එදා මෙදාතුර මේ විශ්වයේ පහළ වූ විශිෂ්ටතම වූ, ශ්‍රේෂ්ඨතම වූ මනුෂ්‍ය රත්නය වන්නේ අපගේ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. දස සහශ්‍රී ලෝධා පුරා, සක්වළ පුරා අනූපම ගුණයෙන් උන්වහන්සේ බැබළුණ සේක. සීලයෙන් අසමසම වූ සේක. විශිෂ්ට ඤාණයෙන් අග්‍රේෂ්වර වූ සේක. විමුක්තියෙන් පරමෝත්තම වූ සේක. උන්වහන්සේගේ විශිෂ්ටත්වය කිසි දෙවියෙකුට, බ්රහ්මයෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්රාහ්මණයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට විෂය නොවන්නේම ය.
වෙනත් කිසිවෙකුට මැඬලිය නොහැකි, අභිබවනය කළ නොහැකි මාර බලය අපගේ බුදුරජාණන් වහන්සේ මැඩලූ සේක.
‘නමෝ තේ පුරිසාජඤ්ඤ, නමෝ තේ පුරිසුත්තම’
“ආජාණ්යේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි ඔබට නමස්කාර වේවා!” යි යනුවෙන් දෙව් බඹුන් නමස්කාර කළේ ඒ නිසාම ය.
සම්බුදු නොවී සිටිය දී ම අප මහා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපන් මොහොතේ ම තමන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන සිහ නද පැතිරූ සේක.
“අග්ගෝ හමස්මි ලෝකස්ස – ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස – අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’ති.”
“ලොව අගපත් කෙනා වෙමි මම් – ලොවේ වැඩිමල් කෙනා වෙමි මම්
ලොවේ උත්තම කෙනා වෙමි මම් – මේ මගේ අන්තිම උපතයි
නැවත උපතක් නැත්තේ ම ය.”
ඒ මොහොතේ ආනන්ද සිත් ඇති තව්තිසාවැසි දෙවියෝ ද හාත්පස දිව සළු බමවමින් ප්‍රීතියෙන් ඔද වැඩී මෙසේ පැවසුවෝ ය.
“සෝ සබ්බසත්තුත්තමෝ අග්ගපුග්ගලෝ
නරාසභෝ සබ්බපජානමුත්තමෝ”
අප මහා බෝසතාණෝ සියලු සතුන් හට උත්තම වන සේක. අග්‍ර පුග්ගල වන සේක. නරෝත්තම වන සේක. සියලු ප්‍රජාවට ම උත්තම වන සේක. කාමාශක්ත ලෝකයේ බුදු බව පැතීමෙන් ම අප මහා බෝසතාණෝ අග්‍ර වූහ. දස පාරමී පූරණයෙන් ද බෝධි සම්භාර ගුණවලින් ද ලෝකය හා අසමාන වූ නිසා ඒකාන්තයෙන් ම අග්‍ර පුග්ගල වන සේක.
තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුව මඬලින් ම ඒ ආශ්චර්යවත් ගුණ වර්ණනා කළ සේක.
“ඒකපුග්ගලස්ස භික්ඛවේ, පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං. කතමස්ස ඒකපුග්ගලස්ස? තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස.”
“පින්වත් මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ දෙයකි. ඒ කවර එකම පුද්ගලයෙකුගේ පහළ වීමක්ද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමය.”
“ඒකපුග්ගලෝ භික්ඛවේ, ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්ඡරියමනුස්සෝ. කතමෝ ඒකපුග්ගලෝ? තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ.”
