– පණ්ඩුවාසදේවාභිෂේකය –

01. විජය රජ තෙමේ ආයු කෙළවරට පැමිණියේ මෙසේ සිතුවේ ය. ‘මම දැන් වයස් ගත වූයෙමි. මාගේ පුත‍්‍රයෙකු නැත්තේ ය.
02. අපහසුවෙන් ගොඩනැගූ රට මාගේ ඇවෑමෙන් නැසී යන්නේ ය. රාජ්‍යය කරවනු පිණිස මගේ මලණුවන් වන සුමිත්තයන් මෙහි ගෙන්වමි.’
03. පසු ව ඔහු සිය අමාත්‍යවරුන් හා සාකච්ඡා කොට එරටට හසුන් යැව්වේ ය. එලෙස හසුන් යවා ටික කලකින් විජය රජු දිවංගත වූයේ ය.
04. රජු මිය ගිය පසු ඒ ඇමතිවරු රජ කුමරෙකු පැමිණෙන තුරු මඟ බලමින්, උපතිස්ස ග‍්‍රාමයේ වෙසෙමින් රාජ්‍යය අනුශාසනා කළෝ ය.
05. විජය රජුගේ මරණයෙන් පසු රජ කුමරෙකු මෙහි පැමිණෙන තුරු වර්ෂයක් පුරා ලංකාද්වීපය අරාජික විය.
06. ඒ සිංහපුරයේ සිංහබාහු රජුගේ ඇවෑමෙන් රජුගේ පුත් සුමිත්තයන් රජ විය.
07. මදු රජුගේ දියණියක වූ මෙහෙසියගෙන් ඔහුට පුතුන් තිදෙනෙක් විය. ලංකාද්වීපයේ දූතයෝ සිංහපුරයට ගොස් ඒ රජුට හසුන්පත් දැක්වූහ.
08. හසුන් කියවූ රජ තෙමේ තම පුතුන් තිදෙනාට කථා කළේ ය. ‘‘දරුවෙනි, මා දැන් මහලූ ය. ඔබලා අතරින් අයෙකු,
09. මාගේ සොහොයුරු සන්තකව ඇති, නොයෙක් ගුණයෙන් යුතු, සිත් ගන්නා සුළු වූ ලංකාද්වීපයට ගොස් ඔහුගේ ඇවෑමෙන් එහි රජකම් කරත්වා!” යැයි පැවසුවේ ය.
10. කනිෂ්ඨ පණ්ඩුවාසදේව නම් රජ කුමර තෙමේ ‘යන්නෙමි’ යැයි සිතා සුවසේ ගමන ද දැන,
11. පිය රජු විසින් අනුදක්නා ලැබුවේ, ඇමතිවරු තිස්දෙදෙනෙකුගේ එක් එක් දරුවෙකු බැගින් ගෙන, පරිව‍්‍රාජක වෙස් දරා නැව් නැංගේ ය.
12. මාකඳුරු ඔය මෝයෙහි ගොඩබට මේ පරිව‍්‍රාජකයන් දුටු ජනයා ඔවුන්ට මැනැවින් සත්කාර කළහ.
13. ඒ නුවර විමසා බලා ක‍්‍රමයෙන් ඇතුළට යන්නා වූ ඔවුහු දෙවියන් විසින් ආරක්ෂා කරන ලද්දේ උපතිස්ස ග‍්‍රාමයට පැමිණියෝ ය.
14. ඇමතිවරුන්ගේ අනුමැතියෙන් එක් ඇමතිවරයෙක් නිමිති පවසන්නන්ගෙන් ක්ෂත‍්‍රීයයන්ගේ යාම්ඊම් ගැන විමසා බැලූවේ ය.
15. ‘‘සත්වන දවසෙහි ක්ෂත‍්‍රීය කුමරෙක් පැමිණන්නේ ය. මොහුගේ වංශයෙන් පැවතෙන්නෙක් බුද්ධ ශාසනය පිහිටුවන්නේ ය.” කියා ඒ නිමිති පවසන්නා ඇමතිවරයාට පැවසුවේ ය.
