මහා බෝධිය වැඩමවීම

01. මහා බෝධිය රකිනු පිණිස දහ අටක් වූ දේව කුලයන් ද දී කුල අටක ඇමතියන් ද
02. අට කුලයක බ‍්‍රාහ්මණයන් ද පවුල් අටක සිටුවරු ද ගොපලූ කුලයන් හා තරස් (තරච්ඡ), කළිඟු කුලයන්ගෙන් ද
03. එසේ ම පේෂකාර, කුඹල් කුලයන් ද සියලූ සේනා සම්බන්ධ කුලයන් ද නාග යක්ෂයන් ද
04. රන්මුවා රිදී කළයන් ද අට බැගින් දී ගංගා නම් ගෙඟහි වූ සරසන ලද නැවට නංවා,
05. මෙහෙණින් වහන්සේලා සහිත වූ සංඝමිත්තා මහ තෙරණිය ද අරිට්ඨ කුමරු ඇතුළු පිරිස ද නැව් නංවා,
06. නගරයෙන් නික්ම වින්ද්‍යා වනය දවස් සතකින් ඉක්මවා රජ තෙමේ තාමලිප්ති නම් තොටට පැමිණියේ ය.
07. දෙවියන් ද නාගයන් ද මිනිසුන් ද අතිශයින් උදාර වූ පූජාවන්ගෙන් මහා බෝධිය පුදමින් සත් දවසින් ම එහි පැමිණියහ.
08. රජ තෙමේ මහා බෝධිය මහා සමුදුරු තීරයේ හිඳුවා යළිත් වරක් මහා රාජ්‍යයෙන් පිදුවේ ය.
09. මෙසේ කැමති පරිදි මහා බෝධිය මහා රාජ්‍යයේ අභිෂේක කොට උඳුවප් මස පුර පස,
10. මහා බෝධිය නැවට වැඩම කරවන්නට පැළලූප් නුවර සල් රුක් මුල දී දෙන ලද එ් අට, අට බැගින් වූ කුලවාසීන් හා
11. මහා බෝධිය ඔසවාගෙන ගෙල දක්වා දියෙහි බැස මනා කොට නැවෙහි පිහිටුවේ ය.
12. මෙහෙණින් වහන්සේලා සමඟ එ් මහා තෙරණිය ද මහා අරිට්ඨ මහ ඇමති තෙමේ ද නැවට නංවා මේ වචනය කීවේ ය.
13. ‘‘මම වනාහී තුන් වරක් මහා බෝධිය රාජ්‍යයෙන් පිදුවෙමි. එසේ ම මගේ යහළු රජ තෙමේ ද (මහා බෝධිය) රාජ්‍යයෙන් පුදාවා!”
14. මේ වචනය කියා මහරජ තෙමේ ඇඳිලි බැඳගෙන ඉවුරේ හිඳිමින් වැඩම කරන්නා වූ මහා බෝධිය දකිමින් කඳුළු වැගිරුවේ ය.
15. මහා බෝධියෙන් වෙන් වීම නිසා ශෝකයට පත්වූ ධර්මාශෝක මහරජ තෙමේ හඬා වැළපී ස්වකීය නගරයට පැමිණියේ ය.
16. මහා බෝධිය නංවාලූ නැව සාගරයට වූවා ය. එ් මහා සාගරය හාත්පස යොදුනක් තෙක් රළ පහර සන්සිඳුණේ වී ය.
17. හාත්පස පස් පියුම් පිපුණේ වී ය. අනේක තූර්යයෝ ද අහසේ වාදනය වූහ.
18. නොයෙක් දේවතාවෝ නොයෙකුත් පූජා පැවැත්වූහ. නාගයෝ මහා බෝධිය ගනු පිණිස ඍද්ධි බල මවා පෑහ.
