35 වන පරිච්ඡේදය

දොළොස් රජවරුන්ගේ පුවත

71. ඒ (වසභ රජ) තෙමේ නිමිත්ත පාඨකයෙකුගෙන් තම ආයුෂ ප්‍රමාණය විමසුවේ ය. හෙතෙමේ ද තව දොළොස් අවුරුද්දකි යැයි රජුට රහසේ ම කිව්වේ ය.

72. රහස රකිනු පිණිස (කහවණු) දහසක් ඔහුට දී රජ තෙමේ සංඝයා වහන්සේලා රැස් කරවා වන්දනා කොට මෙසේ විමසුවේ ය.

73. “ස්වාමීනී, කෙනෙකුගේ ආයුෂ වර්ධනය වීම පිණිස කළ යුතු වූ පින්කම් තිබේ ද?” සංඝයා වහන්සේලා “(ආයුෂයට ඇති) අන්තරායන් වළක්වන දෑ ඇත්තේ ය.”කීහ.

74. “රජතුමනි, පෙරහන්කඩ දානය ද ආවාස කුටි දානය ද ගිලන් වැටුප් දානය ද ලබා දිය යුතු ය.

75. එසේ ම දිරා ගිය ආවාසයන් පිළිසකර කිරීම ද පන්සිල් සමාදන් ව මැනැවින් රැක ගැනීම ද කළ යුතු ය.

76. ඒ අයුරින් ම පොහොය දවසට උපෝසථ සමාදන් වීම ද කළ යුතු ය.” රජු විසින් “මැනැවි” යි පිළිගෙන ඒ සියල්ල ම එසේ ම කරන ලද්දේ ය.

77. තුන් අවුරුද්දක් පාසා රජ තෙමේ ලක්දිිව සියලු සංඝයා වහන්සේලාට තුන් සිවුරු පූජා කළේ ය.

78. වැඩම නො කළ තෙරුන් වහන්සේලාට සිවුරු යැවී ය. ස්ථාන තිස් දෙකක කිරිබත් ද මී පැණි ද දුන්නේ ය.

79. ස්ථාන හැට හතරක මිශ්‍ර කළ මහා දාන දුන්නේ ය. පහන් වැටි දහස බැගින් සතර තැනක දැල්වුවේ ය.

80. සෑගිරියේ ද ථූපාරාමයේ ද මහා සෑයේ ද මහා බෝධිඝරයේ ද ඒ අයුරින් ම කරවීය.

81. සිතුල්පව් විහාරයේ මනරම් සෑ දහයක් ද කළේ ය. ලක්දිව දිරා ගිය සියලු ආවාස පිළිසකර කළේ ය.

82. හෙතෙමේ වල්ලියේර විහාරයේ ස්ථවිරයන් වහන්සේ කෙරෙහි පැහැදී මහාවල්ලිය ගොත්ත නම් විහාරය කරවී ය.

83. මාගම සමීපයේ අනුරාරාමය කරවී ය. හේළි ගමේ වූ කිරිය අටදහසක කුඹුරු ඒ විහාරයට පූජා කළේය.

84. හෙතෙමේ තිස්සවඞ්ඪමානකයේ මුචේල විහාරය කරවා ආලිසාර දියෙන් භාගයක් විහාරයට පිදුවේ ය.

85. ගලඔයතොට ස්ථූපයේ ගඩොල් කඤ්චුකය කරවී ය. උපෝසථාඝාරය ද කරවී ය. ඒ පොහොය ගෙයි පහන් වැට පිණිස

86. කිරිය දහසක (කුඹුරු වගා කළ හැකි) වැවක් කරවා දුන්නේ ය. කුඹුගල විහාරයේ උපෝසථාඝාරය ද කරවී ය.

87. හෙතෙමේ මෙහි ඉසුරුමුනියේ උපෝසථාඝාරය ද කරවී ය. රජ තෙමේ ථූපාරාමයේ ථූපඝරය ද කරවී ය.

88. මහා විහාරයේ බටහිර දෙස මුහුණලා පිහිටි පිරිවෙන් පෙළ ද කරවී ය. දිරා ගොස් තිබූ චතුශාලාව ද පිළිසකර කළේ ය.

89. ඒ (වසභ) රජ තෙමේ රම්‍ය වූ මහාබෝධි අංගණයේ පිළිම ගෙයි සිව් බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා කරවී ය.

