අප ශාස්තෘවර ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා වීමේ පරම දුර්ලභ භාග්‍යය උදාකර ගත්තේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳු ය. එමෙන්ම ගෞතම බුදු සසුනේ පළමුව චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් සම්බුදු හදමඬලෙන් උපන් පළමු නිකෙලෙස් මුනිවරයා වන්නේ ද කොණ්ඩඤ්ඤයන් වහන්සේ ම ය. එම නිසා උත්තම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සඳහන් වන්නේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ය. උන්වහන්සේ මහා ශ්‍රාවකත්වය පිණිස මේ උතුම් පුණ්‍ය චාරිකාව අරඹන ලද්දේ මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වී වදාළ, සියලු‍ ධර්මයන්හී පරතෙර පත් නර ශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී ය. එසමයෙහි හංසවතී නුවර ධනවත් කුලපුත්‍රයෙකුව ඉපිද සැදැහැතියන් සමඟ බුදු පුදට විහාරයට ගොස් සදහම් ශ්‍රවණය කළ දිනක පදුමුත්තර බුදුරජාණෝ සිය ශාසනයේ එක් රහත් මුනිවරයෙකුට ‘පළමුව චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය’ ලබා දුන් සේක. මෙය දුටු කුලපුතු ‘මෙය කෙතරම් අගනේ ද? මුන්වහන්සේ කොතරම් උතුම් ද? භාග්‍යවතුන් වහන්සේ හැරුණු කොට පළමුව ධර්මාවබෝධ කළ උත්තමයා මුන්වහන්සේ ය. අනේ මටත් අනාගතයේ ලොව පහළ වන බුදුරජාණන් වහන්සේනමකගේ පළමු ශ්‍රාවකයා වන්නට ඇත්නම් කොතරම් හොඳදැ’ යි‍ කියා සිතුවේ ය. එසේ සිතා පදුමුත්තර බුදුරදුන් වෙත එළඹ නමස්කාර කොට බුදුපාමොක් මහ සඟනට සිය නිවසෙහි දනට ඇරයුම් කොට සතියක් පුරාවට රසමසවුලෙන් යුතු සුවඳ ඇල්හාල් බත් ද කැවිලි පෙවිලි ද පිදී ය. එමෙන්ම අගනා වස්ත්‍රවලින් තුන් සිවුරු සකසා බුදුරජුන් ප්‍රමුඛ ලක්ෂයක් මහරහතුන් විෂයෙහි චීවර පූජාවන් ද සිදු කළේ ය. ඉක්බිති දණින් වැටී ඇදිලි බැඳ තම සිතෙහි වූ මහානීය පැතුම සැල කළ කල්හී පදුමුත්තර බුදුරදුන් අනාගතය බලා වදාරා මෙසේ නියත විවරණ ශ්‍රී දෙවා වදාළ සේක. “පින්වත් කුලපුත්‍රය, ඔබේ ප්‍රාර්ථනාව යහපත් වූ එකකි. මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලය සම්භව කොටැති ගෝත්‍රයෙන් ‘‍ගෞතම’‍ නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන සේක. එසමයෙහි ඔබ ඒ සම්බුදුන්ගේ මංගල ධර්ම දේශනාව අසා දහසක්නයින් ප්‍රතිමණ්ඩිත උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටන්නේ ය.”