19. අභිඥ බලයේ පරතෙරට පැමිණි සංඝමිත්තා මහා තෙරණි තොමෝ ගුරුළු වෙස් ගෙන එ් මහා නාගයන් බියපත් කළා ය.
20. බියපත් නාගයෝ එ් මහා තෙරණියට යැද මහා බෝධිය එතැනින් නාග භවනයට වැඩම කරවාගෙන ගොස්,
21. සත් දවසක් මුළුල්ලේ නාග රාජ්‍යයෙන් හා නොයෙකුත් පූජාවන්ගෙන් පුදා වැඩමවාගෙන පැමිණ නැවෙහි තැබූහ.
22. මහා බෝධි තොමෝ එදවසෙහි ම දඹකොළ පටුනට වැඩම කළා ය. ලෝ වැඩ කැමති වූ දේවානම් පියතිස්ස රජ තෙමේ,
23. සුමන සාමණේරයන් වහන්සේ අතින් පෙර අසන ලද එ් බෝධි ශාඛා ආගමනය ඇත්තේ, උඳුවප් මස පළමුවෙනි දින පටන් ආදර සහිතව,
24. නුවර උතුරු දොරටුවෙන් දඹකොළ පටුනේ මහා මාර්ගය දක්වා සියලූ මඟ අලංකාර කරවා, මහා බෝධිය කෙරෙහි සිත් ඇත්තේ,
25. සමුදුර අසල ඇති ශාලා ස්ථානයේ සිට, මහා ස්ථවිරයන් වහන්සේගේ ඍද්ධිය නිසා මහ මුහුදෙහි වැඩම කරනා බෝධිය දුටුවේ ය.
26. එ් අද්භූත කාරණය ප‍්‍රකාශ කරනු පිණිස එ් අසල කරන ලද ශාලාව ‘සමුද්දාසන ශාලාව’ නමින් ප‍්‍රසිද්ධ විය.
27. සේනා සහිත වූ රජ තෙමේ මහා ස්ථවිරයන් වහන්සේගේ ආනුභාවයෙන්, එ් ඍද්ධිමත් තෙරුන් වහන්සේ හා සමඟ එදින ම දඹකොළ පටුනට
28. මහා බෝධිය වැඩමවීමෙන් ප‍්‍රීතියෙන් ඔඳවත් ව ප‍්‍රීති වාක්‍යය කියමින්, ගෙල තෙක් දියේ බැස,
29. දහසය කුලයක ජනයා සමඟ මහා බෝධිය හිසින් දරාගෙන වෙරළට ගෙනවුත් යහපත් වූ මණ්ඩපයේ,
30. වඩා හිඳුවා ලංකේන්ද්‍ර වූ රජ තෙමේ ලංකා රාජ්‍යයෙන් පුද දුන්නේ ය. තමන්ගේ රාජ්‍යය දහසය කුලයක ජනයාට පවරා
31. තමන් ම දොරටුපාල ලෙස හිඳිමින් රජ තෙමේ දින තුනක් එහි ම නොයෙකුත් පූජා සිදු කළේ ය.
32. දසවන දවසේ දී මහා බෝධි ශාඛාව යහපත් වූ රථයක නංවා වැඩම කරවූ රජ තෙමේ,
33. නැගෙනහිර දෙස විහාරස්ථානයේ තැබ්බවූයේ ය. එ් එ් කාරණයේ විචක්ෂණශීලී වූයේ සංඝයා වහන්සේලාටත්, ජනයාටත් උදය ආහාරය පැමිණවූයේ ය.
34. මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ එතැන දී දසබලයන් වහන්සේ විසින් කරන ලද නාග දමනය රජුට නිරවශේෂ වශයෙන් වදාළ සේක.
