මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

එවන් බුද්ධ රාජ්‍යයක වැසියන් වීම, පිළිවෙතෙහි හික්මීම සුන්දර නමුත් දුෂ්කර කටයුත්තකි. බිනර – අනන්ත දෙමිතුරන්ගේ ජීවන පුවත සම්බුද්ධ රාජ්‍යයක පිළිවෙත් පුරන උතුම් සඟ රුවනේ කලණ ඇසුර ලැබීම නිසා අපිදු එ් සුන්දර හා දුෂ්කර ගමනේ මං සලකුණු දැකීමේ වාසනාව ලැබුවෙමු. එයින් ප්‍රමුදිත සිත් ඇති අප හට සඳත්, සඳ පෙන්වන ඇඟිල්ලත්, එමතුදු නො ව සඳට ආලෝකය දුන් හිරු මඬලත් මෙතෙක් පැහැදිලි නො වී නම් එ් වග අපට විවරණය කරන කසාවත දහනම වන දිගහැරුමයි මේ…
**********************************************************

වැව් දිය පිසගෙන විටින් විට හමා එන සුළං රැුල්ලේ මානෙල් මල් සුවඳත්, සමන් මල් සුුුුවඳත් මුසු වී තිිබිණ. සුදු වතින් සැරසුණු සැදැහැවතුන් පොලිස් මුරකුටිය හරහා පෙත් මඟ ඔස්සේ දළදා මාළිගාව දෙසට ගමන් කරන දසුන සිතට සැනසීමක් උදා කර දේ.

එක ම සිතක් විටෙක රාගය ඔස්සේ ඇදී යන අතර තවත් විටෙක ශාන්තිය ඔස්සේ ඇදී යයි. විටෙක සසරෙන් එතෙර වීමට උනන්දු කරවන සිත තවත් විටෙක සසරේ ගමන් කිරීමට හේතු සකසයි. දියුණු කළ නුවණකින් මේ සියල්ල වටහා ගත නො හැකි වුව හොත් සිත පසුපස වල්මත් වී දුව ගොස් නැවත නැවතත් මං මුළා වීමට සිදු වීම වැළැක්විය නො හැකි ය. ඇතැමුන් විනාශ වූ පසුවත් තමා වැනසී ගිය බව නො දනී. නමුත්, කලාතුරකින් කෙනෙකුට විනාශ වීමට පෙර අහඹු සිදුවීමක් දෙකක් සිදු වී විනාශයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබේ. කුමන හෝ පෙර කළ පිනකට මා ද කලණ මිතුරු ඇසුර නිසා එබඳු උගුලකින් යන්තමින් ගැලවී ගියේ ය. එ් පිළිබඳ ව නම් පින් දිය යුත්තේ අනන්තට ය. ඔහු පෙර දින මා දළදා වඳින්න යන සිහිනය නො දුටුවේ නම් තවමත් මා සිටින්නේ රාග තොණ්ඩුවේ ය.

ඇතැම් විට කලණ මිතුරන් සිටින්නේ පියවි ලෝකයේ පමණක් නො වේ. නො පෙනෙන ලෝකයේ ද කලණ මිතුරන් සිටිය හැකි ය. අඥානයාට නම් පෙනෙන නො පෙනෙන කිසිදු ලොවක ජීවත් වන කලණ මිතුරෙකු හඳුනාගත නො හැකි ය. සාරිපුත්ත මොග්ගල්ලාන නම් වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපැහැදී සිටි කෝකාලික නම් වූ භික්ෂුවකට සත්‍යය වටහා දීමට බුදුරජාණන් වහන්සේටත් නො හැකි විය. ඔහුට පෙනෙන්නට ම පැමිණි බ‍්‍රහ්මයෙක් ද එ් සඳහා උත්සාහ ගත්තත් එය ද නිෂ්ඵල විය. අවසානයේ දී අග‍්‍ර ශ‍්‍රාවකයන් කෙරෙහි අපැහැදුණු සිතෙන් යුතු ව කෝකාලික අපාගත විය. එවන් ඉතිහාසයක, මෙවන් දළදා මළුවක, භාවනා අසපුවේ කන්ද උඩ කුටියේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ හමු වී දින ගණනාවක් මා විඳි පීඩාවක් සන්සිඳවා ගැනීමට ලැබීම මා ලද වාසනාවක් සේ නො වේ ද…!

‘‘පින්වත් ස්වාමීන් වහන්සේ මුණ නො ගැසෙන්න මම ලොකු අමාරුවක වැටෙනවා ස්වාමීනී…!” ඉතා ම සංවේගයෙන් යුතු ව කෘතවේදී ව දැත් එකතු කොට මම පැවසුවෙමි.
පැන් උගුරක් වැළඳු උන්වහන්සේ… මඳ සිනහවක් පා හිස සලා මාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ ය. ‘‘පින්වත් බිනර… ඔතන ම යි වරදින්නේ හැමෝට ම. ඔතන ම යි මිත්‍යා දෘෂ්ටියත් උපදින්නේ. ඔතන ම යි මිත්‍යා ප‍්‍රතිපදාවත් උපදින්නේ. බිනර සිත පහදවා ගත් ආකාරය සම්පූර්ණයෙන් ම සක්කාය දිට්ඨියෙන් නිර්මාණය කළ දෙයක්…”

සැබැවින් ම මා හට කිසිවක් නො වැටහුණි. උන්වහන්සේ පවසන සියල්ල ම හොඳින් සිහියෙන් පවසන බව මම තදින් ම විශ්වාස කළෙමි. මා වැඩිමනත් දෙයක් නො පැවසූ බැවින් මා පැවසූ දෙය උන්වහන්සේට නො වැටහෙන්නට ද ඉඩ කඩක් නැත. එබැවින් මා හට ම වැරදී ගොස් වැරදි දෙයක් කියවෙන්නට ඇතැයි මම තීරණය කළෙමි.

