මහාවිහාරය පිළිගැනීම

125. මේ කල්පයේ තුන්වනුව, කාශ්‍යප ගෝත‍්‍ර ඇති, සියලූ ලොවට අනුකම්පා සහිත වූ, සියලූ ධර්මයන් අවබෝධ කළා වූ ශාස්තෘන් වහන්සේ නමක් වූ සේක.
126. එකල මහමෙව්නා උයන ‘මහාසාගර’ නම් විය. (මෙයට)නැගෙනහිර දිශාවේ විශාල නම් නගරයක් විය.
127. එකල එහි ජයන්ත නම් රජ කෙනෙක් වූයේ ය. එකල්හී මේ දිවයින මණ්ඩදීපය නම් විය.
128. එකල ජයන්ත රජු සහ රජුගේ කනිටු සොහොයුරු අතර භයානක වූ, සත්වයන්ට හිංසා සහගත වූ යුද්ධයක් ඇති විය.
129. මහාකාරුණික වූ දසබලධාරී කාශ්‍යප මුනිරජාණන් වහන්සේ එ් යුද්ධය නිසා සත්වයනට සිදු වන මහත් ව්‍යසනය දැක එය සන්සි`දුවා,
130. මේ ද්වීපයේ සත්වයාගේ හික්මවීම ද ශාසනයේ පැවැත්ම ද ඇති කරවනු පිණිස මහා කරුණාවෙන් යොමු වූ සේක.
131. (උන්වහන්සේ)විසි දහසක් වූ රහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කොට සුභකුට නම් පර්වතයේ වැඩ සිටි සේක.
132. රජතුමනි, එහි වැඩ සිටියා වූ මුනීන්ද්‍රයාණන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළ සේක. ‘මණ්ඩදීපයේ සියලූ මනුෂ්‍යයෝ අද මා දකිත්වා!
133. මා කරා පැමිණෙනු කැමති සියලූ මනුෂ්‍යයෝ අපහසුවකින් තොරව වහා මා කරා පැමිණෙත්වා!’
134. ආලෝකයෙන් බබළන්නා වූ එ් මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බබළන පර්වතය ද දැක රජු ද නගර වැසියෝ ද සැණෙකින් එහි පැමිණියහ.
135. බොහෝ ජනයා ද තම තමන් ලද දිනුම් නිසා දේවතා බිලි පුදනු පිණිස එ් පර්වත පාමුලට පැමිණියෝ,
136. සංඝයා වහන්සේලා සහිත වූ ලෝකනායකයාණන් වහන්සේ දේවතාවා යැයි සිතූහ. රජ තෙමේ ද එ් කුමර තෙමේ ද පුදුමයට පත්වූවෝ යුද්ධය අත්හැරියහ.
137. ඉතා සතුටට පත් වූ එ් රජ තෙමේ මුනිරාජයාණන් වහන්සේට වන්දනාමාන කොට දන් පැන් පුදා නගරය සමීපයට වැඩම කරවූයේ ය.
138. ‘සංඝයා වහන්සේලා සහිත වූ මුනිරාජයාණන් වහන්සේට වැඩ හිඳීම පිණිස මේ ස්ථානය උතුම් ය, රමණීය ය, බාධා නැත්තේ ය’ යැයි සිතා,
139. මෙහි කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් වූ ආසනයන් පණවා එ් රජ තෙමේ සංඝයා වහන්සේලා සහිත වූ සම්බුදුරජාණන් වහන්සේ වඩා හිඳවූයේ ය.
140. මෙහි වැඩ සිටියා වූ, සංඝයා වහන්සේලා සහිත වූ ලෝකනායකයාණන් වහන්සේ දකින්නට දීපයේ මනුෂ්‍යයෝ හැමදෙසින් ම පඬුරු ගෙන ආවෝ ය.
141. එ් රජ තෙමේ තමන් සතු වූ ද එ් එ් ජනයා විසින් ගෙන එන ලද්දා වූ ද ආහාර හා කැවිලිවලින් සංඝයා වහන්සේලාත්, ලෝකනායකයාණන් වහන්සේත් සන්තර්පණය කළේ ය.
142 බත් කිසෙන් පසු සවස් කාලයෙහි මෙහි ම වැඩ සිටියා වූ ජිනේන්ද්‍රයාණන් වහන්සේට එ් රජ තෙමේ මහාසාගර උයන උතුම් දක්ෂිණා කොට පිළිගැන්වූයේ ය.
143. අකාල පුෂ්පයෙන් අලංකාර වූ මහාසාගර නම් උයන සම්බුදුරජාණන් වහන්සේ විසින් පිළිගත් කල්හි මහ පොළොව කම්පා විය.
