිවා ස්ථාන ද කරවූයේ ය.
226. සියලූ පව් සෝදා හැරි උන් වහන්සේ ස්නානය කරන පොකුණු තෙර කළ පිරිවෙන ‘සුනභාත පිරිවෙන’ යැයි කියනු ලැබේ.
227. ලක්දිවට ආලෝකයක් වූ එ් උතුම් ස්ථවිරයන් වහන්සේ සක්මන් කළ තැන කරන ලද පිරිවෙන ‘දීඝචංකමණ පිරිවෙන’ යැයි කියනු ලැබේ.
228. උන් වහන්සේ යම් තැනෙක අග‍්‍ර ඵල සමාපත්තියට සම වැදුනු සේක් ද (එහි කළ පිරිවෙන) එනිසාවෙන් ‘ඵලග්ග පිරිවෙන’ නම් වේ.
229. ස්ථවිරයන් වහන්සේ යම් තැනක හේත්තු වී වැඩ හිඳි සේක් ද එතැන කළ පිරිවෙන ‘ථේරපස්සය පිරිවෙන’ නමින් හඳුන්වනු ලැබේ.
230. යම් ස්ථානයක බොහෝ වූ දේව සමූහයා උන් වහන්සේ වෙත එළඹ උපස්ථාන කළෝ ද (එහි කළ පිරිවෙන) එනිසා ම ‘මරුගණ පිරිවෙන’ යැයි කියනු ලැබේ.
231. රජුගේ සේනාධිපති වූ දික්සඳ ඇමති තෙමේ මහා ටැම් අටකින් යුතු කුඩා ප‍්‍රාසාදයක් කරවී ය.
232. එය එකී විහාරයේ ‘දික්සඳ සෙනෙවියා පිරිවෙන’ යැයි කියනු ලැබේ. එ් පිරිවෙන ප‍්‍රධාන වේ.
233. දේවානම් පිය නම් වචනයෙන් පවසන ලද නම් ඇත්තා වූ එ් රජ තෙමේ, නිර්මල බුද්ධි ඇති මහා මහින්ද ස්ථවිරයන් කරා එළඹ ලංකාද්වීපයේ මේ පළමු මහා විහාරය මෙහි කරවූයේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ මහාවිහාරය පිළිගැනීම නම් වූ පහළොස්වන පරිච්ඡේදය නිම විය.

 සෑගිරි වෙහෙර පිළිගැනීම

01. පිණ්ඩපාතය පිණිස නගරයේ හැසිරීමෙන් ජනයාට සංග‍්‍රහ කොට, රජ ගෙයි දන් වළඳමින් රජුට ද සංග‍්‍රහ කොට
02. එ් ස්ථවිරයන් වහන්සේ දින විසි හයක් මහමෙව්නා උයනේ වැඩවිසූ සේක. ඇසළ මස පුරපස දහතුන්වන දිනයේ දී
03. මහා ප‍්‍රඥ ඇති තෙරුන් වහන්සේ රජ ගෙයි හිඳ දන් වළඳා මහ රජුට මහාප‍්‍රමාද සූත‍්‍රය දේශනා කොට ඉන් අනතුරුව
04. එ් සෑගිරියේ විහාරයක් කරවනු කැමති වෙමින් නැගෙනහිර දෙසින් නික්ම සෑගිරියට වැඩි සේක.
05. ස්ථවිරයන් වහන්සේ එහි වැඩම කළ බව අසා රථයකට නැගුනු රජ තෙමේ දේවීන් දෙදෙනෙකු ද සමඟ තෙරුන් වහන්සේගේ පියවර පසුපස ගියේ ය.
06. ස්ථවිරයන් වහන්සේ නාගචතුෂ්ක නම් ස්ථානයේ වූ විලෙන් ස්නානය කොට පර්වතයට නගිනු පිණිස පිළිවෙළින් වැඩ සිටියෝ ය.
07. රජ තෙමේ රථයෙන් බැස සියලූ ස්ථවිරයන් වහන්සේලාට වන්දනා කළේ ය. ‘‘රජතුමනි, උණුසුමෙන් කලන්ත වෙමින් ඔබ කුමකට ආවේ ද?” (ස්ථවිරයන් වහන්සේ විචාළහ.)
08. ‘‘ඔබ වහන්සේලාගේ ගමන සැක කොට ආවෙමි.” යි කී කල්හි ‘‘මෙහි වස් වාසය කරනු පිණිස පැමිණියෙමු.” යි වදාළහ.
09. විනයෙහි දක්ෂ වූ ස්ථවිරයන් වහන්සේ විනය පිටකයේ වස්සුපන්නායික නම් කොටස වදාළ සේක. රජු එය අසන කල්හි රජුගේ බෑණනු වූ,
10. මහා අරිට්ඨ නම් මහ ඇමතිවරයා ද එහි විය. හෙතෙමේ කනිටු සොහොයුරන් පනස්පස් දෙනෙකු සමඟ යාඥ කොට
11. ස්ථවිරයන් වහන්සේ සමීපයේ එදින ම පැවිදි වූහ. මහා ප‍්‍රඥ ඇති එ් සියලූ දෙනා එදින ම අරහත්වයට පත් වූහ.
12. එදින ම කණ්ඨක නම් චෛත්‍යය අවට ලෙන් හැට අටක ඉදිකිරීම් කර්මාන්තයන් ආරම්භ කරවා,
13. රජ තෙමේ නගරයට ගියේ ය. අනුකම්පා ඇති එ් ස්ථවිරයෝ උදය කාලයේ පිණ්ඩපාතය පිණිස නගරයට පිවිසෙමින් එහි ම වෙසෙන සේක.
14. ඇසළ මස පුන් පොහෝ දිනයේ ලෙන් කර්මාන්තයන් අවසන් වූ කල්හි රජ තෙමේ ගොස් තෙරුන් වහන්සේලාට විහාර දක්ෂිණාව දුන්නේ ය.
15. ස්ථවිරයන් වහන්සේ එ් විහාරයට ද තිස් දෙකක් සීමා මාලකයන්ට ද එදවස සීමා බැඳ
16. පැවිද්ද අපේක්ෂා කරන්නවුන් වෙනුවෙන් කළ තුම්බුරු මාලකය නම් සීමාවේ දී එ් සියල්ලන්ගේ උපසම්පදාව පළමු කොට ම සිදු කළ සේක.
17. එ් හැට දෙකක් වූ රහතන් වහන්සේලා සියලූ දෙනා සෑගිරියේ වස් වාසය කරමින් රජු හට සංග‍්‍රහ කළ සේක.
18. දෙව් මිනිස් සමූහයා, එ් ගුණයෙන් ප‍්‍රකට වූ කීර්තිමත් වූ සඟ සමූහයා පුද දෙමින්, උන් වහන්සේලා වෙත එළඹ විපුල වූ පින්ඵල රැුස්කර ගත්හ.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ සෑගිරි විහාරය පිළිගැනීම නම් වූ දහසයවන පරිච්ඡේදය නිම විය.