36 වන පරිච්ඡේදය

රජවරු දහතුන්දෙනාගේ පුවත

63. (ඒ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන තිදෙනා) එකතු වී විජය රජු ව රජ ගෙයි දී ම ඝාතනය කොට, සේනාපති ව හුන් සංඝතිස්ස තෙමේ (අනෙක්) දෙදෙනා විසින් රාජ්‍යයේ අභිෂේක කරවන ලද්දේ ය.

64. ඒ අයුරින් අභිෂේක ලද සංඝතිස්ස තෙමේ උතුම් වූ අනුරාධපුරයේ සතර අවුරුද්දක් රජකම් කළේ ය.

65. (හෙතෙමේ) මහාසෑයේ ඡත්‍රයත්, රන් කැටයමත් කරවීය. කහවණු ලක්ෂයක් බැගින් වටිනා මහා මාණික්‍ය සතරත්

66. සතර සූර්ය මණ්ඩල මධ්‍යයේ තබ්බවන ලද රජ තෙමේ මහාසෑය මුදුනේ ඒ අයුරින් ම අනර්ඝ වූ දියමන්ති දරණුවක් සවි කළේ ය.

67. ඒ මහා ඡත්‍ර පූජෝත්සවයේ දී රජ තෙමේ සතළිස් දහසක් සංඝයා වහන්සේලාට සිවුරු හය බැගින් දුන්නේ ය.

68. දාමගල්ලකවාසී මහාදේව ස්ථවිරයන් වහන්සේ විසින් දේශනා කරන ලද, කැඳ දානයේ ආනිශංස දක්වන ඛන්ධක පාළියේ සූත්‍රය අසා පැහැදුනේ ය.

69. අසා පැහැදුනේ (හෙතෙමේ) සංඝයා වහන්සේලා උදෙසා කැඳ දානය පූජා කළේ ය. නගරයේ සතර දොරටුවේ ද මැනැවින් සකසා යහපත් අයුරින් (කැඳ) දුන්නේ ය.

70. ඒ රජ තෙමේ වරින්වර අන්තඃපුර ස්ත්‍රීන් ද අමාත්‍යවරුන් ද සමඟ දඹ අනුභව කරනු පිණිස පාචීන දිවයිනට යන්නේ ය.

71. ඔහුගේ ගමන් නිසා උපද්‍රවයට පත් පාචීන දිවයින්වාසී මනුෂ්‍යයෝ රාජ භෝජනය පිණිස වූ දඹවලට වස දැමූහ.

72. දඹ ගෙඩි කෑ හෙතෙමේ එතැන ම මැරී වැටුනේ ය. ගෝඨාභය තෙමේ සේනාපති සංඝබෝධි තෙමේ ව රාජ්‍යයේ අභිෂේක කරවූයේ ය.

73. පංචසීලයෙන් යුතු වීමෙන් ප්‍රකට වූ ඒ සිරි සංඝබෝධි රජ තෙමේ අවුරුදු දෙකක් අනුරාධපුරයේ රාජ්‍යය කරවූයේ ය.

74. (හෙතෙමේ) මහා විහාරයේ මනරම් වූ සලාක ගෙයක් කරවී ය. එකල්හී දීපවාසී ජනයා දැඩි නියඟයෙන් පීඩාවට පත් බව දැන,

75. කරුණාවෙන් කම්පිත සිතින් යුතු වූ රජ තෙමේ මහාසෑ මළුවට පැමිණ මෙසේ අධිෂ්ඨාන කොට බිම වැතිරුණේ ය.

76. “වැසි වැස ඒ වැසි දියෙන් මා නොගිල්වෙන්නේ නම් මම මෙතැන ම මිය යන්නෙමි.”

77. රජු මෙසේ වැතිරුනු කල්හි මුළු ලක්දිව ම පිනවමින් මහ වැසි ඇද හැළුනේ ය.

78. එසේ වුව ද (තමන්) ජලයේ ඉල්පී නො ගිය නිසා (රජ) තෙමේ නො නැගිට්ටේ ය. එවිට අමාත්‍යවරු මළුවෙන් වතුර බැස යන සොරොව් අහුරා දැමූහ.

79. එවිට ජලයෙන් ඉල්පී ගිය ධාර්මික වූ ඒ රජ තෙමේ නැගී සිටියේ ය. ඒ අයුරින් (හෙතෙමේ) දිවයිනේ නියඟය කරුණාවෙන් දුරු කළේ ය.

80. රටේ තැනින් තැන සොරුන් සිටින බව ඇසූ රජ තෙමේ සොරුන්ට දඬුවම් නියම කොට, (සොරකම් නො කරන නියම පිට) ඔවුනට රහසේ පලා යාමට සැලැස්වී ය.

