සුදෝ සුදුවන් මීදුම් පටල අතරින් කසාවත් පොරවා දහස් ගණනින් රහතන් වහන්සේලා හිමිදිරියේ ම පිඬුසිඟා වඩිනු දකින සැමට පහන් සංවේගය උපදවයි. සම්බුදු යුගයක සිරියෙන් දිලෙමින් දෙව් බඹුන්ගේ ද සැදැහැවතුන්ගේ ද නෙත් සිත් මෝහනය කරමින් දිස්වන මේ මනස්කාන්ත දර්ශනය දෙව්රම් මහ වෙහෙරයි. පසේබුදුවරුනට පාත්‍රා පිසදා ගැනීමට කිරිපලු පත් පුදා රැස්කළ පිනෙන් කිරිපලු රුක්ෂයක විමනක් ලද රුක් දෙවියකුගේ දර්ශනීය විමානය, දෙව්රම් වෙහෙරෙහි ප්රාකාරයට පිටුපසින් ඇත්තේ, දෙව් බඹුනට දෙව්රම තව තවත් දර්ශනීය කළේය.
මේ දෙවිඳාණෝ සෑම උදෑසනක ම විමනෙන් බැස පිඬුසිඟා වඩින රහතන් වහන්සේලා දැක, සිත පහදවා වැඳ නමස්කාර කරත්. දිනක් හේ දිටි සම්බුදු පියාණෝ හුදෙකලාවේ දුරකට වඩින්නට සූදානම් වන අයුරක්. හේ විමනෙන් බැස සම්බුදු පාමුල වැතිර අයැදින්නට වී යමක්. සැණෙකින් ඔහුට අවසර ලැබිණි.
සුදු මීදුම් වලා පටල අතරින් අහසට පැන නැගි අප සම්බුදු සමිඳාණෝ දෙව්රමෙහි වැඩසිටි සඟ පිරිසෙහි නමස්කාර පූජා මධ්‍යයෙහි දර්ශනීය දසුනක් සේ සැමගේ නෙත් සිත් පහන් කරවන්නට වූහ. මොහොතකින් සම්බුදු පියාණන් පසෙක, දෙව්රම පිටුපස කිරිපලු වෘක්ෂය දෝතින් මුතුකුඩයක් සේ ගත් මනස්කාන්ත දෙවියෙකු දිස් විය. සැණෙකින් අතුරුදන් වී..
මහ සයුරු රළ ඉහළ අහසෙහි මීදුම් වලා පටල අතරින් නැගෙන හිරු අන්තර්දාන වී ඝනඳුරෙන් වැසී ගියෙන්, හිරු පරදා දිලෙන රශ්මියකින් සයුරු රළ සහිත දිවයින් ප්රභාවත් වී.. යළි අඳුර මතු කරමින් සම්බුදු පියාණෝ ගුවන් ගැබෙහි දිලෙන්නට වන් සේක. යුද පිටියක ඝෝෂාව සැණෙන් අතුරුදන් වී දැඩි නිහැඬියාවකින් හාත්පස සන්සුන් වී ගියේය. කවරෙක් නම් අදහම්දෝ, සාදු නාදයෙන් ගිගුම් දී සම්බුදු පියාණෝ පිළිග-න්ට යුද බිමට වන් සියල්ලෝ දොහොත් මුදුනෙහි තබා සූදානම් වූහ. කිරිපලු රුක් සෙවණින් ම පොළවට වැඩි අප සම්බුදු පියාණෝ මිණි පළඟෙහි වැඩ හුන් සේක.
බ්‍රහ්ම ස්වරයෙන් හාත්පස නින්නාද වන්නට විය. “නාගයිනි, තෙපි කුමක් පිණිස යුද වදිව් ද?” “ස්වාමීනී, අපි මිනිසුන් නොවූ නා ලොව උපන් නාගයෝ වෙමු. මම වනාහී මහෝදර වන්නෙමි. මාගේ මව්ගේ පියා වූ නා රජු සතුව මේ සොඳුරු මිණි පළඟ තිබිණි. හේ කලුරිය කරන කල්හි මාගේ නැගණිය වන තිරච්ඡිකාහට එය පැවරුවේය. ඈ කණ්හාවඩ්ඪමාන පර්වතයෙහි නා රජු හා විවාහ වූවාය.
ඇගේ පුතු වූ චූළෝදරට මේ මිණි පළඟ අයිති වන්නට තිබිණි. ස්වාමීනී, මේ මිණි පළඟ වෙනුවෙන් යුද වදින්නට යි අප සූදානම් වූයේ.
ස්වාමීනී, යොදුන් පන්සියයක් පමණ වූ මේ මහා සමුද්‍රයේ වෙසෙන නොමිනිස් වූ නාගයින් වන අප සමඟ අසූ කෝටියක් වූ මුහුදුවැසි සහ ගොඩබිම්වැසි නාගයෝ විනාශයට යෑමට පෙරාතුවයි ඔබ වහන්සේ වැඩම කළේ.”
මොහොතින් බ්‍රහ්ම ස්වරයෙන් මුසු වී දහම් පද වාතලයට එක් වී නාගයින්ගේ සිත් තුළ පහන් සංවේගය උපදවමින් අවසන් විය. යළි පෙරට පැමිණි නා රජෙකු දොහොත් මුදුනෙහි තබා වැඳ මෙසේ පවසන්නට විය.
