එක දවසක් ඇතුළත ‘තීරණයක්’ ගත යුතු අවස්ථා කීයකට නම් අපි මුහුණ දෙනවා ද? පාසලේ දී, රැකියා ස්ථානයේ දී විතරක් නො වෙයි, බස් එකේ දී, මහපාරෙදි… විනෝද සාදවල… සමාජශාලාවල… මේ හැම තැනක දී ම තීරණ ගත යුතු අවස්ථා ඕනතරම් මතුවෙනවා. ඒ හැමවිට ම අපි අපට රිසි සේ තීරණ ගන්නවා. නමුත් අපි ගන්නා ඒ තීරණවල බරපතළ බව ඇතැම්විට වැටහෙන්නේ බොහෝ කාලයකට පස්සේ වෙන්න පුළුවන්.

සමහර වෙලාවට තීරණයක් ගත යුතු අවස්ථාවේ දී සිත පවතින්නේ රාගයට යටවෙලා. හොඳට ම කේන්ති ගිය අවස්ථාවලදිත් සමහර තීරණ ගැනෙනවා. මත්පැන් පානය කරලා විකල් වූ සිහියෙන් වෙන්නත් පුළුවන් සමහර තීරණ ගන්නෙ. අනුන්ගේ බලකිරීම, අනුන්ගේ පෙළඹවීමටත් අපි තීරණ ගන්න වෙලාවල් තියෙනවා. ඇතැම් විට එක පිට එක පැමිණෙන අතිශය තීරණාත්මක ප්‍රශ්නවලට විනාඩි කිහිපයකින් අපට ක්ෂණික ව තීරණ ගන්න සිදුවෙනවා. මේ විදිහට තනි කැමැත්තට… හිතුමනාපෙට… සමහර විට ඉතා දැඩි ව අපිට හරියි කියලා හිතෙන තීරණ රිසි සේ අපි ගන්නවා.

ඒ සියලු තීරණ අපි ගන්නේ කොතැනදි ද? කවදා ද? කියන කරුණ එතරම් වැදගත් නෑ. වැදගත් ම දේ තමයි ඒ හැම වෙලාවකදි ම අපි අරගන්නෙ නිවැරදි ම තීරණය ද කියන එක. මොකද, ජීවිතයක සාර්ථක, අසාර්ථක බව තීරණය කරන්නෙ ජීවිතයට පැමිණෙන ප්‍රශ්න නොවෙයි. අපි ඒ ප්‍රශ්නයන්ට ලබාදෙන පිළිතුරයි. ජීවිතය මුළුමනින් ම ප්‍රශ්නවලින් වෙලාගත්තත් ඒ හැම වෙලාවකදි ම නිවැරදි ම තීරණය ගන්නවා නම්, නිවැරදි විසඳුම් ලබා දෙනවා නම් ජීවිතයක් අසාර්ථක වෙන්න විදිහක් නෑ. නමුත් සමහර අවස්ථාවල පැමිණෙන එක ම එක ප්‍රශ්නයකට නිවැරදි විසඳුම් ලබා නොදීම නිසා මෙලොව පරලොව දෙලොවින් ම පිරිහී යන්න පුළුවන්. ඒ වගේ ම තවත් සමහර අවස්ථාවල ප්‍රශ්නයකට අපි ලබාදෙන පිළිතුර තවත් ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නත් පුළුවන්.

එම නිසා හැම වෙලාවක දී ම සෑම ප්‍රශ්නයකට ම නිවැරදි ම විසඳුම ලබාදෙන්න පුළුවන් නම් එය ජීවිතයක තියෙන අතිශයින්ම විස්මිත හැකියාවක්. නමුත් ඒ සොඳුරු හැකියාව නිතර ම හැඟීම්වලට වහල් වී තීරණ ගන්නා ජීවිතයකට නම් බොහෝ දුරයි. ඒ වගේ ම නිතර ම කලබල වෙන, ළඟ විතරක් පෙනෙන, ලෞකික අපේක්ෂාවලට පමණක් මුල්තැන දෙන සිතකටත් එය උපදවා ගන්න අසීරුයි. එය උපදින්නේ ප්‍රඥාවේ ම අනුහසින් ම යි. ධර්මය තුළ එයට ‘නිපක ප්‍රඥාව’ කියලත් කියනවා.

