53. දුම්රක්ගල වසනා චේතියා නම් වූ යකින්න තිඹිරියංගන විල අද්දර වෙළඹකගේ රූ ගෙන ඇවිදින්නී ය.
54. සුදු පැහැ සිරුරු හා රත් පැහැ පාද ඇති මේ මනරම් වෙළඹ දුටුවෙකු මෙහි මෙබඳු වෙළඹක් වෙසෙන්නී ය යැයි කුමරු හට දැන්වී ය.
55. කුමරතෙමේ රැහැන ගෙන ඇයව අල්ලා ගන්නට පැමිණියේ ය. පිටුපසින් පැමිණි කුමරු දැක, කුමරුගේ තේජසින් බියට පත් වෙළඹ තොමෝ
56. අතුරුදන් නො වී දිව ගියා ය. හෙතෙමේ දිව යන්නිය ලූහුබැන්දේ ය. වෙළඹ තොමෝ විල වටා සත්වරක් දිව ගියා ය.
57. මහ ගඟට බැස එයින් එතෙරව දුම්රක්ගල වටා නැවත සත්වරක් දිව්වා ය.
58. යළිත් එම විල වටා තුන්වරක් දිව ගියා ය. ඉන්පසු ‘කච්ඡුක’ නම් තොටුපළින් ගඟට බැස්සා ය.
59. කුමරතෙමේ එහි දී වල්ගයෙන් ඇය ව ද ගෙඟහි යන තල්පතක් ද ගත්තේ ය. ඔහුගේ පුණ්‍යානුභාවයෙන් ඒ තල්පත මහා අසිපතක් බවට පත්විය.
60. හෙතෙම ඇයට ‘‘තොප නසමි” යැයි කියා අසිපත එසවූයේ ය. ‘‘ස්වාමීනී, ඔබට රාජ්‍යය ගෙන දෙමි. මා නො මරනු මැනවි” යැයි ඕ කීවා ය.
61. හෙතෙමේ ඇයව ගෙලෙන් අල්ලා ගෙන, අසිපත් තුඩින් නාසය විද, යොතින් බැඳ දැමුවේ ය. එයින් ඕ වසඟ වූවා ය.
62. මහත් බල ඇති ඒ කුමරතෙමේ වෙළඹ පිට නැගී දුම්රක්ගලට ගොස් එහි සතර අවුරුද්දක් වාසය කළේ ය.
63. සෙබළ සේනා සහිත වූ හෙතෙමේ පසු ව රිටිගලට පැමිණ යුද පිණිස කාලය බලමින් එහි සත්අවුරුද්දක් වාසය කළේ ය.
64. මාමාවරු දෙදෙනෙකු හැර සෙසු අටදෙනා යුද පිණිස සැරසුණෝ,
65. රිටිගලට පැමිණ එහි පිහිටි කුඩා නගරයේ කඳවුරු පිහිටුවා ගෙන චතුරංගනී සේනාව දී සෙනෙවියා යවා හාත්පසින් රිටිගල වට කළහ.
66. යකිනිය හා මන්ත‍්‍රණය කොට, ඇයගේ වචනය අනුව රාජපරිෂ්කාර හා පඬුරු ද ආයුධයන් ද දී,
67. ‘‘මේ සියලූ උපකරණයන් ගනුව. මම තොපට සමාදෙන්නෙමි.” කියා කුමරතෙමේ ඉදිරියෙන් බල සේනා යැවී ය.
68. පිවිසියා වූ ඔහු අල්ලා ගන්නෙමු යැයි ඔවුන් විශ්වාස කළ විට ඒ කුමරතෙමේ මහා බල සෙනඟින් පිරිවරන ලද්දේ,
69. යුද පිණිස වන්කල්හි ඒ යකිනිතොමෝ මහහඬින් හඬ දුන්නා ය. ඇතුළත ද පිටත ද සිටි කුමරුගේ බල සේනාවෝ ද මහත් අරගල කළහ.
70. කුමරුගේ ඒ සියලූ මිනිස්සු සතුරු සේනාවේ මිනිසුන් වැඩි පිරිසක් ද මාමාවරුන් අටදෙනා ද නසා හිස් එකතු කළෝ ය.
71. ඒ සෙනෙවිතෙමේ පැනගොස් ලැහැබකට වූයේ ය. එනිසා ඔහුට ‘සේනාපති ගුම්බක’ යැයි කියන්නේ ය.