“පින්වත් මහණෙනි, ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් ලෝකයෙහි උපදිනවා නම් උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එකම පුද්ගලයා කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”
උන්වහන්සේ වනාහී, අදුතියෝ – දෙවැන්නෙක් නොමැති වූ, අසහායෝ – සහායකයෙක් නොමැති වූ, අප්පටිමෝ – කිසිවෙකු හා සැසඳිය නොහැකි වූ, අප්පටිසමෝ – කිසිවෙකු හා සම නොවූ, අප්පටිභාගෝ – කිසිවෙකුගේ කොටස්කරුවෙකු නොවන්නා වූ, අප්පටිපුග්ගලෝ – කිසිවෙකු හා සම කළ නොහැකි වූ, අසමෝ – සම්මා සම්බුදු නොවන කිසිවෙකු හා සම නොවූ, අසමසමෝ – සම්මා සම්බුදුවරුන් සමඟ පමණක් සැසඳිය හැකි වූ, දිපදානං අග්ගෝ – දෙපා ඇති මිනිසුන් ට අග්‍ර වූ එකම පුද්ගලයා වන්නේය.
සැබැවින්ම තථාගතයන් වහන්සේ, අග්ගෝච – අග්‍ර වන සේක. සෙට්ඨෝච – ශ්‍රේෂ්ඨ ද වන සේක. පාමොක්ඛෝච – ප්රමුඛ ද වන සේක. උත්තමෝච – උත්තම ද වන සේක. පවරෝච – වඩාත් උත්තම ද වන සේක.
ගුරුවරයෙක් නොමැතිව සියලු දහම් තනිවම අවබෝධ කරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තම වන සේක. පුරුෂයන් දමනය කරන අය අතර ශ්‍රේෂ්ඨ වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ ලෝකේ වෙන කිසිවෙකුට සමාන නොවන්නේ ම ය.
වරක් අපගේ භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බමුණාට මෙසේ වදාළ සේක.
“බ්‍රාහ්මණය… අවිද්‍යාවෙන් වෙලී ගිය සත්ව ප්‍රජාව අතරින් අවිද්‍යාව නම් වූ බිත්තරය පලාගෙන තනිවම ලොව අනුත්තර සම්බෝධියට පත් වුණෙමි. එනිසා බ්‍රාහ්මණය මම වනාහි ලොව ජ්‍යේෂ්ඨ ද වෙමි. ශ්‍රේෂ්ඨ ද වෙමි.”
මහ ඉසිවර තථාගතයන් වහන්සේ මෙලොව පරලොව උභයාර්ථ සිද්ධියෙහි ලා හික්මිය හැකි ජනයා හික්මවන්නට අතිශයින් ම දක්ෂ වන සේක.
සේනක මහරහතන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේ ව මෙසේ වර්ණනා කළ සේක.
“උන්වහන්සේ මහා ප්‍රඥාලෝකයෙන් යුක්තයි. ශ්‍රාවක ජනයාට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලොවට ම අග්‍රයි. තුන් ලෝකයට ම නායකයාණන් උන්වහන්සේ තමයි. දෙව් මිනිසුන්ගේ මුනිවරයා. ඒ දර්ශනය පවා අසහාය දෙයක්.”
සර්වඥ වූ, දසබලධාරී වූ, චතුර් විසාරද අනාවරණ දර්ශන ඇති ගම්භීර ප්‍රඥාවෙන් යුතු තථාගතයන් වහන්සේ අන් සත්වයන්ට සාධාරණ නොවූ, ෂඩ් අසාධාරණ ආදී අනන්ත වූ ඤාණාලෝකයෙන් බබළන සේක. සැබවින් ම උන්වහන්සේ ඤාණ අචින්තෙය්‍ය වන සේක.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට අනුව ම පැවති චර්යා රටාව ද අතිශයින් ම විස්මය දනවන සේක. පරම පිවිතුරු කාය වාග් සමාචාර ඇති භාග්‍යවතුන් වහන්සේ වෘද්ධ සිල් ඇති සේක. කුසල සිත් ඇති සේක. අරිය සිල් ඇති සේක. සීලයෙන් ලොව අග්‍ර වූ අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ පා කමල් අබියස දෙව් මිනිසුන් දණින් වැටුණෝ ය.
