මේ මහා භද්‍ර කල්පයේ සිව්වන වතාවටත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වී නුවණැතියන් නිවනට පමුණුවන පරම සුන්දර වූ නිවන් මග දේශනා කොට වදාළේ ඇසළ පුන්පොහෝ දිනයක දී ය. ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යයේ දම් සිහනද පැතිරී ගිය ඒ ඇසළ පුන්පොහෝ දිනයේ දී ‘පින් අස්වනු නෙළා ගන්නට රිසියවුන්ට අනුත්තර පින්කෙත’ වන්නා වූ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය ලොව පහළ වූ සේක. රාග ද්වේෂ මෝහ නසන්නා වූ නිවන් මගට මැනැවින් පිළිපන්නා වූ – ගෞතම සම්බුදු සසුනේ ජ්‍යේෂ්ඨතම පැවිදි ශ්රාවකයා වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුගේ පටන් ලොව වැඩ විසූ – වැඩ වෙසෙනා සුපින්වත් ශ්‍රාවක සඟරුවනට අපගේ නමස්කාරය වේවා!
ඒ ශ්‍රාවක සංඝරත්නය වනාහී මනා කොට නිවන් මගට පිළිපන් සේක් ම ය. අමා නිවන දෙසට ම යොමු වූ ඒ ඍජු මාවතෙහි පිළිවෙත් සරු ව වඩිනා සේක් ම ය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන සසර දුකින් නිදහස් වීම පිණිස ම ප්‍රතිපදාවෙහි යෙදෙනා සේක් ම ය. දෙව්මිනිස් ලෝකයා කෙරෙහි පතල මෙත් සිතින් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව ඒ පිරිසිදු නිවන් මග පහදා දෙන සේක් ම ය. එහෙයින් සුපටිපන්න වූ, උජුපටිපන්න වූ, ඤායපටිපන්න වූ, සාමීචිපටිපන්න වූ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!
සත්පුරුෂයන් විසින් පසසනු ලබන ගුණ දරා වැඩ වෙසෙනා ඒ සඟරුවන වනාහී සෝවාන්, සකදාගාමී, අනාගාමී සහ අරහත් යන සතර මග – සතර ඵලයන් ලෙස පුද්ගයන් වශයෙන් අට දෙනෙක් ද යුගල වශයෙන් සතර දෙනෙක් ද වන සේක. එසේ නිවන් මගෙහි වඩිනා ඒ ශ්‍රාවක සංඝයා ඉතා දුර සිට වුව ද ගෙනැවිත් පුදන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක. උන්වහන්සේලා යම් තැනකට ආගන්තුක ව වඩින්නේ ද එකල්හීත් සිවුපසයෙන් පිදුම් දීමට සුදුසු වන සේක. සැදැහැ සිත් ඇතියවුන් මෙලොව – පරලොව යහපත සලකා පුදනු ලබන දක්ෂිණාවන් පිළිගැනීමට ද ඒ ශ්‍රාවක සඟරුවන සුදුසු වන සේක. සාදු කියා දොහොත් මුදුනේ තබා දෙව්මිනිසුන් විසින් වන්දනාමාන කරනු ලැබීමට ද උන්වහන්සේලා සුදුසු වන සේක. එහෙයින් ආහුණ්‍යෙය වූ, පාහුණ්‍යෙය වූ, දක්ඛිණ්යෙය වූ, අංජලිකරණීය වූ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය ලොවට උතුම් පින්කෙත ම වන සේක.
ශ්‍රාවකයන් කෙරෙහි හිතානුකම්පී වූ ශාස්තෘන් වහන්සේනමක් යම් ආකාරයකින් ධර්මය දේශනා කොට වදාරන්නේ ද අපගේ ශාස්තෘන් වහන්සේ දුකින් මිදී නිවන් ලබනු පිණිස පිළිපැදිය යුතු මග වදාළේ ඒ අයුරින් ම ය. සාංසාරික ව පුරන ලද ඉන්ද්රිය ධර්මයන්ගේ බලවත් භාවයනට අනුව ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ පහසුවෙන් ද ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා දුක සේ ද පිළිවෙත් පුරමින් අමා නිවනට වැඩම කළ සේක. ප්‍රතිපත්ති පූරණයෙහිලා සඟරුවනේ නානත්වයක් දක්නට ලැබෙන්නේ වුව ද ඒ සියලු දෙනා වහන්සේ ළාමක ගිහි ජීවිත හැර දමා කසාවත පොරවා සසුන් මග ගත්තේ දුකින් මිදී අමා මහ නිවන සාක්ෂාත් කරලීමේ කැමැත්ත ඇතිව ය. කාමයන්ගේ ඇලීගැලී, එහි ම ගුණ කියමින්, එහි ම බැසගත් ලෝකයා හා මුහු නොවී – නෙක්ඛම්මය කෙරෙහි නැඹුරු වූ සිත් ඇති ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!
සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා තෙදවත් බව ලැබූවේ උන්වහන්සේලා ය. කලාවෙන් කලාවට අලුත් වන සඳක් සේ කුලයන්ගේ නොඇලී වැඩසිටියේ උන්වහන්සේලා ය. මහබඹුගේ උපස්ථානය පවා ලදුයේ උන්වහන්සේලා ය. පෙරළී යන ලෝක ධර්මයන් හමුවේ නොපෙරළී දහමේ පිහිටියේ ද උන්වහන්සේලා ය. මිසදිටු බැහැර ලා දහම සංගායනා කොට පරපුරෙන් පරපුරට දායාද කරලමින් සසුන් බර දරාගත්තේ උන්වහන්සේලා ය. වැටකේ යුෂයෙන් යැපෙමින් පවා දහම සජ්ඣායනා කරමින් දහමට ම දිවි පුදා කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව ශාසනය සුරැකියේ උන්වහන්සේලා ය. කම්සැපයෙන් මුසපත්, මන්මත්, ප්රමාදී ලෝකයා කෙසේ නම් – කවර මිනුමකින් නම් ඒ ශ්‍රාවක සඟරුවන පමණ කරන්න ද?
“අප්පමත්තෝ පමත්තේසු – සුත්තේසු බහුජාගරෝ
අබලස්සං’ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ”
“සුන්දර නුවණින් යුතු මුනිවරයා ප්රමාදී වූ ජනතාව අතරේ අප්රමාදී ව ඉන්නවා. නින්දේ ගැලුනු ජනතාව අතරේ නොනිදා භාවනා කරනවා. ඔහු ඒ අමා නිවන කරා යන්නේ දුර්වල අශ්වයෙක් ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙක් වගේ.”
(ධම්ම පදය – අප්පමාද වග්ගය)
ඒ ශ්‍රාවක සඟරුවනට අපගේ නමස්කාරය වේවා!
Recent Comments