මහාවිහාරය පිළිගැනීම

01. එහි රැස් වූ පිරිසට ඇත්හළ ද ඉඩකඩ මදි වූයෙන් (නුවර) දකුණු දොරින් පිටත වූ නන්දන වනය නම් සිත්කලූ
02. රාජ උද්‍යානයේ, ඝන රුක් සෙවණේ නිල් පැහැ ළා තණවලින් වැසීගත් සිසිල් පෙදෙසේ ඒ ආදර සහිත මනුෂ්‍යයෝ තෙරුන් වහන්සේලාට අසුන් පැනවූහ.
03. දකුණු දොරින් නික්මුණු ස්ථවිරයන් වහන්සේ එහි වැඩ සිටි සේක. බොහෝ කුලවත් වූ බොහෝ ස්තී‍්‍රන් ද එහි පැමිණ,
04. උද්‍යානය පුරවාලමින් තෙරුන් වහන්සේට නුදුරුව හිඳගත්තෝ ය. තෙරුන් වහන්සේ ඔවුන් හට බාලපණ්ඩිත සූත‍්‍රය දේශනා කළ සේක.
05. ඔවුන් අතරෙන් ස්ත‍්‍රීන් දහසක් පළමු මාර්ගඵලයට පත්විය. මේ ආකාරයෙන් (නන්දන නම්) එම උයනේ ම සවස් කාලය ගෙවී ගියේ ය.
06. අනතුරුව තෙරුන් වහන්සේ ‘‘පර්වතයට යන්නෙමු” යැයි දැන්වූ සේක. එ් බව මහරජුට දැන්වූයෙන් හෙතෙමේ ඉක්මනින් එතැනට පැමිණියේ ය.
07. එහි පැමිණ තෙරුන් වහන්සේට මෙසේ කීවේ ය. ‘‘දැන් සවස් වී ඇත. පර්වතය ද දුර ය. මේ නන්දන උයනෙහි ම වාසය කිරීම පහසු ය.”
08. (මේ උයන) නගරයට ඉතා ආසන්න බැවින් ‘‘නුසුදුසු ය” යැයි තෙරුන් වහන්සේ වදාළ සේක. ‘‘මහාමේඝ වන උයන ඉතා දුර හෝ ඉතා ළඟ නො වේ,
09. සිත්කලූ ය, පැන් ද සෙවණ ද ඇත්තේ ය… එහි වාසය ම රුචි වේවා! තෙරුන් වහන්ස, නවතිනු මැනව.” යැයි (රජු) කී කල්හි, තෙරුන් වහන්සේ එහි නැවතුණු සේක.
10. ඒ නැවතුණ ස්ථානයේ, කොළොං ඔය සමීපයේ කරවන ලද සෑය නිවන්තක චේතිය යැයි කියනු ලැබේ.
11. එ් නන්දන උයනේ දකුණු දෙසින් (නික්මුණු රජ තෙමේ) තෙරුන් වහන්සේලාව මහාමේඝ වන උයනේ නැගෙනහිර දොරටුවට පැමිණවූයේ ය.
12. එහි රම්‍ය වූ රාජ ගෘහයේ යහපත් වූ ඇඳ පුටු මැනැවින් අතුරුවා ‘‘මෙහි සුවසේ වසනු මැනැවි” යැයි පවසා,
13. රජ තෙමේ තෙරුන් වහන්සේට වන්දනා කොට ඇමතිවරුන් විසින් පිරිවරන ලද්දේ නගරයට ප‍්‍රවිෂ්ට වූයේ ය. ඒ ස්ථවිරයන් වහන්සේලා රාත‍්‍රිය එහි වාසය කළ සේක.
