36 වන පරිච්ඡේදය

රජවරු දහතුන්දෙනාගේ පුවත

01. මහල්ලකනාග රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් වූ භාතිකතිස්ස තෙමේ අවුරුදු විසි හතරක් ලංකා රාජ්‍යය කරවීය.

02. ඒ රජ තෙමේ මහා විහාරය හාත්පස ප්‍රාකාරයක් ද ගවරතිස්ස විහාරය ද කරවීය.

03. මහා ගාමණී වැව කරවා ඒ (ගවරතිස්ස) විහාරයට ම දුන්නේ ය. භාතිකතිස්ස නමින් විහාරයක් ද කරවී ය.

04. ථූපාරාමයේ මනරම් වූ පොහොය ගෙයක් ද කරවී ය. ඒ රජ තෙමේ රන්ධකණ්ඩක වැව ද කරවී ය.

05. සත්වයන් කෙරෙහි මොළොක් සිත් ඇති හෙතෙමේ සංඝයා වහන්සේලා කෙරෙහි තියුණු ගෞරව ඇත්තේ වූයේ ය. ඒ රජ තෙමේ (භික්ෂු භික්ෂුණී යන) උභතෝ සංඝයා විෂයෙහි මහා දන් පැවැත්වී ය.

06. භාතිකතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ තිස්ස තෙමේ (කනිට්ඨතිස්ස නමින් ප්‍රකට ව) විසිඅට අවුරුද්දක් ලංකාද්වීපයෙහි රාජ්‍යය කරවීය.

07. හෙතෙමේ භූතාරාමවාසී මහානාග ස්ථවිරයන් වහන්සේ කෙරෙහි පැහැදී මනාකොට අභයගිරියේ රත්න ප්‍රාසාදය කරවී ය.

08. අභයගිරියේ ප්‍රාකාරයත්, මහා පිරිවෙණත්, මණිසෝම විහාරය හා මහා පිරිවෙණත් කරවී ය.

09. එහි ම චේතියඝරය ද කරවී ය. ඒ අයුරින් ම අම්බස්තලයේ චේතියඝරය ද කරවී ය. නාගදීපයේ විහාර ගෙය ද අලුත්වැඩියා කරවන ලද්දේ ය.

10. ඒ රජු විසින් මහා විහාර සීමාව මැඩ එහි කුක්කුටගිරි පිරිවෙන් පන්තිය සකසා කරවන ලද්දේ ය.

11. රජ තෙමේ මහා විහාරයෙහි මනරම් වූ දර්ශනීය වූ මහත් වූ හතරැස් ප්‍රාසාදයන් දොළහක් කරවන ලද්දේ ය.

12. දක්ෂිණ විහාරයේ ස්ථූපයට කඤ්චුකයක් කරවන ලද්දේ ය. මහාමේඝ උයනේ සීමාව බඳවා එතුළ දාන ශාලාවක් කරවී ය.

13. (හෙතෙමේ) මහා විහාරයේ ප්‍රාකාරය පැත්තකින් ඉවත් කොට දක්ෂිණ විහාරයට යන්නට මාර්ගයක් ද කරවී ය.

14. භූතාරාම විහාරය ද රාමගෝණක විහාරය ද ඒ අයුරින් ම නන්දතිස්ස ආරාමය ද කරවූයේ ය.

15. (අනුරාධපුරයට) නැගෙනහිරින් ගංගා රාජ්‍යයේ අනුලතිස්ස පබ්බත විහාරය ද නියේලතිස්ස ආරාමය ද පිලපිටි විහාරය ද

16. රජ මහ වෙහෙර ද රජ තෙමේ කරවූයේ ය. හෙතෙමේ තව ද ස්ථාන තුනක උපෝසථාගාරයන් ද කරවූයේ ය.

17. (එසේ උපෝසථාගාර කරවන ලද්දේ) කැලණි විහාරයේ, මණ්ඩලපිටියේ, දුබ්බලවාපිතිස්සයේ යන විහාරයන්හි ය.

18. කනිට්ඨතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් වූ චූලනාග තෙමේ අවුරුදු දෙකක් රාජ්‍යය කරවූයේ ය.

19. චූලනාගගේ මලණු වූ කුඞ්ඩනාග තෙමේ සොයුරු රජු ව ඝාතනය කොට අවුරුද්දක් ලංකා රාජ්‍යය කරවීය.

20. ඒ රජ තෙමේ එක් නැළියක් පමණක් ලද සාගතයේ දී ද මහාපාලි නම් දාන ශාලාවේ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට නිතර බොජුන් වැළඳවූයේ ය.

21. කුඞ්ඩනාග රජුගේ බිසවගේ සොහොයුරෙකු වූ සිරිනාග සෙන්පති තෙමේ රජු හට එරෙහි වූයේ

22. බලසේනා රැස් කරගෙන නගරයට අවුත් රජුගේ සේනා හා යුද්ධ කොට කුඞ්ඩනාග රජු ව

23. පළවා හැර ජය ලැබූවේ, උතුම් වූ අනුරාධපුරයේ දහනව වර්ෂයක් ලංකා රාජ්‍යය කරවීය.