‘‘අනේ පින්වත් ස්වාමීනී. මට තේරුණේ නෑ… මට සමාවෙලා තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?”

‘‘බිනර…, කෙනෙක් පීඩා විඳින ගැටලූවකට තවත් බාහිර කෙනෙක්ගෙන් සාර්ථක විසඳුමක් ලැබුණ ම එ් විසඳුමෙන් ඔහුට සැනසීමක් ලැබුණ නම්, එ් සැනසීම ලැබීමට හේතු වුණ අරමුණට අර පුද්ගලයා බැඳිල යනවා. එ්ක හරියට කුසගින්න නිවාගන්නට ආහාර ගන්න පිවිසුණ හෝටලයෙන් ඔහුට අනපේක්ෂිත ආකාරයේ ප්‍රණීත ආහාරයක් ලැබුණ නම්, එ් හෝටලය ගැන හොඳට මතක තියා ගන්නවා. මොකද ඊ ළඟ වතාවෙත් එ් සැප විඳීම දිවට දෙන්න ඕන නිසා. අන්තිමට එතනත් සිදු වුණේ ‘මගේ’ කර ගැනීමක්. ‘මගේ වසඟයේ’ පවත්වා ගැනීමට උත්සාහ ගැනීමක්. දැන් බලන්න… බිනරගේ චිත්ත පීඩාවන් සන්සිඳී ගිය ගමන් ම බිනර ප‍්‍රශංසා කළේ ‘ස්වාමීන් වහන්සේ මුණ නො ගැසෙන්න මම ලොකු අමාරුවක වැටෙනවා’ කියල නේ ද? එ් කියන්නේ… බිනර ප‍්‍රශංසා කළේ මම බිනරට මුණ ගැසීම නම් වූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගත් විඳීමට යි. බිනර මෙහෙම කල්පනා කරගෙන ගියොත්, බිනරගේ පීඩාවන්ට විසඳුම විදියට දකින්නේ මගේත් බිනරගේත් මුණගැසීම නම් වූ ස්පර්ශයෙන් හටගත්ත විඳීම ම විතරයි. එ් නිසා බිනර ඉදිරියේදීත් මාව මුණ ගැහෙන්න සැලසුම් හදයි. බලාපොරොත්තු ගොඩ නගා ගනීවි. ඇත්තෙන් ම එ් බිනර සොයන්නේ නිවැරදි දේ නෙවෙයි…”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස… කල්‍යාණ මිත්‍රයා ව තව තවත් ඇසුරු කරන්නයි මට ඕන… එතකොට එ්ක වැරදි ද..!”

‘‘මම බිනරට ධර්මය කියනකම්, සේවනය කළ යුත්ත නො කළ යුත්ත පෙන්වා දෙනකම්, කුසලය අකුසලය පෙන්වා දෙනකම්, පින පව තෝරා දෙනකම් මගේ ඇසුර බිනරට කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් වෙයි. නමුත් බිනර හුදෙක් ම මාව අනුගමනය කළොත, මගේ පසු පස ආවොත්, යම් මොහොතක මම සිහියෙන් පිට ගිහින් බිනරත් එක්ක හිස් කතාවන් කතාබස් කරන්න ගත්තොත්, රට තොට ගැන කතා කරන්න ගත්තොත් මට තියෙන පැහැදීමට බිනරත් එ් දේවල් ගැන උනන්දු වෙනව නේ ද… පින්වත් ස්වාමීන් වහන්සේත් රට තොට ගැන ආ ගිය තොරතුරු ගැන උනන්දුයි… එ් නිසා මමත් උනන්දු වෙන්න ඕන කියලා…?”

‘‘එහෙමයි. එහෙම වෙන්න පුළුවන් ස්වාමීනී. මම නුවර හරහා නිතර යන එන කෙනෙක් වුණත් දළදා වඳින්න එන අවස්ථා අඩුයි. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ දළදා වඳින්න ආව නිසා අද මට හිතුණා මමත් නිතර දළදා වඳින්න එන්න ඕන කියලා. ඇත්තට ම පින්වත් ස්වාමීන් වහන්සේගේ යම් හැසිරීමක් මම දකිනව නම්, මමත් එ් හැසිරීම මා තුළ දකින්න කැමතියි. සමහර එ්වා මම නොදැනුම්වත් ව ම ඇති වෙලා. ස්වාමීන් වහන්සේ නො දන්නවත් ඇති. මමත් දැන් මගේ ජීවිතේ ධාර්මික දින සටහන් ලියන්න පටන් අරන්. එ්කත් මගෙ ජීවිතේට ආවෙ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා…”

‘‘ඉතින් බලන්න. බිනර.., බිනර මම කියපු දේ ම තමයි අල්ලගෙන තියෙන්නේ. බිනර අල්ලගෙන තියෙන්නෙ ඇවතුම් පැවතුම් කරන කියන දේවල්. සමහර අය බණ කියන විලාශය, ගාථා කියන විලාශය අනුකරණය කරනවා. පැවිද්දෙක් නම්, තමන් කැමති භික්ෂු චරිතයේ සිව්රේ පාට, සිව්රේ කඩ ගණන, සිව්රු හඳින පොරවන විදිය, ඇස්කන්නාඩි මාදදිලිය, වටාපත වගේ දේවල් අනුකරණය කරනවා. මේ වගේ කොපි ඇති තරම් අපිට සමාජෙදි දැකගන්න පුළුවන්. මුළු මහත් මිනිස් ප්‍රජාවට ම සක්කාය දිට්ඨිය නිසා උපදින ප්‍රශ්නයක් මේක.

