යෝධයන් ලැබීම

55. කොට්ට පබ්බතය අසල කිත්ති ගමෙහි ප්‍රධානී වූ රෝහණ නම් ගෘහපතියෙකු තමන්ට දාව උපන් පුතෙකු

56. ගෝඨාභය රජුට සමානව නම් කළේ ය. ඒ දරු තෙමේ බල ඇත්තේ, දස දොළොස් හැවිරිදි වූයේ,

57. සතර පස් දෙනෙකු විසින්වත් ඔසවා ගත නො හැකි ගල් සෙල්ලම් බෝල සේ සෙල්ලම් කරමින් දැමී ය.

58. දහසය හැවිරිදි ඔහු හට පිය තෙමේ රියන් දහසයක් දිග, අඟල් තිස් අටක වට ප්‍රමාණ ඇති ගදාවක් කරවී ය.

59. හෙතෙමේ එයින් පොල් ගස්වල කඳට පහර දී බිම හෙළන්නේ ය. එයින් ඒ යෝධ තෙමේ ප්‍රසිද්ධ වූයේ,

60. එසේ ම රජ තෙමේ ඔහුව ද ගාමණී කුමරු වෙත යැවුවේ ය. ඔහුගේ පියාණන් මහා සුම්ම ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායකයෙකි.

61. ඒ කෙළඹි තෙමේ මහා සුම්ම ස්ථවිරයන් වහන්සේගෙන් දහම් අසා කෝලපබ්බත විහාරයේ දී සෝවාන් ඵලයට පත් වූයේ ය.

62. සසර කෙරෙහි හටගත් සංවේග ඇති හෙතෙමේ රජුට කියා සම්පත් පුතුට දී තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වීය.

63. භාවනාවේ යෙදී අරහත්වයට පත් වූයේ ය. ඒ හේතුවෙන් මේ තෙරුන් වහන්සේගේ පුත්‍ර තෙමේ ථේරපුත්තාභය යැයි ප්‍රසිද්ධ වී ය.

64. කප්කඳුර නම් ගමෙහි කුමාරයාගේ භරණ යැයි පුතෙක් වී ය. හෙතෙමේ කල් යාමෙන් දස දොළොස් හැවිරිදි වූයේ,

65. ගම් දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැඳ පයින් පහර දී දෙකඩ කොට බිම හෙළී ය.

66. (හෙතෙමේ) දහසය හැවිරිදි වූයේ ගම්වැසියන් හා වනයට ගොස් එසේ ම මුවන්, ගෝනුන්, ඌරන් වහා හෙළී ය.

67. භරණ නම් ඒ මහා යෝධ තෙමේ එයින් ම ප්‍රසිද්ධ වූයේ ය. රජ තෙමේ ඔහු ද පෙර සේ ම ගාමණී කුමරු වෙත වාසය කරවූයේ ය.

68. ගිරි නම් ජනපදයේ කෙළඹියංගණ ගමෙහි කුටුම්බිවසභ නම් කෙළෙඹියෙක් වී ය.

69. (ඔහු හට) ජනපද වාසී වේළු නම් වූ ද ගිරි නම් රට අනුභව කරන සුමන නම් වූ ද යහළුවෝ දෙදෙනෙක් වූහ. යහළුවා හට පුතෙකු උපන් කල පඬුරු පෙරටු කොටගෙන

70. දෙදෙනා ගොස් දරුවා හට තම නම් තැබූහ. ගිරි නුවර අනුභව කරන (සුමන) තෙමේ ඒ පුතු තම ගෘහයේ වැස්සවූයේ ය.

71. ඔහුගේ එක් සෛන්ධවයෙක් කිසි පුරුෂයෙකුට පිටට නැගෙන්නට නුදුන්නේ ය. ඒ අශ්ව තෙම වේළුසුමන ව දැක ‘මේ අසරු තෙමේ මා හට

72. සුදුසු ය.’ යි සිතා සතුටු සිතින් හේෂාරව කළේ ය. ඒ දුටු (ගිරි නුවර) අනුභව කරන (සුමන) තෙමේ “අසු පිට නැගෙන්න.” යැයි ඔහුට කීය.

73. හෙතෙමේ අසු පිට නැගී ඒ අසු මණ්ඩලයේ වහා ධාවනය කරවී ය. සකල මණ්ඩලයේ ඒ අසු ඒකාබද්ධ වූවා සේ පෙණිනි.

74. දුවන අසු පිට හිඳගෙන (හෙතෙමේ) සැලකිලි නැත්තේ, උතුරු සළුව මුදයි. නැවත බඳියි.

75. ඒ දැක සියලු පිරිස ඔල්වරසන් නැගූහ. ඒ ගිරි නුවර අනුභව කරන (සුමන) තෙමේ ඔහුට දස දහසක් දී

76. ‘මේ තෙමේ රජු හට සුදුසු ය.’ යි සතුටුව රජු හට දුන්නේ ය. රජ තෙමේ වේළුසුමන තමා සමීපයේ ම

77. වාසය කරවා, සත්කාර කරවා බුහුමන් දැක්වී ය. නකුලනගර කර්ණිකාවේ මහේන්ද්‍ර ද්‍රෝණි නම් ගමෙහි

78. අභය නම් තැනැත්තාගේ පුතු ශක්ති සම්පන්න වූ දේව නමැත්තෙක් වී ය. මඳක් කොර ගසා යන බැවින් ඛඤ්චදේව යැයි ඔහු දත යුතු ය.

