highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7

අපේ ආච්චි අග්ගලා හදාගෙන කළුතර ගොහින් ආවට පස්සේ ටිකක් වෙනස් වගේ. මූණ කටේ පරණ සිරියාව නැතුව ගොහින් වත් ද! මට හිතුණේ අපේ ආච්චි කිසියම් හිත් වේදනාවකින් සිටිනා බවයි. “ආච්චියේ ඇත්ත කියන්ට…. ඔයා ඉන්නේ සතුටින් නොවෙයි නේ ද?”

“මයෙ පුතේ… කොහොමෙයි සතුටින් ඉන්නේ? අපට වෙච්චි විපැත්තියක මහත! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු තැන්පත් කරමින් මේ ලංකාදීපය පුරා වෙහෙර විහාර, දාගැප් වහන්සේලා හද හදා වැඳ වැඳ ගිය ජාතියකට වෙච්චි විපත!”

“ඇයි ආච්චි මක් වුණා ද?”

“පුතේ අපි කළුතර ගියා නොවැ. එහෙට ඇවිදින් හිටියා අපි වගේ ම දහම් වැඩසටහන්වලට යන උපාසක ඇත්තෙක්. උන්නැහේ බොහොම වේදනාවෙන් හිටියේ. උන්නැහේ ඉන්නේ අනුරාධපුර පළාතේ. ටිකක් ඈතට වෙන්ට. ඒ පැත්තේ දැන් වනාන්තරේ. වෙහෙර විහාර, දාගැප් වහන්සේලා වල් බිහිවෙලා. අපේ ම ජාතියේ උන් ගිහින් ඒ දාගැප් වහන්සේලා හාරලා වස්තුව ගන්නවාලු. හනේ හපොයි! සෑ මළුවේ වැලි කැටවලටත් වැඳ වැඳ හිටපු ජාතියකට වෙච්ච දේ. ඉස්සර එහෙම නෑ පුතේ. ඉස්සර අපේ සිංහලයෝ රතනත්තරේට ජීවිතේ පූජා කොරපු ගමන් හිටියේ.”

“මොකක්ද ආච්චියේ ඒ විස්තරේ?”

“ඒක වුණේ මෙහෙමයි පුතේ. ඒ කාලේ සිරිනාග කියලා බ්‍රාහ්මණ පුත්‍රයෙක් සිටියා. ඒ ඇත්තා අනුරාධපුර රාජධානිය අල්ලාගන්ට රහසේ පිරිස් එකතු කළා. ඒ පිරිස්වලට පඩිනඩි දෙන්ට ඕනෑ නොවැ. ඔය සිරිනාගයාට සල්ලි නෑ. ඊටපස්සේ කල්පනා කොළේ දක්ඛිණගිරි විහාරයේ මහා දාගැප් වහන්සේව බිඳ දමලා වස්තුව පැහැර ගන්ටයි. තමුන්නේ සේනාව කැටුව එතනට ගියා. ‘ඉක්මනින් මේ දාගැබ බිඳපල්ලා’ කියලා අණ කොළා. නමුත් ඒකුන්ට දාගැබ බිඳගන්ට බැරිවුණා.

“එතකොට මේ දාගැබේ බිඳින සන්ධිය දන්න කවුරුවත් නැද්ද?”

“ස්වාමීනී, හෙළලෝලී යන සැඩොල් ගමේ බහුලා නමින් සැඩොලෙක් ඉන්නවා. ඒකා නම් දන්නවා” කිව්වා.

“හරි…. ඒකා ඇන්න වර” කියලා අණ කොළා. සේනාව ගොහින් සැඩොලා කුදලාගෙන ආවා. “එම්බල, මේ දාගැබේ බිඳුම් සන්ධිය තෝ දන්නවා. අපට දැන් මේක බිඳින්ට ඕනෑ. දැන් බිඳපිය.”

“ස්වාමීනී, දෙව්ලොව බඹලොව මනුලොව සියල්ලෙන් අග්‍ර වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේව මට ඒකාන්තයෙන් ම පිළිසරණයි කියා ජීවිතය පූජා කොට මං උන්නාන්සේව සරණ ගියා. මං උන්නාන්සේගේ උපාසකයෙක්. ඉතින් ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතු පිහිටුවා වදාළ මේ උත්තම සෑය බිඳින්ට හවුල් වුණොත් පංචානන්තරිය කරුමෙට සමානයි. අපෙ අප්පෝ…. මයෙ දෙයියෝ…. මට නම් බෑ.”

