දාහතර වන පරිච්ඡේදය – නගර ප‍්‍රවේශය
24. එදවස සවස් කාලයේ රජු හට ආහාර ගෙනෙනු ලැබිණි. ‘දැන් උන්වහන්සේලා වළඳන්නේ නැත’ යැයි දන්නා නමුත් රජ තෙමේ,
25. විමසා බැලිය යුතු යැයි සිතා ඒ තෙරුන් වහන්සේලාට ආහාර (පුදන්නට) විමසුවේ ය. ‘‘දන් නො වළඳන්නෙමු” යි වදාළ කල්හි (දන් වළඳන්නා වූ) කාලය විමසුවේ ය.
26. කාලය වදාළ කල්හි ‘‘නුවරට යමු” යැයි (කියූ විට), ‘‘මහරජ, ඔබ යන්න. අපි මෙහි වසන්නෙමු.” යැයි වදාළහ.
27. එවිට රජ තෙමේ ‘‘කුමරුවන් අප සමග යේවා!” යි කීවේ ය. ‘‘මහරජ, හෙතෙමේ මඟඵලයන්ට පැමිණ ඇත්තේ ය. දන්නා ලද බුදු සසුන් ඇත්තේ ය.
28. පැවිදි බව අපේක්ෂා කරමින් අප වෙත වාසය කරන්නේ ය. දැන් ඔහු පැවිදි කරන්නෙමු. මහරජ, ඔබ යන්න” යැයි වදාළහ.
29. ‘‘උදයේ රථය එවන්නෙමි. ඔබවහන්සේලා එයින් නගරයට වැඩම කරත්වා!” යැයි කියා (රජ තෙමේ) තෙරුන් වහන්සේලාට වන්දනා කොට භණ්ඩුක කුමර තෙමේ ඉවතට කැඳවා සාකච්ඡා කරන්නේ,
30. ස්ථවිරයන් වහන්සේ පැවත එන පරපුර විමසුවේ ය. ඒ කුමර තෙමේ රජු හට සියල්ල පැවසුවේ ය. ස්ථවිරයන් වහන්සේ කවුරුන්දැයි දැන සතුටට පත් වූ රජ තෙමේ ‘මාගේ ලාභය’ කැයි සිතුවේ ය.
31. භණ්ඩුක නම් කුමරු ගිහියෙකු බැවින් ශංකාවට පත් රජුගේ මානුෂීය භාවය දැක්මෙන්, ‘‘මොහු පැවිදි කරන්නෙමු” යැයි
32. ඒ තෙරුන් වහන්සේ එකෙණෙහි ම ග‍්‍රාම සීමාවේ දී භණ්ඩුක නම් කුමරුගේ පැවිද්දත්, උපසම්පදාවත් සිදු කළ සේක.
33. ඒ ක්ෂණයෙහ් ම උන්වහන්සේ අරහත්වයට පත් වූ සේක. ඉක්බිති තෙරුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට ආමන්ත‍්‍රණය කොට,
34. ‘‘ධර්මශ‍්‍රවණය පිණිස කාල ඝෝෂා කරන්න” යැයි වදාළ සේක. ‘‘ස්වාමීනී, ප‍්‍රකාශ කරන්නා වූ මම කෙතෙක් දුර දැනුම් දිය යුතු ද?” යැයි (සාමණේරයන් වහන්සේ) විචාළ සේක.
35. ‘‘මුළු තම්බපණ්නියට ම” යැයි ස්ථවිරයන් වහන්සේ වදාළ කල්හි සාමණේරයන් වහන්සේ ඍද්ධි බලයෙන් මුළු ලක්දිවට ම දහම් (අසන්නට) කාලය දැනුම් දුන් සේක.
36. ඒ රජ තෙමේ නාග චතුෂ්ක නම් ගල් පොකුණේ පඩියක හිඳගෙන බත් අනුභව කරමින් සිටිය දී තෙරුන් සිටි පෙදෙසින් ඇසුණු ඒ ශබ්දය අසා
37. ‘‘උපද්‍රවයක් ඇත් ද?” යැයි ඇසූ කල්හි ‘‘උපද්‍රවයක් නැත්තේ ය. සම්බුද්ධ වචනය අසනු පිණිස කාලය දැනුම් දෙන ලද්දේ ය.” යි වදාළහ.