“ස්වාමීනී, මම වනාහී මණිඅක්ඛිත නම් නා රජු වෙමි. මෙයින් දකුණු දෙස කල්‍යාණී පෙදෙසෙහි රජු වූ මාගේ විමන එහි ඇත්තේය. ස්වාමීනී, ඔබ වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දා මියුගුණුවට වැඩම කොට බිහිසුණු රෞද්‍ර අමනුෂ්‍ය වූ යකුන් ගිරි දිවයිනට පන්නා දමන අයුරු මම දුටුවෙමි. ඔබ වහන්සේගේ අසිරිමත් සම්බුදු ප්රාතිහාර්යය ගැන අපි බොහෝ පැහැදුණෙමු. එදා සියලු දෙව් බඹුන් රැස් කරවා නිර්වාණ සම්ප්‍රයුක්ත ධර්මය වදාළ අයුරු අද මෙන් මා සිත පිනවයි.
ස්වාමීනී, එදින මම දිවිහිමියෙන් තිසරණයෙහි පිහිටියෙමි. පංච සීලය ද සුරැක්කෙමි. අද මා යුද පිටියට පැමිණියේ කිසිවෙකුට හෝ හිංසාවක් කිරීමට නොවේ. ස්වාමීනී, ඔබ වහන්සේ කෙරෙහි පහන් සිතින් දිවිහිමියෙන් සරණ ගිය මා හට අනුකම්පා පිණිස මාගේ කල්‍යාණී පුරවරයට ද වැඩම කරන සේක්වා…! ස්වාමීනී, අද වනාහී ඔබ වහන්සේගේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වසර බක් පුර පස තුදුස්වක දිනයයි. ස්වාමීනී, ඔබ වහන්සේට පහසු දිනයක කැලණි පුරවරයට වැඩම කරන සේක්වා!”
අපගේ සම්බුදුරජාණන් වහන්සේ නිහඬතාවයෙන් යුතු ව එකරුණ ඉවසා වදාළ සේක. නා රජවරුන් පූජා කළ දිව්‍ය භෝජනයන් වැළඳූ අපගේ සම්බුදුරජාණෝ දහම් දෙසා සියලු නාගයන් තිසරණ සහිත පංච සීලයෙහි සමාදන් කරවූ සේක්. මහෝදර නා රජු, “ස්වාමීනී, මේ මිණි පළඟ අපි ඔබවහන්සේට පූජා කළෙමු. එමෙන් ම ස්වාමීනී, අපි දහම් අසා දිවි හිමියෙන් තිසරණයෙහි පිහිටියෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට පුද පූජා කිරීම පිණිස යමක් ලබා දුන මැනවි.”
බ්‍රහ්ම ස්වරයෙන් මුසු වූ වදන් පෙළක් නින්නාද වී.. “නාගයිනි, මේ මිණි පළඟ සම්බුද්ධ පරිභෝග වස්තුවකි. එබැවින් මෙය තැන්පත් කොට සෑයක් තනවා පුද පූජා සිදු කොට මෙලොව පරලොව සැප සලසන පින් රැස් කරව. එමෙන් ම නාගයිනි, මේ සමිද්ධි සුමන දෙව් රජු පෙර බොහෝ වර්ෂ ගණනකට පෙර මේ නා දිවයිනෙහි මිනිසෙකු ව සිටියේය. මේ පින්බිමෙහි දී පසේබුදුවරුන්හට දන් පැන් පුදා පාත්‍රා පිසදා ගැනීමට කිරිපලු පත් පිදූ පිනෙන් රුක් දෙවියෙක් ව උපන්නේය. ඔහුගේ විමන පිහිටි මේ කිරිපලු රුක ද තථාගතයන්හට සෙවණ සැලසූ පූජනීය වස්තුවකි. මෙය මෙහි රෝපණය කොට පුද සත්කාර කරව. එය තෙපිහට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය.”
සියලු නාගයින් දොහොත් මුදුනෙහි තබා සාදුකාර දෙන කල අප සම්බුදුරජාණෝ විමන සහිත වූ සමිද්ධි සුමන දෙව් රජු එහි රඳවා නිල්වන් අහස් කුස දිලිසෙමින් වැඩ සිටි සේක. සියලු නා රජවරුන්ගේ සාදුකාර මධ්‍යයෙහි අප සම්මා සම්බුදුරජාණෝ සැවැත්නුවර බලා වැඩි සේක.
බක් මස තුදුස්වක දින අප මාතෘභූමියට වැඩි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!
වඳිම් වඳිම් නා දිවයින මව්බිම
බුදු පහසින් පිරි මිණි පළඟ රැඳී
පුදන් පුදන් ලක්දිව මුනි ධාතුන්
අවසන් වර රැඳි බිමට වඳිම්
මීදුම් වලා රළ පහස සිසාරා
දිලෙන නුවන් බුදු රැස් මාලා
ඝෝර අඳුර පිරි නාගදීපයට
බුදු සිරියක අසිරිය දැනිලා
චූල මහෝදර ඝෝර විසැති නයි
බුදු කරුණා පවනින් නිවිලා
මිණි පළඟෙන් ආ සම්බුදු සරණින්
සුගති මගට මංපෙත් ලබලා
නීල ගුවනෙ රැඳි බුදුරැස් මාලා
මව්බිම වටකොට පවන් සලා
පන් දහසක් කල් සසුන රකින්නට
බුදු බලයෙන් ආසිරි ලබලා
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.
Recent Comments