24. ඒ රජ තෙමේ උතුම් වූ මහා සෑයට ඡත්‍රයක් කරවී ය. එහි මනරම් වූ, දැකුම්කළු වූ රන්කම් ද කරවන ලද්දේ ය.

25. ලෝවාමහාප්‍රාසාදය ද පස් මහලකට කෙටි කොට කරවූයේ ය. මහා බෝධියේ සතර දොරටුවේ පියගැටපෙළ ද යළි කරවන ලද්දේ ය.

26. ඡත්‍ර ප්‍රාසාදය කරවා මහා පූජෝත්සවයක් සිදු කරවමින් දයා පර්වශ වූයේ ලක්දිව්වාසීන් කුලම්බණ නම් බද්දෙන් නිදහස් කළේ ය.

27. සිරිනාග රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් වූ තිස්ස රජ තෙමේ අවුරුදු විසි දෙකක් රාජ්‍යය කරවූයේ ය. ධර්ම ව්‍යවහාරයේ දක්ෂ වූ

28. හෙතෙමේ තමන්ගේ ඒ හිංසා පීඩාදියෙන් තොර ධර්මානුකූල ව්‍යවහාරය ම මෙහි පිහිටවූයේ ඒ නිසාවෙන් ම වෝහාරිකතිස්ස නමින් ප්‍රකට වී ය.

29. කම්බුග්‍රාමවාසී දේව ස්ථවිරයන් වහන්සේ සමීපයේ දහම් අසා පංච මහා ආවාසයේ ගිලනුන්ට ප්‍රතිකර්ම ද කරවී ය.

30. අනුරාරාමවාසී මහාතිස්ස ස්ථවිරයන් වහන්සේට පැහැදී මිදෙල්ල පටුනේ දන් වැටක් පිහිටවූයේ ය.

31. ඒ තිස්ස රජ තෙමේ මහා විහාරයන් දෙකෙහි ම මණ්ඩපයන් ද මහාබෝධි ගෘහයේ නැගෙනහිර ලෝහ රූප ද්විත්වය ද

32. සප්තපණ්ණික නම් සුවපහසුව ඇති ප්‍රාසාදය ද කරවා මාසයක් මාසයක් පාසා (කහවණු) දහස බැගින් මහා විහාරයට දන් දුන්නේ ය.

33. අභයගිරි විහාරය, දක්ෂිණමූල විහාරය, මිරිසවැටි විහාරය, කුලාලතිස්ස විහාරය,

34. මහියංගණ විහාරය, මාගම විහාරය, මහානාගතිස්ස විහාරය, එසේ ම කැලණි විහාරය

35. යන ස්ථානවල පිහිටි ථූපයන්ගේ ඡත්‍ර කර්ම කරවී ය. එසේ ම මූකනාගසෙන්පති විහාරය, දක්ෂිණ විහාරය,

36. මිරිසවැටි විහාරය, එසේ ම පුත්තභාග විහාරය, ඉසුරුමුනි විහාරය, නාගදීපයේ තිස්ස විහාරය

37. යන ඒ විහාර හයේ ම ප්‍රාකාරයන් කරවූයේ ය. අනුරාරාම විහාරයේ උපෝසථාගාරය ද කරවී ය.

38. හෙතෙමේ සද්ධර්ම ගෞරවයෙන් යුතු ව මුළු මහත් ලංකාද්වීපයේ ම අරියවංශ දේශනාවන් පැවැත්වී ය. දන් වැට ද පිහිටුවී ය.

39. ශාසනය ප්‍රිය කළ ඒ රජ තෙමේ (කහවණු) තුන් ලක්ෂයක් දී ණය සහිත භික්ෂූන් ඒ ණය බරින් මිදෙව්වේ ය.

40. හෙතෙමේ මහා වෙසක් පූජාවක් කරවා ලක්දිව්වාසී සියලු භික්ෂූන්ට තුන් සිවුරු දුන්නේ ය.

41. කපිල නම් අමාත්‍යවරයා ලවා වෛතුල්‍යවාදය මර්ධනය කරවා පාප නිග්‍රහ කරවා බුද්ධ ශාසනය බැබළුවේ ය.

42. අභයනාග නමින් ප්‍රකට වූ ඒ (වෝහාරිකතිස්ස) රජුගේ මලණුවන් රජ දේවිය හා සංසර්ග ඇත්තේ සොහොයුරා විසින් දන්නා ලදින් බිය වී

43. තම සේවකයන් සමඟ භල්ලතොටට පලා ගොස් (එහි විසූ සුභදේව නම්) මාමණ්ඩිය හා (තම සොයුරු වෝහාරිකතිස්ස) කෝප පත් (බව හැඟවෙන) අයුරින් (ඔහුගේ) අත්පා සිඳ දැම්මේ ය.