90. ඒ රජුගේ මෙහෙසිය එහි ම වුත්ත නම් වූ මනරම් ථූපයක් ද රම්‍ය වූ ථූපඝරයක් ද කරවූවා ය.

91. රජ තෙමේ ථූපාරාමයේ ථූපඝරය නිම කරවා එහි කටයුතු සම්පූර්ණ කිරීමේ පින්කමේ දී මහා දන් දුන්නේ ය.

92. බුද්ධ වචනය අනුව යන භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍යය ද ධර්ම කථික භික්ෂූන් වහන්සේලාට ගිතෙල් හා උක් සකුරු ද ලබා දුන්නේ ය.

93. නගරයේ සතර දොරටුවේ දිළින්දන්ට වැටුප් ද ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට ගිලන් වැටුප් ද දුන්නේ ය.

94. මයෙත්ති වැව, රාජුප්පල වැව, වහ වැව, කොළඹගම් වැව, මාණිකවිට වැව, එසේ ම මහරාමෙත්ති වැව

95. කේහාල වැව, කාලි වැව, අම්බුට්ඨි වැව, වාතමංගන වැව, අභිවඞ්ඪමාන වැව යන වැව් එකොළස කරවීය.

96. එසේ ම ඇළවල් දොළසක් ද කරවා ආහාර සුලබ කරවූයේ ය. නගර ආරක්ෂාව පිණිස උස් වූ ප්‍රාකාරය ද කරවී ය

97. නුවර සතර දොරටුවේ තොරණ් ද මහා වාසල ද කරවී ය. උයන් කරවා එහි හංසයන් වාසය කරවී ය.

98. නගරයේ තැනින් තැන බොහෝ පොකුණු කරවී ය. රජ තෙමේ එයට සොරොව් මගින් දිය යැව්වේ ය.

99. වසභ රජ තෙමේ මෙසේ නා නා විධ පින්කම් කොට කිසිදු අනතුරක් නොමැති ව පුණ්‍යකර්මයන්හි සාදර සහිත ව වාසය කළේ ය.

100. (ඒ වසභ රජ තෙමේ) හතළිස් හතර අවුරුද්දක් අනුරාධපුරයේ රාජ්‍යය කළේ ය. වෙසක් පූජාවන් හතළිස් හතරක් ද කරවූයේ ය.

101. ඒ සුභ රජ තෙමේ ජීවමාන ව සිටින්නේ ම වසභ කෙරෙහි බිය සංකා ඇත්තේ ස්වකීය එක ම දියණිය (ආරක්ෂා කරනු පිණිස) උළු වඩුවාට භාර දුන්නේ ය.

102. තමන්ගේ කම්බිලියත්, රාජ භාණ්ඩත් (ඇය ව හඳුනාගැනීමේ) සලකුණු පිණිස දුන්නේ ය. වසභ විසින් ඔහු ව මැරූ කල්හි උළු වඩු තෙමේ ඇය ව භාර ගෙන

103. දූ තනතුරේ තබා ස්වකීය නිවසේ ම ඇතිදැඩි කළේ ය. ඒ දැරිය (ගඩොල්) කර්මාන්තයේ යෙදෙන ඔහුට (දිනක්) බත් ගෙන යන්නී

104. හිඟුරුමල් ලැහැබක (රහතන් වහන්සේනමක්) නිරෝධ සමාපත්තියෙන් සත් වන දවස ගෙවනු දැක නුවණැති ඕ තොමෝ බත දන් දුන්නා ය.

105. නැවත බත් ලබාගෙන පියාට බත් රැගෙන ගියා ය. පමාවට කරුණු විමසන කල්හි ඇය ඒ පුවත පියාට කියුවා ය.

106. හෙතෙමේ සතුටු වූයේ නැවත නැවතත් තෙරුන් වහන්සේට බත් දන් දුන්නේ ය. විශ්වාසී වූ තෙරුන් වහන්සේ කුමාරිකාවගේ අනාගතය දැක

107. “කුමාරිකාවෙනි, ඔබට යස ඉසුරු ලැබුණු කල්හි මේ ස්ථානය ද සිහිපත් කරන්න.” යැයි කීහ. ඒ තෙරුන් වහන්සේ එවෙලෙහි ම පිරිනිවන්පා වදාළ සේක.