81. රජ තෙමේ රහසේ ම අමු සොහොනේ දැමූ මෘතදේහයන් ගෙන්වා පුළුස්සා (ඒ ඝාතනය කළ සොරුන් යැයි රටවාසීන්ට අඟවා) සොර උවදුර ද නසන ලද්දේ ය.

82. ‘රක්තාක්ෂි’ නමින් ප්‍රසිද්ධ වූ එක්තරා යක්ෂයෙක් මෙහි පැමිණ ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කරයි.

83. ඒ රතු ව ගිය ඇස් ඇත්තවුන් එකිනෙකාගේ රතු ඇස් දැක බිය ව මැරී යයි. එවිට ඒ යක්ෂ තෙමේ සැකයකින් තොරව ඒ මළමිනී කා දමයි.

84. රජ තෙමේ ඒ උපද්‍රවය අසා තැති ගැනීමට පත් සිතින් යුතු ව, හුදෙකලා වී අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් ව උපවාස ගෙයක විසුවේ ය.

85. ‘ඒ යක්ෂයා ව නො දැක මෙතැනින් නො නැගිටිමි.’ යි සිතා හෙතෙමේ වැතිරුණේ ය. ඔහුගේ ඒ ධර්ම තේජසින් යක්ෂයා එතැනට ආවේ ය.

86. ඒ (රජ) තෙමේ “කවුරුන් ද?” කියා විමසන ලද කල්හි ඒ (යක්) තෙමේ තමන් ව දැන්වී ය. “කුමක් නිසා මාගේ ප්‍රජාව කන්නේ ද? නො කනු.” යැයි (රජ) තෙමේ කීවේ ය.

87. “(නො කා සිටින්නට නම්) මට එක් ජනපදයකින් එක් මිනිසෙකු බැගින් දෙන්න.” යැයි ඒ (යක්) තෙමේ පැවසී ය. “නො හැක.” යැයි කී විට (යක්) තෙමේ ක්‍රමයෙන් (ඉල්වමින්) එක් අයෙකු පමණක් ඉල්ලී ය.

88. එවිට (රජ) තෙමේ “අන් අයෙකු දිය නො හැකි ය. ඉදින් මා කනුව.” යැයි කීවේ ය. (එවිට යක් තෙමේ) “නො හැකි ය. ගමක් ගමක් පාසා බිලි පුද දෙනු මැනැවි.” යි ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

89. “යහපති.” යි එය පිළිගත් රජු විසින් සියලු දිවයිනේ ගම්දොර (ඔහු) වාසය කරවා ඔහුට බලිපිදේනි දෙවන ලද්දේ ය.

90. සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති මහාසත් තෙමේ මෙසේ උපායෙන් දිවයිනේ උපන්නා වූ මහා රෝග බිය නැති කර දැම්මේ ය.

91. රජුගේ භාණ්ඩාගාරික අමාත්‍ය වූ ගෝඨාභය තෙමේ දාමරික ව (රජුට එරෙහි ව) උතුරු දෙසින් නගරයට පැමිණියේ ය.

92. අනුන්ට හිංසා කිරීම රුචි නො වූ ඒ (සිරි සංඝබෝධි) රජ තෙමේ පෙරහන්කඩය ගෙන හුදෙකලාවේ ම දකුණු දොරටුවෙන් පලා ගියේ ය.

93. බත්මුලක් රැගෙන මාර්ගයේ යන්නා වූ එක් පුරුෂයෙක් “බත් අනුභව කරන්න.” යැයි රජු හට නැවත නැවත ආයාචනා කළේ ය.

94. දයා බහුල රජ තෙමේ දිය පෙරාගෙන බත් අනුභව කොට ඔහුට අනුග්‍රහ කරන්නට මේ වචන පැවසී ය.

95. “මම සංඝබෝධි රජු වෙමි. මාගේ හිස ගෙන ගොස් ගෝඨාභය රජුට දක්වන්න. ඔබට බොහෝ වස්තුව දෙනු ඇත්තේ ය.”

96. එසේ කරන්නට ඒ (පුරුෂ) තෙමේ නොකැමති වී ය. රජ තෙමේ ඔහුට හිත පිණිස හිඳගෙන (තමන් ම හිස සිඳ) මරණයට පත් වූයේ ය. ඔහු හිස ගෙන ගොස්

97. ගෝඨාභය රජු හට දැක්වී ය. විපරීත සිත් ඇති හෙතෙමේ ඔහුට ධනය දී (සංඝබෝධි) රජු හට (ආදාහනයෙහිලා) මැනැවින් සත්කාර කෙරෙව්වේ ය.

98. ඒ අයුරින් ඒ ගෝඨාභය තෙමේ මේඝවණ්ණාභය නමින් ප්‍රසිද්ධ ව දහතුන් අවුරුද්දක් ලංකා රාජ්‍යය කරවූයේ ය.

99. හෙතෙමේ මහා වාසලක් කරවා වාසල් දොරටුවේ මණ්ඩපය අලංකාර කරවා,

100. එහි භික්ෂු සංඝයා එක්දහස් අටනමක් වඩා හිඳුවා දිනපතා කැඳ, කැවිලි භෝජන ආදි නොයෙක් දෙයින් මනා ව

101. සිවුරු සහිත කොට මහා දන් පැවැත්වීය. මෙසේ විසි එක් දිනක් නො කඩවා කරවන ලද්දේ ය.

102. මහා විහාරයේ උතුම් පාෂාණ මණ්ඩපයක් කරවී ය. ලෝවාමහා ප්‍රාසාදයේ ටැඹ ද මාරු කරවා (යළි) තැබ්බවී ය.

103. මහා බෝධියේ ශෛලමය වේදිකාව ද උතුරු දොරටුවේ තොරණ ද සතර කොණ (ධර්ම) චක්‍රයන් සහිත ටැඹ ද පිහිටවූයේ ය.

104. (අනෙක්) දොරටු තුනෙහි ශෛලමය ප්‍රතිමා තුනක් කරවා දකුණු දොරටුවේ ශෛලමය පර්යංකයක් තැබ්බවී ය.

105. මහා විහාරයට බටහිර දෙසින් පදන්බිම ද කරවී ය. දිවයිනේ දිරා ගිය ආවාස සියල්ල ම පිළිසකර කරවූයේ ය.

106. ථූපාරාමයේ ථූපඝරය ද එසේ ම අම්බස්තලයේ චේතියඝරය ද මණිසෝම නම් ආරාමය ද පිළිසකර කරවී ය.

107. ථූපාරාමයේ ද මණිසෝමාරාමයේ ද මිරිසවැටියේ ද දක්ඛිණ විහාරයේ ද පොහොය ගෙවල් කරවූයේ ය.

108. මේඝවර්ණාභය නමින් අලුත් විහාරයක් ද කරවූයේ ය. ඒ විහාර පූජා මහෝත්සවයේ දී දන් පුදා, ලක්දිවවාසී

109. තිස්දහසක් වූ භික්ෂු සංඝයා හට සිවුරු හය බැගින් දුන්නේ ය. ඒ අයුරින් ම මහා වෙසක් පූජාවන් ද කරවන ලද්දේ ය.

110. වසරක් පාසා සංඝයා වහන්සේලාට සිවුරු හය බැගින් දුන්නේ ය. පාපීන්ට නිග්‍රහ කරවා බුද්ධ ශාසනය ශුද්ධ කරවමින්,

111. අභයගිරිවාසී වෛතුල්‍යවාදී භික්ෂු සංඝයා අතුරෙහි බුද්ධ ශාසනයට කටු බඳු වූ හැටනමක් අල්වාගෙන

112. ඔවුන් හට නිග්‍රහ කරවා මුහුදෙන් එතෙරට දැම්මවී ය. එසේ පිටුවහල් කරවන ලද තෙරනමකගේ ඇසුරට පත් සොළී භික්ෂුවක් සිටියේ ය.

113. භූත විද්‍යා ආදියෙහි දක්ෂ වූ හෙතෙමේ සංඝමිත්‍ර නම් වූයේ (අභයගිරි භික්ෂූන් පලවා හැරීමට මහා විහාරවාසී භික්ෂූන් හේතු වී යැයි අසා) මහා විහාර භික්ෂූන් කෙරෙහි කිපී මෙහි ආවේ ය.

114. (සීල ආදි) සංයම නැති හෙතෙමේ ථූපාරාමයේ සංඝ සමූහයට පිවිස පිරිවෙන්වාසී සංඝපාල (නම් වූ)

115. ගෝඨාභය රජුගේ මාමණ්ඩිය වූ ස්ථවිරයන් වහන්සේ (“පුත, ගෝඨාභය.” කියා) රජුගේ නාමයෙන් කථා කරන බස වළක්වාලීමෙන්

116. රජු හා කුළුපඟ බවට පැමිණියේ ය. ඔහු කෙරෙහි පැහැදුනු රජ තෙමේ වැඩිමහලු පුතු වූ ජෙට්ඨතිස්සවත්, බාල පුතු වූ මහසෙන්වත්

117. ඒ භික්ෂූන් වහන්සේ හට භාර කළේය. හෙතෙමේ දෙවැනියා වූ (මහසෙන්) කුමරුන් ව පහදවා ගත්තේ ය. (තමන් හට කළ වරදක් නිසා) ඒ ජෙට්ඨතිස්ස කුමර තෙමේ ඒ භික්ෂුව හට වෛර බැන්දේ ය.

