අකාරුණික සසරට වැටුනවුන්ට පින ම යහපත් ය. පින ම පිහිටක් ය… එනමුදු අසාර වූ සසරට රැස් කළ පින කොතරම් වුවද අනිත්‍ය වන ස්වභාවයෙන් යුතු එය කිසිදා නොසෑහෙන්නේ ම ය.

අසාර වූ, උපද්‍රව සහිත, අසාධාරණය පිරි, භයංකර වූ සංසාරයට – අනවරත සංසාර ගමනට තිත තබන්නට පිනෙන් ම මෝරා දෙන ප්‍රඥාව ම සදාතනික ඒකායන පිහිට ය. මෙයටත් වඩා සොඳුරු ඍද්ධියක් මිනිසෙකු සතුව තිබිය හැක්කේ ද? ප්‍රශංසා පිරි සම්බුදු වදන නම් “පඤ්ඤා නරානං රතනං” වටිනා මැණිකක් තිබේ නම් මිනිසකු සතුව, එය නම් ප්‍රඥාව යි.

නුවණැත්තන්, ප්‍රඥාවන්තයන් නම් ලොව සියලු‍ කල්හි ම සාධාරණ නොවේ. ඒකාන්තයෙන්ම මෙලොව සුන්දර වූ යුගයන් ඇත්ද ඒ ප්‍රඥාවන්තයන් පහළ වූ යුගයන් ය.

මෙලොව නුවණැත්තන්, ප්‍රඥාවන්තයන් පහළ වන යුගයන් ඇද්ද ඒකාන්තයෙන් ම ඒ මේ ලෝකය සුන්දර වූ යුගයන් ය.

මින් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂ හතරකට පෙර මේ මනුලොව මහා පණ්ඩිත, මහා නුවණැති, මහා ප්‍රාඥ වූ මහා සත්වයෙක් පහළ විය. සම්බුදු කෙනෙක්දෝ, පසේබුදු කෙනෙක්දෝ යි ඔබට සිතෙන්නට පුළුවනි. බුදු බවට නුවණ නොමේරූ එහෙත් බෝසත් බීජයක් බවට සම්බුදු විවරණ සෙත් ලැබීමට තරම් මහා පින්වත් උතුමෙකි.

මව්පිය සත්වෙනි ප්‍රවේණිය තෙක් ම සුජාත සුපිරිසිදු වූ, සුන්දර වූ, වර්ණ රූ සම්පතින් පිරිපුන් වූ, එසේම ත්‍රිවේද පාරප්‍රාප්තව සුන්දර වූ නුවණ ඇති හෙයින් ‘සුමේධ’ නම් වූ එතුමන් කුමාර අවදියේම මව්පියෝ කළුරිය කළෝ ය. උරුම වූ සත්මුතු පරම්පරාවේ දායාදය රන් රිදී මුතු මැණික් පිරි පාරාදීසයක් මෙන් බබළන ධනස්කන්ධය දැක විමසා ශාන්ත සිතින් ශුන්‍යාගාරයට පිවිසෙන යෝගාවචරයෙකු මෙන් සුවිසල් මන්දිරයේ මතු මහල් තලයට එකලාවම පිවිස හුන් ඒ මහාසතාණෝ එහි පලඟක් බැඳ හිඳගත්හ.

තියුණු අසිපතෙහි නිපුණයෙකු සතුරන් නසනු පිණිස එය යම්සේ සිසාරවන්නේ ද එසෙයින් තීක්ෂණ නුවණින්, විනිවිද දක්නා මනසින් ප්‍රඥාව නැමැති අසිපත මෙසේ සිසෑරවී, “මා මෑණියන් පියාණන් දිවිතෙක් ඉපැයූ ධනයක් වේ ද ඒ වස්තුව නම් පෙනේ. නමුත් ඔවුන් නොපෙනේ. ඔවුන්ගේ මාපිය ප්‍රවේණියෙන් ඉපයූ ධනය ද පෙනේ. නමුත් ඔවුන් ද නොපෙනේ. මේ සා වස්තුව රැස්කොට ඇති බවක් පමණි. ගෙනයාමට සුදුසු පිළිවෙළක් කිසිවකුත් නොදැන සිටියා සේ ය. මම නම් මේ ධනය අත් නොහරිමි. පරලොවට ද රැගෙන යමි. මේ සියලු‍ වස්තුව දන් දී, උතුම් තපසට නික්මෙන්නෙමි.”

සත් රුවන් ධන සම්පත් වනාහි මිනිසා කෙලෙස් ඇල්මෙන් ඇලී යන වස්තූන් ය. උමතු භාවයට පවා පත් කරවනසුලු දේ ය. මරණයේ දී අත්හැර දමා යා යුතු වස්තුව කෙසේ නම් පරලොව රැගෙන යන්නේ ද?

