‘කළුවත’ ගමේ බොහෝ පිරිසක් පුන් පෝ දිනය උදාවනතුරු සිටින්නේ නො ඉවසිල්ලෙනි. පුන් පෝ දා ට අහස පුරා කිරි බැබළෙන ආකාශ චෛත්‍යය වන්දනා කර ගන්නට යන ගමනට සියල්ලෝ ම සහභාගී වන්නේ හද පිරි ශ‍්‍රද්ධාවෙනි. ගමන තරමක් දුර වුවත් එය ඉතා සුන්දර ය. එහෙත් එ් පින්බර අවස්ථාව මේ පෝය දවසේ එක් අයෙකුට අහිමි වී ඇත. එ් ඇය දරුවා ලැබෙන්නට ආසන්න ගැබිණියක්ව සිටින බැවිනි.

‘‘දුවේ උඹ මේ ගමන නාවට කාරි නෑ… අපි ගිහින් සෑය වන්දනා කරගෙන බණ කථා අහගෙන ඇවිල්ල උඹට කියන්නම්කො. උඹ කිරි අම්මත් එක්ක ප‍්‍රවේශමෙන් හිටපන්…” අම්මා ආදරයෙන් හිස අතගා ඈත යන වන්දනා නඩයේ අගට එකතු වන හැටි ඇය බලා සිටියේ සන්තාපයෙනි. ඔවුනට හෝරා දෙකක පමණ ගමනකින් සෑය වෙත ළඟා විය හැකි බව ඇය අත්දැකීමෙන් දනී.

‘අනේ වෙනදාට මම කොච්චර ආසාවෙන් ද මේ ගමනට එක්කාසු වෙන්නෙ… වැවේ බැහැල දිය බේරෙන නෙළුම් මල් නෙළාගෙන ගිහින් ආකාශ චෛත්‍යයට පූජා කරල… හඳපානෙ සෑ මළුවෙ ඉඳගෙන මිහිරට පිරිත් කියන කොට සිතට දැනෙන සුවය….’ ඇය මිදුල කොණේ සේපාලිකා ගහ යට හිඳගෙන වලාකුළු අතරින් ඈත අහසේ කිරි බැබළෙන සෑය දෙස බලාගෙන බුදු ගුණ ම සිතන්නට වූවා ය… කෙමෙන් රෑ බෝවී සඳ පායා ආවත් ඇයට කාලය ගතවී යනවා නො දැණුනි…. ඇගේ සිත බුද්ධානුස්සතිය තුළ එකඟ වෙද්දී සෑයේ කොත මුදුනින් අහස පුරා සුදු බුදු රැුස් විහිදෙන්නට විය. එ් අසිරිය දැක දැක ම ඇය තව තවත් බුදු ගුණ තුළ ම ගිලූනා ය. ඇයට දැණුනේ සෑ බඳ පිස එන මඳ පවන් රැුළි ඈ ගත වෙළාගන්නා වග පමණි.

හදිසියේ උරහිසට තැබූ අතකින් ඇයගේ දැහැන බිඳුණි… ‘‘අනේ දුවේ…. ශ‍්‍රද්ධාව තිබුණ කියල මෙහෙමත් හිතුවක්කාර වැඩ කරන එක හොඳ ද? කාත් එක්ක ද, කොහොම ද මේ රාත්තිරියෙ අපිටත් කලින් සෑ මළුවට ආවේ? අනික මෙච්චර පඩි නැගල දුර එන්න උඹට හොඳ ද මං අහන්නෙ…?” ඇය සිහි එළවා ගන්නට තැත් කළා ය…

‘‘අනේ අම්මෙ මම හිතුවක්කාරකමක් කළේ නැහැ…. පඩි නැග්ගෙත් නෑ… මම හිටියෙ ගෙදර මිදුලෙ සේපාලිකා ගහ යට. මම හිටියෙ බුදු ගුණ හිත හිතා…. මේ සෑ මළුවට මම කොහොම ආව ද කියන්න මම දන්නෙ නෑ….”

අප මේ ගමන් කරමින් සිටින්නේ එදවස ප‍්‍රාතිහාර්යයකින් එ් ගැබිණි මව පැමිණියා වූ ආකාශ චෛත්‍යය වෙතට ය.

ත‍්‍රිකුණාමලයේ සිට කි. මී. 40ක් පමණ මග ගෙවා පැමිණි අපි කුච්චිවේලි පොලීසිය ඉදිරිපිටින් වමට හැරවීමු.