ශාසනයේ විතරක් නෙවෙයි ශාසනයෙන් පිටත් මේ ප‍්‍රශ්නය තියෙනවා. යම් නළුවෙක් නිළියක් ගැන පැහැදීම ඇතිවුණත්, ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩිකාවක් ගැන පැහැදීම ඇතිවුණත්, ගායකයෙක් ගායිකාවක් පිළිබඳ පැහැදීම ඇතිවුණත් මේ විදිය ම යි. සිත පොළඹවන්නේ ම අනුකරණයට. පැරණි නළු නිළියන්ගේ, පැරණි ගායක ගායිකාවන්ගේ, පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොපි ඇති තරම් අපිට අද දකින්න පුළුවන් නේ ද? එ් විතරක් නෙවෙයි. ප්‍රකට දේශපාලකයෙකුගේ අනුගාමිකයන් වුණත් බලන්න… ඔහු වගේ ම යි අඳින්නේ පලඳින්නේ… රැවුළ වවන්නේ කපන්නේ. ඔහුගේ දර්ශනය අනුගමනය කරනවා වෙනුවට ඔහුගේ බාහිර පෙනුමයි ඇවතුම් පැවතුම් ටිකයි අනුගමනය කිරීමට මහන්සි ගන්නවා. අයින්ස්ටයින්ට කැමති විද්‍යාඥයන් කොණ්ඩෙ පීරන්නෙ නෑ… ඩාවින්චිට කැමති චිත්‍ර ශිල්පීන් හිතා මතා ම මුරණ්ඩුයි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට, මම කියපු දේ වැරදියි තමයි. ‘ස්වාමීන් වහන්සේ නො සිටින්න මම ලොකු අමාරුවක වැටෙනවා’ කියල පැවසුවේ ස්වාමීන් වහන්සේ මාව බේර ගත්තා කියන අදහසින් ම යි. ඉතින් මම මේ අවස්ථාවෙ කුමක් ද හිතන්න ඕන පින්වත් ස්වාමීන් වහන්ස…?”

‘‘ඔව්.. බිනර. මේක ඉතා ම තීරණාත්මක දෙයක්. මම කියන පලියටත් නෙවෙයි. මේක බිනරගේ හදවතින් ම එන්න ඕන දෙයක්. මම මේ කියන කාරණාවට සාක්ෂි සියල්ල බුද්ධ දේශනාවල තියෙනවා. ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙකුගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා සිත පහදවා ගත්තා නම්, කෙලෙස් ගැටලූවක් නිවැරදිව විසඳා ගත්තා නම්, සෝතාපන්න හෝ වුණා නම්… සියල්ලට ම පළමුවෙන් ‘පින්වත, ඔබ මට මහත් උපකාරයක් කළා… ඔබ නො සිටින්න මම අද ලොකු විනාශයක වැටුණා’ කියල ප්‍රකාශ කළ ශ‍්‍රාවකයන් ඉන්නව ද කියලා සොයා බලන්න.

බිනර, නිවැරදි ව ධර්ම මාර්ගයට පැමිණියා නම්, ඔහු මුලින් ම එසේ ප්‍රකාශ කරන්නේ නෑ. මුලින් ම ඔහුගේ මුවෙන් පිටවෙන්නේ වෙනත් දෙයක්. එ් තමයි, ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස…’ එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! කියල. අන්ධකාරයේ සිටි ඇස් පෙනෙන අයෙකුට තෙල් පහනක් දල්වා ලූ පරිද්දෙන්, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වූ පරිද්දෙන්, යටට හැර වූ දෙයක් උඩට හරවා පෙන්වූ පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල පහදා දුන් සේක කියල බුදුරජාණන් වහන්සේට ම යි ප්‍රශංසා කරන්නේ. ධර්මයට ම යි ප‍්‍රශංසා කරන්නේ. ආර්ය මහා සංඝරත්නයට ම යි ප්‍රසංසා කරන්නේ. ඊට පස්සෙ තමයි තේරුම් කරල දුන්න කල්‍යාණ මිත්‍රයා ව සිහි කරන්නේ.

නමුත් සක්කාය දිට්ඨිය විසින් වර්තමාන ශ්‍රාවකයා ව මේ අවස්ථාවෙ දීත් මුළාවට පත් කරලයි තියෙන්නේ. කවුරු හරි ස්වාමීන් වහන්සේනමක්, ලස්සනට නිවනත් නිවන් මාර්ගයත් දේශනා කළොත්, එ්කට හිත පැහැදුණොත්, කරුණුත් තේරුණොත් බුදුරජාණන් වහන්සේගේ මූර්තියක් ළඟටවත් ගිහින් ශාස්තෘන් වහන්සේට වන්දනා නො කොට, ශාස්තෘන් වහන්සේට ප‍්‍රශංසා නො කොට, අර ස්වාමීන් වහන්සේ ඉන්න තැන හොයාගෙන ගිහින් දානෙ ටිකක් පිරිකරක් පූජා කරන්නයි බලන්නේ. මොකද මේ බණ අහන කියවන අය මේව කියවන්නෙත් සක්කාය දිට්ඨිය සහිත මනසෙන් ම යි. වරදින තැන තමාටවත් තේරෙන්නෙ නෑ. පසු කාලෙක බලද්දි අර ස්වාමීන් වහන්සේට මල් පූජා කර කර, මල් පාවඩ දදා ඉන්නවා. දානෙ හද හද උන්වහන්සේ වැඩ ඉන්න තැන්වල කුටි සෙනසුන් හද හදා ඉන්නවා. අවසානයේ දී සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් දම් පුරල අවබෝධ කරගත් ධර්මයේ නිර්මල හිමිකරුවා පසෙක සිටිය දී අංක එක ලැබිල තියෙන්නෙ වෙන කෙනෙකුට.

