දේවානම්පියතිස්ස රාජාභිෂේකය

01. ඒ රජුගේ ඇවෑමෙන් එම රජුට දා වූ, ස්වර්ණපාලි මෙහෙසියගේ පුත් වූ මුටසීව යැයි ප‍්‍රසිද්ධ කුමරු නිරවුල් වූ රාජ්‍යයට පැමිණියේ ය.
02. ඒ රජතෙමේ පලතුරු හා මල් ගසින් යුතු වූ ‘මහා මේඝ වනෝද්‍යානය’ නම් වූ අනූන ගුණයෙන් යුතු යහපත් උයනක් කරවී ය.
03. උයනට භූමිය ලකුණු කළ දිනයේ අකල් මහ වැස්සක් ඇදහැළුන බැවින් ඒ උයන ‘මහා මේඝවනය’ නම් විය.
04. ලංකා පොළෝ තලයේ මුහුණ බඳු වූ ඒ යහපත් අනුරාධපුර පුරවරයෙහි මුටසීව රජ තෙමේ සැට වසරක් රජකම් කළේ ය.
05. ඒ රජු හට ඔවුනොවුන් කෙරෙහි හිතවත් වූ පුතුන් දස දෙනෙක් ද කුලයට සුදුසු වූ කීකරු වූ දූවරුන් දෙදෙනෙක් ද වූහ.
06. දේවානම් පියතිස්ස නමින් ප‍්‍රසිද්ධ වූ දෙවැනි පුත‍්‍ර තෙමේ ඒ සියලූ සහෝදරයන් අතරින් පිනෙන් ද ප‍්‍රඥවෙන් ද ගුණයෙන් ද අග‍්‍ර වූයේ ය.
07. පිය රජුගේ ඇවෑමෙන් ඒ දෙවන පෑතිස් කුමර තෙමේ රජ විය. ඒ රජුගේ අභිෂේකය සමඟ ම බොහෝ අරුම පුදුම දෑ සිදු විය.
08. සකල ලංකාද්වීපයේ පොළෝ තුළ පිහිටි නිධානයෝ ද මාණික්‍යයෝ ද උඩට විත් පොළෝ තලයට නැංගාහ.
09. ලක්දිව් සමීපයේ බිඳී ගිය නැව්වල තිබුණා වූ ද ඒ සාගරයේ උපන්නා වූ ද මාණික්‍යයෝ ගොඩබිමට ආහ.
10. ජාත පර්වත පාමුල, ප‍්‍රමාණයෙන් රිය කෙවිටි සම වූ උණ යෂ්ටි තුනක් උපන්හ.
11. ඉන් එකක් ‘ලතා යෂ්ටිය’ නම් විය. එහි ලතාවෝ ස්වර්ණ වර්ණ ව බබළමින්, මනෝරම්‍ය ව දිස්වෙති.
12. එකක් ‘කුසුම් යෂ්ටිය’ නම් විය. එහි නොයෙකුත් වර්ණයෙන් යුතු ව ප‍්‍රකට වන්නා වූ නොයෙකුත් පුෂ්පයෝ දිස්වෙති.
13. එකක් ‘කුරුලූ යෂ්ටිය’ නම් විය. එහි බොහෝ වූ නා නා වර්ණ ඇති පක්ෂීහු, පණ පිටින් සිටින ලෙසකින් දිස්වෙති.
14. හය මුතු, ගජ මුතු, රථ මුතු, ආමලකී මුතු, වළලූ මුතු, අංගුලිවෙඨක මුතු, කකුධඵල මුතු, ප‍්‍රකෘති මුතු යන අට ජාතියක් වූ මුතු
15. සමුදුරෙන් නැඟී වෙරළ තීරයේ වැටියක් සේ පිහිටියහ. මේ සියල්ල දේවානම් පියතිස්ස රජුගේ පින් පල දීම් ය.
16. ඉඳුනිල් මැණික්, වෙරළු මැණික්, පද්මරාග මැණික් යන පොළවෙන් නැඟී ගත් ඒ මාණික්‍යයන් ද පෙරකී මුතු ද ඒ යෂ්ටීන් ද
17. (අභිෂේකයෙන්) සත්දවසක් ඇතුළත ම රජු වෙත පැමිණ වූහ. ඒ දැක සතුටු වූ රජ තෙමේ මෙසේ සිතන්නේ ය.
18. ‘මේ අනර්ඝ වූ මාණික්‍යයන් ලැබීමට මාගේ මිතුරු ධර්මාශෝක රජ තෙමේ සුදුසුවන්නේ ය. අනෙකෙකු සුදුසු නො වන්නේ ය. එනිසා මේ මාණික්‍යයන් ඔහුට දෙන්නෙමි.’
19. දේවානම් පියතිස්ස, ධර්මාශෝක යන මේ රජවරුන් දෙදෙනා බොහෝ කලක සිට නො දුටු මිතුරන් ය.
20. ඒ රජ තෙමේ බෑණනුවන් වූ මහා අරිට්ඨ නම් ඇමතිවරයා ප‍්‍රමුඛකොට ගත් බ‍්‍රාහ්මණයා, ඇමතිවරයා, ගණින්නා යන ඒ සතර දෙනා
21. බල සේනා පිරිවරන ලද දූතයන් කොට, අනර්ඝවූ රත්නයන් අත පත් කළේ ය.
