30 වන පරිච්ඡේදය (ඉතිරි කොටස)

(මහා සෑයේ) ධාතු ගර්භය සැකසීම

77. බෝධි වෘක්ෂයට හිසලා නොයෙක් නොයෙක් මැණික්වලින් යුතු වූ කෝටියක් වස්තු අගනා මහා සයනය පනවන ලද්දේ ය.

78. ඒ ඒ තැන්වල සුදුසු වූ පරිදි සත් සති ස්ථාන ද බ්‍රහ්මාරාධනාව ද කරවී ය.

79. දම්සක් පැවතුම, යස ස්ථවිරයන්ගේ පැවිද්ද, භද්දවග්ගිය කුමාරවරුන්ගේ පැවිද්ද, ජටිලවරු දමනය,

80. බිම්බිසාර රජුගේ පැමිණීම, රාජගෘහයට පිවිසීම, වේළුවන අරම පිළිගැනීම, එසේ ම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා,

81. කිඹුල්වත් ගමන, එසේ ම රුවන් සක්මන, රාහුල හා නන්ද (කුමාරවරුන්ගේ) පැවිද්ද, ජේතවනාරාමය පිළිගැනීම,

82. (ගණ්ඩ) අඹ මූලයේ (යමා මහ) පෙළහර පෑම, තව්තිසා දෙව්ලොව (දහම්) දෙසුම, දේවාරෝහණ පෙළහර, ස්ථවිර ප්‍රශ්න සමාගමය,

83. මහා සමය සූත්‍ර දේශනාව, රාහුලෝවාද සූත්‍ර දේශනාව, මහා මංගල සූත්‍ර දේශනාව, ධනපාල (ඇතු හා) සමාගමය,

84. ආලවක දමනය, අංගුලිමාල දමනය හා අපලාල දමනය, පාරායණ සමාගමය, එසේ ම ආයු සංස්කාරය අත්හැරීම,

85. සූකර මද්දවය පිළිගැනීම, රන් පැහැ වස්ත්‍ර යුගළ පිළිගැනීම, පෑදි දිය වැළඳීම, පිරිනිවන් පෑම,

86. දෙව් මිනිසුන්ගේ විලාපය, (මහා කාශ්‍යප) තෙරණුවන් විසින් සිරිපා වැඳීම, දර සෑයෙහි දැව ගිනි නිවීම, එහි සත්කාර,

87. ද්‍රෝණ බමුණා ධාතු බෙදා දීම, බොහෝ වූ ජාතක කථා යන මෙපමණ දේවල් මනා උප්පත්ති ඇති (රජ) තෙමේ ප්‍රසාදජනක ලෙස කරවන ලද්දේ ය.

88. වෙස්සන්තර ජාතක පුවත ද බෝමැඩ සිට කුසිනාරාව තෙක් එසේ ම විස්තර වශයෙන් කරවන ලද්දේ ය.

89. සතර දිශාවෙන් ඒ සතරවරම් මහරජවරු වූහ. තිස් තුනක් දිව්‍ය පුත්වරු ය. දෙතිසක් දිව්‍ය කුමරියන් ය.

90. විසි අටක් යක්ෂ සෙන්පතිවරු ය. ඊට එපිටින් ඇඳිලි බැඳ ගත් දේවතාවෝ ය. ඉන් පසු මලින් පිරුණු පුන් කලස් ය.

91. නැටුම් රඟන දේවතාවෝ ය. තූර්ය වාදනය කරන දේවතාවෝ ය. කැඩපත් ඔසවා ගත් දේවතාවෝ ය. එසේ ම මල් අතු දරා ගත් දේවතාවෝ ය.

92. පියුම් ගත් දේවතාවෝ ය. නොයෙක් පරිද්දෙන් අන්‍ය වූ දේවතාවෝ ය. රනින් එබවූ දුනු පෙලින් අනතුරුව දම්සක් පෙළ ය.

93. කඩු අතින් ගත් දේවතාවෝ ය. එහි ම පාත්‍ර අතින් ගත් දේවතාවෝ ය. ඔවුන්ගේ හිස් සුවඳ තෙලින් පුරවන ලද්දේ පස් රියන් වූ

94. දුහුල් පට පහන් වැටි සෑම කල්හි ම අවුළුවන ලද්දේ ය. ඵලකයේ සතර කොණ්වල එකෙක මහා මාණික්‍ය රත්නය ය,

95. රන් මැණික් ය, මුතු ය, වීදුරු ය යන මෙයින් එකී එකී ගොඩක් බැගින් ප්‍රභාෂ්වර සතර ගොඩක් සතර කොණ කරවන ලද්දේ ය.