අපගේ ශෘස්තෘන් වහන්සේගේ ආශ්චර්යවත් වූ ජීවිත පැවැත්ම තුළ තරම් ඒ සොඳුරු හැකියාව ශෝභමාන වූ වෙනත් ජීවිතයක් නම් නෑ. සම්බුදු දිවියේ වසර 45 පුරාවට ම අපගේ ශාස්තෘන් වහන්සේ විස්මිත බුදු නුවණින් ලබාගත් සෑම තීරණයක් ම එදා මෙදා තුළ සියලු දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ම යි හේතු වූයේ. එම නිසා අපගේ ජීවිතවලට එළඹෙන ප්‍රශ්නවලදිත් නිවැරදි ම තීරණ ලබාදීම පිණිස උපකාර සලසා ගත හැක්කේත් ඒ විස්මිත වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් ම යි. ඔබ ලබාගන්නා සෑම තීරණයක ම අසාර්ථක බව පෙන්නුම් කරන ආශ්චර්යවත් වූ සදහම් කැඩපතක උපකාර සලසා ගැනීම සම්බන්ධවයි, මේ හෙළිදරව්ව.

කඳුළු පිරි මුහුණක් ද? පිනා ගිය සිතක් ද?

අපි ගන්නා තීරණයක ප්‍රතිඵලය (විපාකය) ලැබෙන විට කඳුළු පිරි මුහුණින්, දුක සේ නම් ඊට මුහුණ දෙන්න වෙන්නෙ, ඒ තීරණය වැරදි එකක් නේ ද?… එහෙම නම් කලින් ම උතුම් බුද්ධ වචනයන්ට අනුව කටයුතු කළොත් පිනා ගිය සිතනික් එහි විපාකය ලබන්න පුළුවන්.

න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති

“යම් දෙයක් කළාට පස්සෙ ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කඳුළු හල හලා හඬමින් නම් ඒකෙ විපාකය විඳින්ට සිදුවන්නේ, එබඳු පව් කරන්නට හොඳ නෑ.”
(ධම්මපදය – බාල වග්ගය)

තීරණයක් ගැනීමට පෙර අප විසින් ඉතාමත් සැලකිලිමත් විය යුතු කරුණක් සම්බන්ධවයි භාග්‍යවතුන් වහන්සේ එහි දී අපට අනුශාසනා කොට වදාළේ. අපට හැමවිට ම තීරණයක් ගන්න සිදුවන්නේ එක්කෝ කායික ක්‍රියාවක් සම්බන්ධව. එහෙම නැත්නම් වාචික ක්‍රියාවක් සම්බන්ධව. එහෙමත් නැත්නම් මානසික ක්‍රියාවක් සම්බන්ධව. ඒ හැමවිටකදිම, ‘මේ දෙය කළොත් මට පසුතැවෙන්න වෙයි ද? මේකෙ විපාකය භයානක එකක් වේවි ද?’ කියලා කල්පනා කළොත් අපට නිවැරදි තීරණයක් ගන්න බැරිවෙන්නෙ නෑ.

මේ උතුම් අවවාදයට අනුව කල්පනා කර ගන්න බැරිවුණ නිසා අතීතයේ ගත් වැරදි තීරණ කීයක් නම් ගැන අප පසුතැවෙනවා ද? හඬා වැටෙනවාද? ඊටත් වඩා බොහෝම භයානකයි දුගති ලෝකවල ඉපදෙන්නට සිදු වුණොත් උපදින පසුතැවීම. එම නිසා ඉදිරියේදීවත් තීරණයක් ගැනීමට පෙර මෙම දහම් කරුණ මිනුම් දණ්ඩක් ලෙස තබාගෙන කටයුතු කළොත් කවදාවත් ම පසුතැවෙන්න සිදුවෙන්නේ නෑ. ඒ වගේම විපාකය පිනා ගිය සතුටු සිතින් විඳින්න හැකි බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ.

