පොහොසත් ජනයාගෙන් පිරුණු, මනා ව වැඩුණු කෙත් වතු ඇති, මහානීය ශික්ෂාකාමී භික්ෂූන්ගෙන් ගහණ වූ, යහපත් දේශගුණයකින් ද හෙබි, දස දෙස පතළ කීර්ති ශ්‍රී ශෝභා ඇති රමණීය වූ, උපාසක පිරිසකින් පිරි සුරට්ඨ නම් ජනපදයක් විය. මේ ජනපදයෙහි එක්තරා ගමක තිබූ ආරාමයක එක් තරුණ භික්ෂුවක් වාසය කරයි. මොහු භික්ෂුවක් වූයේ නමින් පමණි. බොහෝ ප්‍රමාද විහරණයෙන් යුතුව සිටි මේ භික්ෂුව රාත්‍රී කාලයෙහි තමන් කැමති පරිදි හැසිරෙමින් ප්‍රසිද්ධියේ ම ශික්ෂාපද කඩන්නෙක් විය. මෙසේ කාලය ගෙවෙන අතර ඔහුගේ බිරිඳ ගැබ් ගත් නිසා හෙතෙමේ ගැබ මෝරත් ම ඒ ස්ත්‍රිය ඇයගේ මවගේ ගෙදරට කැඳවාගෙන යන්නට පිටත් වූයේ ය. අතරමග දී වන ලැහැබක ඇය දරු ප්‍රසූතිය කළා ය.

භික්ෂූනම එදින ලෙයින් වැකුණු, දුගඳ හමන, විරූපී වූ ඇය දැක සංවේගයට පත්ව පිළිකුල් සංඥා උපදවමින් මෙසේ සිතුවේ ය.

‘පණු කැලගෙන් ගැවසී ගත් මේ ශරීරය පිටින් සමකින් වැසී ඇති නිසා ප්‍රියමනාප බවක් දක්වයි. මම ඇතුළත නොදකිමින් පිට ඔපයට රැවටුනෙමි. මේ සිරුර යටින් පතුල්වල සිට උඩින් හිස කෙස් දක්වා අසූචියෙන් පිරුණු, අපිරිසිදු, දුර්ගන්ධ දෙයකි. මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම් යන දේ ඇත. මම මෝහයෙන් මේ සිරුරට ඇලුම් කළෙමි. මම අද ඇති සැටියෙන් එහි ඇතුළත දුටුවෙමි. මේ ශරීරය ඇතුළෙහි ගොනුන් මරණ තැනක මෙන් ලේ, මස් ආදියෙන් ගැවසුනේ ය. පිළිකුල් වූ ශරීරයට නින්දා වේවා! කය වනාහි සෑම නුවණැත්තෙක් ම දුරු කරන ලද දෙයකි. අනුවණයන් සෑම දෙනෙක් ම සොයන්නා වූ දෙයකි. මම පෙර දී කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතකින් මුළා වී රාගයෙන් පෙළුනෙමි. සීලය හැර දමා මේ කුණු කයෙහි ඇලී, බුදු සසුන ලැබී තිබියදීත් කිලිටි ජීවිතයක් ගත කළෙමි. දැන් මම ප්‍රමාදී වූ ගමනින් සිදු වූ දේ අත්හැර නැවත පැවිද්ද ලැබ සිල් රකිමි. රාග ද්වේෂ මෝහ ක්ලේශයන්ගෙන් කිලිටි වූ මම සදහම් තොටට ගොස් ඒ කිලිටි සෝදා හරින්නෙමි.’

මෙසේ සිතූ ඔහු සිත දැඩිකොට ගෙන සංවේගයෙන් තැවෙමින් නැවත වරක් පැවිදි වීම සඳහා සිත යොමු කළේ ය.

ඔහු මෙසේ අසුභ සංඥාව මෙනෙහි කොට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙන ගොස් එහි නවතා ‘චිත්තාභ’ නැමැති වෙහෙරට ගියේ, එහි වෙසෙන සිග්ගව නම් තෙරුන් වහන්සේ වෙතට පැමිණ පැවිදි බව ඉල්ලා සිටියේ ය.

“හිමියනි, රාග, ද්වේෂ, මෝහ ගින්නෙන් නොසන්සිඳුන පිපාසයෙන් දිගු කලක් සසර ඇවිදින මට දහම් පැන් දෙනු මැනවි. ප්‍රමාදයේ වසඟයට පත් මාගේ දෝෂය මා ඉක්මවා ගියේ ය. ඒ සියල්ල අමතක කර දමා මා පැවිදි කරනු මැනවි.” මෙසේ යදින විට තෙරුන් වහන්සේ ඔහු පැවිදි කරවී ය. එම වනයෙහි රුක්මුල් අසල හුදෙකලාව ධ්‍යාන වැඩූ නමුත් ඔහු නොබෝ කලකින් කිසිදු මාර්ග ඵල අවබෝධයක් නොමැතිවම කළුරිය කොට ඒ වනයෙහි රුක් දෙබලක ඕපපාතික මිනිස් දරුවෙක් ව උපන්නේ ය.