44. රජුත්, රටත් භේද කරවනු පිණිස (අත්පා සිඳ දැමූ මාමණ්ඩිය) එහි ම තබා (ස්වාමියා පසුපස ළබැඳි ව එන) සුනඛයෙකු උපමා කොට දක්වමින් තමන් හා ඇලුනු පිරිස් ගෙන

45. එතැනින් ම නැව් නැගී පිටරටට ගියේ ය. සුභදේව නම් මාමණ්ඩිය ද (වෝහාරිකතිස්ස) රජු කරා එළඹ

46. රජුට හිතවත් අයෙකු සේ වාසය කරමින් රජුත් – රටත් භේද කරවූයේ ය. අභය තෙමේ එහි සත්‍යතාවය දැන ගැනීමට මෙහි දූතයන් එව්වේ ය.

47. (සුභදේව) තෙමේ දූතයා දැක කුන්තයේ මිටින් පුවක් ගසක් වටා හාරා මුල් දුර්වල කරවා

48. බාහුවෙන් එය පෙරළා දමා තර්ජනය කොට (දූතයා ව) එළවූයේ ය. දූතයා අභය තෙමේ වෙත ගොස් ඒ පුවත පවසා සිටියේ ය.

49. එපවත් දැන ගත් අභය තෙමේ බොහෝ දමිළ හේවායන් කුලියට ගෙන (අනුරාධපුර) නගරයට අවුත් තම සොහොයුරා හා යුද්ධ කළේ ය.

50. රජ තෙමේ එය දැන අසෙකු පිට නැගී දේවිය ද සමඟ මලය රටට පළා ගියේ ය. මලණු තෙමේ ද ඔහු ව ලුහුබැන්දේ ය.

51. මලය රට දී රජු ව ඝාතනය කොට, දේවිය ද රැගෙන පැමිණි හෙතෙමේ රජ ව (අනුරාධපුර) නගරයේ අට අවුරුද්දක් රාජ්‍යය කරවී ය.

52. රජ තෙමේ මහා බෝධිය වටා ගල් වේදිකාව ද ලෝවාමහාප්‍රාසාද අංගණයේ මණ්ඩපය ද කරවී ය.

53. (කහවණු) දෙලක්ෂයකින් නොයෙක් වස්ත්‍ර ගෙන්වා දීපවාසී භික්ෂු සංඝයාට වස්ත්‍ර දානයක් දුන්නේ ය.

54. අභය රජුගේ ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු වූ (වෝහාරික)තිස්ස රජුගේ පුත්‍ර තෙමේ සිරිනාග නමින් අවුරුදු දෙකක් ලංකා රාජ්‍යය කරවූයේ ය.

55. හෙතෙමේ මහා බෝධිය වටා වූ ප්‍රාකාරය අලුත්වැඩියා කරවූයේ ය. මහා බෝධි ගෘහයේ පිහිටි වැලි තලයේ

56. මිදෙල්ල ගසට එපිටින් ඒ රජ තෙමේ හංස වෘත්තය ද මනරම් වූ මහා මණ්ඩපය ද කරවී ය.

57. සිරිනාග රජුගේ පුතු වූ විජය නම් කුමර තෙමේ පියරජුගේ ඇවෑමෙන් පසු එක් අවුරුද්දක් රජකම් කළේ ය.

58. (මෙසේ විජය රජු රාජ්‍යය කරවන කල්හී) ලම්බකර්ණ වංශිකයෝ තිදෙනෙක් මහියංගණයේ සිට අනුරාධපුරයට පැමිණියහ. (ඒ වනාහී) සංඝතිස්ස ය, සංඝබෝධි ය, තෙවැන්නා ගෝඨාභය ය.

59. ඔවුන් තිසා වැව ඉවුර මතින් රාජ උපස්ථානයට යන කල්හී අන්ධ පුද්ගලයෙක් (ඔවුන්ගේ) පා ශබ්දය අසා මෙසේ පැවසී ය.

60. “පොළවට ස්වාමී වූ මේ තිදෙනා ව පොළව විසින් දරා සිටින්නේ ය.” පිටුපසින් ම පැමිණි ගෝඨාභය කුමරු එය අසා පෙරලා ගොස් ඔහුගෙන් එය නැවත අසා ගත්තේ ය.

61. “පවතින්නේ කාගේ වංශය ද?” යනුවෙන් අනතුරු ව විමසුවේ ය. “අන්තිමට යන කුමරුගේ වංශය පවතින්නේ ය.” කියා ඔහු පැවසුවේ ය. එය ද අසාගෙන ඒ (ගෝඨාභය) තෙමේ අනිත් දෙදෙනා සමඟ ම ගියේ ය.

62. ඔවුහු නගරයට පිවිස රජු හට ඉතා ලැදි ව රාජ කෘත්‍යය සිදු කරමින් (විජය) රජු සමීපයේ විසූහ.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘රජවරු දහතුන්දෙනාගේ පුවත’ නම් වූ තිස් හයවන පරිච්ඡේදයේ කොටසකි.)