108. ඒ වසභ රජ තෙමේ (නිසි) විය පැමිණි තම පුතු වූ වංකනාසිකතිස්ස හට ගැළපෙන්නා වූ කන්‍යාවියක

109. සෙව්වේ ය. ස්ත්‍රී ලකුණු දැනීමෙහි දක්ෂ වූ ඒ පුරුෂයෝ උළුවඩුවාගේ ගමේ සිටි කුමාරිකාව දුටුවෝ ය.

110. ඒ බව රජුට දන්වන ලදින් රජු ඇය ව කැඳවාගෙන එන්නට සූදානම් වූයේ ය. එවිට උළු වඩු තෙමේ ඇය රජ දුවක බව පැවසුවේ ය.

111. ඒ සුභ රජුගේ දියණිය බවත් පවසා කම්බිලිය ආදිය ද දුන්නේ ය. රජ තෙමේ සතුටු වූයේ, මනා කොට කරන ලද මංගල්‍යය ඇත්තේ ඇය ව තම පුතුට සරණ පාවා දුන්නේ ය.

112. වසභ රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුතු වූ වංකනාසිකතිස්ස රජ තෙමේ අනුරාධපුරයේ තුන් අවුරුද්දක් රාජ්‍යය කරවී ය.

113. ඒ වංකනාසිකතිස්ස රජු විසින් ගෝණ ගංතෙර මහාමංගල නම් විහාරය කරවන ලද්දේ ය.

114. මහා පින් ඇති ඒ දේවි තොමෝ තෙරුන් වහන්සේගේ වචනය සිහි කරන්නී, විහාරයක් කරවනු පිණිස ධනය රැස් කළා ය.

115. වංකනාසිකතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් වූ ගජබාහුගාමණී රජ තෙමේ අවුරුදු විසි දෙකක් රාජ්‍යය විචාළේ ය.

116. හෙතෙමේ මවගේ බස් අසා මවගේ යහපත පිණිස හිඟුරුමල් ලැහැබ වූ තැන රාජමාතු විහාරය කරවී ය.

117. නුවණැති මව් බිසව භූමිය පිණිස මහාවිහාරයට (කහවණු) ලක්ෂයක් දුන්නා ය. විහාරයක් ද කරවූවා ය.

118. තොමෝ ම එහි ගල්වලින් ස්ථූපයක් කරවූවා ය. ඒ ඒ තැනින් මිලට ගෙන සංඝභෝගය ද දුන්නී ය.

119. අභයගිරි මහා ස්ථූපය විශාල කරවා බැන්දවූවා ය. එහි සතර fදාරටුවේ තොරණ් කරවූවා ය.

120. රජ තෙමේ ගාමණීතිස්ස වැව කරවී ය. අභයගිරි විහාරයේ මහා දන්වැට ද පූජා කළේ ය.

121. මිරිසවැටි ස්ථූපයට කඤ්චුකයක් කරවී ය. (කහවණු) ලක්ෂයක් දී මිලට ගෙන සංඝභෝගය ද දුන්නේ ය.

122. අවසාන අවුරුද්දේ දී රාමක විහාරය කරවී ය. අනුරාධපුරයේ මහා ආසනශාලාව ද කරවී ය.

123. ගජබාහු රජුගේ ඇවෑමෙන් ඒ රජුගේ බිසවගේ පියා වූ මහල්ලකනාග රජු හය අවුරුද්දක් රාජ්‍යය කරවී ය.

124. (අනුරාධපුරයේ) නැගෙනහිරින් පේජලක විහාරයත්, දකුණු දෙසින් කොටගල් විහාරයත්, බටහිරින් උදකපාෂාණ විහාරයත්, නාගදීපයේ සාලියපබ්බත විහාරයත්,

125. බීජගාමයේ තේනවේලි විහාරයත්, රුහුණු ජනපදයේ තොබ්බලනාග පබ්බත විහාරයත්, ඇතුල් රට ගිරිහාලික විහාරයත්

126. යන මේ විහාරයන් හත ඒ නුවණැති මහල්ලකනාග රජ තෙමේ ස්වල්ප වූ ඒ ආයු කාලය තුළ නිමවී ය.

127. ඒ අයුරින් නුවණැත්තෝ අසාර වූ ධනයෙන් සාර වූ බොහෝ පින් කර ගනිති. අඥානයෝ මෝහය නිසා කාමයන් හේතු කොටගෙන බොහෝ පවු කරති.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘දොළොස් රජවරුන්ගේ පුවත’ නම් වූ තිස් පස්වන පරිච්ඡේදය නිම විය.)