අනුරපුරයේ සංචාරක නිකේතනයේ සඳලූ තලයට එක එල්ලේ ම දිස්වන්නේ බසවක්කුලම වැව් තලයයි. වෙනදා ඕලූ නෙළුම් ආදි නේකවිධ ජලජ පුෂ්පයන්ගෙන් ශෝභමානව දිලෙන මේ වැව් තලය රජ රටට පසුගිය දිනවල බලපෑ දැඩි නිය`ගය විසින් තණ පිටියක ස්වරූපයට පත් කොට ඇත.

වැව් පිටියට දකුණු පසින් තුරුලතා අතරින් පෙනෙන මහ සෑයේ කොත් කැරැුල්ල පිස එන මන්ද මාරුතය ගිම්හානයේ දාහය නිවාලන අමා ඔසුවක් වැන්න.

පහළ බැලූවිට සංචාරක නිකේතනයේ මිදුල පුරා ඇති තුරු ගොමුවෙහි තැනින් තැන ඇති ගල් කණු දිස්වෙයි. ගල් කණු අතර ඇති ගල් බංකුව සැඳෑ අසිරිය විඳිමින් අතීත අසිරියෙන් පද බැඳුණු මේ පොත කියවන්නට හොඳ ම තැනයයි මට සිතේ.

ලෝකයේ පැරණිතම ලිඛිත ඉතිහාසයක තොරතුරු සපිරි මහාවංශය දෝතින් ගත් මම පියගැටපෙළ බැස ගල් බංකුව වෙත පියමැන්නෙමි.

මහාවංශයේ පිටුවෙන් පිටුව පෙරළෙද්දී ශතවර්ෂ ගණනක අතීතයක් කරා යන මංපෙතක් සැණෙකින් විවර වෙයි. මම එ් ඔස්සේ පියමැන්නෙමි.

මහාමේඝ වනය නිසල හුදෙකලාවක වෙළී ඇත. අතුපතර නද දෙන සියොත් ගී රාවය එක්තැන් වුණ සිතට බාධාවක් ඇති නො කරයි. ඈත විසල් රුක් සෙවණක් යට නිසොල්මනේ සමාධි සුවයෙන් පසුවන මහින්ද හිමියන් දෙසට සපු මල් වට්ටියක් දෝතට ගෙන පියමනින්නේ දේවානම් පියතිස්ස නිරිඳු ය. රජතුමා සමීපයට පැමිණෙත්ම මිහිඳු හිමියන් දැහැනින් මිදී දෑස් විවර කොට බැලූහ. රජතුමා උන්වහන්සේ අතට සපුමල් වට්ටිය දී පසඟ පිහිටුවා වන්දනා කළේ ය. මල් වට්ටිය දෝතට ගත් මිහිඳු හිමියෝ හුන් තැනින් නැගිට ඉදිරියට පිය මනින්නට වූහ.

එක් ස්ථානයක මඳක් නතර වී මොහොතක් දෑස් පියාගත් මිහිඳු හිමියන් අනතුරුව සෙමෙන් පහත් වී එ් බිමේ තැනින් තැන සපුමල් විසිරුවා හැර දොහොත් මුදුන් දී වන්දනා කළහ. එකෙණෙහි ම මිහිකත කම්පා විය. විස්මයෙන් ඇලළී ගිය රජතුමා මෙසේ විමසී ය.

‘‘හිමියනි…. ඇයි මේ මල් මෙතන පොළවේ විසිරුවා හළේ? ඇයි හිමියනි ඔබ වහන්සේ වන්දනා කළේ? ඇයි මේ මහපොළව කම්පා වුණේ?”

‘‘රජතුමනි, මේ ස්ථානය මුළු ලෝකයේ ම තියෙන අති පූජනිීය තැනක්. මෙතන කකුසඳ බුුදුරජාණන් වහන්සේ හතළිස් දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන සමාපත්ති සුවයෙන් වැඩසිටි තැනක්. කෝණාගමන බුදුරජාණන් වහන්සේ තිස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ වැඩසිටි තැනක්. කාශ්‍යප බුදු සමිඳුන් විසි දහසක රහතුන් සම`ග වැඩ හුන් තැනක්. එ් විතරක් නො වෙයි, අපගේ ගෞතම සම්බුදු සමිඳුන් පන්සියයක මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටි පින් බිමක්.

