සීයේ සීයේ… අපි අවුරුදු දෙදහස් පන්සියයක් විතර රැවටිලා ඉඳලා තියෙන්නෙ. ඔයා දන්නව ද? බුදුරජාණන් වහන්සේ දඹදිව නෙමෙයි ලංකාවෙලු ඉපදිලා තියෙන්නේ. අපේ ඉතිහාසයත් බොරුවක්ලු.”
“මොනවා! ලංකාවත්, ඉන්දියාවත් අඳුරගන්න බැරිතරම් උඹේ මොළ දණ්ඩ ඔල්මොරොන්දන් වුණේ කවද ඉඳල ද? කවුද උඹට ඔය මුසාව ඇදබෑවෙ.”
“‘ඔය හැමෝම කියන්නෙ සීයෙ.
යූ ටියුබ් එකෙත් තියෙනවා. අපේ ඉස්කෝලේ ටීචර්ලත් කථා වෙනවා. මම අහගෙන හිටියෙ. ඒ විතරක් ද මහාචාර්යවරු පවා පිළිගන්නවා. රජගහනුවර තියෙන්නේ රජගලලු. රෝහිණී නදිය මහවැලි ගඟලු. කපිලවස්තුව දිඹුලාගල පැත්තෙලු. සංකස්සය තියෙන්නේ ඇල්පිටියෙ පැත්තෙලු. සමහර හාමුදුරුවරුත් කියනවනෙ සීයෙ.”
“පුතේ උඹ දන්නවද ලංකාවේ දිග පළල.”
“ඔව්. දිග කිලෝමීටර් 432 යි. පළල කිලෝමීටර් 224 යි.”
“ඒ කියන්නෙ පුතේ යොදුන්වලින් කිව්වොත් දිග යොදුන් 43 යි. පළල යොදුන් 22 යි. ඈ බං ඉන්දියාවේ එක ජනපදයක් තරම්වත් අපේ රට ලොකු නෑ කියල තේරෙන්නෙ නැද්ද? පුතේ දඹදිව කියන්නේ අපිට සිතා ගන්න බැරි තරම් සුවිශාල රටක්. ඒකේ දිග පළල යොදුන් දස දහස බැගින් තියෙනවා. හිමාල කඳු වළල්ල විතරක් යොදුන් 3000ක් විතර ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. හිමාල කන්දෙ උස යොදුන් 500ක් විතර. ඒ විතරක්යැ හිමාලයෙන් ගංගා 500ක් විතර ගලා බහිනවා. හිමාලෙ තමයි තියෙන්නෙ සප්ත මහා විල්. එක විලක දිග පළල යොදුන් 50ක්. අනවතප්ත විල කියන්නේ එයින් එකක්. අනික මන්දාකිණි විල, අපේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ වැඩ හිටියෙ එහෙ තමයි. ඔය අනවතප්ත විල වටේට පර්වත 5ක් තියෙනවා. ඔය ගන්ධමාන පර්වතයේ තියෙන නන්දමූලක කියන පර්වතය ළඟ තමයි පසේබුදුවරු වාසය කරන රන්, රිදී, මැණික් ගුහා තුනක් තියෙන්නෙ. අර මඤ්ජූසක කියන යොදුනක් උස වෘක්ෂය තියෙන්නෙත් එතන තමයි. ඒ විතරක් ද ඔය ඉන්දියාවේ තියෙන පංච මහා ගංගා පටන් ගන්නෙත් අනවතප්ත විල මුල් කරගෙන ගලන ගංගාවලින් තමයි. දැන් බලාපං ලංකාවේ තියනව ද මේ වගේ ගංගා, පර්වත, විල්… නෑ නේද?
පුතේ ඔය හිමාලයට දකුණු පැත්තෙන් තමයි අර සුවිශාල දඹරුක තියෙන්නේ. ඒ දඹරුක නිසා තමයි ‘දඹදිව’ කියල නම හැදිල තියෙන්නෙත්. ඒ ගසේ කඳ වට විතරක් යොදුන් 15ක්. මුදුන් ශාඛාව යොදුන් 50ක්. ඒක කල්පයක් පවතින වෘක්ෂයක්. ඒ වගේ කල්පස්ථායි වෘක්ෂ 07ක් තියනවා. ඒ තමයි, අසුර භවනෙහි පළොල් රුක, ගරුඪ භවනෙහි ඉඹුල් රුක, අපරගොයානයෙහි කොළොම් රුක, උතුරුකුරු දිවයිනෙහි කප් රුක, පූර්ව විදේහයෙහි මහරි රුක, ශක්‍ර භවනෙහි පරසතු රුක.
