සමහර පුද්ගලයන්ගේ ජීවිත සකස්වෙලා තියෙන්නේ හරි විස්මිත වූ රටාවකට ය. ඔවුහු මනුලොවට පැමිණි මහා පින්වන්තයෝ වෙති. ලෝකයේ උත්තම දායාදය ලබන්නට තරම් වාසනා මහිමයක් ඒ ජීවිත තුළ ගැබ්ව ඇත. එනමුත් කිසිවෙකුටත් සිතා ගන්නට නොහැකි අයුරින් ඔවුන්ගේ ජීවන ඉරණම ක්‍රියාත්මක වෙයි. සමහර අය හොරු, මංකොල්ලකරුවෝ ය. මිනීමරුවෝ ය. තවත් අය යාචකයෝ, දාසයෝ, කුලහීනයෝ ය. මැති-ඇමැති, සිටුවරු, රජවරු ද ඒ අතර වෙති. එහෙත් ඔවුන්ගේ ජීවිත පිටුපස ඇති මහා පින, කිසිවෙකුට බාහිරින් දැකගන්නට ද බැරි ය. අඩුම තරමින් ඔහුටවත් එය තේරුම් ගත නොහැකි ය. රජවරු, මැති-ඇමැති, සිටුවරු ගැන නම් පිනැත්තෝ බව බාහිරින් හෝ පෙනෙති. ඒ වුණත් සමහර පින්වන්තයන්ගේ ජීවිත එසේ නොවේ. දිය යට තිබෙන නෙළුම් පොහොට්ටුවක් සෙමින් සෙමින් මෝරා දිය මතුපිටට විත් හිරු කිරණ එනතෙක් විකසිත වෙන්නට බලා සිටින්නා සේ ඔවුන්ගේ ජීවිත.ද ක්‍රමයෙන් සුවිසල් වෙනස් වීමක් උදෙසා සූදානම් වෙයි.

යම් කෙනෙකුට නෙළුමක් සේ විකසිත වන්නට පින තිබේ නම්, එවන් අය එක් උත්තමයෙකුගේ නේත්‍රාවලට නම් කිසිසේත් ම වසන් කරන්නට නොහැකි.ය. ඔහු දෙවියකු, බඹෙකු, රජෙකු, ඇමැතියෙකු, සිටුවරයෙකු වුවත්, සොරෙකු, මිනීමරුවෙකු, කුලහීනයෙකු, දාසයෙකු වුවත්, ඒ උත්තමයාට තාරුකා මැදින් සුපුන් සඳක් සේ ඔහු දිස් වෙයි. එය අතිශයින් ම උන්වහන්සේට ම පමණක් සීමා වූ සුවිශේෂී හැකියාවකි. සැබෑවට ම එවන් උත්තමයෙක් ලොවෙහි පහළ නොවනතාක් පිනැතියන් කොපමණ සිටියත් ඉන් ඵලක් නැත්තේය කොතරම් විශාල වූවත්, කොතරම් යසට නෙළුම් පොහොට්ටු දිය මතුපිට තිබුණත් විකසිත වී සුවඳ හමන්නට නම් හිරු කිරණ අවැසි ම ය. එසෙයින් ම පින් පුරාගෙන සිටියත් ඒ හැමදෙනාට ම සුපිපි පියුම් වන්නට නම්, ජීවිත ඉරණම සුවිශේෂී වෙනසකට පත් වන්නට නම් උන්වහන්සේගේ මහා කරුණාව නම් වූ නිමල හිරු කිරණ ඔවුන් වෙත පතිත විය යුතුම ය. මේ උත්තමයා අන් කවරෙකුවත් නොව අපගේ ශාස්තෘ වූ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ය. මේ උන්වහන්සේගේ නිමල හිරු කිරණින් විකසිත කළ තවත් එක් ජීවිතයක් ය.

ඔහුගේ ජීවිත ඉරණමත් හරි පුදුමාකාර විදියට සකස් වී තිබුණි. සසරේ රැස් කළ පුණ්‍ය මහිමයන් ඔහුගේ ජීවිත කතාව අස්සේ සැඟවී තිබෙන බව ඔහුවත් දැන නොසිටියේය. එහෙත් සුවිශේෂී වූ ජීවිත වෙනසකට සියල්ල ම සූදානම් වෙමින් පැවතිණ. සුපුරුදු පරිදි ඔහු මුල්ලකට හේත්තු කොට තිබූ බිලී පිත්තත්, මසුන් දමන මල්ලත් අතට ගත්තේ ජීවිතය ගැට ගසා ගැනීමට යමක් හොයා ගන්නා අදිටනින් යුතුවය. මේ බිලී පිත්තත් කර තියන් ඔහු මේ යන්නේ ජීවිතයේ අවසාන බිලී බෑමට බවත්, නැවත සංසාරයේ කිසිදිනක බිලී පිත්තක් අල්ලන්නටවත් සිතක් පහළ නොවන බවත් හෙතෙම නොදන්නේය. එදා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ලොව දෙස බැලූ සේක. උන්වහන්සේගේ සොඳුරු නෙතු සඟලට එදා හසුවුණේ බිලී පිත්තක් රැගෙන මාළු බිලී බාමින් ජීවත් වෙන, එහෙත් ධර්මාවබෝධයට පින් පිරී ඇති මොහු ය. භාග්‍යවතුන් වහන්සේ සියල්ල සක්සුදක්.සේ දැක සැවැත් නුවර උතුරු දොරටුවේ පිහිටි ගමට පිණ්ඩපාතය සඳහා වැඩම කළ සේක. අනතුරුව උන්වහන්සේ භික්ෂු සංඝයා සමඟ ආපසු අර බිලී බාන්නා ඉන්න දිසාව පැත්තට වැඩම කළහ. ඒ වෙලාවේ ඔහු මාළු බිලී බාමින් මල්ලට දමමින් සිටියේය. හදිසියේ ම ඈත බැලූ ඔහුගේ ඇස් අදහා ගන්නට නොහැකි විය. බුදුරජාණන් වහන්සේත්, භික්ෂූන් වහන්සේලාත් තමන් සිටිනා අසල පාරෙන් ම වැඩම කරති. මොහුට කරකියා ගන්නට දෙයක් නොවීය. මහත් ලැජ්ජාවක් ද හට ගැනිණි. ඉක්මනින් ම බිලී පිත්ත බිම දැමීය.