35. ස්ථවිරයන් වහන්සේගෙන් අසා ශාස්තෘන් වහන්සේ වැඩහිඳීම් ආදියෙන් පරිභෝග කරන ලද ස්ථානයන් එ් එ් තැන්හි ලකුණු කරවා
36. රජ තෙමේ තිවක්ක බ‍්‍රාහ්මණයාගේ ගම් දොර ද එ් එ් තැන්හි දී මහා බෝධිය වඩා හිඳුවා,
37. සුදු වැලි අතුරා, නා නා විධ පුෂ්පයන්ගෙන් යුතු වූ, ඔසවන ලද ධජ ඇති, මල් ඇගෑවලින් සරසන ලද මාර්ගයේ,
38. දිවා රැය මහා බෝධියට පූජා පවත්වමින් අනුරාධපුර සමීපයට වඩා ගෙනවුත්,
39. සෙවණැලි වැටෙන්නා වූ සවස් කාලයේ පූජා පවත්වමින් මනාව සරසන ලද නගරයට උතුරු දොරෙන් පිවිසුණේ ය.
40. දකුණු දොරින් නික්ම, සතර සම්බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද මහාමේඝ වන ආරාමයට පිවිස,
41. සුමන සාමණේරයන් වහන්සේගේ වචනයෙන් යහපත්ව සරසන ලද්දා වූ, පෙර බෝධීන් වහන්සේලා පිහිටි මනෝරම්‍ය ස්ථානයට පමුණුවා,
42. රාජාභරණයෙන් සැරසී, දහසය කුලයක ජනයා සමඟ මහා බෝධිය තබා පිහිටුවනු පිණිස අත ඉවත් කළේ ය.
43. අතින් මුදා හළ කල්හි අසූ රියන් පමණ අහසට පැන නැඟුනා වූ (එ් මහා බෝධි තොමෝ) මනා වූ සවණක් රැුස් විහිදවූවා ය.
44. මනෝරම්‍ය වූ එ් රශ්මිධාරා ලංකාද්වීපයෙහි පැතිර බ‍්‍රහ්මලෝකයේ හැපී සූර්යයාගේ අස්තංගමය දක්වා පිහිටියේ ය.
45. පෙළහරෙහි ප‍්‍රසන්න වූ පුරුෂයන් දස දහසක් දෙනා විදර්ශනා වඩා අරහත්වයට පැමිණ මෙහි පැවිදි වූහ.
46. ඉන් පසුව මහා බෝධි තොමෝ සූර්යයා බැස යන මොහොතේ රෙහෙණ නැකතින් පෘථිවියේ පිහිටියා ය. පොළොව ද කම්පා විය.
47. එ් මුල් කටාහයේ මුවවිටෙන් ඉහළට නැගී එ් රන් කටාහය වෙළා ගනිමින් පොළොවට බැස ගත්තේ ය.
48. රැුස්වී සිටි සියලූ ජනයෝ පිහිටියා වූ මහා බෝධියට මල්, ගඳ සුවඳ ආදි පූජා වස්තූන්ගෙන් පූජා පැවැත්වූහ.
49. මහාමේඝය ඇද හැළිණ. හාත්පසින් හිමගැප් හා සිහිලැල් වලාවෝ මහා බෝධිය වසා ගත්හ.
50. මහා බෝධි තොමෝ සත් දවසක් ම මෙසේ නො පෙනී හිම ගැබෙහි වැඩ හිඳිමින් ජනයා තුළ ප‍්‍රසන්න සිත් ඉපැදවූවා ය.
51. සත් දවසක් ඉක්ම ගිය පසු එ් සියලූ මේඝයෝ පහවී ගියහ. මහා බෝධීන් වහන්සේ ද සවණක් රැුස් ද පෙනී ගියේ ය.
52. මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ ද සංඝමිත්තා භික්ෂුණීන් වහන්සේ ද පිරිස් සහිතව එහි වැඩම කළ සේක. පිරිවර සහිත රජු ද පැමිණියේ ය.