අකුසලයට යට වූ සිතින් ගන්නා තීරණත් අවදානම්…

අපේ සිත බලවත් ලෙස රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, එහෙමත් නැත්නම් වෙනත් අකුසලයකින් වැසිීගිය අවස්ථාවල දී ගන්නා තීරණත් ඒකාන්තයෙන් ම වරදිනවා. ඊට හේතුව තමයි අකුසලයෙන් සිත වැසී යාම. එවිට පවතින්නේ කෙලෙස් නිසා උපන් අඳුරක්. අඳුරෙහි නිවැරදිව යමක් හඳුනාගන්න බෑ. බොහෝවිට අඳුරේ අතපත ගාන විට ඉඩකඩ වැඩි වැරදීමට ම යි.

“පින්වත් බ්‍රාහ්මණය, රාගයෙන් ඇලී ගිය, රාගයෙන් යටපත් කරන ලද, රාගයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාගේ යහපත ගැනවත් ඇතිසැටියෙන් තේරුම් ගන්නේ නෑ. අනුන්ගේ යහපත ගැනවත් ඇතිසැටියෙන් තේරුම් ගන්නේ නෑ. දෙපැත්තේ ම යහපත ගැන ඇතිසැටියෙන් තේරුම් ගන්නේ නෑ.ද්වේෂයෙන්… මෝහයෙන්…දෙපැත්තේ ම යහපත ගැන ඇතිසැටියෙන් තේරුම් ගන්නේ නෑ.”
(පරිබ්‍රාජක සූත්‍රය – අං. නි. 1)

එහෙම නම් ඔබ ගන්නා තීරණය මෙම අඩුපාඩුවෙනුත් තොරවිය යුතුයි. ඔබේ ජීවිතය ගැන ම මොහොතකට සිතා බලන්න. රාගයට ද්වේෂයට යට වූ සිතින් යුතුව ඔබ කළ කී දෑ ඔබට මොනතරම් නම් දේවල් අහිමි කළා ද? ඒ නිසා හොඳින් මතක තබාගන්න. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ආදි අකුසලයකින් සිත බලවත් ව වසාගෙන ඇති විටක තීරණයක් ගැනීමට පෙර ඔබ ඒ අකුසල් සිත මැඩ පවත්වාගත යුතුයි. ‘දැන් මගේ සිත පවතින්නේ රාගයට යටවෙලා… දැන් මට හොඳටෝ ම කේන්ති ගිහිල්ල තියෙන්නේ.’ ආදි වශයෙන් කල්පනා කොට ධර්ම මනසිකාරයක උපකාරයෙන් අකුසලයෙන් උපන් අඳුර පලවා හැර ආලෝකවත් සිතිනුයි නිවැරදි තීරණය ගත යුත්තේ.

ඔබේ තීරණය විනිවිද දකින සදහම් කැඩපතක්….

බොහෝ වෙලාවට අප ගන්නා තීරණ වැරදීමට හේතුවන තවත් උතුම් අවවාදයක් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.
“පින්වත් රාහුල, හොඳින් විමසා බලා තමයි කායික ක්‍රියාවක් කළ යුත්තේ. හොඳින් විමසා බලා තමයි වචනයෙන් ක්‍රියාවක් කළ යුත්තේ. හොඳින් විමසා බලා තමයි මනසින් ක්‍රියාවක් කළ යුත්තේ.

