ගාමණී අභය රජුගේ විජයග්‍රහණය

01. ඉන් පසුව ගාමණී අභය රජ තෙමේ ජනයාට සංග්‍රහ කොට, කුන්තායුධයේ ධාතු නිදන් කරවා, යාන වාහන බල සේනා ඇතිව

02. තිස්සමහාරාමයට ගොස් සංඝයා වහන්සේලා වැඳ “ශාසනය බබළවන්නට මම ගඟෙන් එතෙරට යන්නෙමි.

03. සත්කාර කරනු පිණිස අප හා කැටුව යන්නට භික්ෂූන් වහන්සේලා දුන මැනැවි. භික්ෂූන් වහන්සේලාගේ දසුන අපට මංගල්‍යයක් වන්නේ ය.” (යැයි කී ය.)

04. සංඝ තෙමේ (සොහොයුරන්ගේ යුද්ධයට පෙර එකිනෙකා සමඟි කරවීමට උනන්දු නො වූ නිසා) දඬුවමක් වශයෙන් පන්සියයක් භික්ෂු සංඝයා දුන්නේ ය. රජ තෙමේ ඒ භික්ෂු සංඝයා වහන්සේලා ගෙන එතැනින් නික්ම

05. මලය රට සිට මෙහි (අනුරාධපුර) එන මාර්ගය සුද්ධ කරවා කඩොල් ඇතු පිට නැගී යෝධයන් පිරිවරාගෙන,

06. මහත් වූ බල සේනා සමගින් යුද්ධයට නික්මුණේ ය. මාගම සිට ගුත්තල දක්වා ම එකට බැඳී ගත් සේනාවක් වී ය.

07. මහියංගණයට පැමිණ ඡත්ත නම් දමිළයා අල්ලා ගත්තේ ය. එහි දමිළයන් නසා අම්බතිට්ඨයට පැමිණ

08. ගඟ නම් වූ දිය අගල ඇති එහි තිත්ථම්බ නම් වූ මහත් බල ඇති කෘතහස්ත වූ දමිළයා යුද්ධ කළ හෙයින්, මාස හතරකින්

09. (තම) මෑණියන් පෙනෙන්නට සලස්වා එම සෙන්පතියා උපායෙන් අල්ලා ගත්තේ ය. එයින් බැස මහත් බල ඇති දෙමළ රජුන් හත්දෙනෙකු

10. එක දවසින් ම අල්ලාගෙන බිය රහිත කොට, මහත් බල ඇත්තේ බල සේනාවට ධනය දුන්නේ ය. එනිසා (එහි කළා වූ) ආරාමය ‘ඛේමාරාමය’ යැයි කියනු ලැබේ.

11. මහා කොට්ඨන්තරයේ සොබ්භ, දොරණගම ගවර, හල්කොළ නම් ගම ඉස්සරිය, නාළිසොබ්භයේ නාළික

12. දික්අබාගල දීඝාභය (යන දමිළයන්) ද අල්ලා ගත්තේ ය. කසාතොට කපිසීය (නම් දමිළයා) මාස හතරකින් අල්ලා ගත්තේ ය.

13. කෝට නුවර කෝට ද ඉන් පසු හාලවහාණක ද වහිට්ඨ නම් ස්ථානයේ වහිට්ඨ නම් දමිළයා ද ගැමුණුගම ගැමුණු ද

14. කුඹගම කුඹ ද නන්දිගම නන්දික ද තඹගම තඹ ද (යන දමිළයන්) ගත්තේ ය.

15. උණ්න නම් ගම එනමින් ම වූ මාමා ද බෑණා ද ජම්බු නම් ගම එනම් ඇත්තා ද අල්ලා ගත්තේ ය.

16. ‘සිය සේනාව නො හැඳින සිය පිරිස ම නසන්නේ ය’ යැයි අසා රජ තෙමේ එහි දී මෙසේ සත්‍යක්‍රියා කළේ ය.

17. “මාගේ මේ ව්‍යායයාමය කිසි කලෙකත් රජ සැප පිණිස නො වන්නේ ය. මාගේ මේ වෑයම බුද්ධ ශාසනය පිහිටුවීම පිණිස ම ය.

18. මේ සත්‍යානුභාවයෙන් මාගේ සේනාවගේ කයෙහි භාණ්ඩ ගිනිදැල් වැනි වේවා!” එවිට එය එසේ ම සිදු විය.

19. ගංතෙර වාසය කළ දමිළයන් නැසූවෙන් ඉතිරි සියලු දමිළයන් ආරක්ෂාව පිණිස විජිතපුරට පිවිසුණේ ය.

20. පහසු වූ, සමතලා බිමක කඳවුරක් පිහිටුවන ලදී. ඒ ස්ථානය ‘කඳවුරුපිටිය’ යන නමින් ප්‍රසිද්ධ වී ය.