96. දිදුලන විදුලි අලවන ලද ධාතු ගර්භය මේඝවර්ණ පාෂාණ බිත්තියෙන් ම හෙබියේ ය.

97. මේ මනරම් ධාතු ගර්භයේ සියලු රූ රජ තෙමේ ඝන වූ, තැලූ රනින් කරවන ලද්දේ ය.

98. ෂඞ් අභිඥ්ඥාලාභී, මහා ප්‍රඥා ඇති ඉන්දගුත්ත මහා ස්ථවිරයන් වහන්සේ කර්මාධිෂ්ඨායක වූයේ මේ සියල්ල මෙහි නිධන් කළ සේක.

99. මේ සියල්ල ම රජුගේ ඍද්ධියෙන් ද දෙවිවරුන්ගේ ඍද්ධියෙන් ද ආර්යයන් වහන්සේලාගේ ඍද්ධියෙන් ද බාධා රහිතව කරවන ලද්දේ ය.

100.තමන්ගේ හිතසුව පතන්නා වූ තැනැත්තේ විසින් අවශ්‍යයෙන් ම පිදිය යුතු ලෝකෝත්තර වූ, (අවිද්‍යාදී) කෙලෙස් රහිත වූ ජීවමාන සම්බුදුරජුන්ව ද උන්වහන්සේ ආදාහනය කළ තැන වූ ධාතූන් ද පුදා ලබන පින් සම වන්නේ ය. ඒ බැව් දැන ශ්‍රද්ධා ගුණයෙන් සැරසුන නුවණැත්තේ මේ සම්බුද්ධ ධාතූන්ට ද දිවමන් බුදුරජුන්ට සේ ම මනා කොට පූජා කරවන්නේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘(මහා සෑයේ) ධාතු ගර්භය සැකසීම’ නම් වූ තිස්වන පරිච්ඡේදය නිම විය.)

31 වන පරිච්ඡේදය

ධාතු නිදන් කරවීම

01. රජ තෙමේ ධාතු ගර්භයේ කටයුතු නිමවා සංඝයා වහන්සේලා රැස් කරවා මේ වචනය සැල කළේ ය.

02. “ස්වාමීනි, ධාතු ගර්භයේ කළ යුතු කටයුතු මා විසින් නිම කරන ලද්දේ ය. හෙට දවසේ ධාතූන් වහන්සේලා නිදන් කරන්නෙමු.”

03. රජ තෙමේ මෙසේ කියා නුවරට පිවිසුනේ ය. ඉන් පසු භික්ෂු සංඝයා වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන පැමිණීම කළ හැකි වූ සංඝයා වහන්සේනමක් සිතා,

04. පූජා පිරිවෙනවාසී, ෂඞ් අභිඥාලාභී සෝණුත්තර නම් වූ ස්වාමීන් වහන්සේ ව ධාතුන් වහන්සේලා ගෙන ඒමේ කටයුත්තේ යෙදවූහ.

05. සර්වඥයන් වහන්සේ ලෝ වැඩ පිණිස චාරිකාවේ සැරිසරා වඩින කල්හි ගංගා නදී තෙර නන්දුත්තර නම් වූ තරුණයෙක් තෙමේ

06. සංඝයා සහිත වූ සම්බුදුරජාණන් වහන්සේ ව (දන්) පවරා වැළඳවූයේ ය. ශාස්තෘන් වහන්සේ ප්‍රයාග නම් තොටෙහි දී සංඝයා වහන්සේලා සහිතව නැව් නැගි සේක.

07. එහි (වැඩ සිටි) ෂඞ් අභිඥාලාභී, මහත් ඍද්ධි ඇති භද්දජී නම් ස්ථවිරයන් වහන්සේ (ගඟ මැද) දිය පැටලෙන තැනක් දැක භික්ෂු සංඝයාට මේ වචනය වදාළහ.

08. “මහා පනාද නම් (රජු) වූ මා විසින් වාසය කෙරෙන ලද පස්විසි යොදුන් මහා ප්‍රාසාදය මෙහි වැටුණේ ය.

09. ගංගාවේ ජලය ඒ ප්‍රාසාදයට පැමිණ මෙහි හැකිලෙන්නේ ය.” භික්ෂු සංඝයා එය නො ඇදහූහ. ශාස්තෘන් වහන්සේට එය සැල කළහ.