22. ඒ මාණික්‍යයන් තුන් ජාතියත්, රිය කෙවිටි වන් ඒ යෂ්ටි තුනත්, දකුණට කරකැවුණු සංඛයත්, මුතු ජාති අටත් වූ ඒ රත්නයන් ගෙන
23. දඹකොළ පටුනෙන් නැව් නැඟුණු ඔවුහු සත් දිනකින් සැපසේ තොටුපළට පැමිණියහ. එයින් සත් දිනකින්
24. පැළලූප් නුවරට පැමිණ ධර්මාශෝක රජු හට පඬුරු දුන්හ. ඒ රජ තෙමේ ඒවා දැක සතුටට පත් විය.
25. ‘මෙවන් රත්නයන් මට නැත්තේ ය’ සිතා සතුටු වූ රජ තෙමේ අරිට්ඨයන් හට සෙනෙවි තනතුර ද
26. බ‍්‍රාහ්මණයා හට පුරෝහිත තනතුර ද ඒ ඇමතිවරයා හට දණ්ඩ නායක තනතුර ද ගණින්නා හට සිටු තනතුර ද දුන්නේ ය.
27. ඔවුන්ට බොහෝ භෝගයන් ද වාසය පිණිස ගෘහයන් ද දී පෙරළා යැවිය යුතු පඬුරු බලන්නට මහාමාත්‍යයන් හා සාකච්ඡා කළෝය.
28. වල්විදුනාව, මඟුල් කඩුව, සේසත, මිරිවැඩි සඟල, ඔටුන්න, හවඩිය, පැන් කෙණ්ඩිය, රන්වන් සඳුන්,
29. විමානයකින් කෝටියක් වටිනා වස්ත‍්‍රයක්, මහාර්ඝ වූ අත්පිස්නාව, නාගයන් විසින් ගෙන එන ලද අඳුන්, අරුණුවන් මැටි,
30. අනෝතත්ත විලෙන් ගෙන ආ ජලය, ගංගා ජලය, මිහිරි හඬ ඇති හක්ගෙඩිය ද වැඩුණු මානවකයෙක් ද කුමරියක් ද
31. රන්බඳුන්, මහාර්ඝ වූ දෝලාව, අරළු – නෙල්ලි යන මහාර්ඝ වූ අමා ඔසු,
32. ගිරවුන් විසින් ගෙන එන ලද අමුණු සැටදහසක ඇල් විශේෂයෙන් පිරිවරන ලද අභිෂේක උපකරණ දී,
33. සුදුසු කාලයේ දී මිතුරාට පඬුරුත්, මතු කියැවෙන දහම් පඬුරුත් දී ඒ රජ තෙමේ දූතයන් ආපසු එව්වේ ය.
34. ‘මම බුදුන්, දහම්, සඟුන් සරණ ගියෙමි. ශාක්‍ය පුත‍්‍රයන් වහන්සේගේ ශාසනයේ උපාසක බවට පත් වූයෙමි.
35. නරෝත්තමය, ඔබ ද සිත පහදවා ගෙන මේ තෙරුවන් සරණ යන්න’
36. ‘‘නැවතත් මාගේ යහළුවා අභිෂේක කරව” යැයි කියා යහළු රජ තෙමේ ඒ ඇමතිවරුනට සත්කාර කොට එව්වේ ය.
37. ඉතා හොඳින් සත්කාර කරන ලද ඒ ඇමතිවරු පස් මසක් එහි විසූහ. ඔවුහු වෙසක් මස පුර පෑළවිය දා ආපසු එන්නට පිටත් වුණෝ ය.
38. තාම‍්‍රලිප්තයෙන් නැව් නැඟී දඹකොළ පටුනෙන් බැසගත් ඔවුහු දොළොස්වක දා මෙහි පැමිණ රජු බැහැ දුටුවෝ ය.
39. දූතයෝ ඒ පඬුරු ලංකා ද්වීපයේ රජු හට දුන්නෝ ය. ලංකාපති තෙමේ ඔවුන්ට ඉමහත් සත්කාර කළේ ය.
40. ස්වාමියා කෙරෙහි ඇදහීමෙන් යුතු වූ ඒ ඇමතියෝ විසින් උඳුවප් මස පුරපෑළවිය දිනයේ අභිෂේක කරන ලද ලංකේන්ද්‍ර තෙමේ,
41. ධර්මාශෝක රජුගේ වචනය කියා, ස්වාමියාගේ අභිවෘද්ධිය ගැන කැමති ව, ලංකාවාසීන්ගේ හිත සුවෙහි ඇළුණු සිත් ඇත්තේ නැවත ද අභිෂේක කළෝ ය.
42. ‘දෙවියන්ට ප‍්‍රිය’ යන අන්වර්ථ නම් ලැබූ, ජනයා හට සැප සලසන්නා වූ එ් නරේන්ද්‍ර තෙමේ වෙසක් මස පුන් පොහෝ දා ලක්දිව ප‍්‍රධාන උත්සවයක දී මෙසේ තමන් නැවත වරක් අභිෂේක කළෝය.

මෙතෙකින් හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘දේවානම් පියතිස්ස රාජාභිෂේකය’ නම් වූ එකොළොස් වැනි පරිච්ඡේදය නිම විය.