භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායෙහි සඳහන් වන සබ්‍රහ්මක සූත්‍රයේ දී දෙමව්පියන් ගැන, දෙමව්පියන්ට සැලකීම ගැන දේශනා කොට තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, සමහර දරුවන් ඉන්නවා. ඔවුන් තමන්ගේ ගෙදර ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල් තමයි බ්‍රහ්මය සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවො තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳට පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි පූර්ව දේවතාවන් සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවෝ තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි පූර්ව ආචාර්යවරු සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි නොයෙක් පිදුම් ලබන්න සුදුසු අය ඉන්න තැනි වෙන්නේ.”

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, බ්‍රහ්ම කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, පූර්ව දෙවියන් කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, පූර්ව ආචාර්ය කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, (පිදුම් ලබන්න සුදුසු) ආහුණෙය්‍ය කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්.”

මව්පියවරු තමයි දරුවන්ට ගොඩාක් උපකාර කරන්නේ. රැකබලා ගන්නේ. අත පය වඩලා පෝෂණය කරන්නේ. මේ ලෝකය ගැන පෙන්වලා දෙන්නේ.

එම නිසා මව්පියන්ට සලකන, උපස්ථාන කරන, ගරු සත්කාර කරන දරුවන් තම ජීවිතයට බොහෝ පින් රැස් කර ගන්නා බව, මෙලොවදී ප්‍රශංසා ලබන බව හා පරලොව දෙව්ලොව ඉපදී සතුටු වන බව ද ධර්මයේ සඳහන් වෙනවා.