එ් විතරක් නො වෙයි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහ සෑයක් ඉදිවන තැනක්.,”

‘‘ස්වාමීනී, ආශ්චර්යයි. ස්වාමීනී, මට හරිම සතුටුයි. එහෙම නම් මම හෙට ම මහ සෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්නෙමි.”

‘‘රජතුමනි, මෙතන මහ සෑය ඉදිකරන්නට පෙරුම් පුරාගෙන එන කෙනෙක් ඉන්නවා ගැමුණු නමින්. එ් ඔබගේ මුණුපුරෙක්.”

‘‘අනේ ස්වාමීනී, මට හරි ම සතුටක් මගේ මුණුපුරෙක් මේ සෑය කරවන බව අසන්නට ලැබීම. එහෙම නම් මම මේ පුවත සෙල් ලිපියක සනිටුහන් කොට මෙහි සිටුවන්නෙමි. රන් පතක ලියා රන් කරඬුවක බහා රජ මැදුරේ තබන්නෙමි.”

මිහිඳු හිමියන් මන්දස්මිතයකින් එයට අවසර දී ආපසු වඩිද්දී මම නැවතත් පත් ඉරු අතරින් ගල් බංකුව වෙත ආපසු ආවෙමි.

සංචාරක නිකේතනයේ මුළු මිදුලට ම සෙවණ වැටී ඇත. ඉදිරිපස ගේට්ටුවට යාබද ව ඇති දැවැන්ත පළු ගස මහා වනස්පතියක් සේ හාත්පස සෙවණ සලසයි. මම එ් දෙස බලා සිටියෙමි.

සුදෝ සුදු ඇඳුමින් සැරසී සුදු මල් වට්ටියක් දෝත දරාගත් යුවතියක් මහ සෑය දෙසට පා නගයි. ඈ මේ සන්ධ්‍යාවේ මහ සෑය වන්දනා කොට බොහෝ පින් රැුස් කර ගන්නවා ඇත.

සුදු සේලයක් පොරවාගත් ඇයගේ සන්සුන් ඉඳුරන් මා නෙත් පැහැරගත් බව දැනුනු නිසාදෝ ඈ මඳකට නැවතී මා දෙස හැරී බැලූවා ය. මම වහා පොතට නෙත් යොමු කළ ද ඈ මා වෙත පිය නගන බව මට දැනුණි.

‘‘මොකද්ද ඔය කියවන පොත?”

‘‘මේ මහාවංශය… මට වුවමනා වුණා ස්වර්ණමාලි මහ සෑය ගැන ලිපියක් ලියන්න. ඉතිං එ්කට තොරතුරු රැුස් කරනවා.” මම ඇයට කීවෙමි.

‘‘ලිපිය ලියන එකේ අරමුණ මොකක්ද?”

‘‘අපි මේ බෞද්ධ රටේ බෞද්ධයෝ වෙලා ඉපදුණාට හු`ග දෙනෙක් අපේ පූජනීය ස්ථානවල තොරතුරු හරියට දන්නේ නැහැ. අනික හරි ආකාරයෙන් පිනක් රැුස් වෙන විදිහට වන්දනා කර ගන්න දන්නෙත් නැහැ. මට ඕනෙ මේ අයගෙ සිත්වල ශ‍්‍රද්ධාව ඇතිවෙන්න උපකාර වෙන විදිහට මේ අතීත තොරතුරු හෙළිදරව් කරල දෙන්නයි.”

‘‘හොඳයි. ඔබගෙ අදහස යහපත් නිසා මම ඔබට උදව් කරන්නම්. මොනව ද දැනගන්න ඕන තොරතුරු?” ඇය අනාරාධිත ව ම මා ඉදිරිපිට ඇති ගල්ටැඹ මත අසුන් ගත්තා ය.

‘‘ගැමුණු රජතුමා මේ මහ සෑය හදන්න ආරම්භ කළ හැටි දන්නවා ද?”

ඇයගේ මුහුණට මඳ සිනහවක් නැගුණි. සුළෙ`ග් පියඹා යන්නට වෙර දරන සුදු සළුපට අතකින් සිරකර ගත් ඇය දොඩමළු වූවා ය.