මේ කියන්නේ ධර්මය කියා දුන් උපකාර කළ කෙනා සිහි කරන්න එපා කියල නෙවෙයි. පළමු ව එ් උතුම් බුදුරජාණන් වහන්සේට ප‍්‍රශංසා කොට පසු ව කියා දුන් කෙනා සිහි කරමින් කෘතගුණ දක්වමින් සත්කාර සම්මාන දක්වන එකයි. එවිට ආමිසයෙන් කුටි සෙනසුන්වලින් පුද දුන්නත් වරදක් නෑ ඔහු ශාස්තෘ ගෞරවය පෙරටු කරගෙන ඉන්න නිසා. උපතිස්ස පරිබ‍්‍රාජකයා අස්සජී මහ රහතුන්ගෙන් ගාථාවක් ශ්‍රවණය කොට සෝතාපන්න වුණත්, උන්වහන්සේ අස්සජී රහතන් වහන්සේගෙන් විමසුවේ ඔබවහන්සේගේ ශාස්තෘන් වහන්සේ කවුද කියල යි. ශාස්තෘන් වහන්සේ සොයා ගොස් පැවිදි උපසම්පදාවත් ලබාගෙන පසු ව දිනපතා බුදුරජාණන් වහන්සේටත්, තමාට මුලින් ම ධර්මය කියා දුන් අස්සජී මහ රහතන් වහන්සේ වැඩ සිටින දිශාවටත් නමස්කාර කරල තමයි සැතපිලා තියෙන්නේ. ඉතින් මේක නේ ද සැබෑ ශ‍්‍රාවකයා විසින් කළ යුතු වන්නේ..?”

‘‘අනේ එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ පසු පසින් උපස්ථාන කරගෙන එන්න මම කාලෙකට කලින් අහද්දිත් ස්වාමීන් වහන්සේ මාව වැළැක්වුවා. අදත් මම පැහැදුනේ ස්වාමින් වහන්සේට. මට දැන් තේරෙනවා… මම නිවැරදි ව විසඳුම ලබා ගත්තා නම්, නිවැරදි පැහැදීම ඇති වුණා නම් මට මුලින් ම සිහි වෙන්න ඕන ස්වාමීන් වහන්සේ ව නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව යි, උන්වහන්සේ අවබෝධ කොට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඉන් පසුව යි එ් මාර්ගයේ ගමන් ගන්නා ශ‍්‍රාවකයන් වහන්සේලා ව සිහිපත් විය යුත්තේ…”

‘‘මම හිතන්නේ බිනරට දැන් මේ කාරණාව පැහැදිලියි. නමුත් බිනර දැන් තීරණය කළා ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ප්‍රමුඛ විය යුතුයි කියා. නමුත් එය තීරණයකින් නෙවෙයි, අවබෝධයෙන් ම නිරායාසයෙන් ම සිදු විය යුත්තක්. එ් නිසා අනාගතේ යම් දිනක ශ‍්‍රද්ධාවත් ප්‍රඥාවත් සම්බන්ධ වී ශාස්තෘන් වහන්සේට ප්‍රමුඛත්වය දී පැහැදීම ස්ථාවර වෙනවා නම්, එ් දවසෙන් පස්සෙ බිනරගෙ මුළු මහත් ජීවිතේ ම කල්පනා කරන ආකාරය සහ දෘෂ්ටිගතික වීම වෙනස් ම ස්වභාවයකට පත්වෙනවා. එහි ප්‍රතිඵල තාවකාලික නැහැ.

එ් වගේ ම යමෙක් බුදුරජාණන් වහන්සේට කාරණා සහිත ව අවබෝධයෙන් ම පැහැදෙනවා නම්, එ් කෙනා එ්කාන්තයෙන් ම කාරණා සහිත ව අවබෝධයෙන් ම ශ්‍රී සද්ධර්මය කෙරෙහිත්, ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් පැහැදෙනවා. එ් වගේ ම යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සැලකිය යුතු ප‍්‍රසාදයක් ඇති නො වී, සංඝයා ගැන ම බලවත් පැහැදීමක් තියෙනවා නම්, එය ආර්ය වූ පැහැදීමක් වෙන්නේ නැහැ… මේ ගැන ලස්සන සූත‍්‍රයක් තියෙනවා බිනර. අංගුත්තර නිකායේ සත්වෙනි නිපාතයේ ‘සක්කච්ච සූත්‍රය’. මේ සූත‍්‍රයේ දී පැහැදිලි ව ම දේශනා කරනවා ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය පැහැදීම ඇති නො වී, ධර්මය කෙරෙහිවත්, සංඝයා කෙරෙහිවත් පැහැදීමක් ඇති වෙන්නෙ නෑ කියල. එ් වගේ ම සංඝයා කෙරෙහි පැහැදිලා ගෞරවය ඉපදිලා සංඝයාට ම සත්කාර කරමින්, බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්න ගරු සත්කාර කරන්න අවශ්‍ය නෑ කියල කෙනෙකුට හිතෙනවා නම් එ්කත් අනාර්ය වූ දෙයක් කියල එ් සූත්‍රය කියවද්දි බිනරට තේරුම් ගන්න පුළුවන් වේවි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… සාදු සාදු සාදු…! මට හොඳට ම මේ කාරණාව දැන් පැහැදිලියි… එ් වගේ ම මම ‘සක්කච්ච සූත්‍රයත්’ කියවන්නම්.”

