ඇති හැකියවුන් වූ විට ලද හැකි දේ බොහෝ ය….!
ව්‍යාපාර දියුණුව කරා යොමු කරවීමට ධර්මානුකූල මඟ පෙන්වීමක් ලෙසින් මහාමේඝ පුවත් සඟරාවේ පළ කෙරෙන මෙම ලිපි පෙළේ පළමුවැන්න පසුගිය දුරුතු පොහොය කලාපයේ පළ විය. දෙවන ලිපියේ දී නොසිතූ විරූ දියුණුවක් ලබන ව්‍යාපාරයකට පදනම සකස් කර ගත හැකි ආකාරය ගැන සටහනක් තබන්නට අප අපේක්ෂා කරන බව ද එහි දැක්විණ.
එහෙත් මේ ලිපිය ඒ ගැන නො වේ. මෙම ලිපි සම්පාදනයෙහි ලා අපට අනුශාසනා කරන පින්වත් සංඝයා වහන්සේලා විසින් ඊට පළමු විස්තර කිරීමට සුදුසු කරුණු කාරණා කිහිපයක් පෙන්වා දුන් අතර මෙම ලිපිය වෙන් කෙරෙන්නේ ඒ වෙනුවෙනි. නුදුරු කලාපයක දී අනෙක් කාරණා ද සටහන් තැබෙනු ඇත. කුල දේවතාවුන්ගේ අනුශාසනයෙහි හික්මෙන්නෝ දියුණුව කරා යන්නෝ ය. එය ද අප සියල්ලන් ම උගත යුතු, සිහි තබා ගත යුතු පාඩමකි….!
**********************************************************************
සාමාන්‍ය ජන සමාජය තුළ ‘ඇති හැකි’ සහ ‘නැති බැරි’ ලෙස මූලික වශයෙන් පුද්ගල දෙකොට්ඨාසයක් හඳුනාගත හැකි ය. ඇති හැකි අයෙකු වීම තුළ සමාජයීය වශයෙන් සැලසෙන වාසි ගණනාවක් තිබේ. එකී වාසි හුදෙක් මෙලොව දියුණුවට පමණක් උපකාරී වන දේවල් නො වේ; ඒ ඔස්සේ පරලොව සුගතිය ද සලසා ගත හැකි ය.
ඇති හැකියවුන්ට ඇති වාසි මොනවා ද?
නැති බැරියවුන්ට ඇති අවාසි සිහි කර ගතහොත් ඇති හැකියවුන්ට ඇති වාසි නිතැතින් ම දැන ගත හැකි ය. නැති බැරියවුන්ට බොහෝ දේ ගැන කරදර වන්නට සිදු වේ.
1. ආහාරපාන
2. නිවාස
3. ඇඳුම් පැලඳුම්
4. දාන මානාදී පින්කම්
5. නිවැසියන්ට සුවපහසු ජීවිතයකට අවස්ථාව සලසාලීම
6. අනුන් මත නොයැපී සුව සේ, ස්වාධීන ව ජීවත් වන්නට නොහැකි වීම
7. ණය බර
8. ගේ දොර මැසිවිලි
9. අපේක්ෂා විරහිත බව
10. කායික මානසික පීඩා
ආදී වශයෙන් බොහෝ දේ නැති බැරියවුන් අත් නොහැර සිටින කරදර ලෙස දක්වන්නට පුළුවන. ඇති හැකියවුන්ට පවත්නා ශක්තිමත් ආර්ථික ස්ථාවරය තුළ එකී කරදරවලට මුහුණ පාන්නට සිදුවන්නේ නැත. තමන්ට සුව සේ වාසය කරන්නට පුළුවන. තමන්ගේ පවුලේ අයට ද සැප සේ වාසය කරන්නට අවස්ථාව සලසාලිය හැකි ය. සිතූ සිතූ පරිද්දෙන් සුව සේ ම දානමානාදී පින්කම්හි යෙදෙන්නට ද පුළුවන. බුදු සසුනේ දියුණුව පිණිස ගිහි දායක පිරිස් වෙතින් ඉටු විය යුතු යුතුකම් ද වගකීම් ද අනලස් ව නොපැකිල ව ඉටු කරන්නට එවිට හැකි ය. එපමණක් නො වේ; දුගී මගී යාචකාදීන්ගේ හිතසුව සලසමින් උපකාර කරන්නට ද එයින් ම ඔවුන් ව සතුටට පත් කරන්නට ද ඔවුනට හැකි ය. මේ, වස්තු සම්පත් ඇති කල්හි සැප සේ වාසය කිරීමට හැකියාව උපදනා අයුරු විස්තර කරනා කරුණු කිහිපයක් පමණි. සටහන් කෙරුණේ අල්පයකි, සටහන් නො වූ දේ බොහෝ ය…
ගිහි ජීවිතය ගෙවන, කාමභෝගී ගිහියන් විසින් කලින් කලට අවස්ථානුකූල ව ලැබිය යුතු සැප හතරක් ඇති බව සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ‘ණය නැති ජීවිතය’ ගැන වදහළ ඒ දෙසුම අප මේ ලිපි පෙළේ උගන්නා තුන්වන පාඩම යි. සැප කැමැත්තෝ තමන් ගිහි ජීවිතයේ මේ සැප ලැබීම යුතු බව සිහි තබා ගනිත්වා! උත්සාහ කරත්වා! වීරිය දියුණු කරත්වා! සියලු සැපයට පත් වෙත්වා!