පින්වත් රාහුල, ඔබ යම් ක්‍රියාවක් කයින් කරන්ට කැමති නම්, ඒ කයින් කරන ක්‍රියාව ගැන හොඳින් විමසා බැලිය යුතුයි. ඒ කියන්නේ ‘මම කයින් මේ ක්‍රියාව කරන්නටයි කැමති. මාගේ මේ කායික ක්‍රියාව මට විපත පිණිස පවතිනවා ද? අනුන්ට විපත පිණිස පවතිනවා ද? මටත් අනුන්ටත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා ද?’ කියලා. ඔබ හොඳින් විමසා බලද්දී එය මේ අයුරින් අවබෝධ කර ගන්නවා නම්… ‘මේ කායික ක්‍රියාව අකුසලයක්. දුක් උපදවන දෙයක්. දුක් විපාක තියෙන දෙයක්.’ කියලා. පින්වත් රාහුල, එබඳු ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

(අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය – ම. නි. 2)

එහි දී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් පෙන්වා වදාළේ කායික ක්‍රියා මෙන් ම වාචසික මානසික සියලු ක්‍රියා ගැන ද මේ අයුරින් හොඳින් විමසා බලා තීරණ ගන්නා ලෙසයි. තමාටත් අනුන්ටත් දෙපැත්තට ම අයහපත පිණිස පවතින දේ කිසිසේත් නො කළ යුතු බවයි. තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතින දේ පමණක් සිදුකළ යුතු බවයි. එමෙන් ම ක්‍රියාවක් කිරීමට පෙර මෙන් ම ක්‍රියාව කරන අතරතුර ද එම ක්‍රියාව කළායින් පසුව ද යන මේ අවස්ථා තුනේ දී ම හොඳින් නුවණින් විමසා බල බලා කටයුතු කරනා ලෙසටයි භාග්‍යවතුන් වහන්සේ අපට එහි දී අනුකම්පාවෙන් අවවාද කොට වදාළේ.

ඔබ ම කල්පනා කර බලන්න, අපි ගත්තු බොහෝ තීරණ මේ අවවාදයෙන් බැහැරව නේ ද පැවතුණේ? තමන්ගේ යහපත ගැනවත්, අනුන්ගේ යහපත ගැනවත් සිතන්නේ නැතුව හැඟීමකට වහල් වෙලා ගන්නා තීරණයක් සාර්ථක වෙන්නේ කොහොම ද? එවැනි අවස්ථාවල ගන්නා තීරණ නිසා දෙමාපියන් ගුරුවරුන් හඬා වැටෙනවා. අඹු දරුවන් දුකට පත්වෙනවා. මුළු සමාජය ම බියෙන් වෛරයෙන් පසුවෙනවා. ඒ නිසා නිවැරදි ව ම තීරණ ගන්න කැමති ඔබගේ ඒ තීරණ මෙම උතුම් අවවාදයෙනුත් ඔපමට්ටම් විය යුතුයි.
දුර බලන්න… ළඟ නො බලන්න…

අපි ගන්නා තීරණ වරදින්න බලපාන තවත් හේතුවක් තමයි, දුර දැකීමේ හැකියාව නොමැතිකම. ඒ නිසා ළඟ පෙනෙන සුළු ලාභ ප්‍රයෝජන පමණක් සලකා බලා අපි බොහෝ තීරණ ගන්නවා. ‘දූරදර්ශී’ බව නම් වූ එම උතුම් ගුණය හොඳින් පුරුදු පුහුණු වූ සිතකින් නම් අපි තීරණ ගන්නේ එම තීරණය හැමවිටම සාර්ථක වේවි. අපගේ ශාස්තෘන් වහන්සේ බෝසත් අවදියේදී පවා මෙම උතුම් ගුණයේ අනුහසින් තමාටත්, අනුන්ටත් යහපත උදාකර තිබෙනවා.

අප මහා බෝසතාණන් වහන්සේ දීඝායු කුමාරයා ව ඉපදී සිටි ජීවිතයේ, තමන් වහන්සේගේ පියාණන් වූ දීඝීති කෝසල රජතුමා ව තමන් ඉදිරියේ දී ම සතුරන් විසින් ඝාතනය කරනා’යුරු දකින්ට ලැබුණා. එහි දී පීතෘ ස්නේහයෙන් උපන් ශෝකය නිසා කලබලයට පත් පුංචි කුමාරයා තම පියාණන් වහන්සේගෙන් ලැබූයේ වටිනා අවවාදයකි. (දීඝායු, දීඝං පස්ස, මා රස්සං) “පුත දීඝායු, දුර බලන්න, ළඟ නො බලන්න.”