ප්‍රඥා ප්‍රභාව යනු මෙලොවත් පරලොවත් එළිය කරන, සංසාර අන්ධකාරය සහමුලින් ම නසනා ආලෝකයයි. එවන් දැහැමි නුවණක් සියලු‍ චිත්ත සන්තානයන් තුළ නූපදින්නේ ය.

දන් දෙන්න, දන් දීම යහපත් ය කියා පහදා දෙන්නට පණ්ඩිතයන් නැති ලෝකයක… එවන් නොමසුරු ත්‍යාගවන්තයින්, දානපතියන් නොපෙනෙන ලෝකයක… අතිශය ප්‍රසාදයෙන් දානය කෙරෙහි සිත පිහිටවීම ඒකාන්තයෙන් ම අද්භූත ය… අනින්දිත ලෙස රැගෙන යාම නම් දානය යි. පරලොවට ද රැගෙන යන ක්‍රමය නම් දානය යි. මෙය නම් නුවණැත්තන්ගේ මනසේ වන එක්තරා ප්‍රඥා පෙළහරකි. සිල්ගුණ වඩනවා ය, දහම කෙරෙහි ශංකා දුරු කරනවා ය, ඒ දහම්හි පිහිටනවා ය යන කරුණ… සම්බුදු දහම් පද ඇසි ඇසීමුත් එය කිරීම මෙකල මිනිසුන්ට කෙතරම් අසීරු කටයුත්තක් ද?

සුලභව නෙත ගැවසෙන කරුණෙහි වුව, එහෙත් බොහෝ දෙනෙකුට නොවැටහෙන කරුණෙහි නිමග්නව, සිත ඒකාත්මික කොටගෙන, මහා ධනේෂ්වරයෙකුගේ රුව මකා දමමින් ශ්‍රමණ රුව ම සිත්තම් කරමින් එතුමාණෝ ශ්‍රේෂ්ඨ වූ චේතනා පෙරළියක යෙදුණහ. නැගි නැගී මතු වෙවී එන ඒ චේතනා පෙළහර කොතරම් ගම්භීර වී ද යත් මහා සාගරයේ ඉහළින් ඉහළින් නැගී එන උදම් රළ පෙළක් සේ ය. මුනිවරයෙකුගේ උදාන ගීතයක් සේ ය. කිසි තැනක රැඳෙන්නට හේතු නොදෙන, පාව යන මහා මේඝ කූඨයන් සේ ය. සර්ව සංවේදී නොවන, මහාඤාණී මුනිවරුන්ගේ ලෝකයට පිවිසෙනවා ය යන්නට සුමංගල නිමිත්තක් සේ ය. ඒකාන්තයෙන් ම තවත් එක් සුන්දර යුගයකට පූර්වයෙන් ගැයෙන ජය ගීතයක් සේ ය.

“යළි යළිත් ඉපදෙන්නට සිදුවීම, උපදින වාරයක් පාසා ලෙඩවීම, වයසට යාම, මරණයට පත් වීම… මෙවන් ආදීනව සහිත දුකකින් පෙළි පෙළී ලෝ සත සංසාරයේ යා නම්… එය කොතරම් දුක්ඛදායක ද?”

“ඉපදීමක් නොමැති, ජරා ව්‍යාධි නැති, නොවෙනස් සැප ඇති, මරණය කිසිදා කිසිලෙසකින් නොඑනා, නිදහස් වූ, සැප ඇති, රාග කෙලෙස් නැති, දැවිලි තැවිලි නැති, සිසිල් වූ තැනක් තිබෙන්නට ඕනෑ ම ය… එවන් වූ නිවීමක් ලබන්නට ඇත්නම් මේ සංසාර ගමනට වඩා කොතරම් ශාන්තියක් වේ ද…”

කුල හීනයෙකුට නම් රාජ්‍යත්වයට පත්වීමට නොසිතීම අරුමයක් නොවේ. රාජ උරුමය ඇති කුමාරයෙකුට රජ කිරුළෙහි අපේක්ෂාව ඇති වීමේ කවර අරුමයක් ද? බොහෝ අතීතයේ පැතුමක් ව සිතේ උපන් සම්බුදු බව ද… දිශානතිය යොමුව ඇත්තේ එවන් උදාරත්වයක් කරා බව ද නොදැන ම, කරුණට කරුණ ගළපා ගනිමින්, හේතු නිධානයන් සොයමින්, තම සිත එදෙසට ම තමන් ව නම්මා ගනිමින්, තමන්ට ම පැහැදිලි කර දෙමින්, තමන් ම සිත පොළඹවා ගනිමින්, ඉවෙන් මෙන් හෝ… උරුම වූ නිවන සෙවීම ඒකාන්තයෙන් ම ප්‍රඥාවේ අසිරියයි.