16. ඇමති තෙමේ සත්වන දවසෙහි දී ම එහි පැමිණි පරිව‍්‍රාජක පිරිස දැක විමසා දැන,
17. ඒ පණ්ඩුවාසදේවයන් ලංකා රාජ්‍යයෙහි පිහිටවූයේ ය. මෙහෙසියක් නො වූයෙන් ඒ කුමර තෙමේ එතෙක් අබිසෙස් නො කළෝ ය.
18. ශාක්‍යවංශික අමිතෝදන නම් රජු හට පණ්ඩුශාක්‍ය නම් පුතෙකු විය. හෙතෙමේ ශාක්‍යයන්ගේ විනාශය දැක ඒ ජනයා හැර පියා,
19. අප‍්‍රසිද්ධ වේෂයක් ගෙන, ගංගා නම් ගඟින් එතෙර ව එහි නුවරක් ද ඉදිකරවා රාජ්‍යය විචාරන්නේ දරුවන් සත්දෙනෙකු ලද්දේ ය.
20. කනිටු දියණිය භද්දකච්චානා නම් වූවා ය. ඕ සියලූ ස්තී‍්‍ර ලක්ෂණයන්ගෙන් යුතු ව සුරූපී වූයේ ජනයා විසින් ඇලූම් කරන ලද්දී ය.
21. ඇය ව ලබා ගනු පිණිස රජවරුන් සත්දෙනෙකු මාහැඟි පඬුරු රජු වෙත එව්වේ ය. පණ්ඩුශාක්‍ය තෙමේ රජවරුන් නිසා බියට පත් වූයේ,
22. සුවපහසු ගමන් ද අබිසෙස් ඵල ද දැන ස්තී‍්‍රන් තිස්දෙදෙනෙකු සමඟ ඇය ව වහා නැව්නංගා,
23. ‘හැකි අයෙක් මාගේ දියණිය ගනිත්වා’ යැයි ගංගා නම් ගඟට පිටත් කර හැරියේ ය. ඒ ‘සීඝගා’ නෞකා තොමෝ,
24. දෙවෙනි දවසේ දී ම ගෝණගම් පටුනට පැමිණියා ය. පැවිදි වෙස් ගත් ඒ සියල්ලෝ එහි ගොඩබැස්සෝ ය.
25. ඒ නුවර විමසා බලා ක‍්‍රමයෙන් ඇතුළට එන ඔවුහු දෙවියන් විසින් ආරක්ෂා කරන ලද්දේ උපතිස්ස ග‍්‍රාමයට පැමිණියහ.
26. නිමිති පවසන්නන්ගේ වචන අසා, එහි පැමිණි පිරිස දැක ඔවුන්ව හඳුනා ගත් ඇමති තෙමේ ඔවුන් ව රජු හට භාර කළේ ය.
27. යහපත් නුවණකින් යුතු වූ ඒ ඇමතියෝ සියලූ සිතැඟි සපිරුණා වූ ඒ පණ්ඩුවාසදේව කුමරුන් රාජ්‍යයේ අභිෂේක කළෝ ය.
28. අලාමක වූ රූ ඇති ඒ යහපත් භද්දකච්චානා කුමරිය සිය මෙහෙසි ධූරයේ අබිසෙස් කළ පණ්ඩුවාසදේව රජු ඒ මෙහෙසිය සමඟ පැමිණියවුන්, තමන් සමඟ පැමිණි පිරිසට විවාහකර දී සැප සේ වාසය කළේ ය.

අභයාභිෂේකය –

01. ඒ මෙහෙසි තොමෝ පුතුන් දස දෙනෙකු සහ එක් දියණියක බිහි කළා ය. සියල්ලන්ට ජ්‍යේෂ්ඨ වූ පුතු ‘අභය’ නම් වූ අතර කනිටු වූ දියණිය ‘චිත‍්‍රා’ නම් වූවා ය.
02. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙහි පරතෙරට පැමිණි බමුණෝ ඇයව දැක, ‘‘මැයගේ පුතෙකු මතු රාජ්‍යය පිණිස මාමාවරුන් ඝාතනය කරන්නේ ය” යැයි පැවසුවෝ ය.
03. එබස් අසා ‘නැගණිය මරන්නෙමු’ යැයි නිශ්චිත කොටගත් බාල සොහොයුරන් ව වැඩි මහලූ අභය කුමරු විසින් වළක්වන ලද්දේ ය. දිගු කාලයක් ඇයට එක්ටැම් ගෙයක වෙසෙන්නට සැලැස්වූහ.
04. රජුගේ සිරියහන් ගබඩාව සමඟ ඒඑක් ටැම්ගෙයි දොර සෑදූහ. එක දාසියක් ඇතුළත රැඳවූහ. පිටින් මිනිස් රැකවල් දැමූහ.
05. යම් ආකාරයකින් ඕ දුටු පමණින් ම රූපයෙන් මිනිසුන් උන්මාදයට පත් වී ද ඒ නිසාවෙන් අන්වර්ථ නාම ලද්දී ‘උන්මාද චිත‍්‍රා’ නම් වූවා ය.
06. භද්දකච්චානා දේවියගේ ලංකාගමනය අසා මෑණියන් විසින් මෙහෙය වනු ලැබූ පුත‍්‍රයෝ එක් අයෙකු එහි තබා මෙහි පැමිණියෝ ය.
07. ලංකාද්වීපය හිමි ඒ පණ්ඩුවාසදේවයන් ව ද නැගණිය ව ද දැක ඔවුහු එක්ව හඬා,
08. ඒ බිසව හා රජු විසින් සිදු කළ සත්කාර ලැබුවෝ රජුගේ අනුමැතියෙන් ලක්දිව චාරිකා කළෝ, කැමති පරිද්දෙන් නිවාස ද ඉදි කළහ.
09. රාම කුමරුන් වාසය කළ තැන ‘රාමගෝණ’ යැයි කියනු ලබන්නේ ය. උරුවේල, අනුරාධ යන දෙදෙනාගේ නිවාසයන් ද ඒ ඒ ලෙස ම (උරුවේලය, අනුරාධ ග‍්‍රාම යැයි) කියනු ලබන්නේ ය.
10. එසේ ම විජිත, දීඝායු සහ රෝහණ යන අයගේ වාසස්ථානයන් විජිත ග‍්‍රාම, දීඝායු ග‍්‍රාම, රෝහණ යැයි කියනු ලබන්නේ ය.
11. ඒ අනුරාධ තෙමේ දකුණු පැත්තෙන් වැවක් තැන වී ය. අනතුරු ව රාජ ගෘහයක් සාදවා එහි ම වාසය කළේ ය.
12. පණ්ඩුවාසදේව මහ රජ තෙමේ තම වැඩිමහලූ පුතණුවන් වූ අභය කුමරුව සුදුසු කාලයේ දී උපරාජ්‍යයෙහි අභිෂේක කළේ ය.
13. දීඝායූ කුමරුගේ පුත් වූ දීඝ ගාමිණී උන්මාද චිත‍්‍රාවගේ පුවත අසා ඇය දකිනු පිණිස කුතහල ඇත්තේ,
14. උපතිස්ස ග‍්‍රාමයට ගොස් රජු බැහැදුටුවේ ය. රජ තෙමේ උප රජු හා රාජ උපස්ථානය මේ කුමරු හට පිරිනැමුවේ ය.
15. දැල් කවුළුව අබියසට පැමිණ සිටි ඒ චිත‍්‍රා කුමරිය ගාමිණී කුමරුන් දැක ඇලී ගිය සිත් ඇත්තී,
16. ‘‘ඔහු කවුරුන් ද?” යැයි අසා, පසු ව මාමණ්ඩියගේ පුතු බව දැන ගෙන දාසියට එහි යන්නට නියෝග කළා ය.