72. ඒ කුමරතෙමේ ඉහළින් තබන ලද මාමාවරුන්ගේ හිස් සහිත හිස් රැස දැක ‘‘ලබු ගොඩක් වැනි ය” යැයි කීවේ ය. එනිසා ඒ ග‍්‍රාමය ‘ලබුගම’ නම් විය.
73. මේ අයුරින් දිනන ලද සංග‍්‍රාම ඇති එ් පණ්ඩුකාභය කුමරතෙමේ එතැනින් අනුරාධ නම් තම මුත්තණුවන් වාසය කරන තැනට ගියේ ය.
74. ඒ මුත්තණු තෙමේ ස්වකීය රාජ ගෘහය කුමරුට දී අන් තැනක වාසය කළෝ ය. කුමරු ඒ රජ ගෙයි වාසය කළේ ය.
75. නිමිති ශාස්ත‍්‍ර දන්නා අයගෙන් ද වාස්තු විද්‍යා දන්නා අයගෙන් ද විමසා හෙතෙම ඒ ගමෙහි ම උතුම් වූ නුවරක් ඉදි කළේ ය.
76. අනුරාධයන් වාසය කළ හෙයින් ද අනුර නැකතින් නගරය ඉදිකිරීම ඇරඹූ හෙයින් ද ඒ නගරය ‘අනුරාධපුරය’ නම් විය.
77. මාමාගේ සේසත් එහි ගෙන්වා, ස්වාභාවික ව ඇති වූ විලකින් දෝවනය කරවා, සේසත් නගා, විල් ජලයෙන් ම
78. ඒ පණ්ඩුකාභය කුමරතෙමේ තමන්ව අභිෂේක කළෝ ය. ස්වර්ණපාලී නම් දේවිය මෙහෙසි තනතුරෙහි අභිෂේක කළෝ ය.
79. ඒ චන්ද්‍ර කුමරු හට සුදුසු වූ පරිද්දෙන් ම පුරෝහිත තනතුර දුන්නේ ය. සෙසු භටයන්ට ද සුදුසු වූ පරිද්දෙන් තනතුරු දුන්නේ ය.
80. මෑණියන්ටත්, තමන්ටත් උපකාර කළ නිසාවෙන් වැඩිමහලූ මාමා වූ අභය රජු නො මරා,
81. ඔහුට රාත‍්‍රි කාලයෙහි රාජ්‍යය භාර දුන්නේ ය. හෙතෙම රාත‍්‍රියෙහි නුවර ආරක්ෂා කරන්නේ ය. එතැන් පටන් නුවර නගර ගුත්තිකයන් ඇති වූහ.
82. ගිරිකණ්ඩසිව නම් වූ සිය බිරිඳගේ පියාණන් ව ද නො මරා ගිරිකඬ රට ඒ මාමාට භාර දුන්නේ ය.
83. එහි විල ද කැණ ජලය බොහෝ සිටින සේ සකස් කළේ ය. ජය ලද වෙලේ දිය නෑ හෙයින් එ් විල ‘ජය විල’නම් විය.
84. නුවරට පෙරදිග දිශාවෙන් කාලදේව යකු හට දෙවොලක් ඉදි කළෝ ය. චිත‍්‍රරාජ යක්ෂ තෙමේ ව අභය වැව යටිභාගයෙහි වාසය කර වී ය.
85. පෙර බොහෝ සෙයින් උපකාරී වූ ඒ දාසිතොමෝ යක්ෂ යෝනියෙහි උපන්නී, කළ ගුණ දන්නා හෙතෙමේ ඕ තොමෝ ව නුවර දකුණු දිග දොරටුවෙහි වාසය කර වී ය.
86. යක් වෙළඹ රජුගේ ගෙඋයන ඇතුළත වාසය කර වී ය. ඔවුන්ට ද අන්අයට ද හෙතෙමේ අවුරුදු පතා බලිදානය කර වී ය.
87. නැකැත් කෙළි දිනයන්හි දී ඒ පණ්ඩුකාභය රජතෙමේ චිත‍්‍රරාජයන් හා සමඅසුන් ගෙන හිඳ ගෙන, දෙව්මිනිස් නැටුම් කරවමින්,
88. රති ක‍්‍රීඩාවෙන් ඇලූණු සිතින් වාසය කළෝ ය. හෙතෙම‍ දොර ගම් හතර ද අභය වැව ද කර වී ය.