10. ශාස්තෘන් වහන්සේ “භික්ෂූන්ගේ සැකය දුරු කරන්න.” යැයි වදාළ සේක. ඉන් පසු (ඒ ස්ථවිරයන් වහන්සේ) බඹ ලොව වුව ද වසඟ කරවිය හැකි බව අඟවනු පිණිස

11. ඍද්ධියෙන් අහසට නැගී තල් ගස් සතක් සමාන තැන්හි වැඩ සිට දිගු කරන ලද හස්තයේ බඹලොව සිළුමිණි සෑය තබාගෙන

12. මෙහි ගෙන අවුත් ජනයාට දක්වා එය නැවත තිබුණ තැන තබා, ඍද්ධියෙන් ගංගාවට පැමිණි සේක.

13. (උන්වහන්සේ) පයේ මාපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයේ කොත් කැරැල්ල අල්ලාගෙන ඔසවා එය ජනයාට දක්වා එහි ම බහාලූ සේක.

14. නන්දුත්තර නම් මාණවක තෙම ඒ ප්‍රාතිහාර්යය දැක, ‘මම අනුන්ට අයත් වූ ධාතු ගෙන එන්නට සමත් වෙමි.’ යි

15. ප්‍රාර්ථනා කළේ ය. එහෙයින් සංඝයා වහන්සේ මේ සෝණුත්තර නම් වූ යතිවරයාණෝ දහසය අවුරුදු පමණක් වූවත් ඒ කටයුත්තේ යෙදවූ සේක.

16. “කොතැනින් ධාතුන් වහන්සේලා ගෙන එන්න ද?” යැයි ඒ (සෝණුත්තර) භික්ෂු තෙමේ සංඝයා වහන්සේලාගෙන් විමසුවේ ය. සංඝයා වහන්සේ ඒ ස්ථවිරයන් වහන්සේට ඒ ධාතු (පිළිබඳ) මෙසේ වදාළ සේක.

17. “පිරිනිවන් මංචකයේ වැඩ සිටියා වූ තිලෝක නායකයාණන් වහන්සේ ධාතුන් වහන්සේලා හේතු කොටගෙන ලෝ වැඩ කරන්නට සක් දෙවිඳුට මෙසේ වදාළ සේක.

18. ‘දේවේන්ද්‍රය, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ අට අතුරෙන් එක් ද්‍රෝණයක් රාම ග්‍රාමයේ කෝලිය රජවරුන් විසින් සත්කාර කරන ලද්දේ,

19. එයින් නා ලොවට ගෙන යනු ලබන්නේ ය. එහි දී නාගයන් විසින් සත්කාර කරන ලද්දේ එයින් ලක්දිව මහා සෑයේ නිධානය පිණිස වන්නේ ය.’

20. දූරදර්ශී වූ මහා කාශ්‍යප මහ ස්ථවිරයන් වහන්සේ ධර්මාශෝක රජතුමා විසින් ධාතු පතුරුවා හරින කාරණයෙන්

21. රජගහනුවර සමීපයේ අජාසත් රජු ලවා ධාතු මනා කොට රැස් කොට නිදන් කරවන සේක.

22. ද්‍රෝණ සතක් ම වූ ධාතුන් වහන්සේලා මෙසේ ගෙන එන ලද්දේ ය. ශාස්තෘන් වහන්සේගේ සිත දත් හෙයින් රාම ග්‍රාමයේ (ධාතු) ද්‍රෝණය නො ගන්නා ලදහ.

23. ධර්මාශෝක මහ රජ තෙමේ ද ඒ (රජගහ නුවර) මහා ධාතු නිධානය දැක අටවන ද්‍රෝණය ද ගෙන එන්නට නියෝග කළේ ය.

24. එහි සිටි රහතන් වහන්සේලා, ‘සර්වඥයන් වහන්සේ විසින් එය මහාසෑයේ නිධානය පිණිස නියම කරන ලද්දේ ය’ යැයි ධර්මාශෝක රජු වළක්වන ලද්දාහ.

25. රාම ග්‍රාමයේ වූ ථූපය වනාහී ගං ඉවුරේ කරවන ලද්දේ ය. එහෙයින් (එය) ගංගාවේ මහා ජල ප්‍රවාහයෙන් බිඳුනේ ය. ඒ ධාතු කරඬුව

26. මහා සමදුරට පිවිස එහි ජලය දෙබෑ කොට හුන් කල්හි නා නා විධ මැණික් මතුපිට රශ්මියෙන් ගැවසී ගනිමින් සිටියේ ය.

27. නාගයෝ ඒ කරඬුව දැක, මංජරික නම් නාග භවනයට ගොස් කාල නම් නා රජු හට (එපවත්) දැන්වූහ.

