අප උපන් මේ රටට උරුම ව තිබෙන්නේ අසාමාන්‍ය භූමි සංකලනයක් බව ලෝකවාසීහු පිළිගනිති. ස්වභාවික උපද්‍රවයන්ගෙන් අවම පීඩා ලබන රටක් ලෙස අප රට පෙරමුණේ සිටින්නේ එ් භූ පිහිටීම නිසාවෙන් බව ඔවුහු පවසති. ඔවුන්ගේ මතවාදයන් එසේ ම වෙත්වා. එහෙත් ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කොට කැලණි ගං දියෙන් පැන් පහසු වී උතුම් සිරිපා සලකුණක් කැලණි ගං පතුලේ පිහිටුවා, එ් සිරිපා ලකුණින් පොළෝ තලයේ රැකවල් ලද අප රට ශීර්ෂ මස්තකය කොට සමනල ගිරි හිස මුදුනේ ද තමන් වහන්සේගේ වම් සිරිපා ලකුණ පිහිටුවන ලද සේක. වසරේ හරි අඩක් දෙව් බඹුන්ගේ වන්දනාමානයට විවෘත වන එ් වම් සිරිපා ලකුණ පුද දෙන්නට මිනිසුන් හට වාසනාව ලැබෙන්නේ උඳුවප් පුන් පොහෝ දිනයේ පටන් හය මසක කලකි.

දෙව් බඹුන් ස්වකීය වන්දනා සමය තුළ මේ බිමට ආගන්තුක කිසිවක් ගෙන එන්නේ නැත. ඔවුහු ස්වභාව ධර්මයේ අපූර්ව දායාදයක් වන සීත දිය දහරාවන්ගෙන් ද සුපුෂ්පිත සුගන්ධ පුෂ්පයන්ගෙන් ද හුදෙකලාවේ බවුන් වඩනා යතිවරුන්ගෙන් ද නොහිස් මේ බිම කෙලෙස් කසළ බැහැරලන්නට උපකාරක ධර්මයන් සැකසෙන බිමක් සේ සලකා පුද දෙති. පිවිතුරු නැවුම් බවකින් යුතු මේ අති පූජනීය, අති සුන්දර භූමි භාගය කසළින් ද කලබලකාරී ඝෝෂාවෙන් ද පිරී යන්නේ මිනිසුන්ගේ වන්දනා වාරයේ දී ය. දෙවියන්ගේ සේ ම මිනිසුන්ගේ ද ශාස්තෘ වූ එ් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිහිකත කම්පා කරවමින් තැබූ පියවර දරා හුන් මේ පිය සටහන අපිදු වන්දනාමාන කළ යුත්තේ නිකෙලෙස් බව, පිරිසිදු බව, නිහඬ බව, සංයමය අගය කළ එ් සම්බුද්ධාවවාදයන් ඔප් නැංවෙන ලෙස නො වේ ද?

ලොව පහළ වූ එ් අසහාය මනුෂ්‍ය රත්නයේ හුදෙකලා අපිස් ජීවිතය සිහි ගන්වමින් සොඳුරු ගිරි හිසක හුදෙකලාවේ වැඩ වෙසෙන උතුම් සිරිපා ලකුණ ඔබගේ සිරසින් වන්දනා කිරීමේ භාග්‍යය මේ සිරිපා වාරයේ ඔබට හිමි වනු ඇත. සතලිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝකය සනසා ගම් දනව් සිසාරා වැඩම කළ මහා මුනිරජුන්ගේ අපරිමිත ගුණ කඳ සෑම මොහොතක ම සිහි කරමින්, නිහඬ ව, දැහැමි ව, බුදු පුදට යන දෙව් බඹුන් සේ මෙවර සිරිපා කරුණා කරන්නට ඔබට හැකි නම්… කෙලෙස් කසළ බැහැර කරනු වස් පින් ඵල නෙළන මේ වන්දනාවේ දී මේ සුපූජනීය භූමිය කිසි ලෙසකිනුත් අපවිත‍්‍ර නො කරන්නට ඔබට හැකි නම්… මහ රහත් මුනිවරුන් පිරිවරා සම්බුදුරජුන් වැඩි මාවතේ සන්සිඳුනු සිතක් ඇතිව පිය නගන උතුම් බුද්ධ ශ‍්‍රාවකයෙකු වන්නට ඔබට හැකි නම්… ඔබ මේ සිරිපා වාරයේ සිරිපා කමල සිඹිනා සැබෑම පුණ්‍යවන්තයා වන්නේ ය. එ් වාසනාව ඔබට මඟ නො හැරේවා! මේ ධරණීතලයේ සුපිහිටි උතුම් සිරිපා පද්මයන් සියල්ලට ම අපගේ නමස්කාරය වේවා!

යංනම්මදාය නදියා පුලිනේ ච තීරේ
යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යංතත්ථ යෝනක පුරේ මුනිනෝ ච පාදං
තංපාද ලාංඡන මහං සිරසා නමාමි!!!

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

– මහාමේඝ –