‘‘බොහොම හොඳයි. මේ කාරණාව හරියට මෙන්න මේ වගේ බිනර. අපි සාමාන්‍ය කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහමු. ‘වලාකුළු නැති ග්‍රීස්ම කාලෙක, සඳ මඬල සර්ව සම්පූර්ණ වුණ පුන් පොහෝ දිනක රාත්‍රී කාලයේ ඔබ ඇවිදින්නේ ඉර එළියේ ද සඳ එළියේ ද?’ කියලා… මොන වගේ උත්තරයක් ලැබේවි කියල ද හිතන්නේ…?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස…, සියලූ දෙනා ම එක ම උත්තරය යි දෙන්නේ. එ් තමයි, වලාකුළු නැති ග්‍රීස්ම කාලෙක, සඳ මඬල සර්ව සම්පූර්ණ වුණ පුන් පොහෝ දිනක රාත්‍රී කාලයේ අපි ඇවිදින්නේ ‘සඳ එළියේ’. ‘ඉර එළියේ’ නම් නෙවෙයි…”

‘‘ඔව් බිනර. මේ තමයි මතුපිටින් පේන දේ දැකල දෙන උත්තරේ. එ්ත් ඇත්ත උත්තරේ එ්ක නෙවෙයි. මතුපිටින් පේන දේට නො රැවටී, යථාර්ථය දකින කෙනා තේරුම් ගන්නවා සූර්යයා නොමැති නම්, රාත‍්‍රී කාලයේ දී චන්ද්‍රයා පිහිටි ඉසව්වක් වත් සොයාගත නො හැකි බව. අපිට පුන් පෝ දවසට රාත‍්‍රී කාලයට පේන්නේත් සූර්යාගේ ආලෝකය ම යි. සඳ එළිය වගේ පෙණුනත් එ් හිරු එළිය ම යි. ඉතින්, පුන් පෝ දා ට අඳුරෙන් බාධාවක් නො වී ඇවිදගෙන ගිය කෙනෙක්ගේ පළමු සහ දෙවන ප්‍රශංසාව හිමි විය යුත්තේ කුමන පිළිවෙළට ද බිනර…?”

‘‘පළමු ප්‍රශංසාව හිරුට. දෙවන ප්‍රශංසාව සඳුට…”

‘‘බොහොම හොඳයි. නමුත්… අද වෙන්නෙ එ්ක නෙවෙයි නේ ද? පුන් පෝ දවසේ රාත්‍රී පුර සඳ දෙස බලද්දි සූර්යයා ව සිහිවෙන්නෙ වත් නෑ නේ ද? ආන්න එ් වගේ තමයි වත්මන් සමාජය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනහර ව මිහිරට පැහැදිලි වෙන්න කොපමණ කීවත්, පැහැදෙන්නේ කියන කෙනාට මිසක් බුදුරජාණන් වහන්සේට නෙවෙයි. මම කලින් කීව වගේ අවිද්‍යාව නිසා හටගත් සක්කාය දිට්ඨියේ ම ප‍්‍රතිඵලයක් තමයි මේ. එ් නිසා, බුද්ධිමත් නම්, ඥානවන්ත නම් කළ යුත්තේ පුන් පෝ දා රාත්‍රීයටත් තමා හිරු එළියේ ම සක්මන් කරන බව අවබෝධ කර ගැනීම යි. එ් කියන්නේ, තථාගත ශ්‍රාවකයෙකුගෙන් ධර්මය ශ්‍රවණය කළත්, තමන්ට කොපමණ ලාභයක් ලැබුණත් පළමු ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේට ලැබිය යුතුයි යන්න අවබෝධයෙන් ම තේරුම් ගැනීම යි. ඉන් පසු ව නිරායාසයෙන් ම සඳ වන් වූ කල්‍යාණ මිත්‍රයා කෙරෙහි කෘත ගුණයක් පිහිටනවා. තේරුණා නේ ද?”

‘‘ඉතා ම පැහැදිලි ව ස්වාමීන් වහන්ස. ඉතා ම සුන්දර ලෙස මට එය තේරුම් ගියා… පින්වත් ස්වාමීන් වහන්ස. මේ කාරණේ හිතනවාටත් වඩා දරුණුයි. අද සමාජයේ සඳ පෙන්නන කොට සූර්යයා නෙවෙයි සඳ දිහාවත් බලන්නෙ නැති තරමට පිරිහිලා. සඳ පෙන්වද්දි අද බලන්නේ සඳ පෙන්වූ ඇඟිල්ල දෙස යි. සොයන්නේ ආලෝකය නොවෙයි, සඳ පෙන්වූ ඇඟිල්ලේ අයිතිකාරයා ගැන යි. එ් තරම් ම පිරිහිලා. ධර්මය ඔළුවට යන්නෙත් නැති, ධර්මය පහදන කෙනා කෙරෙහිත් පැහැදීමක් නැති, බුදුරජාණන් වහන්සේ ව දකින්නෙත් නැති අය තමයි බහුතරය පින්වත් ස්වාමීන් වහන්ස. එයාලා හොයන්නෙ ඇදකුද. හරියට ඇඟිල්ල ගැන සොයනව වගේ…”

‘‘ඔව් බිනර. එහෙම කොටසකුත් මේ අතරෙ ඉන්නවා. නමුත් අපිට වැදගත් වෙන්නේ.. ධර්මයට කැමති අය යි. මොකද අපි හැමෝ ම ධර්මයට කැමති නිසා…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීනී, මට තව ප්‍රශ්නයක් අහන්න අවසර ද…?”

‘‘ඔව්… මට ටිකක් වෙලාව තියෙනවා… අහන්න පුළුවන්.”

‘‘ස්වාමීන් වහන්ස, දැන් මේ ශ්‍රද්ධාව කියන්නෙ පැහැදීම. ධර්මය අහද්දිත් අහන වාරයක් වාරයක් පාසා ම දේශකයාණන් වහන්සේ කෙරෙහි නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහියි පැහැදෙන්න ඕන. මේ සියල්ල මට තේරෙනවා දැන්. ඉතින් මේ ශ්‍රද්ධාව ස්ථාවර වුණා ම, නො සෙල්වෙන තත්ත්වයට පත් වුණා ම එ්කට කියන්නේ සෝතාපන්න ඵලයට පත් වුණා කියලා. ඉතින් ශ්‍රද්ධාව ස්ථාවර කර ගන්න එක බොහොම වැදගත් දෙයක්. පින්වත් ස්වාමීන් වහන්ස, මේ විදියට ශ්‍රද්ධාව ස්ථාවර කරගෙන සෝතාපන්න වෙන්න කුමක් ද කරන්න ඕන…?”