14. රජ තෙමේ උදෑසනින් ම මල් ගෙන්වා ගෙන, තෙරුන් වහන්සේලා වෙත එළඹ වන්දනා කොට මලින් ද පුදා,
15. ‘‘ඔබ වහන්සේලා සුවසේ වාසය කරන ලද්දෝ ද? උද්‍යානය ඔබ වහන්සේලාට පහසු ද?” යැයි විමසුවේ ය. ‘‘මහරජ, සුවසේ වාසය කෙරුවෙමු. යතිවරයන් වහන්සේලාට උද්‍යානය පහසු ය.” (යැයි තෙරුන් වහන්සේ වදාළ සේක)
16. ‘‘තෙරුන් වහන්ස, ආරාමයන් සංඝයා වහන්සේලාට කැප ද?” යැයි රජ තෙමේ විමසූ කල්හි ‘‘කැප ය” යැයි වදාරා, කැප – අකැප දෑ පිළිබඳ දැනීමෙහි දක්ෂ වූ
17. තෙරුන් වහන්සේ වේළුවනාරාමය පිළිගැනීම (ගැන පුවත) වදාළ සේක. ඒ අසා රජ තෙමේ මහත් සතුටට පත් විය. මහජනයා ද තුටු විය.
18. තෙරුන් වහන්සේට වන්දනා කරනු පිණිස පැමිණියා වූ අනුලා දේවි තොමෝ පන්සියයක් ස්ත‍්‍රීන් සමඟ දෙවන මාර්ගඵලයට පත් වූවා ය.
19. ඒ පන්සියයක් ස්තී‍්‍රන් සහිත වූ අනුලා දේවි තොමෝ ‘‘දේවයන් වහන්ස, (ඉදින් අපි) පැවිදි වන්නෙමු” යි කීවා ය.
20. රජ තෙමේ ‘‘මොවුන් පැවිදි කරන සේක්වා!” යැයි තෙරුන් වහන්සේට පැවසුවේ ය. ‘‘මහරජ, ස්ත‍්‍රීන් පැවිදි කිරීම අපට අකැප ය.
21. මාගේ නැගණි වූ භික්ෂුණීන් වහන්සේ පැළලූප් නුවර වාසය කරන්නී ය. සංඝමිත්තා නමින් ප‍්‍රකට වූ ඕ තොමෝ බහුශ‍්‍රැත ය.
22. මහරජ, ‘ ඕ තොමෝ ශ‍්‍රමණේන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ මහා බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ද උතුම් භික්ෂුණීන් වහන්සේලා ද
23. රැගෙන මෙහි වඩින සේක්වා!’ යැයි කියා අප පිය මහ රජු හට හසුන් යවන්න. ඒ තෙරණින් වහන්සේ මෙහි පැමිණ මේ ස්තී‍්‍රන් පැවිදි කරන්නී ය” (යැයි තෙරුන් වහන්සේ රජු හට වදාළ සේක.)
24. ‘‘යහපති” කියූ රජ තෙමේ කෙණ්ඩිය ගෙන ‘මහමෙව්නාව උයන සඟ සතු කොට දෙමි.” යි,
25. මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේගේ අත්ලෙහි දක්ෂිණෝදකය (නම් වූ පූජා කිරීම පිණිස වත් කරන පැන්) වැගිරවූයේ ය. ඒ ජලය පොළොව මත වැටුණු කල්හි මහ පොළොව කම්පා විය.
26. ‘‘කුමක් නිසා පොළොව කම්පා වන්නේ ද?” යැයි රජු විමසූ කල්හි, ‘‘ලංකාද්වීපයෙහි ශාසනය පිහිටි නිසාවෙනි” යි තෙරුන් වහන්සේ වදාළ සේක.
27. උසස් කුලැති රජ තෙමේ ස්ථවිරයන් වහන්සේට දෑ සමන් මල් පිළිගැන්වූයේ ය. ස්ථවිරයන් වහන්සේ රාජ ගෘහයෙන් වැඩම කොට ඊට දකුණුපසින් වැඩ සිටි සේක.
