31 වන පරිච්ඡේදය

ධාතූන් වහන්සේලා නිදන් කරවීම

108. ඒ (රජ) තෙමේ මෙසේ සිතා ධාතූන් වහන්සේලා උතුම් යහනේ තැබුවේ ය. ඒ ධාතූන් වහන්සේලා ද ඒ (පිරිනිවන් මංචකයේ සම්බුදුරජාණන් වහන්සේ සැතපී හුන්) ආකාරයෙන් ම යහනේ පිහිටියහ.

109. ඇසළ මස පුර පසළොස්වක දිනයේ උතුරුසළ නැකැතින් මෙසේ ධාතූන් වහන්සේලා පිහිටියහ.

110. ධාතූන් වහන්සේලාගේ පිහිටීමත් සමඟ මහ පොළව කම්පා විය. නොයෙක් පරිද්දෙන් නොයෙක් ප්‍රාතිහාර්යයන් ද පැවතිණ.

111. පැහැදුනු රජ තෙමේ ඒ ධාතූන් වහන්සේලා ව සේසතින් පිදුවේ ය. සියලු ලංකා රාජ්‍යය සත් දිනක් දන් දුන්නේ ය.

112. කයෙහි පැලඳ හුන් සියලු ආභරණ දාගැබෙහි පුද කළේ ය. නාටිකාංගණාවෝ ද ඇමතිවරු ද දේවතාවෝ ද එසේ ම කළහ.

113. රජ තෙමේ වස්ත්‍ර, උක් සකුරු හා ගිතෙල් ආදිය සංඝයා වහන්සේලාට පුදා මුළු රැය පුරා භික්ෂූන් වහන්සේලා ලවා සජ්ඣායනාවන් සිදු කරවූයේ ය.

114. ජනයාගේ හිත සුව කැමති රජ තෙමේ “සියලු ජනයා මේ සත් දවස ධාතූන් වහන්සේලා වඳිත්වා!” යි දෙවැනි දවසේ නගරයේ බෙර හැසිරවූයේ ය.

115. මහා ඍද්ධි ඇති ඉන්දගුත්ත මහ ස්ථවිරයන් වහන්සේ (මෙසේ) අධිෂ්ඨාන කළ සේක. ‘ධාතූන් වහන්සේලා වඳිනු කැමති ලංකාද්වීපයේ සියලු මනුෂ්‍යයෝ

116. ඒ ක්ෂණයේ ම මෙහි අවුත් ධාතූන් වහන්සේලා වැඳ නිවසට යත්වා!’ එය අධිෂ්ඨාන කළ පරිද්දෙන් ම සිදු විය.

117. ඒ මහා යසස් ඇත්තා වූ මහ රජ තෙමේ ඒ සත් දවස නිරන්තරයෙන් මහා සංඝයාට මහ දන් පවත්වා

118. “මා විසින් ධාතු ගර්භයේ කටයුතු නිම කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම දැන ගන්නට සංඝයා වහන්සේලා සුදුසු වන්නේ ය.” යැයි කී ය.

119. සංඝයා වහන්සේලා විසින් සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනම ඒ කටයුත්තේ යොදවන ලදී. උන්වහන්සේලා ගෙන එන ලද (මේඝවර්ණ) පාෂාණයෙන් (ගර්භය) වැසූහ.

120. “මෙහි මල් පර නො වේවා! මේ ගන්ධයන් නො වියැකේවා! පහන් ද නො නිවෙත්වා! කිසිවක් විනාශ නො වෙත්වා!

121. මේ මේඝවර්ණ පාෂාණ සය අතුරු (සිදුරු) නැතිව ගැළපේවා!” යැයි ඛීණාස්‍රවයන් වහන්සේලා මේ සියල්ල අධිෂ්ඨාන කළහ.

122. (සියල්ලන්ගේ) හිත සුව කැමති රජ තෙමේ මෙසේ අණ කළේ ය. “මහජන තෙමේ මෙහි ශක්ති වූ පරිද්දෙන් ධාතු නිධානයන් කෙරේවා!”

123. මහජන තෙම් මහා ධාතු නිධානය පිට දහස් ගණනින් ධාතූන් වහන්සේලා හා සම්බන්ධ වූ නිධානයන් ශක්ති වූ පරිද්දෙන් කළේ ය.

124. රජ තෙමේ ඒ සියල්ල පියවා ථූපය නිම කරවූයේ ය. මෙහි චෛත්‍යයේ හතරැස් කොටුව ද නිමවූයේ ය.

125. මෙසේ පිරිසිදු සිත් ඇත්තා වූ සත්පුරුෂයෝ සියලු සැපත් අතර උතුම් වූ නිර්වාණ සැපය හේතු කොට නිමල වූ පුණ්‍ය කර්මයන් තමා ම කරත්. නොයෙක් ආකාර විශේෂ ඇත්තා වූ ජන සමූහයා පිරිවැරීම පිණිස හේතු වූ පුණ්‍ය කර්මයන් ද කරවත්.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ධාතූන් වහන්සේලා නිදන් කරවීම’ නම් වූ තිස් එක්වන පරිච්ඡේදය නිම විය.)

32 වන පරිච්ඡේදය

තුසිතපුරයට සැපත් වීම

01. (පෙර පවසන ලද පරිද්දෙන් කරවන ලද ස්වර්ණමාලී නම්) මහා සෑයෙහි කොත සෑදීමත්, හුණු පිරියම් කිරීමත් නිම වන්නට පෙර රජ තෙමේ මාරාන්තික රෝගයකින් ගිලන් විය.