මෙතැන සිට අප තවත් කි. මී. 16ක් පමණ යා යුතු ය. ඉන් අඩක් පමණ ගිය විට නැගෙනහිරට ආවේණික තල් රුප්පා සහිත වියළි පරිසරයෙන් මිදී දැවැන්ත පළු වීර ගස්වලින් සුසැදි වන පෙතකට ඇතුළුවීමට සිදුවෙයි. වන මැද මාවත දෙපස ගම් බිම් දක්නට නැතත් හමුදා මුරපොළවල් දෙකක් හමුවෙයි. ඔවුන් මේ ප‍්‍රදේශ කුරිරු ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා නො ගන්නට අප කෙසේ නම් මේ සිද්ධස්ථාන දැක බලා වන්දනා කර ගන්න ද? ඓතිහාසික නීතුපත්පාන ගිරිහඬු සෑය පින් බිම වෙත ළඟා වෙද්දී පළමුව ඔබ නෙත ගැටෙන්නේ නැගෙනහිරින් ඇති නීතුපත්පාන වැවයි. මෙය ව්‍ය. ව. 67 දී අනුරපුර රජ වූ වසභ රජතුමාගේ නිමැවුමකි. වැව් ඉවුරේ සිට අහස දෙස නෙත් යොමද්දී දිස් වන්නේ එදා පෝදාට සුදු බුදු රැස් වීදූ ගිරිහඬු සෑ රදුන් හා එ් වටා ඇති ශෛලමය වටදාගෙය යි..

වන පියස අතරින් වැටී ඇති පියගැටපෙළ තුන්සියයක් පමණ තරණය කිරීමෙන් ඔබට මේ අසිරිමත් සෑ මළුව වෙත ළඟා විය හැකි ය. මුළු නැගෙනහිර පළාතේ ම පිහිටි උස් ම කඳුගැටය මත වූ මේ සෑයට ආකාශ චෛත්‍යය යැයි නම් තැබීම කෙතරම් සාධාරණ ද යන්න පසක් වීමට නම් ඔබ මෙහි පැමිණිය යුතු ම ය. සෑ මළුවේ සිට අවට බලන විට දක්නට ලැබෙන දසුනේ සුන්දරත්වය මම විස්තර කිරීමට නො යමි. මන්ද එය ඔබ නෙතින් ම විඳගත යුතු බැවිනි. මේ අසිරිමත් සෑ රදුන් හා එහි ඉතිහාස පුවත පිළිබඳ දැනගැනීමට මම ගිරිහඬු සෑය විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වන නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක ශාස්ත‍්‍රපති ධර්ම කීර්ති ශ‍්‍රී දෙවිනුවර චන්දිම ස්වාමීන් වහන්සේ
මුණගැසුනෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, කොහොම ද මේ පිළිබඳ ඉතිහාස කථාව පෙළගැහෙන්නෙ?”

‘‘බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ කිරිපළු වනයේ.. ඔය තපස්සු භල්ලූක කියන්නේ තම පිය පරම්පරාවෙන් ආපු වෙළඳාම් කටයුතු දේශ දේශාන්තරයන්හි පවා හොඳින් කරගෙන ගිය වෙළඳුන් දෙදෙනෙක්. එදා මේ අය ගැල් පන්සීයක වෙළඳ ද්‍රව්‍ය පටවගෙන මේ කිරිපළු වනය මැදින් යමින් හිටියෙ. එක පාරට ම එ් අයගෙ කරත්ත වියළි පොළවෙ එරිල ගියා. මේ පුදුමය මොකක් ද කියල බලද්දි ගසක හිටිය වන දේවතාවෙක් කිව්ව ඔන්න ඔයාලගෙ පැතුම ඉටුකරගන්න දවස ඇවිල්ල කියල. එ් කියන්නේමේ අයගෙ පෙර සංසාරෙ පැතුමක් තිබිල තියෙනව ‘අනේ අපට බුදු කෙනෙකුට පළමු දානය පිරිනමන්න ඇත්නම්’ කියල. ඉතින් මේ අය වටපිට බලද්දි දැක්ක ඈත කිරිපළු හෙවණක වැඩ ඉන්න මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ. ඉතින් මේ අය හරි ම සතුටින් තමන් ළඟ තිබුණ විලඳ මී පැණි අරගෙන භාග්‍යවතුන් වහන්සෙ වෙත ළඟා වුණා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සෙ අත පාත‍්‍රයක් තිබුණෙ නෑ.. සතරවරම් දෙව් රජවරු මේ මොහොතෙ භාග්‍යවතුන් වහන්සේට දන් වළඳන්න රන් පාත‍්‍රා හතරක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් එ් පාත‍්‍රා හතර ම එකක් බවට පත්කරගෙන වෙළඳ දෙබෑයන්ගේ දානය පිළිගත්ත.