සිරිනාගයා කෝපයෙන් ගිගිරුවා. “එහෙනම් මේකාව ඇදගෙන ගොහින් උල තබාපං” කියලා නියම කළා. එතකොට ඒ බහුලා නමැති සැඩොලා මහ හඬින් බුදුගුණ කිය කියා ගිහින් උල මත වාඩිවුණා. ඊට පස්සේ මිනිස්සු ගොහින් සිරිනාගයාට ගතු කිව්වා. “ස්වාමීනී, මේකාගේ පුත්තු සත් දෙනෙක් ඉන්නවා. එවුනුත් මේ මහා සෑය වැඳ වැඳ ම යි ඉන්නේ. එවුන් මේ ගැන නිච්චියට ම දන්නවා ඇති.”

“එහෙම නම් ඒකුනුත් කුදලාගෙන වර.” මිනිස්සු ගිහින් බහුලාගේ පුත්‍රයන් සත් දෙනාත් කුදලාගෙන ආවා. “දැක්කා නොවැ. තොපගේ අප්පොච්චාට වෙච්චි දේ. තොපිට මේක වෙන්ට කලියෙන් මේ සෑය බිඳපං.”

“අනේ ස්වාමීනී, අපට ඇත්තේ එක ම පිළිසරණයි. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පමණයි. ඉතින් අපි ජීවිත පූජාවෙන් උන්වහන්සේව සරණ ගියා. අපි උන්නාන්සේගේ උපාසකයෝ. අපට භයක් නෑ. ලොව්තුරා බුදුන්නේ ධාතූන් වහන්සේලා පිහිටි මේ සෑයට නම් අත තියන්නේ නෑ. තමුන්නාන්සේ කැමැත්තක් කොරන එකයි ඇත්තේ.”

ඉතින් මයෙ පුතේ, ඒ උදාර දරුවන් සත් දෙනාගේ එඩිතර වචන ඇසූ සිරිනාගයා පොලු පහර කෑ නාගයෙක් වගේ කිපුනා. ඔවුන් සත් දෙනාවත් උල හිඳවා මැරෙව්වා. මයෙ පුතේ, මේක හොඳට අහගන්ට ඕනෑ. සුවඳ සඳුන්, සමන් මල්, කස්තුරි වගේ දේවල්වලට නිලමැස්සෝ වහන්නේ නෑ නොවැ. මළකුණක, අසූචියක ගඳක් ඉව වැටුනු ගමන් නිලමැස්සෝ වටකරගන්නවා. ඒ වගේ මිසදිටු ගත් උදවියට නම් විළිලැජ්ජාව ඇතිවෙන ශිව ලිංගාදිය දැකපු විට කිසි ගාණක් නැතුව පොර කකා වඳින ලෝකයක් නොවැ.

ඉතින් පුතේ, ඒ අට දෙනා ම දිවි පිදුවේ අපගේ බුදුරජාණන් වහන්සේටයි. මරණයට මූණ දුන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන ම මෙනෙහි කොර කොරා. ඒ නිසා ඒ ඇත්තන්නේ සිත කිලුටු වුණේ නෑ. සුදෝ සුදු වස්තරයක් වගේ සුද්දෙට තිබුණා. තුසිත දෙව්ලොවෙන් මනුස්සයින්ට පේන්ට දිව්‍ය රථ අටක් ආවා. අනිත් එවුන් බලා සිටිද්දී ඒ දෙවිවරු මේ අට දෙනා ව දිව්‍ය රථවලට නංවා ගත්තා. දැන් ඒ අට දෙනා ම දෙවිවරු වෙලා හැමෝටම පෙනුනා. මේ අපරාධය කළ මිනිස්සු හොඳටෝ ම භය වුණා. සිරිනාගයාට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, බුදුන්නේ ධාතු පිහිටුවාපු සෑය බිඳින එක නම් හොඳ වැඩක් නො වේ. අපි මේ වැඬේ අත්හරිමු.”