‘‘බාහිරෙන් ලැබෙන උපකාර දෙකකුත්, අභ්‍යන්තරයෙන් උපදවාගත යුතු උපකාර දෙකකුත් අත් හරින්නෙ නැති ව පුරුදු කරන්න ඕන බිනර. එ් තමයි කල්‍යාණමිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත් කියන තමාගෙන් බාහිරෙන් ලැබෙන උපකාර සහ ධර්මය නුවණින් විමසීම නම් වූ යෝනිසෝ මනසිකාරයත්, ධර්මය නුවණින් විමසීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කොටස් දියුණු කරමින් ජීවිතයට බද්ධ කර ගැනීම නම් වූ ධම්මානුධම්ම පටිපදාවත් කියන අභ්‍යන්තරයන් ලැබෙන උපකාරත් කියන කාරණා හතර.
අද බොහෝ දෙනා උදේ සිට ? වෙනතුරු ධර්මය ඇහුවත් නුවණින් විමසන්නෙ ඉතා ම අඩුවෙන්, ධම්මානුධම්ම පටිපදාව පුහුණු කොට එ් නුවණින් විමසීම ජීවිතයට බද්ධ කර ගන්නෙ ඊටත් වඩා අඩුවෙන්. ඇත්තෙන් ම නැති තරම්. බලන්න දවස තිස්සේ ම බණ අහන අය හොඳට රණ්ඩු කර ගන්න හැටි. රාගයෙන් ඇවිස්සිලා නොමනා ක්‍රියා සිදු කරන හැටි..! මේ සියල්ලට හේතුව අභ්‍යන්තර උපකාරයට අදාළ අංග දෙක නැති වීම යි. එ් නිසා මේ හතර ම හොඳ හැටි පුරුදු පුහුණු වෙනව නම් කිසි ම ගැටලූවක් නැති ව නොබෝ කලකින් ම සෝතාපන්න වෙන්න පුළුවන්. එ් නිසා මේ කාරණාවලට කියන්නේ සෝතාපත්ති අංග කියලා…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ කාරණා හතර ගැන මම අසා තියෙනවා. දැන් මට පැහැදිලියි තවත්. මේ සියල්ල අඛණ්ඩ ව ජීවිතයට සම්බන්ධ කරගෙන පුහුණුව ලැබිය යුතු යි. නමුත් පින්වත් ස්වාමීන් වහන්ස, මේ සියල්ල පටන් ගන්න පුළුවන්. නමුත් කරගෙන යන්න අපහසුයි නෙ. පුදුම විදියට බාධා එන්නේ. සමහර වෙලාවට හිත දෙන්නෙත් නෑ භාවනා කරන්න. සමහර වෙලාවට අසනීප. මම අහල තියෙනව සමහර අයට අමනුස්ස ප්‍රශ්නත් බාධා වෙනව කියලා. ඉතින් ස්වාමීන් වහන්ස, මෙහෙම වෙද්දි හිතෙනවා මේ කාලේ අපිට සෝතාපන්න වෙන්නවත් පින මදිවත් ද කියලා. සියල්ල අතෑරලා දිව්‍ය ලෝකේ යන්න පින් කරන්නත් හිතෙනවා. එහෙ ගිහින් හරි ඉතිරිය සම්පූර්ණ කර ගන්න මග ඵල ලැබූ දේවතාවන්ගෙ ඇසුරේ ඉඳන්…” මෙතෙක් මා විඳි සහ ඇසූ පිරූ දේ අනුව ගළපා එසේ පැවසුව ද, පෙරටත් වඩා අමුතු සිනහවක් පින්වත් ස්වාමීන් වහන්සේගේ මුව තුළින් පෙනෙන්නට විය.‍

‘‘බිනර.. දැන් කියපු ටිකත් හරියට ම හරි…! මේ කාලෙ පෙර කළ පින නම් බොහොම අඩුයි තමයි. බාධාත් වැඩියි තමයි. අමනුෂ්‍ය ප්‍රශ්නත් වැඩියි තමයි. එ් විතරක් නෙවෙයි ශරීරත් බොහෝ ම දුර්වලයි. ලෙඩ රෝගත් බොහෝ ම වැඩියි. මේ ජීවිතේ දී ධර්මය අවබෝධ කරන්නත් පෙර කළ පින්වල උපකාරය අවශ්‍ය යි. එ් ගැන ඛුද්දක නිකායේ නිධිකණ්ඩ සූත‍්‍රය කියවලා කරුණු තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ කිසි ම කෙනෙකුට ධර්මය අවබෝධ කර ගන්න බෑ කියල කියන්න බෑ. මොකද කර ගන්න පුළුවන් අයත් අපි අතරේ ම සිටින්න පුළුවන්.

නමුත් ආර්ය මාර්ගය මේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න බැරිවුණොත්, දිව්‍ය ලෝකේ උපත ලබලා බුදුරජාණන් වහන්සේ ඇසුරේ දහම් මඟ වැඩූ ශ්‍රාවකයන්ගෙන් උපකාර ගැනීම ඇරෙන්න කෙටිකාලීන ව ලැබෙන වෙනත් විසඳුමක් ඇත්තෙත් නැහැ. එ් නිසයි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය තුන් වැනි කොටසේ තියෙන ‘සංකාරුප්පත්ති සුත්‍රය’ වගේ සූත‍්‍ර දේශනාත් දේශනා කරල තියෙන්නේ. නමුත්, ප්‍රවේශම් වෙන්න ඕන බිනර. මේ දේ වුණත් අවිද්‍යාවයි, සක්කාය දිට්ඨිය යි තියාගෙන කරන්න ගියා ම නැති අවුල් හැදෙන්න පුළුවන්…”

‘‘එ් කිව්වේ පින්වත් ස්වාමීන් වහන්ස…!”