53. කතරගමවාසී ක්ෂත‍්‍රියයෝ ද චන්දනගමවාසී ක්ෂත‍්‍රියයෝ ද තිවක්ක බ‍්‍රාහ්මණ තෙමේ ද ලංකාද්වීපවාසී ජනයෝ ද
54. මහා බෝධිය පුදනු වස් මහත් සේ උත්සුක වූවෝ දෙවියන්ගේ ආනුභාවයෙන් පැමිණියෝ ය. පෙළහර හේතු කොටගෙන පුදුමයට පත් එ් සමාගමයේ,
55. නැගෙනහිර දිග ශාඛාවෙන් වැටෙන්නා වූ ඉදුණු බෝ ඵලය ස්ථවිරයන් වහන්සේ රෝපණය කරනු පිණිස රජුට දුන් සේක.
56. සුවඳැුති ද්‍රව්‍ය මිශ‍්‍ර වූ පසින් පිරුණු රන් කටාහයක් ‘මහාසන’ නම් ස්ථානයේ තැබූ කල්හි (රජ තෙමේ එ් බෝ ඵලය) රෝපණය කළේ ය.
57. සියල්ලන් බලා සිටිය දී ම (එයින්) අංකුර අටක් නැගී තරුණ බෝ රුක් ලෙසින් සතර රියන් පමණ උසින් සිටගත්හ.
58. එ් තරුණ බෝ රුක් දැක පුදුමයට පත් වූ සිත් ඇති රජ තෙමේ සේසතින් පුදා අභිෂේකය දුන්නේ ය.
59. එ් (බෝ රුක්) අට දඹකොළ පටුනේ එකල නැවෙන් ගොඩබට තැන මහා බෝධිය පිහිටි ස්ථානයේ ද
60. තිවක්ක බ‍්‍රාහ්මණ ගමේ ද එසේ ම ථූපාරාමයේ ද ඉසුරුමුණි විහාරයේ ද පඨමක චේති මළුවේ ද
61. සෑගිරි අරමේ ද එසේ ම කතරගම ද චන්දනගම ද එක එක බෝධිය පිහිටවූහ.
62. අනෙක් ඵල සතරින් උපන් තිස් දෙකක් වූ බෝධි වෘක්ෂයෝ හාත්පස යොදුනෙන් යොදුන පිහිටි විහාරස්ථානයන්හි
63. ලංකාද්වීප ජනයාට හිත පිණිස ම, මහා බෝධි වෘක්ෂය කෙරෙහි පැවති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේජස හේතු කොටගෙන ම පිහිටියහ.
64. පිරිස් සහිත වූ අනුලා දේවි තොමෝ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමීපයේ පැවිදිව අරහත් ඵලයට පත් වූවා ය.
65. පන්සියයක් පිරිවර සහිත වූ අරිට්ඨ නම් ක්ෂත‍්‍රිය තෙමේ ද ස්ථවිරයන් වහන්සේ සමීපයේ පැවිදිව අරහත්වයට පත් වූවේ ය.
66. යම් සිටු කුල අටක ජනයෝ මහා බෝධිය මෙහි වඩා රැුගෙන ආවෝ ද එහෙයින් ඔවුහු බෝධාහර කුලයෝ යැයි කියනු ලබති.
67. උපාසිකා වෙහෙර යැයි ප‍්‍රසිද්ධ වූ එ් මෙහෙණවරේ භික්ෂුණී සංඝයා සහිත වූ සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ වැඩ වාසය කළ සේක.
68. එහි මැදුරු තුනක් ප‍්‍රමුඛ කොට ඇති මැදුරු දොළහක් (රජ තෙමේ) කරවූයේ ය. (එ් අතරින් එක්) මහ මැදුරක පිහිටන ලද
69. මහා බෝධිය වැඩම කරවූ නැවේ කුඹ ගස වූයේ ය. එකක කුඹ යටිය තැබුවේ ය. එකක හබල තැබුවේ ය. එයින් (එ් මැදුරු) ප‍්‍රසිද්ධ විය.