17. හෙතෙමේ රැයේ කර්කටක යන්ත‍්‍රයට නැගී දැල් කවුළුව බිඳ දමා එයින් ඇතුළු විය.
18. කවුළුවේ සන්ධි වසා දැමූ ඔහු ඇය හා වාසය කර අළුයම බැහැර ගියේ ය. මෙලෙස හෙතෙමේ නිතර එහි වාසය කළ ද සිදුරක් නො වූ නිසාවෙන් ඒ බව අප‍්‍රසිද්ධ විය.
19. ඕ තොමෝ ඔහු නිසා ගැබ් ගත්තී ය. පසු ව දරු ගැබ මෝරා ගියේ ය. දාසිය මේ බව මව් බිසවට පැවසුවා ය. මව් බිසව දියණියගෙන් එය අසා,
20. රජු හට පැවසුවා ය. රජ තෙමේ පුතුන් කැඳවා ‘‘ඔහු ව ද අප විසින් රැුකිය යුත්තේ ය. ඔහුට ඇය දෙමු” යැයි පැවසුවේ ය.
21. ‘ඉදින් පුතෙකු උපන්නේ නම් ඔහු මරන්නෙමු’ යැයි උන්මාද චිත‍්‍රාව දීඝගාමිණී කුමරු හට පාවා දුන්හ. දරු ප‍්‍රසූතියට කාලය එළඹි කල්හි ඇය වැදුම් ගෙයට වූවා ය.
22. දීඝගාමිණී කුමරුගේ සේවකයන් වූ චිත්ත හා කාලවේල යන දෙදෙනා මේ දෙයට හේතු වූයේ යැයි සැකකොට,
23. රාජ කුමාරවරුන් ඒ ප‍්‍රතිඥ නො දෙන්නවුන් මරා දැමූහ. ඔවුන් දෙදෙනා යක්ෂ යෝනියෙහි ඉපිද ගර්භයෙහි සිටින්නා වූ කුමරුට අරක් ගත්හ.
24. ඒ කුමරිය දරු ප‍්‍රසූතිය ආසන්නව සිටින්නී වෙනත් එවන් ගැහැනියකට දාසිය ලවා උපස්ථාන කළා ය. කුමරි තොමෝ පුතෙකු බිහි කළ අතර ඒ ගැහැනිය දුවෙක බිහි කළා ය.
25. චිත‍්‍රා තොමෝ ඒ ගැහැනියට මසු දහසක් හා සිය පුතු දී ඒ දියණිය ගෙන්වා ළඟ තබා ගත්තී ය.
26. දියණියක ලැබුණේ යැයි ඇසීමෙන් ඒ රජ කුමරුවෝ සතුටු වූහ. මව් කුමරිය ද ඇයගේ මෑණියන් වූ මව් බිසව ද දෙදෙනා එක්ව කුමරු හට,
27. මුත්තණුවන්ගේ හා දෙටු මයිලණුවන්ගේ නම් එක්කොට ‘පණ්ඩුකාභය’ යැයි නම් තැබුවෝ ය.
28. ලංකා පාලක පණ්ඩුවාසදේව රජ තෙමේ තිස්හය වසරක් මෙහි රජකම් කළේ පණ්ඩුකාභය කුමරු උපන් කාලයේ දී මිය ගියේ ය.
29. ඒ රජු මරණයට පත්වූ කල සියලූ රාජ පුත‍්‍රයන් එක්ව, අභය දානය කරන්නා වූ අභය නම් සොහොයුරු කුමරු හට උදාර වූ රාජාභිෂේකය සිදු කළෝ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘පණ්ඩුවාසදේවාභිෂේකය’ නම් වූ අටවන පරිච්ෙඡ්දය සහ ‘අභයාභිෂේකය’ නම් වූ නවවන පරිච්ඡේදය නිම විය.