‍ යි වදාළ සේක. වසර ලක්ෂයක් ආයු වැඩ සිටි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී ශ්‍රී දේහය ධාතු නොවිසිරී රන් කඳක් මෙන් ඒකඝනව පැවතුනි. ධාතු ශරීරය තැන්පත් කර රන් ගඩොලින්, රන් සිරියල් යොදා තල තෙල්වලින් අනා යොදුන් සියයක් උසට දාගැබ බඳින කල්හී විවරණ ලැබූ සැදැහැති කුලපුතු දාගැබ් වහන්සේගේ ඇතුළත ස්වර්ණමය ධාතු ගර්භයක් සෑදවී ය. දසබලධාරී පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතු ශරීරය තැන්පත් කළේ එහි ය. එමෙන්ම සැදැහැති කුලපුතු ඒ මහා රන් දාගැබ වටා ස්වර්ණමය තොරණ් දහසක් ද කරවී ය. මෙසේ ඒ කුලපුතු අපමණ පින් රැස් කොට මරණින් මතු දෙව්ලොව ඉපිද මහත් වූ දෙව් සැප, දෙව් සිරි වින්දනය කොට සසර සැරිසරමින් පැමිණ විපස්සී සම්බුදුන්ගේ යුගයේ දී බන්ධුමතී නුවර එක් කුලයක උපත ලැබ ‘‍මහාකාල’‍ යන නම ලැබී ය. විපස්සී බුදුරජුන් ප්‍රමුඛ අසූහාර දහසක් භික්ෂු සංඝයාට නව වාරයක දී උසස් අයුරින් අග්‍ර ශස්‍ය දන් දී මහානීය පින් රැස් කර ගැනීමට මහාකාල කුලපුතුට එහිදී භාග්‍යය උදා විය. මෙසේ සසර සැරිසරද්දී අපමණ පින් රැස් කළ එතුමා අප ශාක්‍යමුනී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයෙහි රමණීය වූ කිඹුල්වත් නුවරට නුදුරු ‘‍දෝණවත්ථු’ නම් බ්‍රාහ්මණ ගමේ ධනවත් බමුණු පවුලක උපත ලැබී ය. මව්පියෝ එකුමරුට ‘‍කොණ්ඩඤ්ඤ’ යන නම තැබූ අතර බමුණු කුමරු සුවසේ හැදී වැඩෙමින් යොවුන් වියට එළඹ ත්‍රිවේදය මැනැවින් ඉගෙනගෙන දේහ ලක්ෂණ විද්‍යාවේ ද පාරප්‍රාප්ත විය. එසමයෙහි අප මහ බෝසතුන් පස්මහ බැලුම් බලා තුසිත දෙව්ලොවින් චුතව මහමායා දේවියගේ කුස පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහිවිය. සිඟිති කුමරු උපත ලැබ පස්වෙනි දින නම් තැබීමේ මංගල්‍යය සඳහා එකසිය අටක් වූ බ්‍රාහ්මණ පඬිවරුන් කැඳවූ අතර ඒ අතරින් වඩාත් දක්ෂ සැමට ප්‍රධාන වූ ප්‍රකට බමුණු පඬිවරුන් අටදෙනෙකු මූලිකත්වය ගති. බෝසත් කුමරුගේ දේහ ලක්ෂණ පිරික්සූ රාම, ධජ, ලක්ඛණ, මන්තී, භෝජ, සුයාම, සුදත්ත යන පඬිවරුන් හත්දෙනාම ඇඟිලි දෙකක් ඔසවා, “මේ කුමරු ගිහිගෙයි වාසය කළහොත් සක්විති රජ වෙයි. ගිහි ගෙයින් නික්ම පැවිදි වුවහොත් ලොව්තුරා බුද්ධත්වයට පත් වෙයි.”‍ කියා පැවසූහ. එකල්හී සැමට වයසින් බාලමුත් ලක්ෂණ ශාස්ත්‍රයෙහි අගතැන්පත් කොණ්ඩඤ්ඤ තෙමේ කුමරුගේ දෙබැම මැද දකුණට කරකැවී පිහිටි පිරිසිදු රිදීවන් ඌර්ණ රෝම ධාතුව දැක, “ඒකාන්තයෙන්ම මේ උතුමා ගිහිගෙයින් නික්ම පැවිදිව ලොව්තුරා බුදුබව ලබා ගන්නේ ය. සම්බුදු බව ලබාගෙන දෙවි මිනිසුන් සහිත ලෝක සත්වයාට මහත් වූ ශාන්තියක් ම සිද්ධ කරන්නේ ය” යි එක් ඇඟිල්ලක් පමණක් ඔසවා නියත ලෙස ම පැවසී ය. අප මහ බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව විසිනමවන වියෙහි දී ගිහිගෙයින් නික්ම මහා අභිනිෂ්ක්‍රමණය සිදුකොට අනෝමා ගංතෙර දී පැවිදි විය. කොණ්ඩඤ්ඤ බමුණා එය අසා වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන බ්‍රාහ්මණ මානවකයින් සමග මතු බුදුවන බෝසතාණන් වහන්සේ උදෙසා ශ්‍රමණභාවය ලැබූහ. ගම් නියම්ගම් දනව් සැරිසරා බෝසතුන් සොයමින් ඇවිද අවසානයේ උරුවෙල් දනව්වේ විවේකස්ථානයක