ගාමණී කුමරුගේ උපත

25. එකල කොට්ටපබ්බත නම් විහාරයේ සීලයෙන් ව‍්‍රතයෙන් යුතු වූ, හැම කල්හි නොයෙක් නොයෙක් පින්කම් කරන්නා වූ සාමණේරයන් වහන්සේනමක් විසූහ.
26. උන් වහන්සේ ආකාශ චෛත්‍යයේ මළුවට සුවසේ නැගෙනු පිණිස හිණිමං තුනක් හා ගල් ලෑලි ද තැබූහ.
27. පැන් දන් දුන්හ. සංඝයා වහන්සේලාට වත් ද කළහ. සෑම කල්හි ම ක්ලාන්ත වූ කයකින් යුතු වූ උන් වහන්සේට මහත් ආබාධයක් වී ය.
28. කළගුණ දන්නා වූ භික්ෂූන් වහන්සේලා උන් වහන්සේව සිවි ගෙයකින් ගෙනවුත් තිස්සාරාමයේ සිලාපස්සය පිරිවෙනේ තබාගෙන උපස්ථාන කළෝ ය.
29. එ් විහාර දේවි තොමෝ මනා ලෙස පිළියෙල කළ රාජ ගෘහයේ පෙර බත් කාලයේ සංඝයා වහන්සේලාට මහා දන් දී
30. පසු බත් කාලයේ ගඳ, මල්, බෙහෙත් ද පිළී ද ගෙන්වාගෙන ආරාමයට ගොස් සුදුසු වූ පරිද්දෙන් සත්කාර කළා ය.
31. එකල (එ් බිසව) පෙර සේ ම දන් දී සංඝ ස්ථවිරයන් වහන්සේ වෙත හිඳ ගත්තා ය. ස්ථවිරයන් වහන්සේ දහම් දෙසමින් මෙය වදාළ සේක.
32. ‘‘මේ මහත් වූ සම්පත්තීන් (ඔබ විසින්) පින් කිරීමෙන් ම ලබන ලද්දේ ය. දැනුදු පින් කිරීමෙහි ලා ඔබ අප‍්‍රමාදී විය යුතු ය.”
33. මෙය වදාළ කල්හි ඕ තොමෝ ”මේවා නම් කවර සම්පතක් ද? අප හට දරුවන් නැති හෙයින් එ් කාරණයෙන් අපගේ සම්පත් වඳ ය.” යැයි කීවා ය.
34. ෂඞ් අභිඥ ඇති මහා ස්ථවිරයන් වහන්සේ පුත‍්‍ර ලාභය බලා, ”දේවියනි, එ් ගිලන් වූ සාමණේරයන් වහන්සේ දකීවා!” යි වදාළ සේක.
35. ඇය එහි ගොස්, මරණාසන්න වූ සාමණේරයන් වහන්සේට ”මාගේ පුත‍්‍ර භාවය පැතුව මැනැව. අපගේ සම්පත් ඉමහත් ය.” යි කීවා ය.
36. (එයට) අකැමැති බව දැන නුවණැති ඇය උන් වහන්සේට මහත් වූ, යහපත් වූ මල් පූජාවක් කරවා නැවත ආයාචනය කළා ය.
37. මෙසේ ද අකැමැති වූ සාමණේරයන් වහන්සේ කෙරෙහි උපායෙහි දක්ෂ වූ එ් බිසව නොයෙක් බෙහෙත් හා වස්ත‍්‍රයන් සංඝයා වහන්සේලාට දන් දී නැවතත් ආයාචනා කළා ය.
38. හෙතෙමේ රජ කුලය පැතුවේ ය. ඕ තොමෝ එ් ස්ථානය නොයෙක් අයුරින් අලංකාර කරවා වන්දනා කොට යානාවට නැගී ගියා ය.
39. සාමණේරයන් වහන්සේ එයින් චුතව එ් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. එ් බව දැන ඕ තොමෝ නැවතුණා ය.