“සිත ද දවනවා, කය ද දවනවා… පීඩා දෙන දුක් රැසකි… ඒ දුක් නිවනා සුඛය නම් දෙයක් මේ ලොව පෙනෙනා දෙයකි… ඉපදි ඉපදී භවයෙන් භවයට යාම සසර ඇති දුකකි… එයින් මිදීමට මගක් කොහේ හෝ මෙලොව තිබිය යුතු දෙයකි…”

“ගත දවනා දාහ නැගී උහුලනු බැරි වූ විටදී, පවනින් හෝ ජල දහරින් ඒ ගිනි නිවි නිවී ගිය හැටි… දාහ නිවන්නට සිසිල් වූ දහම මේ ලොව තිබුණා දිටි… රාග කෙලෙස් ගිනි නිවා සනසන්ට නිවන තිබෙන්ට ම වටී…”

“පාප දහම්හි යෙදෙන ලෝ දනා දුකට වැටී දිවි නසී, පව් නසනා කල්‍යාණ දහම් වූ කුසල් දහම් ලොව දකී… ඒ ඒ තැන අරගෙන යන්නා වූ ජාතිය නසනට ඇති, උපත නසන නිර්වාණය නම් සැප කොහි හෝ තිබෙන්ට වටී…”

“අසූචි වළෙක්හි වැටී ගැලී එහි දුකට පත්ව සිටිය දී, පස් පියුමන් පිපි විලක් තිබෙන බව ඔහු හට අසන්නට ලැබී, ඒ විල වෙත යන මග නොසොයා නම් දොස කාගෙද එහි ඇතී… සිසිල් විලට බැස පිරිසිදු විය යුතු මගෙ ම යි දොස මෙහි ඇතී…”

“බියපත් මඟෙකි, සොරු ඇති මඟෙකි, උන් දැන් වට කොට සිටී… සතුරන් පිරිවරනා ලදුයේ මුත් පැන යනු හැකි මඟ පෙනී, නිසි මං ඇත්තේ… නමුදු නොයන්නේ, මගෙ ම යි දොස මෙහි ඇති… නිවනක් ඇත්තේ නමුදු නොයන්නේ, මගෙ ම යි දොස මෙහි ඇති…”

“පහ කළ මළ මූයෙහි ආලය හැර, මිනිසුන් නින්දා කර යයි, සළුවේ හෝ ඉන දවටාගෙන යනු කියා උන්ට හිත නොම වෙයි, නව දොරකින් කුණු වැගිරෙන මේ කය ආශා අත්හළ යුතු වෙයි… ඒ ගැන ආශා ආලය දුරු කොට නිවන් පුරට යා යුතු වෙයි…”

“දිරා දැදුරු වුණ නෞකා අතහැර නැවියන් යම් සේ යා ද, දුගඳ දෙවන මේ කයට වඩා ඒ අමා නිවන නොවටී ද? කයේ ද්වාර නවයෙකින් අසූචි කඳ නිතොර ගලනවා නේද? සාදු! සාදු! අම නිවන් සැපය දැක කම් සුව විඳිනු වටී ද?”

ගිනිගත් වනයෙකින් නික්මෙන මහා හස්ති රාජයෙකු සෙයින් සියලු‍ වස්තු සම්පත් දන් දී අතහැර තපසට නික්මුණු ඒ උතුමාණෝ නොබෝ කලකින්ම පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති උපදවා ගත් සේක…! දීපංකර බුද්ධ දිවාකරණයාණන්ගේ සිරිපා කමල් අබියස ජීවිතයෙනු ද පුදා මඩේ වැතිරී බෝසතාණන් වහන්සේනමකගේ අභිෂේක මංගල්‍යය බඳු විවරණ සිරි ලැබුයේ ය. ඉන් මතුවට උදාවූ අසංඛ්‍යෙය කල්පයන් තම ජීවිතය ශ්‍රද්ධාවෙන් තෙත් කරවමින්, වීරියෙන් තව තවා සර්වඥතා ඥානය ම පත පතා පැමිණියේ ය.

ප්‍රඥාවෙන් ම ඇරැඹූ ගමන ප්‍රඥාවෙන් අග්‍රප්‍රාප්ත ව අවසන් කොට වදාළේ ය.

ඒ අපගේ ශාස්තෘ වූ ගෞතම සම්බුද්ධ ශාක්‍ය මුනින්ද්‍රයාණෝ ය. සම්මා සම්බුදු බවට පත් නොවී සිටිය දී ම, බුදුරජාණන් වහන්සේනමක් ලෙස විවරණ නොලබා සිටිය දී ම පැන නැංගා වූ ප්‍රඥා අසිරිය කෙරෙහි උපන් ප්‍රසාදාතිශය පහන් සිත, සසරේ අකෘතඥ බව දැන දැනත් මානසික බන්ධනයන්ගෙන් බැඳී සිරවී හඬ හඬා දුක් විඳින අපටත් ප්‍රඥාව උපදවා ගැනීම පිණිස ම… දුක සේ නොව සුව සේ අත්හැරීම පිණිස ම හේතු වේවා!