ඉතිං පුතේ ඉන්දියාව නැත්නම් දඹදිව කියල කියන්නේ ඒ කාලෙ ඉඳන්ම විමුක්තිය සොයාගෙන යන අය ඉන්න රටක්. අදටත් එහෙමයි. ඔය ඉන්දියාවේ තමයි මධ්‍ය දේශය තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ හරි මැද. එතන තමයි වජිරාසනය තියෙන්නේ. ජය ශ්‍රී මහා බෝධිය, හට ගත්තේ එතන. ඒ කියන්නේ බුද්ධගයාවේ. එතන තමයි හැම බුදු කෙනෙක් ම සම්බුද්ධත්වයට පත් වෙන්නෙ. ඒක ධර්මතාවයක්. ජය ශ්‍රී මහා බෝ සෙවණේ බුදු කෙනෙක් යම් සමවතකට සමවදිනව ද වෙන තැනක දී ඒ සමවතට සමවැදුණොත් ඒක මේ මහ පොළොවට දරන්න බෑ. ඔය කාරණය ආනන්ද බෝධිය රෝපණය කරන වෙලාවෙ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාළනෙ පුතේ.
ලංකාවේ අපට තියෙන වාසනාව තමයි දඹදිව බුදුරජාණන් වහන්සේ පහළ වුණත් පසුව ඒ ශාසනය පිහිටන්නේ අපේ රටේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අපේ රටේ මිනිස්සු හිටියෙ නෑනෙ පුතේ. යක්කුනෙ හිටියෙ. ඉතිං බුදුරජාණන් වහන්සේ තමයි ලංකාවට වැඩල ඒ යකුන් ගිරි දිවයිනට පලවා හැරල මිනිස් වාසයකට සුදුසු පරිසරය හදල දුන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ තමයි ලංකාවට විජය කුමාරයා ආවේ. එදා තමයි අපේ රටේ මුලින්ම මනුස්ස වාසය ආරම්භ වුණේ.
ඔය තුන්වෙනි ධර්ම සංගායනාව වෙනකල් ඈත රටවල බුදු දහම පැතිරිලා තිබුණෙ නෑ පුතේ. ධර්මාශෝක අධිරාජයා තමයි ලෝකයේ රටවල් නමයකට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කළේ. අපේ ආදීගුරුදේවෝත්තම පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපි කෙරෙහි අනුකම්පාවෙන් අපේ රටට ධර්ම දායාදය ලබල දුන්නේ. අපි කෙළෙහිගුණ මතක තියා ගන්න ඕන පුතේ. අසත්පුරෂයෝ වගේ ගරහන්න හොඳ නෑ.
දැන් බලන්න බුදු හිමියන් අවුරුදු 25ක් ම වැඩ හිටියෙ සැවැත්නුවරනෙ. එහෙ හිටපු කෝටි 07ක ජනතාවගෙන් කෝටි 05ක් ම මග ඵලලාභී අය. මුළු ලංකාවෙවත් එහෙම ජනගහනයක් අදටත් නෑ නේද? සැවැත්නුවර ජේතවනාරාමයේ නටඹුන් අදටත් තියෙනවා. අන්ධවනය, දම්සභා මණ්ඩපය, අංගුලිමාල ථූපය, ගණ්ඩබ්බ චෛත්‍ය මේ වාගේ නටඹුන් අදටත් තියෙනවා. ආනන්ද බෝධිය අදටත් ජීවමානයි. ලංකාවෙ කොහෙද මේවා තියෙන්නෙ.