79. එකල ගම් වැසියන් හා මුව දඩයමට ගොස් මහත් වූ, උස් වූ මී ගවයන් ලුහුබැඳ

80. මේ මාණවක තෙමේ අතින් උන්ගේ පා ගෙන හිස වට කරකවා බිම හෙළා උන්ගේ ඇටකටු පොඩි කරන්නේ ය.

81. මේ පුවත අසා මිහිපති තෙමේ ඛඤ්චදේව ගෙන්වා ගෙන ගාමණී කුමරු සමීපයේ වැස්සවී ය.

82. සිතුල්පව්ව සමීපයේ කපිට්ඨ නම් ගමෙහි උත්පල නමැත්තාගේ පුතු ඵුස්සදේව නම් වී ය.

83. ඒ කුමර තෙමේ ගම්වැසි දරුවන් හා විහාරයට ගොස් බෝධියට පුදන ලද හක් ගෙඩියක් ගෙන තරයේ පිඹින ලද්දේ ය.

84. එහි ශබ්දය අකුණු සරයක් මෙන් මහත් වී ය. ඒ සියලු ගම් දරුවෝ බියට පත්ව උමතු වූවාක් මෙන් වූහ.

85. හෙතෙමේ ඒ හේතුවෙන් උන්මාද ඵුස්සදේව යැයි ප්‍රසිද්ධ වී ය. පියාණන් ඔහුට වංශයෙන් පැවත ආ දුනු ශිල්පය ඉගැන්වී ය.

86. හෙතෙමේ ශබ්දය අනුසාරයෙන් විදින සුලු වී ය. විදුලි එළියෙන් විදින සුලු වී ය. හිසකෙස් දෙපළු කරන්නට සමත් දුනුවායෙක් වී ය. වැලි පිරුණු ගැලක එසේ ම බඳින ලද සියලු සම්පට ද

87. අටඟුල් බොල්පියා දැව පුවරු ද සොළොස් අඟුල් බොල් දැව පුවරු ද එසේ ම සතරඟුල් වූ ලෝහමය පට්ටම ද

88. (හීයෙන් විද) හීය ද එකී දෑ විනිවිද යවයි. (ඔහු විදින හීය) ගොඩබිමේ අට ඉස්ඹක් ගමන් කරයි. දියේ ඉස්ඹක් ගමන් කරයි.

89. මහ රජු එපුවත් අසා ඔහු ද පියා වෙතින් ගෙන්වාගෙන ගාමණී කුමරු වෙත වැස්සවී ය.

90. තුලාධර පර්වතය සමීපයේ වෙහෙරවැව ගමේ මත්ත නම් කෙළෙඹියාගේ පුතු වසභ නම් වී ය.

91. මනාව හට ගත් සිරුරු ඇති හෙයින් ඔහු ලභියවසභ යැයි දත යුතු ය. හෙතෙමේ විසි හැවිරිදි පමණ වූයේ මහත් කාය බල ඇත්තෙක් වී ය.

92. කෙතක් කැමති වූ මහත් බල ඇති හෙතෙමේ මහා වැවක් කරවන්නේ මිනිසුන් කිහිප දෙනෙකු සමග එහි කටයුතු පටන් ගත්තේ ය.

93. දස දොළොස් දෙනෙකු විසින් ඉසිලිය යුතු මහත් වූ පස් පිඩැලි ඔසවන්නා වූ හෙතෙමේ වහා වැව නිම කළේ ය.

94. ඒ කරුණෙන් හෙතෙමේ ප්‍රසිද්ධ වී ය. රජ තෙමේ ඔහු ද ගෙන්වා, සත්කාර කරවා ගාමණී කුමරු වෙත වැස්සවී ය.

95. ඒ කෙත ‘වසභ අමුණ’ යැයි ප්‍රසිද්ධ වී ය. ඒ ලභියවසභ තෙමේ ගාමණී කුමරු වෙත වාසය කළේ ය.

96. එකල මිහිපති තෙමේ මේ දස මහා යෝධයන්ට පුතුට කරන සත්කාර සමාන සත්කාර කරවී ය.

97. රජ තෙමේ මහා යෝධයන් දස දෙනා අමතා, “ඔබ එකිනෙකා යෝධයන් දහය බැගින් සොයන්න.” යැයි කීය.

98. ඔවුහු එසේ ම යෝධයන් ගෙනාවෝ ය. නැවතත් මිහිපති තෙමේ ඒ යෝධයන් සියයටත් එසේ ම යෝධයන් සොයනු පිණිස කීවේ ය.

99. එසේ ම ඔවුහු ද යෝධයන් ගෙනාවෝ ය. මිහිපති තෙමේ ඒ යෝධයන් දහසටත් නැවතත් යෝධයන් සොයනු පිණිස කීවේ ය.

100. එසේ ඔවුහු ද යෝධයන් ගෙන ආවෝ ය. සියලු යෝධයෝ කැටි කළ කල්හි එකොළොස් දහස් එකසිය දස දෙනෙක් වූහ.

101. ඒ සියල්ලෝ රජු විසින් හැම කල්හි කරන ලද සත්කාර ලැබූවෝ රජ පුතු ගාමණී පිරිවරාගෙන වාසය කළෝ ය.

102. සැප කැමති නැණවත් මනුෂ්‍ය තෙමේ අද්භූත සුචරිත පරපුර මෙසේ අසා, අකුසල මාර්ගයෙන් ඉවතට හැරෙන්නේ හැම කල්හි කුසල මාර්ගයේ ඇලෙන්නේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘යෝධයන් ලැබීම’ නම් වූ විසි තුන්වන පරිච්ඡේදය නිම විය.)