144. එ් සර්වඥයන් වහන්සේ එහි ම වැඩ හිඳ ධර්මය දේශනා කළ සේක. එකල විසිදහසක් මනුෂ්‍යයෝ සෝවාන් ඵලයට පත් වූහ.
145. සුගතයාණන් වහන්සේ මහාසාගර උයනෙහි ම දිවාවිහරණය කොට සවස් කාලයේ පෙර බෝධි වෘක්ෂයන් පිහිටි බිමට වැඩම කළ සේක.
146. එහි සමවත් සුවයෙන් වැඩ හිඳ, එයින් නැගී සිට මේ දීපවාසීන්ගේ හිතසුව කැමති වූ සම්බුදුරජාණන් වහන්සේ මෙසේ සිතා වදාළ සේක.
147. ‘මාගේ නිග්‍රෝධ බෝධියේ දකුණු ශාඛාව රැුගෙන, භික්ෂුණීන් වහන්සේලා පිරිවරා සුධම්මා භික්ෂුණීන් වහන්සේ වැඩම කෙරේවා!’
148. ඉන් පසුව, මහත් ඍද්ධි ඇත්තා වූ එ් භික්ෂුණීන් වහන්සේ (සම්බුදුරජාණන් වහන්සේගේ) එ් සිත දැන, එහි රජු කැඳවාගෙන එ් බෝධි වෘක්ෂය කරා එළඹුණා ය.
149. දකුණු බෝධි ශාඛාවේ රත් පැහැ පාෂාණයකින් රේඛාවක් ඇඳි කල්හි එ් බෝධි ශාඛාව එතැනින් වෙන්ව ඍද්ධියෙන් රන් කටාහයෙහි පිහිටියේ ය.
150. මහ රජතුමනි, (එ් භික්ෂුණීන් වහන්සේ) එ් බෝධිය ඍද්ධියෙන් රැුගෙන පන්සියයක් වූ භික්ෂුණීන් වහන්සේ පිරිවරාගෙන මෙහි පමුණුවා, දෙවියන් පිරිවැරූ,
151. රන් කටාහයේ පිහිටි (එ් බෝධිය) සම්බුදුරජාණන් වහන්සේ විසින් දිගු කළ දකුණු ශ්‍රී හස්තයේ තැබුවා ය. තථාගතයන් වහන්සේ එය පිළිගෙන,
152. එහි පිහිටුවනු පිණිස ජයන්ත රජු හට දුන් සේක. එ් රජ තෙමේ (බෝධි ශාඛාව) මහාසාගර නම් උයනේ පිහිටවූයේ ය.
153. සම්බුදුරජාණන් වහන්සේ එතැනින් වැඩම කොට නාගමාලකයේ උතුරු දෙසින් වූ අශෝකමාලකයේ වැඩ හිඳ ජනයාට ධර්මය දේශනා කළ සේක.
154. එ් ධර්ම දේශනය ඇසීමෙන් අසූහාරදහසක් වූ ප‍්‍රාණීන්ට ධර්මය අවබෝධ විය.
155. එතැනින් උතුරු දිග වූ, පෙර සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි බිමට වැඩම කොට එහි සමාධි සුවයෙන් වැඩ හිඳ, එයින් නැගී සිට,
156. සම්බුදුරජාණන් වහන්සේ පිරිසට ධර්මය දේශනා කළ සේක. එතැන දී දසදහසක් වූ ප‍්‍රාණීහු මාර්ගඵලයන්ට පත් වූහ.
157. මනුෂ්‍යයන්ගේ වන්දනාමානය පිණිස ජලසාටිකා ධාතුව ප‍්‍රධානය කොට, පිරිවර සහිත එ් භික්ෂුණීන් වහන්සේ එහි වැඩ වෙසෙන්නට සලස්වා,
158. භික්ෂූන් වහන්සේලා සහිත වූ සබ්බනන්දි නම් ශ‍්‍රාවකයාණන් වහන්සේ ද මෙහි වැඩ වෙසෙන්නට සලස්වා (සම්බුදුරජාණන් වහන්සේ) නදියෙන් මෙතෙර සුදර්ශන මාලයෙන් එපිට
159. සෝමනස්ස මාලයේ දී ජනයාට මැනැවින් අනුශාසනා කොට සංඝයා වහන්සේලා සමඟ අහසට පැනනැගී ජම්බුද්වීපයට වැඩම කළ සේක.
160. මේ කල්පයේ සතරවනුව සියලූ ධර්මයන් අවබෝධ කළා වූ, සියලූ ලොවට අනුකම්පා ඇත්තා වූ ගෞතම නම් වූ ජිනේන්ද්‍රයාණන් වහන්සේ පහළ වූ සේක.
161. (එ් සම්බුදුරජාණන් වහන්සේ) පළමුවෙන් මෙහි වැඩම කොට යක්ෂයන් දමනය කළ සේක. දෙවනුව නැවතත් (මේ ලක්දිවට) වැඩම කොට නාගයන් දමනය කළ සේක.