එවන් ඉවසීමට අසීරු අවස්ථාවේදී පවා හැඟීමට වහල් වී තීරණයක් ගෙන අනතුරට වැටෙනවා වෙනුවට දීඝායු කුමාරයා තම පියාණන්ගේ අවසන් අවවාදය සිහිකොට උපන් ගැටුම්කාරී සිත වළක්වා ගත්තා. එදින පමණක් නො වෙයි, තම පියාණන් ව මරණයට පත් කළ රජතුමා හුදෙකලාවේ තමන් ළඟ රැඳුණ මොහොතක රජතුමා ව මරා දැමීමට උපන් සිතිවිල්ලක් එම උතුම් අවවාදය සිහිපත් කොට වළක්වා ගත්තා. දුර දක්නා නුවණින් යුතුව කටයුතු කළ නිසා තමන්ගේ ජීවිතය රැකුණා පමණක් නො වෙයි, අන් අයගේ ජීවිත ද රැකුණා. බරපතළ අකුසලයක් සිදු වීමට ඇති ඉඩකඩ ද නැතිවී ගියා… දුර දැකීමේ හැකියාව නිසා ම පිය උරුමයෙන් අහිමි වූ රජකම පවා නැවත ලබාගැනීමට හැකිවුණා.

එම නිසා මෙම උතුම් අවවාදයත් තීරණයන් ගැනීමට පෙර අප සිහිකළ යුත්තක්. එවිට ළඟ පෙනෙන ළාමක අරමුණු පරයා මෙලොව පරලොව යහපත සලසා ශ්‍රේෂ්ඨ තීරණයක් වෙත ඔබ ළඟා වේවි.

මෙහි දී ඔබට දැනගන්නට ලැබුණේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ පවතින දහම් කාරණා කිහිපයක් පමණයි. ඔබේ තීරණ සාර්ථක කර ගැනීමට උපකාර සලසා ගත හැකි තවත් වටිනා දහම් උපදේශ ධර්මයේ අනන්තවත් සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම කුමන අවවාදයක පිහිටා තීරණයක් ගත්තත් නියත වශයෙන් ම ඔබේ ඒ තීරණය දස අකුසලයෙන් තොර වේවි. දස කුසලය තුළ ම රඳාවි. ඔබේ තීරණය තුළ ධර්මය ම රඳාවි. අධර්මය බැහැර වේවි. එවිට ඔබේ සිතෙන් දුරුවී යන්නේ පසුතැවීම යි. ඔබ වෙත ළඟා වෙන්නේ සතුට යි. එවිට ඔබ ළඟාවන්නේ සුගතිය වෙත ම යි. ඔබ ඈත් වන්නේ දුගතියෙනුයි. සෑම විට ම ධර්මානුකූලව නිවැරදි තීරණ ගන්නා ඔබට ක්‍රම ක්‍රමයෙන් ඒ උතුම් අමා මහ නිවන ම ලැබේවි. ටිකෙන් ටික සසර දුකෙන් ඔබ ගැලවේවි.

දැනුත් ඔබට උදාවුණේ තීරණයක් ගත යුතු අවස්ථාවක්. කලින් වගේ ම තව දුරටත් හිතුමනාපයට තීරණ අරගෙන දුකෙන් දුකට ම පත් වෙනවා ද? භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසා වදාළ ධර්මයට අනුව කටයුතු කොට තමාටත් අනුන්ටත් යහපත සදනා, මෙලොව පරලොව සැපත උදාකරන ධර්මානුකූල තීරණ ගන්නවා ද? තීරණය වගේ ම එහි විපාකයත් ඔබට ම උරුමයි…!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.)