38. සාමණේරයන් වහන්සේගේ හඬ අසා පොළෝ වාසී දෙවියෝ ඝෝෂා පැවැත්වුවාහු ය. පිළිවෙළින් ඒ ශබ්දය බඹ ලොවට පැණ නැංගේ ය.
39. ඒ ඝෝෂාවෙන් දෙවියන්ගේ මහා සමාගමයක් විය. ඒ සමාගමයෙහි ඒ ස්ථවිර තෙමේ සමචිත්ත පරියාය සූත‍්‍ර දේශනාව වදාළ සේක.
40. අසංඛෙය්‍ය ගණන් දෙවිවරුන්ට ධර්මය අවබෝධ වී බොහෝ නාග සුපර්ණාදීහු (තිසරණ) සරණයේ පිහිටියාහු ය.
41. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සූත‍්‍රය දේශනා කළ කල්හි යම් අයුරකින් වූයේ ද ඒ අයුරින් ම මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ දේශනා කරන කල්හිත් දෙවිවරුන්ගේ සමාගමය විය.
42. රජ තෙමේ පසුවදා උදයේ රථය එව්වේ ය. ඒ රියැදුරු තෙමේ ගියේ, ‘‘රථයට නඟිනු මැනව. නුවරට යන්නෙමු” යි උන්වහන්සේලාට කීවේ ය.
43. ‘‘රථයට නො නැඟෙන්නෙමු. ඔබ යන්න. ඔබට පසුව එන්නෙමු.” යි මෙසේ වදාරා රියැදුරු යවා,
44. ඒ මහා ඍද්ධි ඇති තෙරුන් වහන්සේලා අහසට පැණ නැඟී නගරයේ නැගෙනහිර ද්වාරයේ පළමු චෛත්‍ය ස්ථානයට වැඩම කළ සේක.
45. තෙරුන් වහන්සේලා විසින් පළමුවෙන් බසින ලද ස්ථානයේ ඉදි කළ සෑය ඒ නිසාවෙන් ම ‘පඨමක චේති’ යැයි මෙසේ අද වනතුරුත් කියන්නේ ය.
46. රජු අතින් තෙරුන්ගේ ගුණ අසා සියලූ අන්තඃපුර ස්ත‍්‍රීහු තෙරුන් වහන්සේලා දකින්නට කැමති වූයෙන් රජ තෙමේ,
47. රාජවස්තූන් මධ්‍යයේ රම්‍ය වූ මණ්ඩපයක් කරවූයේ ය. සුදු පැහැ වස්ත‍්‍රයෙන් ද සුදු පැහැ මල්වලින් ද වසන ලද්දේ ඒ අයුරින් අලංකාර කරවූයේ ය.
48. තෙරුන් වහන්සේලා උස් ආසනයන් පරිහරණයෙන් වැළකී සිටින බව ඇසූ නිසාවෙන් ‘ස්ථවිරයන් වහන්සේ උස් අසුනෙහි හිඳී ද? නො හිඳී ද?’ යැයි ශංකා ඇති වී ය.
49. ඒ අතර රියැදුරු තෙමේ එහි සිටියා වූ චීවර පොරවන්නා වූ තෙරුන් වහන්සේලා දැක විස්මයට පත් සිත් ඇත්තේ,
50. ගොස් රජු හට දැන්වී ය. රජ තෙමේ සියල්ල අසා ‘පුටුවෙහි හිඳීම නො කරන්නේ ය’ යැයි නිසැක වූයේ,
51. ‘‘ඉතා මැනැවින් බුමුතුරුණු පණවන්න” යැයි කියා, පෙර ගමන් කොට, සකසා ස්ථවිරයන් වහන්සේ ව වන්දනා කොට,
52. මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේගේ අතින් පාත‍්‍රය ගෙන සත්කාර පූජා පවත්වමින් තෙරුන් වහන්සේ නගරයට ප‍්‍රවිෂ්ට කළේ ය.