40. රජුට එ් පුවත දන්වා රජු සමග නැවත එහි ගියා ය. එ් දෙදෙනා ම සාමණේරයන් වහන්සේගේ ශරීරයට කළ යුතු කෘත්‍යයන් කරවා,
41. සන්සුන් වූ සිත් ඇතිව එ් පිරිවෙනේ ම වසන්නෝ සෑම කල්හි ම භික්ෂු සංඝයා වහන්සේලාට මහා දන් දුන්නෝ ය.
42. මහා පින් ඇති එ් දේවියට මෙවන් ෙදාළදුකක් ඇති වී ය. ගොනෙකු පමණ වූ මී වදයක් තමන්ගේ ඉද්දර තබාගෙන
43. දොළොස් දහසක් සංඝයා වහන්සේලාට දන් දී තොමෝ දකුණු ඇළයෙන් සැතපී යහපත් සයනයක හිඳ ඉතිරි වූ
44. මී අනුභව කරනු කැමති ය. තව ද එළාර රජුගේ යෝධයන් අතරින් ශ්‍රේෂ්ඨයාගේ හිස කැපූ කඩුව සේ¥ පැන්
45. එ් සිඳින ලද හිසෙහි හිඳ බොන්නටත්, අනුරාධපුරයේ උපුල් කෙතින් ගෙනෙන ලද
46. නොමැලවුණ මල් මාලාවක් පලඳන්නටත් කැමති ය. දේවි තොමෝ රජුට එපුවත් කීවා ය. රජ තෙමේ නිමිති පවසන්නන් විචාළේ ය.
47. එ් ඇසූ නිමිති පවසන්නෝ ‘‘දේවියගේ පුත‍්‍ර තෙමේ දමිළයන් නසා රාජ්‍යය එක්සේසත් කොට ශාසනය බබළවන්නේ ය.” යැයි කීහ.
48. ‘යම් කෙනෙක් එවැනි මී ගුලාවක් දක්වන්නේ නම් ඔහුට රජ තෙමේ මෙබඳු සම්පත් දෙන්නේ ය’ යි මිහිපති තෙමේ ප‍්‍රසිද්ධ කර වී ය.
49. ගොළු මුහුද වෙරළ සමීපයේ මී පිරවූ මුනින් හරවන ලද ඔරුවක් දැක ජනපදවාසී මිනිසෙක් රජුට පැවසී ය.
50. රජ තෙමේ දේවිය එහි පමුණුවා මනාව කරවන ලද මණ්පයක කැමති වූ පරිද්දෙන් එ් මී පරිභෝජනය කරවූයේ ය.
51. රජ තෙමේ ඉතිරි දොළ සම්පාදනය කරවන්නට වේළුසුමන නම් යෝධයා මෙහෙය වී ය.
52. හෙතෙමේ අනුරාධපුරයට ගොස් රජුගේ මඟුල් අශ්වයාගේ අස් ගොව්වා හා මිතුරුව හැම කල ඔහුගේ කටයුතු ද කළේ ය.
53. එ් අස් ගොව්වා විශ්වාසී බව දැන පෙරවරුවේ උපුල් මල් හා කඩුව කොළොම් ඔය තීරයේ තබා සැක නැතිව
54. අසු ගෙන ගොස් උපුල් මල් හා කඩුව ගෙන ”මම (කාවන්තිස්ස රජුගේ වේළුසුමන වෙමි) යි” නිවේදනය කොට අශ්ව වේගයෙන් පලා ගියේ ය.
55. (එළාර) රජ තෙමේ එ් අසා ඔහු අල්ලා ගන්නට මහා යෝධයා මෙහෙය වී ය. හෙතෙමේ දෙවෙනි අශ්වයා යැයි සම්මත අසු පිට නැගී ඔහු ව ලූහු බැන්දේ ය.
56. එ් (වේළුසුමන) තෙමේ ලැහැබක් ඇසුරු කරගෙන අසු පිට ම හිඳිමින් පිටුපසින් එන්නා වූ ඔහුට කඩුව ඇද දිගු කළේ ය.