21. රජ තෙමේ විජිතපුරය අල්ලා ගනු පිණිස විමසා බලන්නේ පැමිණෙන්නා වූ නන්දිමිත්‍රව දැක කණ්ඩුල ඇතු යැවී ය.

22. ඒ නන්දිමිත්‍ර තෙමේ තම දෑතින්, තමන් අල්ලා ගන්නට ආ ඇතුගේ දළ දෙක පෙළා උක්කුටිකයෙන් හිඳුවී ය.

23. ඒ නන්දිමිත්‍රත්, ඇතුත් යම් තැනක යුද කළේ ද ඒ හේතුවෙන් එහි ඉදි කළ ගම ‘හත්ථිපොර’ යැයි කියනු ලබන්නේ ය.

24. රජ තෙමේ දෙදෙනාව ම විමසා බලා විජිතපුරට ගියේ ය. දකුණු දොරටුවේ දී යෝධයන් බිහිසුණු සංග්‍රාමයක නියැළුණහ.

25. නැගෙනහිර දොරටුවේ දී වේළුසුමන තෙමේ අසු පිටට නැංගේ බොහෝ ගණනක් දමිළයන් නැසුවේ ය.

26. දමිළයෝ දොරටුව වැසූහ. රජ තෙමේ යෝධයන් යැවුවේ ය. කණ්ඩුලත්, නන්දිමිත්‍රත්, සුරනිමලත් දකුණු දොරටුවේ වූවෝ ය.

27. මහාසෝණ ද ගෝඨයිම්බර ද ථේරපුත්තාභය ද යන තිදෙනා ඉතිරි දොරටු තුනෙහි කටයුතු කළෝ ය.

28. ඒ (විජිතපුර) නගරය වනාහි දිය අගල් තුනකින් ද උස් වූ පවුරකින් ද රකිනා ලද්දේ ය. ලෝහයෙන් කරවන ලද (එහි) දොරටුව සතුරන්ට බිඳ හෙළිය නො හැක්කේ ය.

29. ඒ ඇත් තෙමේ දෙදණින් වැටී හිඳ දළ දෙකින් ගල් ගඩොල් බිඳ යකඩ දොර වෙත එළඹුණේ ය.

30. තොරණේ හුන් දමිළයෝ නොයෙක් ආකාරයේ ආයුධ ද කැකෑරූ ලෝහ ගුලි ද එසේ ම කකාරවන ලද ලාටු ද දැමූහ.

31. පිටට හෙළුෑ ලාටු දුම් දමන කල කඩොල් ඇත් තෙමේ වේදනාවෙන් මිරිකෙමින් දිය සහිත තැනට දිව ගොස් එහි ගිලුණේ ය.

32. ගෝඨයිම්බර තෙමේ, (උහුට) “මේ නුඹට සුරාපානය නො වේ. යකඩ දොර හැරිය යුතු ය. යනු. දොර බිඳිනු.” යැයි කී ය.

33. ඒ උතුම් ඇත් තෙමේ මාන්නය උපදවාගෙන කුංචනාද කොට දියෙන් ගොඩට පැමිණ එඩි බල ඇතිව සිට ගත්තේ ය.

34. ඇත් වෙද තෙමේ ලාටු ගලවා බෙහෙත් කළේ ය. රජ තෙමේ ඒ ඇතු පිට නැගී කුම්බස්තලය පිරිමැද,

35. “දරුව කණ්ඩුල, මුළු මහත් ලංකාද්වීපය ම ඔබට දෙන්නෙමි.” යි ඒ ඇතු සතුටු කරවා, උතුම් භෝජන කවා,

36. සළුවෙන් වෙලා, මනා වූ සන්නාහ ලා, ඒ සන්නාහයන් මතුපිට සත් වරක් මී ගොනුන්ගේ සම් බන්දවා,

37. ඒ මතුපිට තෙල් සම් ලා ඒ ඇතු මෙහෙයවූයේ ය. ඒ ඇත් තෙමේ හෙණ හඬක් සේ ගර්ජනා කරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස්

38. දළ දෙකින් ලෑලි බිඳ දැමුවේ ය. එළිපත්ත පයින් බැහැර කළේ ය. දොරපළු සහිත ඒ යකඩ දොර ගුගුරාගෙන බිම වැටිණි.

39. තොරණේ ලී දඬු රැස ඇතු පිටට වැටෙන බව දුටු නන්දිමිත්‍ර (ඒවා) අතින් පෙරලා දැමුවේ ය.

40. ඒ ක්‍රියාව දුටු කණ්ඩුල තුටු සිත් ඇත්තේ (නන්දිමිත්‍ර) පෙර කරන ලද දළ පෙළීම ගැන වූ වෛරය අත් හළේ ය.