ආර්ය පර්යේෂණයේ යෙදෙමින් දුෂ්කරක්‍රියා කරන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණගැසී මෙත් සිතින් ගෞරවයෙන් බොහෝ කලක් උපස්ථාන කළහ. අතිශය කටුක තපස් චර්යා පුරමින් ආහාර වර්ජනය කරමින් සයවසරක් පුරාවට අධිකතර වීර්යයෙන් දුෂ්කරක්‍රියා කළ බෝසතාණන් වහන්සේ එම අත්ථකිලමතානුයෝගය නිවනට මග නොවන බව ප්‍රත්‍යක්ෂයෙන් දැන අත්හළ සේක. පිඬුසිගා ලත් බොජුන් වළඳමින් මැදුම් පිළිවෙතේ සැහැල්ලු‍ සිතින් පිළිවෙත් පුරද්දී, නිවන් මඟ වරද්දා ගත්තා යැයි වැරදි වැටහීමක් ඇති කර ගත් පස්වග මහණුන් බෝසතුන් අත්හැර බරණැස ඉසිපතන මිගදායට පිටත්ව ගියහ.

මැදුම් පිළිවෙතින් සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණ කල අප මහ බෝසතාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සව් කෙලෙසුන් නසා ගුරු උපදේශ නොමැතිවම සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ සේක. බුද්ධගයා බෝමැඩ සමීපයේ සත්සති ගත කොට ඇසළ පුන්පොහෝ දිනක බරණැස ඉසිපතන මිගදාය තෙක් වැඩම කොට පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා මංගල දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය වදහළ සේක. දෑස් පියා සවන්පත් යොමා නුවණින් විමසමින් එම දම්දෙසුම ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤයන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්ව දහම් ඇස පහළ කර ගත් මුල් ම ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වූ සේක. සම්බුදු ඇසින් එය දුටු ශාස්තෘන් වහන්සේ “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ”‍ යැයි “පින්වත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළා.” යැයි උදානයක් පහළ කළ සේක. එතැන් පටන් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ නමින් හැඳින්විනි.

ඉක්බිති කොණ්ඩඤ්ඤ හිමියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දණින් වැටී ඇඳිලි බැඳගෙන “ස්වාමීනී, මම ඔබවහන්සේ සමීපයේ පැවිදි බව ලබම්වා! උපසම්පදාව ලබම්වා!” යැයි ඉල්ලා සිටියේ ය. එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රත්පියුමක් බඳු තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය දිගුකර, “මහණ, මෙහි එව! තථාගතයන් වහන්සේ විසින් ධර්මය මනා කොට දේශනා කරන ලදී. සියලු‍ දුක් කෙළවර කිරීම පිණිස මඟ බඹසර හැසිරෙන්න.”‍ යැයි වදාරමින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ‘ඒහිභික්ඛු’ භාවයෙන් පැවිදි උපසම්පදා කළ සේක. එමෙන්ම වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන හිමිවරු ද සම්බුදු බණ අසා සෝවාන් ඵලය සාක්ෂාත් කොට ඒහිභික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්හ.

ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් අරභයා බරණැස ඉසිපතන මිගදායේ දී අනාත්ම ලක්ඛණ සුතුර දේශනා කොට වදාළ සේක. එම දම් දෙසුම අවසානයේ දී අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රධාන අනෙක් තෙරුන් වහ්සේලා සිව්නමත් රාගාදී සකල ක්ලේෂයන් ප්‍රහාණයට පත් කරමින් සිව්පිළිසිඹියාවන් ද සමඟින් මහරහත් භාවයට පත් වූහ. ඉන්පසු වස්කාලය අවසානයේ පළමු රහතන් වහන්සේලා හැටනම දහම් ප්‍රචාරය සඳහා ශාස්තෘන් වහන්සේ විසින් ගම්නියම්ගම් සිසාරා පිටත් කොට වදාළ සේක. එකල්හි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ද හුදෙකලාව ම උතුරු ඉන්දියාවේ ගම්නියම්ගම් දනව් සිසාරා පාගමනින් ම වැඩම කරමින් දඹදිව්තල වැසියන්ට තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් දහම් ප්‍රචාරයේ යෙදුණ සේක. බොහෝ මිනිසුන් සදහම් අසා තිසරණ සරණ ගොස් සිල්වත් වී දහමින් නිවී සැනහුනහ. සමූහයා සමඟ ගැවසීම ප්‍රිය නොකළ කොණ්ඩඤ්ඤයන් වහන්සේ සිය පැවිදි දිවියේ වසර දොළහක් පමණ වූ අවසන් අවධිය ගත කළේ මිනිස් වාසයෙන් තොර හිමාලයේ ඡද්දන්ත වනයේ මන්දාකිනි පොකුණු තෙර විවේකස්ථානයක ය. එහිදී උන්වහන්සේට නෙළුම් අල ආදිය පූජා කරමින් සියලු‍ උපස්ථාන සිදුකළේ එහි වාසය කළ අටදහසක් පමණ ඡද්දන්ත හස්තීන්‍ ය. තම ආයුෂ අවසන් බව අරහත් ඤාණයෙන් දුටු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කොට පාද නමස්කාර කරමින් පිරිනිවන් පෑමට අවසර ගෙන භික්ෂු සංඝයාට ඔවදන් දී සමුගෙන යළි මන්දාකිනි පොකුණු තෙරටම වැඩම කළ සේක. එහිදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශ්‍රී දේහය මහපොළොවවාසී දෙවිවරුන්ගේ පටන් අකනිටා බඹලොව තෙක් ම මහත් වූ පුද පූජා මධ්‍යයෙහි දෙව්ලොවින් දෙව්ලොවට වැඩමවන ලද්දේ ය. යළි අනුක්‍රමයෙන් හිමාලයට වැඩමවා ඡද්දන්ත හස්තීන්ගේ ද අවසන් ගෞරව මැද දේහය ආදාහනය කරද්දී සම්බුද්ධ නියමයෙන් නිකෙලෙස් මහරහතුන් පන්සියනමක් ද හිමාලයට වැඩම කළහ. ඒ අරහත් මුනිවරුන් රැගෙන වැඩම කළ අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශය ලැබූ කෙණෙහි වේළුවනාරාමයේ සම්බුදු බලයෙන් පැනනැඟු‍ණු රිදී ස්ථූපය තුළ සම්බුදු දෑතින් ම තැන්පත් කළ සේක. සසුන් පරපුරෙන් දායාද වූ ඒ උත්තම අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන් වහන්සේලා තැන්පත් කිරිම පිණිස මොරගහකන්ද මහමෙව්නාව වන සෙනසුනෙහි ‘ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ සෑය’‍ නමින් අභිනව සෑරජාණන් වහන්සේනමක් ඉදිවෙමින් පවතී. හිමාල වනයේ කඳු පන්තීන් සිහිගන්වන කඳු වළල්ලකින් වටවුණ, මන්දාකිනි පොකුණ සදිසි මොරගහකන්ද ජලාශය සමීපයේ මනරම් උස්බිමක ඉදිවන එම සෑරදුන්ගේ සතරැස් කොටුවෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද ධාතු ගර්භයෙහි ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ අරහන්තක ධාතූන් වහන්සේලා ද නිධාපිතව අනාගතයේ ඒ උතුම් සෑරදුන් දෙවි මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පිදෙනු ඇත. ගෞතම බුදු සසුනේ සියලු‍ නිකෙලෙස් මුනිවරුනට ජේ්‍යෂ්ඨ වූ පරම නිෂ්කාමී දිවිපෙවෙතක් ගත කළ ඒ උත්තම අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන්ට අපගේ නමස්කාරය වේවා! අභිනවයෙන් ඉදිවන ශ්‍රී කොණ්ඩඤ්ඤ මහ සෑරදුන්ට ද අපගේ හදපිරි නමස්කාරය වේවා!

(ඇසුර — ගයාන් චානුක විදානපතිරණ මහතා
විසින් රචිත ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ
මහරහතන් වහන්සේ’ ග්‍රන්ථය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.