57. අශ්ව වේගයෙන් යන්නා වූ ඔහුගේ හිස සිඳිණි. අසුන් දෙදෙනා ද හිස ද ගෙන එ් (වේළුසුමන) තෙමේ සවස් කල මාගමට ගියේ ය.
58. දේවි තොමෝ එ් දොළ ද කැමති ලෙස පරිභෝජනය කළා ය. රජ තෙමේ යෝධයාට සුදුසු පරිද්දෙන් සත්කාර කළේ ය.
59. එ් දේවි තොමෝ සුදුසු කාලයේ පුතෙකු බිහි කළා ය. එයින් රජ කුලයේ මහත් ආනන්දයක් ඇති වී ය.
60. එ් කුමරුගේ පුණ්‍යානුභාවයෙන් එදවස නොයෙක් නොයෙක් මැණික්වලින් සම්පූර්ණ නැව් හතක් එ් එ් රටින් පැමිණියේ ය.
61. එ් කුමරුගේ පුණ්‍ය තේජසින් ඇතෙක් ඡද්දන්ත කුලයේ ඇත් පැටවෙකු ගෙනවිත් මෙහි තබා පලා ගියේ ය.
62. තොටවිල් තෙරේ පඳුරු අතරේ සිටි එ් ඇති පැටවා දැක කණ්ඩුල නම් බිලී බාන්නා රජු හට දැන්වී ය.
63. රජ තෙමේ එකෙණෙහි ම ඇතුන් බඳනවුන් යවා එ් ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවී ය. කණ්ඩුල නම් තැනැත්තා (මුලින්* දුටු හෙයින් එ් ඇත් තෙමේ ‘කණ්ඩුල’ නම් වී ය.
64  ‘‘රන් භාජන ආදියෙන් පිරුණා වූ නැව් මෙහි පැමිණිනි” යි රජුට දන්වා යැවිණ. රජ තෙමේ එ්වා ද ගෙන්වා ගත්තේ ය.
65. කුමරු හට නම් තබන මංගල්‍යයෙහි දී රජ තෙමේ දොළොස් දහසක් භික්ෂු සංඝයාට ආරාධනා කළේ ය.
66. මෙසේ ද සිතී ය. ‘මෙසේ ඉදින් මාගේ පුත් තෙමේ ලක්දිව් තලයේ රාජ්‍යය ගෙන සම්බුද්ධ ශාසනය බබළවන්නේ නම්
67. දහ අට දහසක් භික්ෂු සංඝයා වහන්සේ පිවිසෙත්වා! එ් සියලූ දෙනා වහන්සේ උඩුකුරු කරන ලද පාත‍්‍රා ඇතිව සිවුරු පොරවත්වා!
68. පළමු ව දකුණු පය එළිපතින් ඇතුළු කොට තබත්වා! එක් කුඩයකින් යුතු ව ඩබරාව පිටතට ගනිත්වා!
69. ගෞතම නම් ස්ථවිරයන් වහන්සේ පුතු පිළිගනීවා! උන් වහන්සේ ම තිසරණ පන්සිල් දෙන සේක්වා!’ සියල්ල එසේ ම සිදු විය.
70. සියලූ නිමිති දැක සතුටු සිත් ඇති රජ තෙමේ සංඝයා වහන්සේලාට කිරිබත් පුදා පුතුට නම් තබන්නේ,
71. මාගමට නායක බව ද තම පියාගේ නම ද යන දෙක ම එක් කොට ‘ගාමණී අභය’ කියා නම් තැබුවේ ය.
72. එයින් නව වන දවසේ මාගමට ගොස් දේවිය හා සංගමය කිරීමෙන් එ් බිසව් ගැබ් ගත්තී ය.
73. සුදුසු කල උපන් කුමරුන් රජ තෙමේ විසින් ‘තිස්ස’ යැයි නම් කළේ ය. දරු දෙදෙනා මහත් පෙරහරින් වැඩුණෝ ය.