සම්බුදුරජාණන් වහන්සේ මෙම දෙසුම වදාරණ ලද්දේ ධනයෙන් ආඪ්‍ය වූ ව්‍යාපාරිකයෙකු ද සම්බුදු සසුනේ සිත පහදවාගෙන අග්‍ර වශයෙන් දන් දීමෙහි යෙදුණ උපාසකයෙකු ද සතර අපායෙන් මිදී ගත් ආර්ය ශ්‍රාවකයෙකු ද වූ අනාථපිණ්ඩික ගෘහපතියා හට ය.
“ගෘහපතිය, පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූල ව සැප සතරක් ලැබිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;
අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ හා අනවජ්ජ සුඛය යි.
1. ගෘහපතිය, අත්ථි සුඛ යනු කුමක් ද? ගෘහපතිය, මෙහිලා කුලපුත්‍රයෙකු හට නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ඇත්තේ වෙයි. හේ මෙසේ සිතයි. ‘මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ය.’ එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අත්ථි සුඛ යැයි කියනු ලැබේ.
2. ගෘහපතිය, භෝග සුඛ යනු කුමක් ද? ගෘහපතිය, මෙහිලා කුලපුත්‍රයෙකු හට නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ඇත්තේ වෙයි. ඔහු ඒ සම්පත් පරිභෝග කරයි. පින් ද කරයි. එවිට ඔහු මෙසේ සිතයි. ‘මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ය. මම ඒවා ප්‍රයෝජනයට ගනිමි. පින් ද කරමි’යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය භෝග සුඛ යැයි කියනු ලැබේ.
3. ගෘහපතිය, අනණ සුඛ යනු කුමක් ද? ගෘහපතිය, කුලපුත්‍ර තෙමේ වෙනත් කිසිවෙකුට හෝ ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ කිසි ණයක් නැත්තේ වෙයි. එවිට ඔහු මෙසේ සිතයි. ‘මම ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ ණයක් කාටවත් ම නැත්තෙමි’ යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අනණ සුඛ යැයි කියනු ලැබේ.
4. ගෘහපතිය, අනවජ්ජ සුඛ යනු කුමක්ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කායික ක්‍රියාවෙන් යුක්ත වෙයි. නිවැරදි වූ වචන භාවිතයෙන් යුක්ත වෙයි. නිවැරදි වූ මානසික කල්පනාවන්ගෙන් යුක්ත වෙයි. එවිට හෙතෙමේ ‘මම කයින් නිවැරදි ක්‍රියා කරන්නෙක්මි. මම වචනය නිවැරදි ලෙස යොදන්නෙක්මි. මම මනසින් යහපත් කල්පනා ඇත්තෙක්මි’ යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අනවජ්ජ සුඛ යැයි කියනු ලැබේ.
ගෘහපතිය, පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූල ව ලබන සැප සතර මේවා ය.”
(අනණ සූත්‍රය – අං. නි. 2)
මෙම දෙසුම අවසන ගාථා රත්නයන් දෙකක් වදාරමින් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ණය නැතිකමින් උපදින සැපය දැනගෙන ඔහු ධන සම්පත් තමා තුළ ඇති බැවින් ලද සැපත සිහි කරන බවත්, ධන සම්පත් නිසි ලෙස පරිහරණය කිරීමෙන් ද ඔහු සැප විඳින අතර ම එය ද නුවණින් විමසා බලන බවත් ය. යහපත් වූ නුවණින් යුතු වූ ඔහු විසින් අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ යන සියලු සැපයන්ට වඩා සැපය සලසන්නේ නිවැරදි දිවි පැවැත්මෙන් උපදනා අනවජ්ජ සැපය බව දනු ලබන්නේ යැයි ද මෙහිලා දැක්වේ.
මේ උතුම් දේශනාව දරා ගනිමින් සාර්ථක ව්‍යාපාරිකයෙකු වන්නට උගත යුතු යැයි අප යෝජනා කරන තුන්වන පාඩම මෙසේ දක්වමු.
අනවජ්ජ සුඛය පමණක් සිහි කරන්නට කියා සම්බුදුරජාණන් වහන්සේ වදාරා නැත. අනවජ්ජ සුඛය සේ ම අත්ථි සුඛය, භෝග සුඛය හා අනණ සුඛය ද කාමභෝගී ගිහි ජීවිත ගෙවනා අප විසින් අවස්ථානුකූල ව සිහි කළ යුතු සැපයන් ය. සිහි කළ යුත්තේ අනුන් තුළ ඇති බව නො වේ; තමන් ඒ ඒ සැපයෙන් යුතු බව ය. ඉදින් අප එය කැමති විය යුතු ය. අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ හා අනවජ්ජ සුඛ යන සතර ආකාරයක සැපයෙන් සැපවත් වූ ජීවිත උපදවා ගැනීමට අපිදු බලවත් ව කැමැත්ත ඇතිකර ගනිමු. ඇති හැකියවුන් විය යුත්තේ ඒ වෙනුවෙනි.
(තවත් කොටසක් ලබන කලාපයෙන්…)
සටහන – සරත් එම්. හේවාවිස්ස
Recent Comments