පින්වතුනේ, පින්වත් දරුවනේ,
දුකින් නිදහස් වෙන්න තියෙන මග සතර සතිපට්ඨානයයි. සතිපට්ඨාන කියන්නෙ සිත පිහිටුවා ගැනීම. මෙය බොහොම ගෞරවයෙන් ඉගෙන ගෙන ඒ අනුව සිත පිහිටුවා ගත යුතුයි. එලෙස සිත පිහිටුවා ගත් පසු ප‍්‍රථමයෙන්ම සිදුවෙන්නේ, අපේ සිත බාහිර අරමුණු වලින් මුදවාගෙන සතර සතිපට්ඨානය තුළම ඒ සිත පිහිටුවා ගන්න පුළුවන් වීමයි. එහෙම කර ගත්තොත් එතන ඉඳල දියුණු වෙන්නේ සප්ත බොජ්ඣංගයි. අවබෝධයට වුවමනා අංග තමයි එතැන් සිට දියුණු වෙන්නේ.

අවබෝධයට වුවමනා අංග හතක් තියෙනවා. සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. අපට ටිකෙන් ටික එය තේරෙන්නට පටන් ගන්නවා. (සති) එලෙස තේරුම් ගනිමින් සද්ධර්මයේ සිත පිහිටද්දී, සද්ධර්මය පිළිබඳ නුවණින් විමසීමේ හැකියාව වර්ධනය වෙනවා. (ධම්මවිචය) නුවණින් විමසීමේ හැකියාව වර්ධනය වෙද්දී උත්සාහය වර්ධනය වෙනවා. (වීරිය) උත්සාහය වර්ධනය වෙද්දී පී‍්‍රතිය ඇතිවෙනවා. (පීති) පී‍්‍රතිය ඇතිවෙද්දී කායික මානසික සැහැල්ලූව ඇතිවෙනවා. (පස්සද්ධි) කායික මානසික සැහැල්ලූව ඇතිවෙද්දි සිත සමාහිත වෙනවා. (සමාධි) සමාහිත හිතක්, නුවණින් දියුණු කරන නිසා මධ්‍යස්ථ වෙනවා. (උපේක්ෂා) ඒ තත්වයට මේ හිත දියුණු කරන්න පුළුවන්. මේ හිත දියුණු කරගත්තොත්, තමාට විතරක් නොවෙයි, මුළු ලෝකයටම සෙතක්. මේ සිත පිරිහෙන්නෙ මොනවයින්ද? දෙතිස් කථා වලින්. අපට වැඩිපුරම අහන්න ලැබෙන්නෙ මේවා. මේ සිත රැකෙන්නේ මොනවයින්ද? සද්ධර්ම කථා වලින්. සද්ධර්මය මේ ජීවිතයට එකතු කරගැනීමේ දී මූලික වශයෙන් පැති කීපයක් වැදගත් වෙනවා.

අපට මේ සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන මතයට මුලින්ම අප එන්නට ඕන. මේ සද්ධර්මයට පුළුවන් අපව දුකින් නිදහස් කරන්න. අපටත් සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම්, සද්ධර්මයටත් පුළුවන් නම් අපව දුකෙන් නිදහස් කරන්න මොකක්ද අප කළ යුතුවන්නේ? අප සද්ධර්මයත් එක්ක එකතු විය යුතුයි. සද්ධර්මයත් සමග මානසිකව එකතු වෙන්න ඕන. සද්ධර්මයත් එක්ක මානසිකව අප එකතු වුණොත් ඒ මොහොතේ සිටම ධර්මය තමන් ගේ දෙයක් වෙනවා. එය තමන් අත්දකින එකක්. එය තමන් තේරුම් ගන්නා දෙයක්. එය තමන්ට වැටහෙන එකක්. ඒ තත්වයට එනකොට එයා ආරක්‍ෂිතයි. එබඳු කෙනෙක් මරණින් මත්තෙ නිරයේ, තිරිසන් ලෝකෙ, පේ‍්‍රත ලෝකෙ යන්නෙ නෑ. නරක තැනක යන්නෙ නෑ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !