40. නැවෙන් ගොඩ බැස්සා වූ ඒ විජය කුමරු ප‍්‍රමුඛ පිරිස වෙහෙසට පත්ව, ක්ලාන්තව ගිය නිසාවෙන් අත්ල බිම ගසා හිඳ ගත්තෝ ය.
41. යම් අයුරකින් එයින් අත්ල තඹපැහැ ගත්තේ ද ඒ නිසාවෙන් ම ඒ දේශයත්, දිවයිනත් තම්බපණ්ණී නම් විය.
42. ඒ සිංහබාහු නරේන්ද්‍ර තෙමේ සිංහයාව යටත් කොට ගත්තේ ය. එනිසාවෙන් සිංහල නම් වූ ඔහුට සම්බන්ධකම් ඇති මේ සියලූ දෙනා ම සිංහලයෝ නම් වූහ.
43. ඔහුගේ ඇමතිවරු ඒ ඒ තැන ගම් පිහිටවූහ. අනුරාධ නම් ඇමති තෙමේ කදම්බ නදී (මල්වතු ඔය) ඉවුරෙහි අනුරාධ නම් ගම පිහිටවූයේ ය.
44. පුරෝහිත උපතිස්ස තෙමේ අනුරාධපුරයට උතුරින් වූ ගම්භීර නදී (කනදරා ඔය)තීරයේ උපතිස්ස ග‍්‍රාමය ඉදි කළේ ය.
45. වෙනත් ඇමතිවරු තුන්දෙනෙක් උදේනි, උරුවෙල් හා විජිත නගර යනුවෙන් වෙන වෙන ම ගම් ඉදි කළහ.
46. ජනපද ඉදිකළ ඒ සියලූ ඇමතිවරු රැස් වී කුමරු හට ‘‘ස්වාමීනී, රාජ්‍යයෙහි අභිෂේක කරනු මැනවි” යැයි කීවෝ ය.
47. එසේ පවසන ලද විට රාජ පුත‍්‍ර තෙමේ ක්ෂත‍්‍රීය කන්‍යාවක රාජ මෙහෙසිය ලෙස අභිෂේක නො කර රාජාභිෂේකය ලැබීමට අකැමති විය.
48. ඒ ඇමතිවරු සිය ස්වාමියාව අභිෂේක කරවීමට මහත් කැමැත්ත, ආදරය ඇත්තේ, දුෂ්කරව කළ යුතු වූ ඒ කාර්යය වෙනුවෙන් ම කැප වූයේ,
49. මිණි මුතු ආදි බොහෝ වටිනා මහාසාර පඬුරු සමඟ දූතයන් අත මදුරා පුරයට යවා,
50. ස්වාමියා කෙරෙහි මහත් භක්තිය ඇත්තේ, ඒ පඬි රජුගේ දියණිය විජය කුමරු හටත්, සෙස්සවුන්ගේ දියණිවරුන් අමාත්‍යවරුන් හටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.
51. ඒ දූතයෝ නැව් මඟින් ඉක්මනින් මදුරා පුරයට ගොස් පඬුරු ද ලියුම් ද රජු හට දැක්වූහ.
52. ඒ පඬි රජ තෙමේ සිය අමාත්‍යවරුන් හා සාකච්ඡා කොට සිය දියණියත්, අමාත්‍යයන් පිණිස අන්‍යයන්ගේ දියණිවරුත් එවන්නට කැමති වූයේ,
53. ඒසඳහා අනූ නවයක් කන්‍යාවන් ලැබ, මෙසේ බෙර හැසිරවූයේ ය. ‘‘ලංකාද්වීපයට දූවරුන් යවනු කැමැත්තෝ වේ නම්,
54. ඒ දූවරුන් දෙගුණයක් සරසවා ගෘහයන්හි දොරකඩ හිඳුවත්වා! ඒ සලකුණෙන් ඔවුන් ව ගන්නෙමු.”
55. මේ ආකාරයට බෙර හැසිරවීමෙන් බොහෝ කන්‍යාවන් ලැබ, ඔවුන්ගේ කුලයන් තෘප්තියට පමුණුවා, සර්වාලංකාරයෙන් යුතු වූ දියණිවරුන් ද
56. සුදුසු වූ පරිද්දෙන් සියලූ සත්කාර ලබන ලද ඒ සියලූ කන්‍යාවන් ද රාජ ගෞරවයට ලක් වූ හත්ථි ශිල්පී, රථ ශිල්පී යන
57. අටළොස් ශිල්පී සමූහයන්ගෙන් කුල දහසක් ද සතුරන් පරදවා ජයගත් විජය කුමරු හට ලියුම් සහිතව එවූහ.
58. ඒ සියලූ ජනතාවෝ නැවින් පැමිණ මහතොටෙහි ගොඩ බැස්සෝ ය. එනිසා ම එම පටුනට මහතොට (මාන්තොට්ටම්) යැයි කියනු ලබන්නේ ය.
59. විජය කුමරුට දාව ඒ යකිනිය හට පුතෙක් ද දුවක් ද වූහ. රාජ කන්‍යාවගේ පැමිණීම ඇසූ විජය කුමරු යකිනිය හට මෙසේ කීවා ය.
60. ‘‘සොඳුර, දරුවන් දෙදෙනා තබා ඔබ දැන් යා යුතු ය. මනුෂ්‍යයන් සෑම කල්හි ම අමනුෂ්‍යයන් හට බිය වන්නාහු ය.”
61. ඒ අසා, යක් බියෙන් බියට පත් ඒ යකිනිය හට ‘ඔබට දහසකින් යුත් බලි දානය සපයන්නෙමි. ශෝක නො කරව’ යැයි ද කීවේ ය.
62. බියෙන් අගතියට පත් ඕ තොමෝ නැවත නැවතත් ඔහු හට යැද, දරු දෙදෙනා රැගෙන යා යුතු දෙසක් නො වූ නිසාවෙන් ලංකා පුරය බලා ගියා ය.
63. පුතුන් පිටත හිඳුවා යකිනි තොමෝ නුවරට ඇතුළු වූවා ය. ඒ යකිනිය දැක, හැඳින, සැතිරියකැයි හඳුනා ගැනීම් ඇති ඒ ලංකාපුර යක්ෂයෝ කැලඹීමට පත් වූහ.
64. ඉන් එක් රුදුරු වූ, සාහසික වූ යක්ෂයෙක් එක් අතුල් පහරකින් ම යකිනිය මරා දැමුවේ ය.
65. ඒ යකිනියගේ මාමණ්ඩිය වූ යක්ෂ තෙමේ නුවරෙන් බැහැරට යන අතරේ ඒ දරු දෙදෙනා දැක ‘‘ඔබ කාගේ දරුවන් ද?” යැයි ඇසුවේ ය.
66. කුවේණියගේ බව අසා, ‘‘මෙහි දී ඔබගේ මෑණියන් මරන ලද්දේ ය. දුටුවහොත් ඔබ ද මරා දමන්නේ ය. එනිසා වහ වහා පලා යව.” යැයි කීවේ ය.
67. ඔවුහු වහා පලා ගොස් සමන්ත කූටයට පැමිණියෝ ය. ඒ වැඩිමහලූ පුත‍්‍ර තෙමේ තරුණ වියට පත්ව ඒ නැගණිය සමඟ වාසය කළේ ය.
68. ඔවුහු ද බොහෝ පුතුන් ලැබුවෝ, ඒ කඳුකර ප‍්‍රදේශයෙහි ම වාසය කළහ. වැද්දන්ගේ උපත මේ ආකාරයෙන් සිදු විය.
69. පඬි රජුගේ දූතයන් ඔවුන් ගෙනා පඬුරුත්, රාජ දියණිය ආදි සියල්ලත් විජය කුමරු වෙත පැමිණවූහ.
70. විජය කුමර තෙමේ ඒ දූතයන්ට සත්කාර සම්මාන සිදුකොට, අමාත්‍ය පිරිසට සුදුසු පරිදි කන්‍යාවන් සරණ පාවා දුන්නේ ය.
71. සියලූ ඇමතියෝ එක් රැස්ව සුදුසු වූ ආකාරයෙන් ම විජය කුමරුන් ව රාජ්‍යයෙහි අභිෂේක කළෝ ය. ඒ වෙනුවෙන් ම මහත් වූ සැණෙකෙළි ද පැවැත්වූහ.
72. ඉන්පසුව විජය රජ තෙමේ මහා පෙරහරින් යුතුව පඬි රජුගේ දියණිය මෙහෙසිය ලෙස අභිෂේක කළේ ය.
73. හෙතෙම ඇමතිවරුන්ට ධන වස්තු දුන්නේ ය. මාමණ්ඩිය වූ පඬි රජු හට වසරක් පාසා දෙලක්ෂයක් වටිනා සක් මුතු ද දුන්නේ ය.
74. ඒ විජය නරනිඳු තෙමේ පෙර වූ විෂම චර්යාවන් අත්හැර දැහැමින් යුතුව ලක්දිව අනුශාසනා කරමිත් තිස් අට වසරක් පුරා තම්බපණ්ණියෙහි රජකම් කළේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ විජයාභිෂේකය නම් වූ හත්වන පරිච්ඡේදය නිම විය.