දන් වළඳලා අවසානයේ දහම් අසා ගෞතම සසුනෙ පළමු උපාසක දෙපළ වන්නට එ් අය වාසනාව උදා කර ගත්ත. ආපසු පිටත්වෙන්න කලින් මේ දෙන්නා පූජනීය වස්තුවක් ඉල්ලපු වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රී හස්තයෙන් සම්බුදු සිරස පිරිමැදල ජීවමාන කේශධාතුන් වහන්සේලා වෙළඳ දෙබෑයන්ට ලබාදුන්නේ… ඉතින් මේ දෙන්න බොහෝ ම ගෞරවයෙන් මේ ධාතූන් වහන්සේලා සත්රුවන් කරඬුවක තැන්පත් කරල තමන් යන යන තැන අරගෙන ගියා.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස මේ ධාතූන් වහන්සේලා අපට ලැබෙන්නෙ කොහොම ද?”

‘‘මේ වෙළඳ දෙබෑයෝ රට රටවලට වෙළඳාමෙ යන අතරේ ලංකාවට ආවනේ… එ් කාලේ ඔය දැන් යාන් ඔය මූදට වැටෙන කල් වරාය කියන ගල් වරායේ ඉදල යාන් ඔය දිගේ ඇවිත් රට ඇතුළට ම යන්න පුළුවන් ඇළ මාර්ග තිබිල තියෙනව. මේ ප‍්‍රදේශ එ් කාලෙ ජනාකීර්ණයි. ඉතින් මේ දෙන්න වෙළඳ කටයුතුවලට රට මැදට යද්දි අර රන් කරඬුව බොහොම ගෞරවාන්විතව එ් ප‍්‍රදේශයේ තියෙන උස් බිමක රඳවල රැකවල් කරල තමයි යන්නෙ.. ඉතින් මෙහෙම ගිහින් ඇවිත් බලද්දි කරඬුව තිබුණ තැනින්
සොලවන්නවත් බැරි වුණා…

එ් පාර මේ දෙන්න ‘මේක නම් අසිරියක් ම යි…. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගෙ මේ ධාතූන් වහන්සේලාගේ උරුමය තියෙන්නෙ මේ බිමට වෙන්න ඕනෙ’ කියල හිතල එතන ම සෑයක් හදල තැන්පත් කරල වන්දනා කරල පිටත් වෙලා ගියා..”

‘‘ස්වාමීන් වහන්ස මේ වගට ඓතිහාසික සාධක තියෙනව ද?”

‘‘ඇයි මහත්තයො ඓතිහාසික තිරියාය සෙල්ලිපියෙ පවා මේ බව සඳහන් වෙනවනෙ.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ අපට මේ සෑය හමුවෙන්නෙ කොහොම ද?”

‘‘මහත්තයො 1954 විතර අපගේ නායක ස්වාමීන් වහන්සේ වන ධර්ම කීර්ති ශ‍්‍රී ගන්දර ආනන්ද නා හිමියන් වහන්සේට මේ සෑය ගැන දැනගන්න ලැබිල හාල් පොල් ටිකක් විතරක් අරගෙන හුදෙකලාවේ අදත් අලි කොටි වග වලසුන් ඉන්න මේ මහ වනය මැදින් කි. මී. 54ක් විතර දුර ගෙවාගෙන පයින් ම වැඩල මේ ස්ථානය හොයාගෙන මහ වනය මැද නැවතිලා කළ කැපවීමක ප‍්‍රතිඵලය තමයි මේ.”

‘‘ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ වන මැද ඉද්දි මුහුණ දුන්න විශේෂ සිදුවීම් තියෙනව ද?”