එතකොට බලාපන් රජගහනුවර ගැන. එහෙ තමයි වේළුවනාරාමය තියෙන්නෙ. ගිජ්ජකූටය, ජීවක අඹවනය, වේභාර පර්වතය, සප්තපර්ණී ලෙන, ඉසිගිලි පර්වතය, ඉන්දසාල ගුහාව, සූකරකත ලෙන, මෝර නිවාප… මේ හැම එකක් ම තියෙන්නේ රජගහනුවර. ලංකාවේ රජගල නොවේ මේවා තියෙන්නේ. ඔය අංග මගධ ජනපද දෙකේ විතරක් ගම් 80,000ක් තියනවා. වට ප්‍රමාණය යොදුන් 300ක්. මුළු ලංකාවෙම තියෙන්නේ ගම් 14,000ක් විතර. උඹලගෙ මොළේ කළඳක් හරි තියෙනවා නම් මේවා ගැනත් හිතාපන්.
ඊළඟට වජ්ජින්ගේ අගනුවර තමයි විශාලා මහනුවර. කූටාගාර ශාලාව, වාළුකාරාමය, චාපාල චේතිය, උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බක චේතිය, බහුපුත්තක චේතිය, සාරන්දද චේතිය මේවා සේරම තියෙන්නේ විශාලා මහනුවර. ලංකාවෙ කොහෙද මේවා තියෙන්නේ. ලංකාවේ කොහෙද සමූහාණ්ඩු? මෙච්චර රජවරු කොහෙද ලංකාවෙ හිටියේ? උඹලට අමු කැවිල ද?
අනික දැන් පොඩ්ඩක් හිතාපං ඒ කාලෙ ඉන්දියාවේ බ්‍රාහ්මණ, ක්ෂත්රීය, වෛශ්‍ය, ශුද්‍ර කියල කුල 04ක් තිබුණා. නොයෙක් ආගම්, දර්ශන සියගණනක් තිබුණා. අදටත් තියෙනවා. ලංකාවෙ කොහෙද බ්‍රාහ්මණයන් ඉන්නේ. ඊළඟට ඒ කාලේ ඉන්දියාවේ ෂඩ් ශාස්තෘවරු හිටියා. අදටත් නිඝණ්ඨයින්, ආජීවකයන් ඉන්නවා. ලංකාවේ කොහෙද නිඝණ්ඨයින්? ඒ නිසා පුතේ ඕන කෙනෙකුට ඕන මනස්ගාතයක් කියන්න පුළුවන්. නමුත් අහන කෙනාට සිහි නුවණ තියනවා නම් ඔය වගේ පච පිළිගනියි ද මං අහන්නෙ.
දැන් බලාපං උඹලගේ ආච්චි, උන්දෑ ඉස්කෝලේ දෙකේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ. බලමු උන්දැත් මේ ටොම්පචවලට අහුවෙයි ද කියල. එන්න කියාපං ආච්චිට.”
“ආච්චියේ ඔයා දන්නව ද ලංකාවෙලු බුදුරජාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ… ඇයි ආච්චි ඔයා හක හක ගාලා හිනාවෙන්නේ නෝක්කාඩුවට වගේ.”
“ඈ බොල දරුවො උඹගේ ඔළුව වැදුනේ කොහෙද කියාපිය. කවුද උඹට ඔය වගේ විකාර කථා කීවේ?”
“ඇයි ආච්චී ගොඩක් අය කියන්නේ. මහාචාර්යවරුත් කියනවා. සමහර හාමුදුරුවරුත් කියනවා.”
“අනේ දෙවියනේ අහස පොළව නුහුලන මේ වගේ අපරාධ කරන්නේ මොන වින්නැහියක් වෙලා ද? පුතේ මම හතර වතාවක් ම දඹදිව ගියා. මම හිතේ හැටියට ඒ බුද්ධභූමි වන්දනා කරල තියෙන්නෙ. මගේ හිත නම් හොල්ලන්න බෑ පුතෝ දෙයියන්නාන්සෙ කීවත් මම නම් ඔය හතර බීරි කථාව පිළිගන්නෙ නෑ ඕං.”