ඔහු කිසිත් නොවුණු ගානට අත් ගසා දමා සිටගත්තේය. භාග්‍යවතුන් වහන්සේත් ඔහුට නුදුරින් ම සඟ පිරිසත් සමඟ සිටගත් සේක.

යමෙකුට ධර්මාවබෝධය පිණිස අවශ්‍ය වන්නේ කුමන දහම් පර්යායක් ද, කෙබඳු අයුරින් ද යන්න නිවැරදිව දන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණි. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයත්, ආසයානුසය ඤාණයත් ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ උපකාර කර ගත් සේක. මේ වෙලාවේ කළ යුත්තේ කුමක්ද කියා උන්වහන්සේ ඉතා හොඳින් දැන ගත් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ හරි අපූර්ව වූ ක්‍රමයක් අනුගමනය කළ සේක හිටගෙනම එක එක භික්ෂූන් වහන්සේලාගෙන් නම අසන්නට පටන් ගත් සේක.

“ඔබේ නම කුමක් ද?”

“ස්වාමීනි, මම සාරිපුත්ත නම් වෙමි.”

“ඔබේ නම කුමක් ද?”

“ස්වාමීනි, මම මොග්ගල්ලාන නම් වෙමි.”

“එසේ නම් ඔබේ නම කුමක් ද?”

“ස්වාමීනි, මම ආනන්ද නම් වෙමි.”

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ගේ නම් විමසනවිට බිලී බාන තරුණයාට ද මෙසේ සිතුණි.

‘අද බුදුරජාණන් වහන්සේ සියලු දෙනාගෙන් ම නම අහනවා නොවේ ද? මගේ නමත් අසාවි ද දන්නෙ නෑ.”

ඒ මොහොතේ ම භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ඔහු දෙස බැලූ සේක.

“තරුණය.., ඔබගේ නම කුමක් ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ආර්ය නම් වෙමි.”

බුදුරජාණන් වහන්සේ නමකගේ කරුණාව මොනතරම් සොඳුරු ද… එය සිතා ගන්නට පවා අසීරු ය. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“තරුණය.., නම නම් ලස්සනයි. ඒත් ඉතිං ඒ ආර්ය කියන නමට සතුන් මැරීම නම් ගැළපෙන්නෙ නෑ. තරුණය, ‘ආර්ය’ කියන්නේ ‘ශ්‍රේෂ්ඨ කෙනා’ කියන එකයි. ඉතිං ශ්‍රේෂ්ඨ අය සතුන් මරන්නෙ නැහැ නොවැ. කාටවත් හිංසා කරන්නෙ නැහැ නොවැ.

එහෙම නම් තරුණය, ඔබත් අද පටන් ආර්ය නමට ගැළපෙන කෙනෙක් වෙන්න. ආර්ය ගතිගුණ ඇතිකර ගන්න. එතකොට ඔබට ඔය නම ඉතාම ලස්සනට ගැළපේවි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් ජීවිතය වෙනස් කරන මේ උත්තම ගාථා රත්නය වදාළ සේක.

“න තේන අරියෝ හෝති – යේන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං – අරියෝ’ති පවුච්චති”

“සතුන්හට හිංසා කරයි නම් – එයින් ඔහු ආර්යයෙක් නොවෙයි
හැම සතුන්හට ලොවේ – හිංසාව නොකරයි නම් ආර්යයෙක් යැයි ඔහුට පවසයි”

අසිරියෙකි. එකම දම්පදයෙන් ඔහුගේ ජීවිතය වෙනස් වී ගියේය. එය කෙතරම් වෙනසකට බඳුන් වූවා ද යත් බිලී බාමින් සිටි තරුණයා යළි කිසිදා නිරයට, ප්‍රේත, තිරිසන්, අසුර ලෝකවලට නොවැටෙන ස්වභාවයට පත්විය. සිව් අපා දොරටු සහමුලින් ම වැසී ගියේය. කිසිදු දුගතියකට නොයන ස්වභාවයට පත් විය. තවකෙකුගේ උපකාරයකින් තොරව ධර්මාවබෝධය කරා යන කෙනෙකු බවට පත් විය. මෙපමණ කලක් බිලී පිත්තෙන් මසුන් අල්ලමින් සිටි ආර්ය, උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඔහුගේ ජීවිතය මොනතරම් වෙනසකට බඳුන් වූවා ද?

සැබැවින් ම,

“සුඛෝ බුද්ධානං උප්පාදෝ…”

“බුදුවරුන්ගේ උපත සැපයකි.”

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.