‘‘මහත්තයෝ මම පැවිදි වුණේ 1979. මේ කැලෑවෙ මොනතරම් වන සත්තු ඉන්නව ද? එ්ත් කවදාවත් අපට කරදරයක් නෑ…. අපි අහල තියෙනව සමහර දාට ?ට සෑයෙන් පිරිත් හඬ ඇහෙනව. එ් වාගෙ ම ඔය සෑ මළුව හරි ඉක්මනින් සිත සමාධිගත කර ගන්න පුළුවන් තැනක්. මේ බව දන්න විදේශික හාමුදුරුවරු පවා ඇවිත් ?ට සෑ මළුවට වැඩල එළිවෙනකම් වන්දනා කරල භාවනා කරල යනව. දේවතා එළි නම් කොතෙකුත් දැකල තියෙනව.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස මේ සෑය වඳින්න එන සැදැහැවතුන්ට දැනුම්වත් කරන්න යමක් තියෙනව ද?”

‘‘මහත්තයො මගෙ සිහිනයක් තියෙනව. එ් තමයි එදා අර උපාසිකා දුවට බුද්ධාලම්බන ප‍්‍රීතිය ඇතිවෙලා අහසින් සෑ මළුවට එන්න තරම් අනුහසක් තිබුණ මේ සෑය එදා වගේ ම ප‍්‍රතිසංස්කරණය කරවල කිරි බැබළෙන සෑයක් බවට පත් කරන්න. මොකද මේ තුළ වැඩ ඉන්නෙ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දි උන්වහන්සේගේ සුරතින් ම පිරිනැමුව දිවමන් කේශධාතු. එ් විතරක් නෙවෙයි. උන්වහන්සේ ජීවමානව වැඩ ඉද්දි ම යි මේ සෑය හැදුවෙ. මේ තමයි මේ බුද්ධ ශාසනයේ ලෝකයේ ප‍්‍රථම ධාතු චෛත්‍යය.

එ්ත් අවාසනාව කියන්නෙ සමහර අය හිතන්නෙ මේව පුරා වස්තු…. මේව වෙනස් කරන්න හොඳ නෑ… මේව ඔය පරණ විදියට ම ගල්වල දිය සෙවෙල බැඳිල කැඩුණු ගල් පඩි අතරින් මුල් ගිහිල්ල තියෙන තරමට ම යි පෞරාණික බව රැකෙන්නෙ කියල.

ඔය අදහස එදා සිටි රජ දරුවන්ට තිබුණ නම් අපට අද රුවන්වැලි සෑය කියල වඳින්ට වෙන්න පස් කන්දකට.

සෝමාවතිය, සේරුවිල කියල වඳින්ට වෙන්නෙ පස් කඳුවලට මහත්තයො. ගෞතම ශාසනය කියන්නෙ තවමත් අතීතයට ගිය එකක් නෙවෙයි; අදටත් ජීවමාන එකක්… ඉතින් බුදුරජාණන් වහන්සේට කරන නියම පූජාව නම් ලොව ප‍්‍රථම සෑය වන මෙය මේ විදියෙ නටබුන් ගොඩක් විදියට තියාගන්න එක නෙවෙයි. පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයනුත් සුරැුකෙන විදියට සෑය ප‍්‍රතිසංස්කරණය කරවල හුනු පිරියම් කරල එදා වගේ මුළු නැගෙනහිර පළාතට ම මිහිබට සුර විමනක් වගේ කිරි සුදුවට පේන ආකාශ චෛත්‍යය බවට පත් කරවන එකයි.”

උන්වහන්සේගේ එ් සිහිනය තෙරුවන් සරණ ගිය අප සැමගේ ම සිහිනය විය යුතු ය. මිසරයේ පිරමීඩ මෙන් ගෞතම සසුනේ සිද්ධස්ථාන නටබුන් ලෙසින් පවත්වාගෙන යාමේ මානසිකත්වයෙන් අප මිදිය යුතු ම ය… මන්ද ගෞතම සසුන අදත් ජීවමාන හෙයිනි. පෙර රජ දරුවන් වරින් වර මේ සිද්ධස්ථාන වඩ වඩාත් වැඩිදියුණු කරමින් ප‍්‍රතිසංස්කරණය නො කරන්නට අද අපිට ඉතිරිවන්නේ කුමක් ද? අප අපගේ යුගයේ දී එ් යුතුකම ඉටු නො කරන්නේ නම් අනාගත පරපුරට අප ඉතිරිකර යන්නේ මොනවා ද? උන්වහන්සේගේ සිහිනය අප දැස් මානයේ සත්‍යයක් වනු දැකීමට සවි ඇත්තෝ පින් පුරා ගනිත්වා….!

බුදු ගුණ කියමින් එ් දිවමන් කේශ ධාතු සෑය වටා පැදකුණු කරමින් වන්දනා කළ මම එසේ ප‍්‍රාර්ථනා කළෙමි.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