53. මෙසේ ආසන පැණ වූ බව දුටු නිමිති ශාස්ත‍්‍ර දන්නෝ ‘‘(උන්වහන්සේලා) පොළෝ තොමෝ ගන්නා ලදි. (උන්වහන්සේලා) මේ දිවයිනෙහි අධිපති බවට පත් වන්නෝ ය” යැයි පැවසූහ.
54. නරේන්ද්‍ර තෙමේ එ් තෙරුන් වහන්සේලාට පූජා පවත්වමින් අන්තඃපුරයට වැඩම කර වී ය. එ් තෙරුන් වහන්සේලා එහි සුදුසු ආකාරයෙන් පිළි අතුරන ලද ආසනයන්හි හිඳගත්හ.
55. රජ තෙමේ ඒ තෙරුන් වහන්සේලා කැඳ, අවුළුපත් හා භෝජනයෙන් සන්තර්පණය කරවූයේ ය. බත්කිස නිම වූ කල තෙමේ එහි හිඳගෙන,
56. මහානාග නම් කණිටු යුවරජුගේ මෙහෙසිය වූ, රජ ගෙයි ම වාසය කරනා අනුලා නම් බිසව කැඳවූයේ ය.
57. අනුලා දේවි තොමෝ පන්සියයක් ස්ත‍්‍රීන් හා පැමිණ තෙරුන් වහන්සේ වැඳ පුදා එකත්පස් ව හිඳ ගත්තා ය.
58. ස්ථවිරයන් වහන්සේ පේත වත්ථු, විමාන වත්ථු හා සච්ච සංයුත්තය දේශනා කළ සේක. ඒ ස්ත‍්‍රීහු පළමු මාර්ගඵලයට පත් වූහ.
59. නුවර වැසියෝ, ඊයේ (තෙරුන් වහන්සේලා) දුටු මිනිසුන් අතින් බොහෝ වූ තෙර ගුණ අසා තෙරුන් වහන්සේලා දකින්නට කැමැත්තෙන් රැස්ව,
60. රාජ ද්වාරයේ මහත් ශබ්ද කළෝ ය. රජ තෙමේ ඒ අසා දැන ඔවුන්ගේ හිතසුව කැමැත්තේ,
61. ‘‘සියලූ දෙනා හට (ධර්මය අසන්නට) මෙහි ඉඩකඩ මදි ය. මඟුල් ඇත්හල පවිත‍්‍ර කරන්න. නුවර වැසියන් එහි දී තෙරුන් වහන්සේ දකිත්වා!” යි කීවේ ය.
62. එකෙණෙහි ඒ ඇත්හල ශුද්ධ කරවා, වියන් ආදියෙන් අලංකාර කරවා සුදුසු ආකාරයෙන් සේනාසන පැණවූහ.
63. මහා කථික වූ ඒ මහා ස්ථවිර තෙමේ තෙරුන් වහන්සේලා සමග එහි වැඩම කොට වැඩ හිඳ දේවදූත සූත‍්‍ර දේශනාව වදාළ සේක.
64. රැස්ව සිටි නුවර වැසියෝ ඒ අසා පැහැදුණහ. අන්‍යයන් අතරින් දහසක් පළමු මාර්ලඵලයට පත් වූහ.
65. ලංකාද්වීපය පිහිටුවීමෙහි ලා ශාස්තෘ කෙනෙකුන්ගේ ආකාර ඇත්තා වූ, ලක්දිවට පහනක් බඳු වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ මෙසේ දෙතැනක දී හෙළදිව බසින් දහම් දේශනා කොට ලක්දිව් වැසියන් සද්ධර්මයේ බැස ගැන්වීම සිදු කළ සේක.

හුදී ජනපහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘නගර ප‍්‍රවේශය’ නම් වූ දාහතර වන පරිච්ඡේදය මෙසේ නිම විය.