02. හෙතෙමේ (තම) මලණුවන් වූ තිස්ස (කුමරුන්) දීඝවාපියෙන් ගෙන්වා “සෑයේ නිම නො කළ කටයුතු නිම කරන්න.” යැයි කීවේ ය.

03. ඒ (තිස්ස) කුමර තෙමේ සහෝදරයා දුබල හෙයින් සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් කරවා, ඒ සැට්ටයෙන් සෑය වසා

04. සිත්තරුන් ලවා එහි වේදිකාව ද පුන්කලස් පන්තීන් ද පසඟුල් පන්තිය ද මනා කොට කරවූයේ ය.

05. එසේ ම, කොත් සාදන්නවුන් ලවා හුණුලීයෙන් කළ කොත් වහන්සේ ද මුදුන් වේදිකාවේ ඛර පත්‍රයෙන් හිරු සඳු ද කර වී ය.

06. මෙසේ කරවූ සෑය ලාකඩ හා කොකුම්වලින් මැනැවින් සිත්තම් කරවා “සෑයේ කටයුතු නිම විය.” යැයි රජුට දැන්වී ය.

07. රජ තෙමේ දෝලාවක සතපවා, දෝලාවෙන් ම සෑය පැදකුණු කරවා,

08. වන්දනා කරවා, දකුණු දොරටුවේ බිම අතුල සයනයක සතපවන ලද්දේ ය. හෙතෙමේ දකුණු ඇලයෙන් සැතපී උතුම් මහා සෑය ද

09. වම් ඇලයෙන් සැතපී උතුම් ලෝවාමහාපාය ද දකිමින් පහන් වූ සිත් ඇත්තේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලද්දේ වී ය.

10. ගිලන් බව විමසනු පිණිස ඒ ඒ දෙසින් වැඩම කළ අනූ හය කෝටියක් වූ භික්ෂූන් වහන්සේලා ඒ සමාගමයේ වූහ.

11. භික්ෂු සංඝයා වහන්සේලා සමූහයක් ලෙස සජ්ඣායනාවන් කළහ. රජ තෙමේ ඒ සමාගමයේ ථේරපුත්තාභය ස්ථවිරයන් වහන්සේ නො දැක,

12. ‘අට විසි මහා යුද්ධයේ දී යුද කරමින් පරාජය නො වූ මාගේ මහා යෝධ වූ, බලවත් වූ, පෙරමුණේ හුන්නා වූ

13. ථේරපුත්තාභය නම් ස්ථවිරයන් වහන්සේ දැන් මාර යුද්ධය පැමිණි කල මා කරා නො එළඹෙන්නේ ය. පරාජය දැක නො වඩිතැයි සිතමි.’

14. යැයි මෙසේ සිතුවේ ය. ඒ ස්ථවිරයන් වහන්සේ කිරිඳිඔය ඉහළ, පංජලී නම් පර්වතයේ වෙසෙමින් මේ සිතිවිල්ල දැනගෙන

15. පන්සියයක් ඛීණාස්‍රවයන් වහන්සේලා පිරිවර කොට ඍද්ධි බලයෙන් අහසින් පැමිණ රජු හමුවේ සිට ගත්හ.

16. රජ තෙමේ උන්වහන්සේ ව දැක පහන් වූයේ, ඉදිරියෙන් හිඳුවාගෙන, “මම පෙර දස මහා යෝධ වූ ඔබ වහන්සේලා ගෙන යුද්ධ කළෙමි.

17. දැන් හුදෙකලාවේ ම මරු හා යුද්ධය පටන් ගතිමි. මාර සතුරා පරදවන්නට නො හැක්කේ ය.” යැයි කී ය.

18. ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක. “ජනයාට අධිපති වූ මහරජුනි, මරණයට බිය නො වේවා! කෙලෙස් සතුරා නො පරදවා, මාර සතුරා පැරදවිය නො හැක්කේ ම ය.

19. හටගත් සියලු දෙය ඒකාන්තයෙන් ම බිඳී යන්නේ ය. ‘සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය ය.’ යැයි ශාස්තෘන් වහන්සේ දේශනා කරන ලද්දාහ.

20. ලැජ්ජා බිය රහිත වූ මේ අනිත්‍ය බව බුදුවරුන් කරා ද එළඹෙයි. එහෙයින්, සංස්කාරයෝ අනිත්‍ය ය, දුක ය, තම වසඟයේ පැවැත්විය නො හැක්කේ ය යැයි සිතුව මනා ය.

21. මීට (පෙර) දෙවන අත් භවයේ සිට ධර්මය කෙරෙහි ඔබගේ කැමැත්ත අති මහත් වී ය. දෙව්ලොව එළඹ සිටි කල්හි ඔබ ඒ දිව්‍ය සැපය හැර

22. මෙහි පැමිණ නොයෙක් ආකාරයෙන් නොයෙක් විදිහේ බොහෝ පුණ්‍ය කර්මයන් කළේ ය. ඔබ විසින් රාජ්‍යය එක්සේසත් කරවූයේ සසුන බැබළවීම පිණිස ය.

23. එහෙයින් මහා පින් ඇත්තාණෙනි, අද දවස තෙක් ඔබ කළ පින් සියල්ල අනුස්මරණය කොට සැණින් සුවපත් භාවය ලබත්වා!”

24. ස්ථවිරයන් වහන්සේගේ වචනය ඇසූ රජ තෙමේ පහන් වූ සිත් ඇත්තේ, “ඔබ වහන්සේ මාර යුදයෙහි ද මට මහත් සේ උපකාරක වන්නේ ය.” යැයි උන්වහන්සේට කී ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘තුසිතපුරයට සැපත් වීම’ නම් වූ තිස් දෙවන පරිච්ඡේදයේ කොටසකි.)