28. (උන්වහන්සේ) මල් අටමිටක් ගෙන එහි වූ දිඹුල් රුකක් මුල ඉසින ලදින් එහි පොළොව කම්පා විය. රජු විසින් එයට කාරණය විමසූ කල්හි,
29. ‘‘(සසර සාගරය තරණය කොට) එතෙර වූ (කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන) සම්බුදුරජාණන් වහන්සේලාගේ කාලයන්හි දී ද සංඝ කර්ම පිණිස සීමාමාලකයන් මෙහි විය. (ගෞතම සම්බුද්ධ ශාසනය පවත්නා) මේ කාලයෙහි ද (සංඝ කර්ම පිණිස සීමාමාලකය) මෙහි ම වන්නේ ය.” යැයි (තෙරුන් වහන්සේ) රජු හට කරුණ වදාළ සේක.
30. ස්ථවිරයන් වහන්සේ රාජගෘහයට උතුරු දෙසින් වූ සිත්කලූ පොකුණක් වෙත වැඩම කළහ. (අට මිටක් වූ) එපමණ ම මල් එහි ද වැගිරවූහ.
31. එකල්හි ද පොළොව කම්පා විය. රජ තෙමේ එයට කාරණය විමසුවේ ය. ‘‘මේ පොකුණ සංඝයා වහන්සේලාට ගිනිහල් පොකුණ වන්නේ ය” යැයි තෙරුන් වහන්සේ වදාළ සේක.
32. (මහා මහේන්ද්‍ර නම් වූ) ඒ සෘෂිවරයන් වහන්සේ එ් රාජගෘහයේ දොරටුව වෙත වැඩම කළ සේක. (අට මිටක් වූ) එපමණ ම මලින් එය ද පිදූ සේක.
33. එහි ද පොළොව කම්පා විය. අතිශයින් රෝමෝද්ගමනය වූ රජ තෙමේ එයට හේතු වූ කාරණා විමසූ කල්හි ස්ථවිරයන් වහන්සේ ඒ කාරණය (මෙසේ) වදාළ සේක.
34. මේ කල්පයේ (නිවන නම් වූ) එතෙරට වැඩම කළ සම්බුදුරජාණන් වහන්සේලාගේ බෝධි වෘක්ෂයන්ගේ දක්ෂිණ ශාඛාවන් ගෙනවිත් මේ භූමියේ රෝපණය කරන ලදී.
35. අප තථාගතයන් වහන්සේගේ බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ද මේ බිමෙහි පිහිටන්නේ ය.”
36. මහා ස්ථවිරයන් වහන්සේ එතැනින් මහා මුචල නම් වෘක්ෂ මූලයට වැඩම කළ සේක. (අට මිටක් වූ) එපමණ ම මල් එහි ද වැගිරවූහ.
37. එහි ද පොළොව කම්පා විය. රජු තෙමේ එයට කරුණු විමසුවේ ය. ‘‘සංඝයා වහන්සේලාගේ පොහොය ගෙය මේ භූමියෙහි වන්නේ ය.” (යැයි තෙරුන් වහන්සේ වදාළ සේක)
38. මහරජ තෙමේ එතැනින්, පැන නැගූ අඹ මළුවට පිවිසුණේ ය. එහි වූ මැනැවින් ඉදී ගිය, පැහැයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුතු වූ මහත් වූ අඹ ඵලයක්
39. උයන්පල්ලා මහ රජු හට එවී ය. ඒ අතිශය සිත්කලූ වූ අඹ ඵලය රජු තෙරුන් වහන්සේ වෙත එවුවේ ය.
40. ජන සමූහයාගේ හිතසුව කැමති වූ ස්ථවිරයන් වහන්සේ (එහි) වැඩ හිඳිනු කැමති බවක් (රජු හට) දැක්වූහ. රජ තෙමේ එහි උතුම් ඇතිරිල්ලක් ඇතිරවූයේ ය.
41. එහි වැඩ හුන් ස්ථවිරයන් වහන්සේ අඹ ඵලය වළඳා අඹ ඇටය රෝපණය කරනු පිණිස මහ රජු හට දුන්හ.
42. රජ තෙමේ ඒ අඹ ඇටය එහි රෝපණය කළේ ය. ස්ථවිරයන් වහන්සේ එය පැළ වී වැඩෙනු පිණිස ඒ මත හස්තය දෝවනය කළ සේක.