එක් භික්ෂූන් වහන්සේ නමක් ඔහු දැක චිත්තාභ තෙරුන් වහන්සේට ඒ බව දැන්වූහ. දරුවා දුටු මොහොතේ ම ඔහු හැඳින ගත් තෙරුන් වහන්සේ “මේ ලෙනෙහි තබා මේ දරුවා පෝෂණය කරන්න. මොහු මහා වීරයෙක් වන්නේ ය. සියලු ආගම් ඉගෙන ධර්මයෙන් හා අර්ථයෙන් දක්ෂව බොහෝ තීර්ථකයන්ට ධර්ම මාර්ගය පහදා දෙති. එක් වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයට පැමිණි මොහු මාර්ග ඵලයට පැමිණෙන්නේ ය.” යයි පැවසූහ. ඒ භික්ෂූනම තෙරුන්ගේ කීම අසා ලෙනෙහි තබා දරුවා පෝෂණය කළේ ය. ඔහු සත් හැවිරිදි වියේ දී තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදි වී රහත් ඵලය ලැබූයේ, ෂඞ් අභිඥා සහ සිව්පිළිසිඹියා ලැබ සියලු බුද්ධ ධර්මය වටහා ගත්හ. චිත්තාභ තෙරුන් වහන්සේ පිරිනිවී ගිය පසු බොහෝ භික්ෂූන්ට ආචාර්යවරයෙක් ව සිට අවසානයේ පිරිනිවන් පෑ සේක.

පිරිනිවන් පෑමට පෙර යොදුන් සතක් පමණ අහසට පැන නැගී අහසේ සිට මේ ගාථාවන් කීහ. “බුදුන්, දහම්, සඟුන් පිළිබඳ ව හෝ මාර්ගය හෝ ප්‍රතිපදාව පිළිබඳ ව සැකයක් ඇත්නම් අසන්න.” එවිට භික්ෂූහු “අපට බුද්ධාදී රත්නත්‍රයෙහි සැකයක් නැත. ඔබ විසින් පූර්වයෙහි කුමන කර්මයක් කරන ලද්දේ ද?” යැයි ඇසූහ. “මම පෙර භවයෙහි නමින් පමණක් ශ්‍රමණයෙකු ව දුසිල්වත් වීමි. මම ප්‍රසිද්ධියේ ම පව්කම් කළෙමි. බුදු සසුන ජීවිකාව සඳහා යොදා ගතිමි. මෙසේ ප්‍රමාද වූ මාගේ බිරිඳ ගැබ් ගත්තා ය. දරුවා වදන මොහොතේ ඇය දැක කාම හේතුවට ම මා හට බයක් උපදිණි. ඉන් කලකිරුණු මම චිත්තාභ පර්වතයට ගොස් නැවත පැවිදි වීමි. ඉන් චුත වූ මම ඕපපාතික ව මිනිස් දරුවෙකු ව ගසක කරුවක ඉපදුණෙමි. මා දුටු එක් භික්ෂුවක් චිත්තාභ තෙරුන්ට මා භාර කළෙන්, උන්වහන්සේගේ අවවාද පරිදි කරුණාවෙන් ම මා පෝෂණය කළහ. වැඩිවිය පැමිණීමෙන් පසුව තෙරුන් වහන්සේ ළඟ පැවිදිව කල් නොයවා ම රහත් ඵලය ලැබ ගතිමි. සංවේග කළ යුතු දෙයෙහි සංවේගයට පත් වීමි. මෙසේ බුදු සසුන මහත්ඵලදායි වේවා!” යි ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ සේක. මෙසේ ඒ රහතන් වහන්සේ අහසෙහි ඉඳගෙන ම තමා කළ කර්මයන් හා එහි විපාකයන් ප්‍රකාශ කළ සේක.

මෙසේ පාප කර්මයෙහි නොයෙක් දොස් පවසමින් තම ඉර්ධි බලයෙන් අහසෙහි හිඳිමින්, සිටිමින්, සක්මන් කරමින් නොයෙක් පෙළහර පා පිරිනිවන් පෑ සේක. ස්වල්පයක් නමුත් සංවේගය උපදවා ගැනීම යහපත් ගුණ ලැබීමට හේතුවක් වන බව මේ කතාවෙන් තේරුම් ගත යුතු ය.

ඇසුර: සීහළ වත්ථු

සටහන: මානෙල් පොඩිමැණිකේ