118. පියරජුගේ ඇවෑමෙන් ජෙට්ඨතිස්ස තෙමේ රජ බවට පැමිණියේ ය. පියරජුගේ දේහයට සත්කාර කිරීමට පැමිණෙන්නට අකැමැති වූ

119. දුෂ්ට ඇමතිවරුනට නිග්‍රහ පිණිස රජ තෙමේ තමන් ම නික්ම මලණුවන් පෙරටු කොට යවා, ඉන් පසු පියරජුගේ දේහය ද යවා,

120. ඉනික්බිති ඇමතිවරු ද මෙහෙයවා තමන් පිටුපසින් ගොස් මලණුවන් ද පියාගේ දේහය ද නික්ම ගිය පසු

121. දොරටු වසා දමා දුෂ්ඨ ඇමතිවරුන් ඝාතනය කොට පියාගේ චිතකය වටා උල් මත හිඳවූයේ ය.

122. ඒ ක්‍රියාව හේතු කොටගෙන ඔහුගේ (ජෙට්ඨතිස්ස) නාමයට ‘කර්කශ’ යන උප පදය එක් විය. සංඝමිත්‍ර භික්ෂු තෙමේ ඒ රජු කෙරෙහි බොහෝ සෙයින් බියපත් වී ය.

123. ඔහුගේ අභිෂේකය කෙරෙන කාලයේ දී මහසෙන් හා කතිකා කොට ගත් සංඝමිත්‍ර භික්ෂුව ඔහුගේ අභිෂේකය බලාපොරොත්තුවෙන් මෙයින් නික්ම පිටරටට ගියේ ය.

124. (ඒ ජෙට්ඨතිස්ස රජ තෙමේ) තම පියාණන් විසින් අසම්පූර්ණ උතුම් ලෝවාමහාපාය සත්මහල් කොට කෝටියක් අගනා සේ කරවී ය.

125. ඒ ජෙට්ඨතිස්ස රජ තෙමේ (කහවණු) හැට ලක්ෂයක් වටිනා මැණිකක් පූජා කරවා එහි මැණික් පහය නම් (ප්‍රාසාදය ද කරවී ය.)

126. මහානර්ඝ වූ මාණික්‍යයන් දෙකක් මහා සෑයට පූජා කළේ ය. මහාබෝධි ගෘහයට තොරන් තුනක් ද කරවන ලද්දේ ය.

127. ඒ පෘථිවි පාලක තෙමේ පාචීනතිස්ස පර්වතයේ විහාරයක් කරවා, පංච ආවාසයන්ගේ වෙසෙන සංඝයා වහන්සේලාට එය දුන්නේ ය.

128. දෙවන පෑතිස් රජු විසින් පෙර ථූපාරාමයේ පිහිටුවන ලද මනා දැකුම් ඇති මහා ශෛලමය ප්‍රතිමාව

129. ථූපාරාමයෙන් බැහැර කරවා ජෙට්ඨතිස්ස රජු විසින් පාචීනතිස්ස පර්වත ආරාමයේ පිහිටුවන ලද්දේ ය.

130. හෙතෙමේ කළුමැටි වැව ද සෑගිරියට දුන්නේ ය. විහාර ප්‍රාසාදයන් ද මහා වෙසක් පූජාවන් ද යන මේවා

131. කරවා, තිස් දහසක් සංඝයා වහන්සේලාට සිවුරු හය බැගින් දුන්නේ ය. ඒ ජෙට්ඨතිස්ස රජ තෙමේ ආළඹගම වැව ද කරවී ය.

132. මේ අයුරින් රජ තෙමේ ප්‍රසාදය ඇති වන බොහෝ පින් කරවමින් දස වසරක් රාජ්‍යය පාලනය කළේ ය.

133. මේ ආකාරයෙන් නෙකවිධ පුණ්‍ය ක්‍රියාවන්ට හේතුපාදක වූ රජකම නොයෙක් පාපයන්ට ද හේතු වේ යැයි දැනගෙන, විෂ මුසු මිහිරි භෝජනයක් සෙයින් එය කිසි කලෙකත් සත්පුරුෂයන්ගේ සිත විසින් ඇසුරු නො කරනු ලබන්නේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘රජවරු දහතුන්දෙනාගේ පුවත’ නම් වූ තිස් හයවන පරිච්ඡේදය නිමා විය.)