43. ඒ ක්ෂණයෙහි ම අඹ ඇටයෙන් අංකුරයක් නික්මී, ක‍්‍රමයෙන් වර්ධනය වී, පත් ද ඵල ද ඇති මහා වෘක්ෂයක් බවට පත් විය.
44. ඒ ප‍්‍රාතිහාර්යය දැකීමෙන් රෝමෝද්ගමනය වූ රජු හා ජනයා ස්ථවිරයන් වහන්සේට නමස්කාර කළෝ ය.
45. ස්ථවිරයන් වහන්සේ එවෙලෙහි මල් අටමිටක් එහි විසිරුවාලූහ. එහි ද පොළොව කම්පා විය. රජ තෙමේ එයට කාරණය විමසුවේ ය.
46. ‘‘මහරජ, සංඝයා වහන්සේලාට උපන් නොයෙක් ලාභයන් සමඟි ව බෙදන ස්ථානය මෙය වන්නේ ය.” (යැයි ස්ථවිරයන් වහන්සේ රජු හට කාරණය වදාළ සේක)
47. එතැනින් (පළල මෙන් පස් ගුණයක් දිග ඇති) චතුශ්ශාලාව පිහිටන තැනට වැඩම කොට (ස්ථවිරයන් වහන්සේ අට මිටක් වූ) එපමණ ම මල් එහි විසිරවූහ. එහි ද පොළොව කම්පා විය.
48. රජ තෙමේ ඒ කම්පා වීමට කාරණය විමසුවේ ය. ‘‘(සසරින්) එතෙරට වැඩම කළ පූර්වයේ සම්බුදුරජාණන් වහන්සේලා මේ උයන පිළිගත් කල්හි,
49. ලක්දිව වැසියන් සියලූ දෙසින් ගෙන්වා ගත් දාන වස්තූන් මෙහි තබා සංඝයා වහන්සේලා පිරිවැරූ තුන් බුදුවරයන් වහන්සේලාට බොජුන් වැළඳවූහ.
50. මෙකල ද මෙහි ම චතුශ්ශාලාව වන්නේ ය. නර ශ්‍රේෂ්ඨය, මෙහි සංඝයා වහන්සේලාගේ ආහාර වළඳන ස්ථානය වන්නේ ය.” (යැයි උන්වහන්සේ වදාළ සේක)
51. කාරණා කාරණාවන් දැනීමේ දක්ෂ වූ මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ එතැනින් මහා සෑය පිහිටිය යුතු තැනට වැඩම කළ සේක.
52. එකල රජ උයනට ඇතුළු වූ තැන කකුධ නම් වූ කුඩා වැවක් විය. ඒ වැව් දිය කෙළවර,
53. ගොඩබිමෙහි සෑයක් පිහිටුවීමට සුදුසු උස් තැනක් වූයේ ය. ස්ථවිරයන් වහන්සේ එහි වැඩම කළ කල්හි රජුහට සපුමල් ගොටු අටක් ගෙනෙන ලද්දේ ය.
54. රජ තෙමේ ඒ සපුමල් ස්ථවිරයන් වහන්සේට පිළිගැන්වූයේ ය. ස්ථවිරයන් වහන්සේ සපුමලින් ඒ (උස් වූ ස්ථානය) පිදූ සේක.
55. එහි ද පොළොව කම්පා විය. රජ තෙමේ (පොළොව) කම්පා වීමට කාරණය විමසුවේ ය. ස්ථවිරයන් වහන්සේ අනුපිළිවෙළින් එසේ කම්පා වීමට කරුණ වදාළ සේක.
56. ‘‘මහ රජ, මේ ස්ථානය සතර සම්බුදුරජාණන් වහන්සේලා විසින් සේවනය කරන ලද්දේ ය. සත්වයන්ට හිතසුව පිණිස ද සැපය පිණිස ද (මේ බිම) සෑයකට සුදුසු වන්නේ ය.”

හුදී ජනපහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘මහාවිහාරය පිළිගැනීම’ නම් වූ පහළොස්වන පරිච්ඡේදයේ කොටසකි.