74. දෙදෙනාට ම බත් කවන මංගල්‍යය දවස්හි දී ආදර ඇත්තේ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට කිරිබත් දන් දී
75. උන් වහන්සේලා අඩක් වැළඳූ කල්හි ඉන් ටික ටික ඉල්ලාගෙන රන් තැටියක ලා රජ තෙමේ දේවිය සමගින්
76. ”දරුවෙනි, ඉදින් නුඹලා සම්මා සම්බුද්ධ ශාසනය අත් හරියි නම් කුසගත තුළ මේ ආහාරය නො දිරාවා!” යි ඔවුන්ට දුන්නේ ය.
77. එ් රාජ කුමාරවරුන් දෙදෙනා එ් කී දෙයෙහි අරුත දැන සතුටු සිත් ඇතිව එ් කිරිබත අමෘතයක් සේ අනුභව කළෝ ය.
78. එ් කුමාරවරුන් දස අවුරුදු හා දොළොස් අවුරුදු වූ කල්හි රජ තෙමේ (යළි) විමසනු කැමති වී ය. පෙර කී ආකාරයෙන් ම භික්ෂු සංඝයා වළඳවා, උන් වහන්සේලාගේ ඉඳුල් බත
79. තැටියකින් ගෙන එ් කුමාරවරුන් වෙත තබා, කොටස් තුනක් කරවා රජ තෙමේ මෙසේ කී ය.
80. ‘‘දරුවෙනි, ‘අපගේ කුල දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලා කෙරෙහි අපි කලකිරෙන්නවුන් නො වන්නෙමු’ යි සිතා මේ කොටස අනුභව කරන්න.” යි කීය.
81. ‘‘‘අපි දෙසොහොයුරන් හැම කාලයෙහි ම ඔවුනොවුන් හා ද්‍රෝහී නො වන්නෙමු’ යි සිතා මේ කොටස අනුභව කරන්න.” යි කීය.
82. දෙදෙනා ම එ් කොටස් දෙක අමෘතයක් සේ අනුභව කළෝ ය. ”‘දමිළයන් හා යුද්ධ නො කරන්නෙමු’ යි මෙය කන්න” යැයි කී කල්හි,
83. එ් තිස්ස කුමරු ආහාරය අතින් දැමී ය. ගාමණී කුමර තෙමේ බත් පිඬ දමා ඇඳට ගොස්
84. අත් පා හකුළුවාගෙන ඇඳේ වැතිර ගත්තේ ය. දේවිය ගොස් ගාමණී කුමරු සතුටු කරවමින් මෙසේ ඇසුවා ය.
85.‘‘(පුත) අත් පා හෙළා ඇඳෙහි සැප සේ නො නිදන්නේ මන් ද?” ”ගෙඟන් එතෙර දෙමළු ය. මේ දිශාවෙන් ගොළු මුහුද ය.
86. ඉතින් මම කෙසේ නම් දිග හැරිය අඟ පසඟ ඇති ව නිදන්න ද?” යැයි හෙතෙමේ කීය. එ් කුමරුගේ අභිලාෂය අසා රජ තෙමේ තුෂ්ණිම්භූත වූයේ ය.
87. එ් කුමරු ක‍්‍රමයෙන් වැඩෙන්නේ පින, යසස, ධෛර්යය ඇති ව, තේජෝ බල පරාක‍්‍රමයෙන් යුතු ව දහසය හැවිරිදි වූයේ ය.
88. සත්වයෝ නම් (සංසාර ස්වභාවය) වෙනස් වන කල්හි, උපන් පින් හේතු කොටගෙන කැමති වූ පරිද්දෙන් (මනුෂ්‍ය ආදි) ගතියකට එළඹ ගනිති. නුවණැත්තෝ මෙසේ මේ බව දැන කුසල් රැස් කිරීමෙහි ලා මහත් වූ ගෞරවාදර සහිත වන්නෝ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ගාමණී කුමරුගේ උපත’ නම් වූ විසි දෙවන පරිච්ඡේදය නිම විය.)