162. කැලණියේ මණිඅක්ඛික නා රජුන් විසින් ආරාධනා කරන ලදින් තෙවනුවත් (ලක්දිව) වැඩම කොට (සම්බුදුරජාණන් වහන්සේ) සංඝයා වහන්සේලා සමඟ දන් වළඳා,
163. පෙර බෝධිය පිහිටි ස්ථානය ද මේ චෛත්‍යය පිහිටන ස්ථානය ද පාරිභෝගික ධාතු පිහිටන්නා වූ ස්ථානයන්හි වැඩ හිඳ පරිභෝජනය කොට වදාළ සේක.
164. පෙර (කාශ්‍යප) සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි (සෝමනස්ස මාලකය නම් තැනින්) එපිටට වැඩම කළ මහාමුනීන්ද්‍රයාණන් වහන්සේ ලෝකයට ආලෝකය වූයේ, ලංකාද්වීපයේ එකල මනුෂ්‍යයන් නො වූ හෙයින්,
165. දිවයිනේ දේව සමූහයාට ද නාගයන්ට ද මැනැවින් අනුශාසනා කොට වදාළ සේක. ඉන් පසුව සංඝයා වහන්සේලා සමඟ අහසට පැනනැගුණු ජිනේන්ද්‍රයාණන් වහන්සේ ජම්බුද්වීපය වෙත වැඩම කළ සේක.
166. මහ රජතුමනි, එසේ මේ ස්ථානය සතර සම්බුදුරජාණන් වහන්සේලා විසින් සේවනය කරන ලද්දේ ය. මහරජාණෙනි, මේ ස්ථානයේ අනාගත කාලයේ සෑයක් පිහිටන්නේ ය.
167. ද්‍රෝණයක් වූ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කරවා එකසිය විසි රියනක් උසට (ඉදි කරවන එ් සෑය) ‘ස්වර්ණමාලි’ නමින් ප‍්‍රසිද්ධ වන්නේ ය.
168. පෘථිවියට අධිපති රජ තෙමේ ‘‘එ් සෑය මම ම කරවන්නෙමි” යි කීවේ ය. ”පොළෝ පාලක රජතුමනි, ඔබට මෙහි බොහෝ වූ වෙනත් කටයුතු ඇත්තේ ය.
169. ඔබ එ් කටයුතු කරත්වා! ඔබගේ මුණුපුරෙක් මෙය කරනු ලබන්නේ ය. ඔබගේ සහෝදර මහානාග යුවරජුගේ පුත‍්‍රයෙකු වන
170. යටාලතිස්ස නමින් ප‍්‍රසිද්ධ වන රජ කෙනෙකු අනාගතයේ බිහි වන්නේ ය. එ් රජුට පුත‍්‍ර වූ ගෝඨාභය නම් රජ කෙනෙකු වන්නේ ය.
171. ඔහුගේ පුත් කාවන්තිස්ස නම් රජ කෙනෙකු වන්නේ ය. එ් රජුගේ පුත් වූ මහරජ කෙනෙක් වන්නේ ය.
172. ‘දුට්ඨ ගාමණී’ යන නාමයෙන් ප‍්‍රසිද්ධ වන, අභය නම් වූ ඔහු විසින් මහත් තේජසින් ද ඍද්ධි වික‍්‍රමයෙන් ද යුතුව මේ සෑය කරවන්නේ ය.
173. ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක. එ් වචනයෙන් රජ තෙමේ එ් පුවත ලියවා මෙහි ගල්ටැඹක් එසවූයේ ය.
174. මහා ඍද්ධි ඇත්තා වූ එ් මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ රම්‍ය වූ මහමෙව්නා උයනේ වූ තිස්සාරාමය පිළිගත් සේක.
175. අකම්පිත සිත් ඇති (මහ රහතන් වහන්සේ) අට තැනක දී පොළොව කම්පා කරවමින් සාගරය හා සමාන නගරයට පිණ්ඩපාතය පිණිස පිවිස,
176. රජ ගෙයි බත්කිස නිම කොට මන්දිරයෙන් නික්ම නන්දන උයනේ වැඩ හිඳ එහි දී අග්ගික්ඛන්ධෝපම නම් සූත‍්‍රය දේශනා කොට වදාළ සේක.
177. දේශනාව ශ‍්‍රවණය කරන ලද ජනයා අතරින් දහසක් දෙනා මාර්ගඵලයන්ට පමුණුවා (උන්වහන්සේ) මහමෙව්නා උයනෙහි ම වැඩ වාසය කළ සේක.

හුදී ජනපහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘මහාවිහාරය පිළිගැනීම’ නම් වූ පහළොස්වන පරිච්ඡේදයේ කොටසකි.