89. එසේ ම මහත් වූ සොහොන් බිම ද වධක භූමිය ද බටහිර දෙසින් රැජින හට වාසය ද වෙස්සවණ දෙවියා හට නුග දෙවොල ද වැදි දෙවියා හට තල් දෙවොල ද
90. රැස්වීම් ශාලාව ද ප‍්‍රභූ ශාලාව ද පිහිටුවා රජ තෙමේ ද බටහිර දොරටු දිශාභාගයේ වාසය කළෝ ය.
91. නගර ශෝධනය පිණිස සැඩොල් මිනිසුන් පන්සියයක් ද අශූචි ශෝධනය පිණිස සැඩොල් පුරුෂයන් දෙසිය විස්සක් ද
92. මළ සිරුරු බැහැර ගෙන යන සැඩොල් මිනිසුන් එකසිය පණහක් ද සොහොන් පල්ලන් වන සැඩොල් මිනිසුන් එපමණක් ම ද වෙනුවෙන්
93. සොහොනට වයඹ දිගින් ඔවුන්ගේ ගම්බිම් කර වී ය. ඒ මිනිසුන් කළ යුතු වූ පරිද්දෙන් ඒ කර්මාන්තයන් කළහ.
94. ඒ සැඩොල් ගමට ඊශාන දෙසින් නීච සුසාන යැයි සැඩොලූන්ගේ සොහොන ද කර වී ය.
95. ඒ සොහොනට උතුරු දිශාවෙන් ගල් පර්වත අතර වැද්දන්ගේ ගෙවල් පෙළ පිහිටුවන ලද්දේ ය.
96. ඊට උතුරු දෙසින් ගැමුණු වැව දක්වා නොයෙකුත් තවුසන්ගේ ආශ‍්‍රම කර වී ය.
97. එම සොහොනට නැගෙනහිරින් රජතෙමේ ජෝතිය නම් වූ නිගණ්ඨයාගේ ගෙය කර වී ය.
98. එම ප‍්‍රදේශයේ ‘ගිරි’ නම් නිගණ්ඨ තෙමේ ද නොයෙකුත් මිථ්‍යා මත දරන්නන් ද බොහෝ ශ‍්‍රමණයෝ ද වාසය කළහ.
99. එසේ ම රජතෙමේ කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා වෙනුවෙන් ද දෙවොලක් කර වී ය. එම දෙවොල ඒ නමින් ම හඳුන්වනු ලැබී ය.
100. ඒ දෙවොලට බටහිර භාගයෙහි පහළ කොටසින් පෙරදිග මිථ්‍යා දෘෂ්ටීන් ඇති කුලයන් පන්සියයක් වාසය කළේ ය.
101. එසේ ම ඒ රජතෙමේ ජෝතිය ගෙයින් මෙපිට ගැමුණු වැව අසබඩ පරිබ‍්‍රාජක ආරාමයක් කර වී ය.
102. ආජීවකයන්ට ගෘහයක් ද බ‍්‍රාහ්මණයන්ට ආධාර ගෘහයක් ද සිවිගෙයක් ද ආරෝග්‍ය ශාලාවක් ද ඒ ඒ තැන කර වී ය.
103. ලංකේන්ද්‍ර වූ පණ්ඩුකාභය රජතෙමේ අභිෂේකයෙන් දසවසරක් ගත වද්දී මුළු ලක්දිව පුරා ග‍්‍රාම සීමා නියම කළේ ය.
104. යක්ෂ භූතයන් සහචරයන් කොටගෙන ඇති රජතෙමේ දෘශ්‍යමාන වූ කාලවේල, චිත‍්‍රරාජයන ඔවුන් සමග සම්පත් අනුභව කළේ ය.
105. පණ්ඩුකාභය රජු හා අභය රජු අතර රජවරුන් නැති දහහත් වසරක් විය.
106. ඒ පැණවත් වූ පණ්ඩුකාභය රජතෙමේ තිස්හත් හැවිරිදි වියෙහි දී රජ බවට පැමිණ රම්‍ය බවින් අනූන වූ අනුරාධපුරයෙහි සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය කළෝ ය.

මෙතෙකින් හුදී ජනපහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ පණ්ඩුකාභය අභිෂේකය නම් වූ දසවන පරිච්ඡේදය නිම විය.