එතකොට සිරිනාග ඒ දාගැබ බිඳින අදහස අත්හැරියා. නැගෙනහිර පළාතට පැනගත්තා. මහවැලි ගංතෙරේ සරුසාරෙට පිහිටි මීවිටි කියන ගම්මානේ මංකොල්ල කෑවා. මීවිටියේ තිබුණු ධාතු චෛත්‍යය බින්දා. වස්තුව පැහැරගෙන සේනාවට පඩි දුන්නා. කොහොම නමුත් ඒ ඇත්තාගේ වැඬේ සාර්ථක වුණා. ලංකා රාජ්‍යයේ ඔටුනු පැලැන්දා.

ඉතින් පුතේ, වැඩි කලක් ගියේ නෑ. ඒ සිරිනාග රජ්ජුරුවන්ගේ කුසේ සුව කළ නො හැකි රෝගයක් හටගත්තා. රාජකීය වෙද ඇත්තෝ කොතෙකුත් වෙහෙස ගත්තත් බේරගන්ට බැරිවුණා. රජ්ජුරුවන්ට තමුන්නේ කායික වේදනාව ඉවසා ගන්ට බැරුව දුකින් දුකට පත් වී තමන් ම බඩ පලාගෙන මරණයට පත්වුණා. අවීචි මහා නරකයේ උපන්නා.

ඉතින් පුතේ, මේ කාලෙත් පාළුවට තියෙන ධාතු චෛත්‍යයන් බිඳින අය ඉන්නවා. මංකොල්ල කන අය ඉන්නවා. පිළිම වහන්සේලාගේ ඌර්ණ රෝම ධාතුව සොරකම් කරන අය ඉන්නවා. පිළිම වහන්සේලාගේ හිස සිඳ තැන්පත් වස්තුව කොල්ල කන අය ඉන්නවා. ඒ සියලු දෙනා බිහිසුණු නිරයේ උපදිනවා. නිරිසතුන් ඔවුන්ව කෑලි කෑලිවලට කපා නැවත නැවතත් වධ දෙනවා. සතර අපායෙන් ගොඩ එන එක නම් ඔවුන්ට ලෙහෙසි වෙන්නේ නෑ.

බලන්ට පුතේ, අර අට දෙනා කුමක් හෝ අකුසලයකින් නින්දා ලබන චණ්ඩාල කුලයේ උපන්නා තමයි. නමුත් චිත්ත සන්තානය පවිත්‍රයි. තමන්ව උල හිඳුවද්දී එයට අණ කොරාපු කෙනා කෙරෙහිවත්, ඒ අණ පිළිපැද්ද උදවිය කෙරෙහිවත් කෝප සිතක් ඇති කොරගත්තේ නැහැ නොවැ. භාග්‍යවතුන් වහන්සේගේ සරණ ම මෙනෙහි කොර කොරා සිටියා නොවැ. ඒකට තමයි සරණ පිහිටනවා කියන්නේ. දැන් ඒ දිව්‍ය ඇත්තෝ මහා සැපසේ දෙව්පුරේ වාසය කොරනවා ඇති. සත්පුරුෂයන්ට වින කැටූ ඒ අසත්පුරුෂයෝ කියන්ට බැරිතරම් දුක් අනුභව කරමින් අඳෝනා නග නගා ඇති. තිසරණයේ පිහිටා ගන්ට බැරිවුණොත් සිදුවන විපත නම් මෙතෙකැයි කියන්ට බැහැ.” කියලා ආච්චි ඔසොරි පොටෙන් දෑස් පිස දමාගත්තා. ඊට පස්සේ දිග සුසුමක් හෙළුවා. මිහිරි හඬින් මෙහෙම කිව්වා.

අප ගෞතම මුනිඳුන් ගැන නිතර ම සිතපන්නේ
අපට තියෙන එක ම සරණ එය බව දැනගන්නේ
හැම දේට ම වඩා වටින උතුම් සරණ වන්නේ
එනිසා ම යි අපිත් උතුම් මුනිඳු සරණ යන්නේ

(සද්ධර්මාලංකාරය ඇසුරෙනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

හරිම අද්භූතයි පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. වේගයෙන් ධර්මය සිතේ වැඩුණා. දෙවිවරු දෙන්නෙක් එතැන දී ම සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. එතැනින් නොපෙනී ගියා. ඒ දිව්‍ය ආත්මෙන් චුතවෙලා බ්‍රහ්මපුරෝහිත කියන බ්‍රහ්මලෝකේ උපන්නා.