‘‘දිව්‍ය ලෝකෙ ගිහින් මාර්ගය වඩනවා කියා වර්තමානේ පින් රැුස් කරන අදහසේ ඉන්න කෙනා මේ ජීවිතේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු නො කොට ඉන් බැහැර වෙලා පින් විතරක් කළොත් ද නිවැරදි? නැත්නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන ගමන් ම පින් රැස් කළොත් ද නිවැරදි?”

‘‘ආර්ය මාර්ගය පුහුණු කරන ගමන් ම පින් කරගෙන දෙවැනි සැලසුමක් විදියට දිව්‍ය ලෝකයේ ගිහින් අවසන් කර ගන්න එක ගැන හිතන එකයි හොඳ පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘ඉතා ම නිවැරදියි බිනර. ආර්ය මාර්ගයෙන් බැහැර වෙන්නෙ නෑ කියන්නෙ අපි නෙක්ඛම්මයෙන් බැහැර වෙන්නෙ නෑ. එ්ත් අද බොහෝ දෙනා පින් කරන්නෙ නෙක්ඛම්මයෙන් බැහැර වෙලා නෙක්ඛම්මයේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය වන කාමය එක්ක බැඳිලා. තමන් දන්නෙත් නෑ තමන් බැඳෙන්නෙ කාමය එක්ක කියලා. මේ ජීවිතේ නෙක්ඛම්මය පුහුණු වුණේ නැති කෙනෙක් මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදිලා මිනිස් ස්ත‍්‍රීන්ට අහස පොළොව තරම් පරතරයකින් යුතු සුන්දරත්වයකින් යුත් දිව්‍යාංගනාවන් දැක්කම නිවන් මාර්ගය වඩන ශ්‍රාවකයන් සොයා යාම නෙවෙයි, බුදුරජාණන් වහන්සේවත් අමතක වෙන්න පුළුවන්. ඉතින් බලන්න. මිනිස් ලෝකෙ ම නිවන් මාර්ගය අතෑරලා මිනිස් ස්ත‍්‍රීන් එක්ක දිවි ගෙවීම තෝරගන්න හිතන අයත් ඉන්නව නේ..! ඉතින් දෙව් ලොව ගියා ම එහෙම පැටලෙන එක අහන්නත් දෙයක් ද..?”

පින්වත් ස්වාමීන් වහන්සේ මා දෙස බලා මා විසින් පෙර ගනු ලැබූ තීරණයේ ළාමක බව නැවත සිහිපත් කරවමින් දෝ මඳ සිනහවක් පෑහ. මම ද එය තේරුම් ගත් බව අඟවමින් සිනහවකින් ම පිළිතුරු දුනිමි.

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. දැන් මම වුණත් මෝඩකමක් කර ගන්න ගිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා ම ගැලවිලා ගියානේ… ඉතින් දිව්‍යලෝකෙ දී පැටලූනා නම් ධර්මය නෑසුණොත් ගැලවීම නම් හීනයක් ම තමයි…”

‘‘සාදු සාදු බිනර. එ් ආකාරයෙන් ම ධර්මය ම යි ප‍්‍රශංසා ලැබිය යුත්තේ. ඉතින් බිනර සුත්ත නිපාතයේ පධාන සූත‍්‍රයේ දී දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේට පාපී මාරයා මෙසේ පැවසූ සිද්ධියක් තියෙනවා. එ් කියන්නේ දුෂ්කර ක‍්‍රියාව අතෑරලා බ‍්‍රහ්මචාරීව ඉඳිමින් යාග හෝම පුදපූජා කරමින් පින් රැුස් කර ගන්න කියල. සෑම පිනක් ම නෙක්ඛම්ම සංකල්පයෙන් ම යුක්ත නම්, කාමයත් එක්ක සම්බන්ධ නැත්නම්, ආශ‍්‍රවත් එක්ක, කෙලෙස් උපධීන් එක්ක සම්බන්ධ නැත්නම්, මාරයා මෙසේ පවසන්නේ නෑ. කාමයන් සමඟ, කෙලෙස් උපධීන් සමඟ සම්බන්ධ පිනුත් තියන නිසයි, එයින් සසර තව තවත් දික් වන නිසයි මාරයා මෙසේ ප‍්‍රකාශ කළේ.

එ් නිසා බිනර පින් කරන්න ඕන චතුරාර්ය සත්‍යය මෙනෙහි කරමින්, නෙක්ඛම්ම සංකල්පයෙන්, අව්‍යාපාද සංකල්පයෙන්, අවිහිංසා සංකල්පයෙන් යුතු ව, හොඳින් සීලය ආරක්ෂා කර ගනිමිනුයි. මේ සියල්ල සඳහා ඊට බාධා කරන අකුසල් ප‍්‍රහාණය කිරීමට වීර්යයකුත් පැවතිය යුතුයි. එ් වගේ ම නූපන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යනාදී සංකල්ප උපදවා ගැනීමට වීර්යයකුත්, සීලය තව තවත් සුරක්ෂිත කර ගැනීමට වීර්යයකුත්, වීර්යය දිගට ම පවත්වා ගැනීමට වීර්යයකුත් පැවතිය යුතු යි. නැත්නම් මේ වීර්යය වුණත් අඩපණ වෙනවා. එ් නිසා වීර්යවන්තයා ඉලක්කය සාක්ෂාත් වන තුරු ම ආරම්භයේ දී වැනි වූ ම නැවුම් සිතකින් වීර්යය කළ යුතුයි. එ් සඳහා සතර අපා දුක සිහි කිරීම, මරණානුස්සති භාවනාව, අසුභය, මෛත්රිය, බුද්ධානුස්සති ආදි භාවනා උපකාරී වෙනවා.

ඇතැම් අකුසල් ඉතා ම සියුම්, එ් නිසා මේ සියලූ කුසල් උපදවා ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමටත් නිරන්තරයෙන් සිහියෙන් ජීවත් වෙන්න සිදු වෙනවා. අභ්‍යන්තර බාහිර ශරීර ගැන, විඳීම් ගැන නුවණින් ම දකින්න සිදු වෙනවා. එ් නිසා සතර සතිපට්ඨාන භාවනා පුරුදු කරමින් හැකි තාක් සිහිය දියුණු කර ගැනීමත් ඉතා ම වැදගත් දෙයක්…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘බිනර, අහල ඇති මෙහෙම කතාවක්. ගෝපිකා කියල උපාසිකාවක් සංඝයා වහන්සේලා ඇසුරේ සංඝයාට දන්පැන් පූජා කරමින් උපස්ථාන කර ගනිමින් පින් රැස්කර ගන්න අතරේ එ් සංඝයාගෙන් ම සතර සතිපට්ඨානය ඉගෙන ගත්තා. පුළුවන් විදියට ආර්ය මාර්ගය වඩමින්, සතිපට්ඨානය දියුණු කළා. භාවනා කළා. එ් වගේ ම හොඳට පිනත් රැස්කර ගත්තා. මරණින් මත්තේ ගෝපිකා, ගෝපක කියන නමින් දිව්‍යරාජයෙක් වෙලා ඉපදුණා. පැවිදි වෙලා පැවිදි සීලයක් රැකපු සතිපට්ඨානය ගැන හොඳ දහම් දැනුමක් තිබුණු, එ්ත් සතිපට්ඨානය දියුණු නො කරපු ස්වාමීන් වහන්සේලා ගෝපක දිව්‍යරාජයා සතුටු කරවන වීනා වාදනය කරන සංගීත කණ්ඩායමක ගාන්ධර්ව දේව උත්පත්තිය ලබාගෙන එ් දිව්‍ය ලෝකෙ ම ඉපදුණා. දැන් බලන්න… දිව්‍ය ලෝකයේ යන එකයි, දිව්‍ය ලෝකෙදි ධර්මය පුහුණු කළ අයත් එක්ක උස් පහත්කම් හැදෙන එකයි අතරේ වෙනස. එහෙනම් දැන් බිනර අන්තිමට අහපු ප්‍රශ්නෙටත් උත්තරේ මම එ් ප‍්‍රශ්නෙ අහන්න කලින් කියපු කාරණාව ම නේ ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. දිව්‍ය ලෝකේ ගිහින් ධර්මය පුහුණු වෙන්න කැමති කෙනාත් කළ යුත්තේ නෙක්ඛම්මාදී සංකල්පවලින් යුතු ව, සෝතාපත්ති අංග දියුණු කරන අතරේ ම පින් කර ගන්න එක යි. සෝතාපත්ති අංග දියුණු කිරීම අත්හැරලා… නිකම් ම නිකම් පින් විතරක් කරන එක නෙවෙයි…”

‘‘ඉතාමත් ම නිවැරදියි බිනර. අන්න එහෙමයි නුවණැති ශ‍්‍රාවකයා කල්පනා කරන්න ඕන. මෙහෙම හිතුවොත්, මෙලොවවත් පරලොවවත් ඔහුට වරදින්නේ නෑ…”

මතු සම්බන්ධයි…
.
කම්පිතව හද මඬල ලෝ සතගෙ දුක හැඳින
සනසවන මඟ සොයන්නේ
පුරා පෙරුමන් පැමිණ නිවන සැනසුම දරන
සුගත මඟ ම යි දිනන්නේ
හැම කෙලෙස් ලෙඩ නසන අමා ඔසු දන් දෙමින
පිරිනිවෙන මඟ දෙසන්නේ
දිවා රැය පුරා මම සිත සිතා නිමල ගුණ
තථාගත මුනි වඳින්නේ…!!!
කිසිත් හරසුන් නැතේ අරුත් පිරිපුන් වෙතේ
අමා සන්දෙස නැගෙන්නේ
දෙව් මිනිස් ලොව වෙතේ පතළ මෙත් සිත ඇතේ
ඒ අමා රස බෙදන්නේ
සුගත මුනි මාවතේ කලණ සලකුණ වෙතේ
ගුරු තරුව වී දිලෙන්නේ
සිළුමිණ ව පින් කෙතේ ගුරු දෙවිඳු එහි වෙතේ
සාදු සාදු වඳින්නේ…!!!
දස බලැති හිරු මඬල මෙත් සිතැති සඳ මඬල
අවිදු අඳුරයි නසන්නේ
සැදැහැ බිජු වපුරමින් සිල් දියෙන් දොහොවමින්
හිරු සඳුගෙ තෙද ලබන්නේ
පින්කෙත ව තුන් ලොවේ බෙදාලන අම සුවේ
තථාගත මුනි රජුන්නේ
උතුම් ශ‍්‍රාවක රුවන මගේ ලොව මිණි පහන
සාදු සාදු වඳින්නේ…!!!
සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද
උතුම් ශ්‍රී සද්ධර්මයට ද
ආර්ය සංඝරත්නයට ද
සත්පුරුෂ ගුරු දෙවිඳුන්ට ද
කල්‍යාණමිත්‍ර සඟ රුවනට ද
මාගේ නමස්කාරය වේවා!!!

මහාමේඝ 2015  බක් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68