70. අනෙක් නිකායන් උපන් කල්හි ද එ් ගෙවල් දොළස හත්ථාළක විහාරවාසී භික්ෂුණීන් වහන්සේලා විසින් සෑම කල්හි ම පරිභෝග කරන ලද්දේ ය.
71. රජුගේ මඟුල් ඇතු සැප වූ ලෙසින් හැසිරෙන්නේ නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක් කෙළවර,
72. හිඟුරු වැල් ලැහැබක් තුළ ගොදුරු කමින් හැසිරුණේ ය. ඇතා එහි ඇලූනු බව දැන එහි ඇත්හළක් කරන ලද්දේ ය.
73. ඉන්පසු එක් දිනක ඇත් තෙමේ ආහාර නො ගත්තේ ය. රජ තෙමේ ලංකාද්වීප ප‍්‍රසන්න වූ ස්ථවිරයන් වහන්සේගෙන් එ් ඇතුගේ සිත විචාළේ ය.
74. ‘‘හිඟුරු වැල් ලැහැබෙහි ථූපයක් කරවීම ඇතුගේ කැමැත්ත වේ.” යැයි මහා ස්ථවිරයන් වහන්සේ රජුට වදාළ සේක.
75. නිසැකව ම ජනයාගේ හිතසුව කැමති වූ රජ තෙමේ එහි ධාතු සහිත වූ ථූපයක් ද චේතියඝරයක් ද වහා ම කරවූයේ ය.
76. සංඝමිත්තා මහා තෙරණින් වහන්සේ තමන් වසන විහාරය ජනයා ගැවසගත් නිසා සුන්‍යාගාරයක වැඩ විසීමේ අභිලාෂ ඇත්තී,
77. ශාසනයාගේ අභිවෘද්ධිය පතන්නී, භික්ෂුණීන් වහන්සේලාට වැඩ පිණිස වෙනත් මෙහෙණවරක් අපේක්ෂා කරන්නී, නුවණැත්තී,
78. අතිශයින් වැඩ කැමැත්තා වූ, විවේක සුව ඇත්තා වූ එ් චේතියඝරයට පැමිණ දිවා විහරණය කළා ය.
79. රජ තෙමේ තෙරණින් වහන්සේට වන්දනා කරනු පිණිස මෙහෙණවරට ගොස් තෙරණින් වහන්සේ එහි වැඩම කළ බව අසා, එහි ගොස් වන්දනා කළේ ය.
80. තෙරණින් වහන්සේ හා සතුටු සාමීචියේ යෙදී එහි එ්මේ කාරණය වූ එ් තෙරණියගේ අභිප‍්‍රාය කුමක් දැයි, අභිප‍්‍රාය දැනගෙන
81. දේවානම් පියතිස්ස මහ රජ තෙමේ චේතියඝරය හාත්පස සිත්කලූ වූ මෙහෙණි අසපුවක් කරවූයේ ය.
82. ඇත් හළ සමීපයේ කරවන ලද එ් මෙහෙණි අසපුව හත්ථාළක විහාරය යැයි ප‍්‍රසිද්ධ වූයේ ය.
83. මහා නැණවත් වූ, සුමිත්ත වූ සංඝමිත්තා නම් මහා තෙරණි තොමෝ රම්‍ය වූ එ් මෙහෙණ අසපුවේ වැඩ වාසය කළා ය.
84. මෙසේ ලංකාවාසී ජනයාගේ ලෝ වැඩ ශාසන අභිවෘද්ධිය ද මනා කොට සිදු කරන්නා වූ මේ මහා බෝධි ශාඛා තොමෝ ලංකාද්වීපයේ රම්‍ය වූ මහාමේඝ උයනේ නොයෙක් අද්භූතයන්ගෙන් යුතුව දිගුකල් පිහිටියා ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘මහා බෝධිය වැඩමවීම’ නම් වූ දහනව වන පරිච්ඡේදය නිම විය.