‘‘ගැමුණු රජතුමා සොළීන් පරදවා රට එක්සේසත් කළාට පස්සේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට ආවා. එ් ආපසු යන ගමනෙදි තමයි දේවානම් පියතිස්ස රජතුමා විසින් කරවපු ගල්ටැඹ දකින්නට ලැබුණේ. කලින් මේ ගැන අසා තිබුණත් තමන් විසින් මේ ස්ථානයේ එකසිය විසි රියන් මහ සෑයක් හදවන බවට මිහිඳු හිමියන් විසින් පළ කළ අනාවැකිය සටහනක් කොට තිබූ සෙල් ලිපිය දෑසින් ම දැකපු රජතුමාගේ සතුට නිම් හිම් නැති වුණා.

සවස රජ මාලිගයට ආපු රජතුමා මේ ගැන ගැඹුරින් කල්පනා කළා. ‘දැන් සොළීන් සම`ග සටන අවසන් වූවා පමණයි. රට වැසියා පීඩාවට පත් වෙලයි ඉන්නෙ. ඔවුන්ට වෙහෙසක් නො වන විදිහට මේ සෑය හදන්න ඕනෙ.’

රජතුමාගෙ අදහස දැනගත්ත දෙවියන් රජුගේ ධාර්මික බව ගැන තවත් පැහැදුණා. සක් දෙවිඳුන් ප‍්‍රධාන විශ්වකර්ම දෙවියන් ඇතුළු මහානුභාව සම්පන්න දෙවිවරුන් මහ සෑයට වුවමනා කරනා රන්, රිදී, තඹ, මුතු, මැණික් පමණක් නො වෙයි ගඩොල් පවා මවා දුන්නෙ දෙවියන්ගේ දිව්‍යානුභාවයෙන්.

මේ ගැන සියලූ ම විස්තර ඔබ අතේ තියෙන පොතේ වගේ ම ථූපවංශයෙත් තියෙනවා.”

මම හිස සැලූවෙමි.

‘‘ඉතින් ඔන්න වෙසක් පුන් පොහෝ දවසක ගැමුණු රජතුමා මහ රහතතන් වහන්සේලාගේ ආශීර්වාදයෙන් සෙත් පිරිත් සජ්ඣායනා මැද බිම සකසන්න ආරම්භ කළා.

දන්නව ද මහ සෑයට මුල්ගල තබන උත්සවයට ලෝකයේ නන් දෙසින් වැඩම කොට වදාළා මහ රහතන් වහන්සේලා ලක්‍ෂ ගණනක්… මෙතරම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්, මෙතරම් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්, මෙතරම් ධාතූන් වහන්සේලා ප‍්‍රමාණයක් නිදන් කොට තනවන ලද සෑයක් තුන් ලොවේ කොතැනකවත් නැති බව දන්නව ද?

මහ සෑයේ පේසා වළලූ තුන ඉදිකරන්නට විතරක් ගඩොල් දස කෝටියක් වුවමනා වුණා… පේසා වළලූ තුන නව වතාවක් ම පොළවට ගිලා බැස්සා. එහෙම වුණේ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන්. ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දරා සිටින මේ සෑයට අනාගත කාලයේ ඇතිවන භූමිකම්පාවකින්වත්, කිසි ම ස්වභාවික උපද්‍රවයකින්වත් කිසි ම හානියක් නො වීම පිණිස යි උන්වහන්සේලා එසේ කළේ.

මහ සෑයේ ධාතු ගර්භය තනවපු ආකාරයත් හරිම අසිරිමත්. ධාතු ගර්භය මධ්‍යයේ බෝධීන් වහන්සේනමක් සත් රුවනින් කරවලා, එ් බෝධීන් වහන්සේගේ කඳ රිදියෙන් ද පිටත සිවිය රනින් ද බෝ පත‍්‍ර ඉඳුනිල් මාණික්‍යයෙන් ද කරවලා නැගෙනහිර දිශාවෙන් බෝධියට පිට දී සිටින ඉරියව්වෙන් ජීවමාන සම්බුදු සිරුරේ ප‍්‍රමාණයට වැඩහිඳින බුදු රුවක් කරවූයේ රනින්…… මේ රන් රුව නොයෙක් ආකාර මාණික්‍යයන්ගෙන් අලංකාර කොට තිබුණා.