41. කණ්ඩුල නම් වූ ඒ උතුම් ඇත් තෙමේ තමා පිටින් ම නුවරට පිවිසෙනු පිණිස (ඇරයුම් කරමින්) නැවතී හිඳ (නන්දිමිත්‍ර) යෝධයා දෙස බැලුවේ ය.

42. ‘ඇතු (විවර) කළ මාර්ගයෙන් නො පිවිසෙමි.’ යි සිතා නන්දිමිත්‍ර තෙමේ අතින් ප්‍රාකාරයට ගැසුවේ ය.

43. රියන් දහ අටක් උස ඒ පවුර අට ඉස්බක් දුරට වැටුණේ ය. (ඇත් තෙමේ එවර) සුරනිමල දෙස බැලී ය. හෙතෙමේ ද (ඇතුගේ) මඟ අකැමැතිව

44. පවුරෙන් පැන නුවර ඇතුළට පිවිසියේ ය. ගෝඨයිම්බර හා සෝණ ද ඒ ඒ දොර බිඳ ඇතුළු වූහ.

45. ඇත් තෙමේ රිය සකක් ද නන්දිමිත්‍ර තෙමේ ගැලැත්තක් ද ගෝඨයිම්බර තෙමේ නෙරළු ගසක් ද සුරනිමල තෙමේ උතුම් කඩුවක් ද

46. මහාසෝණ තෙමේ තල් ගසක් ද ථේරපුත්තාභය තෙමේ මහා යගදාවක් ද ගෙන වෙන් වෙන්ව ම මාර්ගවලට පිවිස එහි දමිළයන් සුණු විසුණු කළෝ ය.

47. ක්ෂත්‍රීය (ගාමණී අභය රජ) තෙමේ මාස හතරකින් විජිතපුරය ද බිඳ ගිරිල නම් නුවර ගෙන ගිරිල නම් දමිළයා නැසුවේ ය.

48. එතැනින්, මහා දිය අගලක් ඇති, හිඟුරු වැල්වලින් හාත්පස වැසී ගත් මහේල නගරයට ගොස්

49. එක් දොරටුවක් පමණක් වූ, පිවිසීමට දුෂ්කර වූ එහි මාස හතරක් වාසය කොට රජ තෙමේ චර පුරුෂයන් ලවා ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීමෙන් මහේල රජු අල්ලා ගත්තේ ය.

50. එතැනින් අනුරාධපුරයට පැමිණෙන්නා වූ රජ තෙමේ කසාගලින් එපිට කඳවුරු පිහිටුවේ ය.

51. පොසොන් මාසයේ දී එනම් වැව කරවා එහි දිය ක්‍රීඩා කළේ ය. එතැන කළ නගරය පොසෝන නගරය නම් වේ.

52. ගාමණී අභය රජු යුද්ධය පිණිස එහි ආ බව ඇසූ එළාර රජ තෙමේ ඇමතිවරුන් රැස් කරවී ය.

53. ‘ඒ රජු, තෙමේ ම යෝධයෙකි. ඔහුගේ යෝධයෝත් බොහෝ ය. ඇමතිවරුනි, කුමක් කළ යුතු ද? අපගේ මේ පිරිස සිතන්නේ කුමක් ද?”

54. එළාර රජුගේ දීඝජන්තු ආදි වූ යෝධයෝ “හෙට යුද්ධ කරන්නෙමු.” යි මෙසේ නිශ්චය කළෝ ය.

55. ගාමණී අභය රජ තෙමේ ද මෑණියන් හා සාකච්ඡා කොට ඒ මව්බිසවගේ උපායෙන් බලකොටු තිස් දෙකක් කරවී ය.

56. එහි, රජුගේ කොඩිය දරා සිටින රජ රූ (තිස් දෙකක්) තැබී ය. රජ තෙමේ ඇතුල් කොටුවක සිට ගත්තේ ය.

57. එළාර රජ තෙමේ සන්නද්ධ වී මහා පර්වත නම් ඇතුපිට නැගී යාන වාහන හා බල සේනාව සමග එහි ගියේ ය.

58. සංග්‍රාමය පවතින කල්හි මහත් බල ඇති දීඝජන්තු තෙමේ කඩු හා පළිහ ගෙන බියකරු ලෙස යුද වදිමින්

59. රියන් දහ අටක් පමණ අහසට පැන ඒ (ගාමණී අභය) රජුගේ රුව කඩුවෙන් පැහැර පළමු බලකොටුව බින්දේ ය.

60. මෙසේ අනෙක් බලකොටු ද බිඳ දමා මහත් බල ඇත්තේ ගාමණී අභය රජු සිටි බලකොටුව වෙත ගියේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ගාමණී අභය රජුගේ විජයග්‍රහණය’ නම් විසි පස් වන පරිච්ඡේදයේ කොටසකි.)