දැක්කද පුතේ ආච්චිව රවට්ටන්න බෑ. ආච්චි තෙරුවන් සරණ ගිහින් ඉන්නෙ. උඹ දන්නවද බණ පොතේ ‘අක්කෝසක සූත්‍රය’ කියල දේශනාවක් තියනවා. ඒකේ තියනවා ඔය ආර්ය උපවාද කරපු එවුන්ට වෙන වින්නැහිය. ඒකුන්ට පිස්සු හැදෙනවා. මග ඵල ලැබුණා කියල මුළා වෙනවා. තියෙන ගුණධර්ම නැතිවෙනවා. දරුණු රෝග ඇති වෙනවා. සිහිමුළා වෙලා තමයි මැරෙන්නේ. මැරිලා අනිවාර්යයෙන් ම නිරයේ තමයි උපදින්නේ. දැන් තේරෙනවද මේ කතාවේ තියන බරපතළකොම. බුද්ධභූමිවලට ගැරහීම භයානක ආර්ය උපවාදයක්. ලංකාවේ බුදුන් උපන්නා කීවොත් ඒක පිළිගන්න මිනිස්සු දඹදිව තියෙන ඇත්ත ම බුද්ධභූමිවලට ගරහනවා. ඒවා වඳින්න පුදන්න යන්නෙත් නෑ. කොච්චර පව් රැස් වෙනව ද ඔය කථාව පිළිගැනීමෙන්.
අනේ මන්දා දැන් ඉන්න සමහර මිනිස්සුන්ගෙත් මොළේ කොහේ තියෙනව ද මන්දා. කවුරු හරි මොකක් හරි තොවිලයක් කීවොත් ඒක පිළිගන්න දත කට පූට්ටු කරගත්තු ගොයියො ටිකක් ඉන්නවානෙ. බැරිවෙලාවක්වත් පුතේ ඔය නිඝණ්ඨයෙක් ලංකාවට ඇවිත් නිඝණ්ඨ බණක් කීවොත් ඉතිං උපන් ඇඳුමෙන් වුණත් ඉන්න සූදානම් විළිසංගෙ නැති පිරිසක් ඉන්නව මේ රටේ ඕං. මේක රටේ ම අවාසනාව තමයි.
පුතේ බුදුවරු විතරක් නෙවෙයි පසේබුදුවරු, මහා ශ්රාවකයින්, සක්විති රජවරු මේ හැමෝම පහළ වෙන්නේ දඹදිව විතර ම යි. ඒක ධර්මතාවයක්. බෝසත්වරයෙක්වත් ලංකාවේ පහළ වෙන්නේ නෑ. හැම ජාතක කථාවක ම බෝධිසත්වයන් ඉපදිලා තියෙන්නේ දඹදිව විතරයි. මට හිතෙන්නේ ඔය කථාව කියන්නේ අමනුෂ්‍ය බලපෑමෙන් සිහි විකල් වෙලා. හොඳ සිහියකින් නම් ඔය කථාව කියන්න බෑ. අපේ අම්ම මුත්තා කාලෙවත් ඔය වගේ විකාර කථාවක් අපි අහල නෑ පුතේ.
දන්නවද පුතේ ඔසුපත් නිරයක් තියෙනවා තුනුරුවන්ට ගරහපු, ආර්ය උපවාද කරපු අය යන. ඒකේ ආයුෂ වර්ෂවලින් කියන්න බෑ. හොඳට මතක තියා ගනිං පුතේ. ඇත්ත නැත්ත හරියට හොයන්නෙ නැතුව ආර්ය උපවාද කරගෙන යන්න වෙන්නේ එහෙ තමයි. දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙත්, බුද්ධ ශාසනයත් අහිමි කරගෙන පස්සේ පසුතැවෙන්න වෙයි අවුරුදු කෝටි ගණනක්. එදාට තේරෙයි මේ කථාවෙ බරපතළකම. බුද්ධ ශාසනය විනාශ කරන, බුද්ධභූමිවලට ගරහන ඔය මිසදිටු කථාව පතුරුවන්න නම් එපා. ඒකුන් මැරිල ගිහින් මහා අන්ධකාරය තියෙන ලෝකාන්තරික කියන නිරයෙ තමයි උපදින්නෙ, බුද්ධ ශාසනය අඳුරු කරපු පාපයට.”
“අනේ සීයේ මට සමාවෙන්න. මට දැන් තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.”
“මගෙන් නෙවෙයි පුතේ මහා සෑයට ගිහින් වැඳ වැටිලා තුනුරුවන්ගෙන් තමයි සමාව ගන්න ඕන. එතකොට ඔය සාපෙන් මිදෙන්න පුළුවන් වේවි.”
සටහන – දනිඳු පුතා – කඩවත.
Recent Comments