ධාතු ගර්භය පුරා ම නොයෙක් ආකාරයෙන් රනින් රිදියෙන් ඉඳුනිල් මාණික්‍යයෙන් බුදු සිරිතේ බොහෝ සිදුවීම් නිර්මාණය කොට තිබුණේ විස්මයජනක විදිහට. මේ ධාතු ගර්භයේ තැන්පත් කිරීමට නියමිත ධාතූන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානය අනුව ද්‍රෝණයක් ලෙස ම රාම ග‍්‍රාමයේ චෛත්‍යයක තැන්පත් කොට තිබුණේ. පසුව කලක් නාග ලොවේ පුද පූජාවන්ට බඳුන් වූ මේ ධාතු කරඬුව ඍද්ධි බලයෙන් වැඩම කොට වදාළේ සෝණුත්තර නම් මහා ඍද්ධිබල සම්පන්න හිමියන් විසිනුයි.

එදා මුළු අනුරාධපුර නගරය ම ලස්සනට සරසල තිබුණා. මිනිසුන්ට පියවි ඇසින් දකින්නට නො හැකි නොයෙකුත් දිව්‍ය ම ය ආකාරයන්ගෙන් මුළු ලක්දිව ම සරසලා තිබුණ විදිහ හරිම පුදුමයි. දෙවිවරු, බඹ පිරිස සහ මහ රහතන් වහන්සේලා මේ දිව්‍ය ම ය අසිරියත් දුටුවා.

නගරයේ හැම තැන ම ධාතු නිධානෝත්සවයට එන මහ ජනතාවට පැන් පහසු වෙන්නට පහසුකම්. කෙස් රැවුල් බාගන්න පහසුකම්. සුදෝ සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසෙන්න පහසුකම්.. ඉතා ප‍්‍රණීත භෝජනයෙන්
සතුටුවන්නට පහසුකම් ගැමුණු රජතුමාගේ අතින් නොමිලයේ ම සපයලා තිබුණේ අසදෘෂ විදිහට…

එදත් වෙනදා මෙන් ලස්සනට හිරු පායා තිබුණත් ලක්දිවට හිරුරැුස් වැටුණේ ම නැහැ. අහසේ වැඩ සිටි රහතන් වහන්සේලා ගණන කෝටි අනූ හයක්. සෝණුත්තර හිමියන්ගේ සුරතින් ධාතු කරඬුව ගැමුණු
රජතුමාට ලැබුණා. එතුමාට දැනුණෙ තුන් ලෝකය ම තමන්ට ලැබුණා වගෙයි. රජතුමා මහත් ගෞරවයෙන් කරඬුව හිස මත තබාගත්තා. රහතන් වහන්සේලා මිහිරි ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කරන්නට පටන් ගත්තා. අහසින් දිව්‍ය තූර්ය නාදය ඇසෙන්නට වුණා. රන්මැලි සෑ මළුව සරසා තිබුණ නොයෙකුත් මල්කම් අතර ම දිව්‍ය මදාරා පරසතු මල් වැසි වැස්සා. ධාතු කරඬුවට අහසින් දිව්‍ය ම ය සේසත් පැන නගිද්දි රජතුමා තමන්ගේ සේසත වූ මුළු ලක්දිව ම ධාතූන් වහන්සේලාට පූජා කළා.

ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ පෙරටු කොටගත් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජතුමා මහ සෑය පැදකුණු කරන්න පටන් ගත්තා.

එ් වෙලාවේ තමයි අසිරිමත් ම දෙය සිදු වුණේ. ධාතුන් වහන්සේලා කරඬුවෙන් මිදී අහසට පැන නැංගා. අහසේ ජීවමාන බුදුරුව මැවිලා යමා මහ පෙළහර පෑවා… එ් වෙලාවේ නැගුණ සාධු නාදයෙන් මුළු අනුරපුරය ම ගිගුම් දුන්නා. රජතුමාගේ දෑසින් කඳුළු කඩා හැළුණා. දොහොත් මුදුන් දී වැඳගෙන සිටි රජතුමා එදා උපවත්තන සල් උයනේ පිරිනිවන් පා වදාළ ඉරියව්වෙන් මේ ධාතුන් වහන්සේලා ගර්භයෙහි තනවා තිබෙන ස්වර්ණ ම ය සයනය මත වැඩ හිඳීවා කියා අධිෂ්ඨාන කළා…. එය එලෙසින් ම සිදු වුණේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ම යි….”