28. ඒ නා රජ තෙමේ කෝටි දස දහසක් වූ නාගයන් සමග එහි ගොස් ඒ ධාතුන් වහන්සේලා අභිවන්දනය කොට ස්වකීය භවනයට පමුණුවාලූයේ ය.

29. සම්පූර්ණයෙන් ම මාණික්‍යමය වූ ථූපයක් ද ඒ මත්තෙහි ථූපාඝරයක් ද නිර්මාණය කොට සාදරයෙන් යුතුව නා පිරිස සමග සෑම කල්හි ම (ඒ නා රජ තෙමේ ධාතුන් වහන්සේලා) පුදනු ලබන්නේ ය.

30. එහි ආරක්ෂාව ඉමහත් ය. (එහි) ගොස් ධාතුන් වහන්සේලා ගෙන එනු මැනැවි. හෙට දවසේ රජ තෙමේ මෙහි ධාතු නිධානය කරවන්නේ ය.”

31. ඒ යතිවරයාණන් වහන්සේ මෙසේ වදාරණ ලද සංඝයා වහන්සේලාගේ ඒ වචනය අසා “මැනැවි”යි කියා (එහි) යා යුතු කාලය බලමින් තමන් වහන්සේගේ පිරිවෙණට වැඩම කළ සේක.

32. රජ තෙමේ, “හෙට ධාතු නිධානය වන්නේ ය.” කියා නුවර බෙර හැසිරවූයේ ය. සියලු කටයුතු විධානය කොට,

33. ඒ මුළු මහත් නගරය ද මෙහි පැමිණෙන්නා වූ මාර්ගය ද සකස් කොට සැරසුවේ ය. නුවර වැසියෝ ද (එය) අලංකාර කරවන ලද්දෝ ය.

34. සක් දෙව් රජ තෙමේ ද විස්කම් දෙව් පුතු කැඳවා මුළු ලක්දිව ම නොයෙක් ආකාරයෙන් සැරසුවේ ය.

35. රජ තෙමේ නුවර සතර fදාරටුවල මහජනයාගේ පරිභෝජනය පිණිස නොයෙක් ආකාරයෙන් බත් (ආහාර) හා වස්ත්‍ර තැබ්බවී ය.

36. රාජ කෘත්‍යයන්හි පණ්ඩිත වූ රජ තෙමේ පසළොස්වක පොහෝ දින සවස යහපත් සිත් ඇත්තේ සියලු අලංකාරයන්ගෙන් සැරසුනේ ය.

37. සියලු නාටිකාංගණාවන් විසින් ද ආයුධ සහිත වූ යෝධයන් විසින් ද මහත් වූ සේනා සමූහයා විසින් ද ඇත්, අස්, රථ සේනාවන් විසින් ද

38. නා නා ප්‍රකාර ආභරණයෙන් ද සියලු දෙසින් පිරිවරන ලද්දේ (ඒ රජ තෙමේ) යහපත් වූ ධවල සෛන්ධවයන් අට දෙනෙකු යොදන ලද, යහපත් වූ රථයට නැගී,

39. සරසන ලද්දා වූ යහපත් වූ කඩොල් ඇතු පෙරටු කොටගෙන රන් කරඬුවක් ද ගෙන සේසත යට සිටියේ ය.

40. අටතුරා දහසක් යහපත් පුරුෂයෝ ද මනා වූ පුන්කලස් සහ ආභරණ ඇත්තා වූ යහපත් ස්ත්‍රීහු ද ඒ රථය පිරිවැරූහ.

41. ඒ ඒ පමණ වූ නා නා විධ වූ මල් පොකුරු ද එසේ ම දඬුවැට පහන් ද දරා ගත් ස්ත්‍රීහු ද

42. නා නා ධජයන් ගෙන අටතුරා දහසක් වූ, මනා කොට සරසන ලද්දා වූ දරුවෝ ද (රථය) පිරිවැරූහ.

43. ඒ ඒ තැන නා නා විධ තූර්ය ශබ්දයෙන් ද මිහිතලය බිඳ හෙළන්නාක් වැනි වූ හස්ති, අශ්ව, රථ ශබ්දයෙන් ද

44. ශෝභමාන ව මහමෙව්නාව උයනට යන්නා වූ මහා යසස් ඇති ඒ (රජ) තෙමේ, නඳුන් උයනට යන්නා වූ (සක්) දෙව් රජුන් සේ ම බැබළුණේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ධාතු නිධානය නම් වූ තිස්එක් වන පරිච්ඡේදයේ කොටසකි.)