ඇය මේ සියල්ල විස්තර කරමින් යන්නේ සැබැවින් ම එය බලා සිටියා මෙන් ය. ඇයගේ දෙනෙත් කාන්තිමත්ව දිලිසෙයි.

‘‘ඔය ධාතු නිධානෝත්සවයට කාලෙකට පස්සෙ භාතිකාභය කියල බොහෝම ශ‍්‍රද්ධාවන්ත රජ කෙනෙක් පහළ වුණා. එ් රජතුමාට මේ ධාතු ගර්භය මධ්‍යයේ තිබෙන අසිරිය දෑසින් ම දකින්නට වුවමනා වුණා… රජතුමාගේ සිල්වත් ජීවිතයත්, නො කැළැල් ශ‍්‍රද්ධාවත් ගැන දන්නා දෙවියන් විසින් රජතුමා ධාතු ගර්භය තුළට කැඳවාගෙන ගියා.

තමන්ගෙ දෑසින් ම එ් අසිරිය දැකපු භාතිකාභය රජතුමා සෑය මතුපිට සුවඳ සඳුන් කල්ක තවරලා, එ් මත සුපිපි මානෙල් මල් ගවසලා අසිරිමත් පූජාවක් දවස් හතක් තිස්සේ සිදු කළා.

මෑත භාගයේ මේ මහා සෑය පළි`ගු මැණිකක් මෙන් විදුලි බුබුළින් සරසල, දහස් පෙතිය මල් ලක්‍ෂ ගාණක් පූජා කරල, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එක්වෙලා මේ සෑය වන්දනා කළා. එදත් අපි හරියට සතුටු වුණා.”

‘‘එ් කියන්නේ ඔබත් එ් පුණ්‍යමහෝත්සවයට ආවා ද?”

‘‘මම විතරක් නො වෙයි මගේ යහළු යෙහෙළියෝ දස දහස් ගණනකුත් සතුටින් පින් රැුස් කර ගත්තා ඔය පුණ්‍යෝත්සව තුනට ම සහභාගී වෙලා.”

‘‘මොනවා.. එ් කියන්නේ ගැමුණු රජතුමාගේ ධාතු නිධාන උත්සවයටත්?”

‘‘ඔව්, එ් තමයි මගේ ජීවිතේ වැඩියෙන් ම සතුටු වුණ දවස. විශාල දෙයක් වෙනුවෙන් සුළු දෙයක් අත් හැරීමේ සතුටත් එදා මම වින්දා…”

‘‘එ් කියන්නේ ඔබ කවුද?”

‘‘ඔය පොත දිගට ම කියවගෙන යන්නකො… එතකොට මහ සෑය හදන්න ඉස්සර ඔය බිමේ තිබුණ රන් තෙලඹු ගසක් ගැන විස්තර හමුවෙයි. අන්න එතනදි මාව හමුවෙයි.”

මම නැවතත් මනෝ දැහැනෙන් මිදී පොතට නෙත් යොමු කළෙමි. රන් තෙලඹු ගස හමු විය. ස්වර්ණමාලි දෙව් දුව ද හමු විය.

පසු දා හිමිදිරියේ ම පිබිදුණ අපි සුදුවතින් සැරසී ඉතා ප‍්‍රණීත ලෙස දිය නුමුසු කිරිබතක් පිළියෙල කොට ගතිමු. වැව් වියළී සිඳී ගොස් ඇති ගිම්හානයේ වුව ද නෙළුම් මල් පන්සියයක් පුරවා මල් වට්ටි සකස් කොට ගතිමු.

මේ මහානීය පූජාව වෙනුවෙන් ම අනුරපුරයට වැඩම කොට වදාළ පූජ්‍ය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් ද පෙරටු කොටගෙන දෙවි මිනිසුන්ගේ අප‍්‍රමාණ පුද සත්කාරයට සැමදා බඳුන් වන ජීවමාන බුදු සමිඳුන් බඳු ස්වර්ණමාලී සෑය වෙත පියමැන්නෙමු.

පඤ්ඤාසිරි හිමියන්, මේ මහා සෑය වන්දනා කරනවා නම් කළ යුත්තේ මේ අයුරිනැයි පෙන්වා දෙන්නට මෙන් ඈත සිට ම බුදු ගුණ සජ්ඣායනා කරමින් පෙරමුණ ගත්හ. අපි සියලූ දෙනා ද මහත් ශ‍්‍රද්ධාවෙන් උන්වහන්සේ පසුපසින් බුදු ගුණ කියමින් මහ සෑය පැදකුණු කළෙමු.

මහ සෑයේ සතර දෙසින් පිහිටුවා ඇති මල් ආසන මතට වෙන් වෙන් වශයෙන් මල් පූජා කොට කිරිපිඬු පාත‍්‍ර පූජා කොට වන්දනා කළෙමු.

රහතන් වහන්සේලාගේ පා පහසින් පාරිශුද්ධ නො වූ කිසිදු බිම් කඩක් නොමැති සෑ මළුවේ වාඩි වී ධාතු ගර්භයෙහි අසිරිය සිතින් දකිමින් වන්දනා කළෙමු.

වන්දනාව අවසානයේ හඬ අවදි කළ පඤ්ඤාසිරි හිමියන් අප සමඟ මෙසේ පවසා සිටි සේක.

‘‘එදා ගැමුණු රජතුමාගේ අධිෂ්ඨානය අනුව පිරිනිවුන ඉරියව්වෙන් ධාතු ගර්භයෙහි වැඩ හුන් ධාතුන් වහන්සේලාට මහ රහතන් වහන්සේලා වන්දනා කළා. ජීවමාන බුදු සමිඳුන්ගේ සුවඳ කුටිය වන් මේ ගර්භය සැමදා සුවඳවත් වන්නට සුවඳ සඳුන් කල්ක ගැල්වූවා… සුවඳ මල් පූජා කළා… තෙල් පහන් දැල්වූවා… එහෙම කළ රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළා ‘මේ බුදු සසුන පවතින තුරාවට මේ සඳුන් කල්ක නො වියළේවා….., මේ මල් පර නො වේවා… මේ පහන් නො නිවේවා’ කියා.. ඉන් පසුවයි ධාතු ගර්භය වැසීම සිදු කළේ.”

‘‘එ් කියන්නේ ස්වාමීන් වහන්ස අදටත් එ් සඳුන් කල්ක වියළිලා නැහැ කියන එක ද?”

‘‘ඔව්.. සඳුන් කල්ක එදා මෙන් ම සුවඳ විහිදුවා මේ මධ්‍යයේ තිබෙනවා. මල් පර නො වී සුවඳ දෙමින් තියෙනවා.

තවමත් පහන් දැල්වෙමින් ධාතු ගර්භය ස්වර්ණ වර්ණ එළියෙන් සරසනවා. නිකෙලෙස් උතුමන්ගේ අධිෂ්ඨානය වෙනස් වන්නේ නැහැ.”

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එවන් නිකෙලෙස් උතුමන්ගේ ශාස්තෘන් වහන්සේ වූ ඔබ වහන්සේගේ ගුණ කඳ අනන්තයි. අප‍්‍රමාණයි. මේ සෑ මළුවේ වාඩි වී සිටින සැම මොහොතක ම මම ඔබ වහන්සේගේ සමීපයේ සිටින බවක් ම හැඟී යයි.

ඔබ වහන්සේ නිවී සැනසී පැමිණ වැඩිය එ් අමා නිවන් සුවය සාක්‍ෂාත් කර ගැනීම පිණිස ම මේ සියලූ පින් හේතු වේවා! මහ සෑය වෙනුවෙන් දෙව් විමන අත්හළ ස්වණමාලියනි, මහ සෑය වෙනුවෙන් මහ වෙහෙසක්
දැරූ සක් දෙවිඳුනි, විස්කම් දෙව් පුතු ප‍්‍රධාන සියලූ දෙව් බඹුනි, ඔබ සියලූ දෙනාටත් මේ පින් නො අඩුව අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා! මේ සියලූ තතු නො දැන අතරමංව සිටි යුගයක ගෞතම සසුනේ අසිරිය අතැඹුලක් සේ ගෙනහැර පා ශ‍්‍රද්ධාවේ කිරුළ තිළිණ කළ ගුරු හිමියනි, ඔබ වහන්සේටත් උතුම් අමා සුවය පිණිස ම මේ පින් හේතු වේවා!

ඔබ සියලූ දෙනාටත් ජීවමාන බුදු සමිඳුන් බඳු රුවන්වැලි මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර ගැනීමට වාසනාව උදා වේවා!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