උන්වහන්සේ ශාන්ත ගුණයට නිධාන වූ, කරුණා ගුණ සයුරක් වූ, ගුණයන්ට ආකරයක් වූ, ආකාශය බඳු සම සිතින් සව්සෙතට පිහිට සැලසූ සේක. අප මහ මුනිරජුන් ගුණයෙන් ද ලොව අසම වූ සේක.
දීඝාංගුලි ඇති, සක් ලකුණින් යුතු සිරිපා ඇති, දෙතිසක් වූ මහා පුරිස් ලකුණින් ද අසූවක් අනු ව්‍යඤ්ජනයෙන් ද වොරැඳුණා වූ රන් රුවන් පර්වතයක් සේ බ්‍යාම ප්‍රභා රශ්මි විහිදුවමින් දෙව්බඹුන්ගේ රූපශ්‍රීය පරදවමින් බැබළුණු අංගීරස වූ ශාස්තෘන් වහන්සේ රූපයෙන් ද ලොව අග්‍රව වැඩ හුන් සේක.
බඹ සුර අසුරයන් පිරිවරා සිටින කල්හී පවා ශාක්‍යපුත්‍ර වූ සිරිමතුන් වහන්සේ සරත් කල හිරු මඬලටත් වඩා පුණ්‍ය ලක්ෂණයෙන් ශෝභමාන ව වැඩ හුන් සේක. මේ සියලු ගුණ දරමින් ඒ උතුම් පින්සරාණන් වහන්සේ පුණ්‍ය සම්පත්තියෙන් ද අග්‍රව වැඩ හුන් සේක.
භෞතික සියලු ලෝ ධාතුන් මෙන් ම ස්කන්ධ, ධාතු, ආයතන නම් වූ ආධ්‍යාත්මික ලෝකයත්, සමස්ත ධර්ම ධාතුවමත් අවබෝධ කරගෙන සියලු දහමින් පරතෙර වැඩියා වූ, අපරාජිත වූ, වැසි වලාවක් මෙන් තිලොව දහම් වැස්සෙන් තෙමාලූ දම්රජාණන් වහන්සේගේ විස්මිත දහම් කය ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වූ සේක.
දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ කිසිවෙකුට ඉසිලිය නොහැකි බුද්ධ කෘත්‍යය තථාගතයන් වහන්සේ ඉසිලූ සේක.
සැබැවින්ම තුන්ලොවට පිහිට වෙන බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් මේ මිනිස් ලොවෙහි ද නොදකින්නෙමු. දෙව්ලොවෙහි ද නොදකින්නෙමු. බඹ ලොවෙහි ද ඒ හා සම වූවෙක් නොදකින්නෙමු. අපගේ ශාස්තෘන් වහන්සේ සැබැවින්ම පරමෝත්තම වන සේක. මෙසේ අසම වූ, අනූපම වූ, අසහායී වූ, අසමසම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ අග්‍රස්ථානයේ යමෙක් පැහැදුනේ වෙයි ද ඒ පැහැදීම ඒකාන්තයෙන් ම අග්‍ර වන්නේ ය. ශ්‍රේෂ්ඨ වන්නේ ය. උත්තම වන්නේ ය.
ඔහුට අග්‍ර පින් වැඩෙන්නේ ය. ඔහුගේ විපාකය අග්‍ර වන්නේ ය. දෙවියන් අතර ද මිනිසුන් අතර ද අග්‍ර වූ ආයු, වර්ණ, කීර්තිය, සැප, බල ලැබෙන්නේ ය. අග්‍රප්‍රාප්ත ව සතුටින් වසන්නේ ය.
ඒ සියලු දෙන අපායෙන් මිදුනෝ වෙත්. ස්වර්ග පරායන වන්නේ ය. දෙව්ලොව උපන් කල්හි ද අග්‍ර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නම් කම් සැප විඳින්නේ ය. අග්‍ර වූ ආයු, වර්ණ, සැප, බල, කීර්තිය යන දස කරුණින් අග්‍රව බබළන්නේ ය.
යමෙක් පහන් සිතින් බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ ද ඔහුගේ සිත පහදින්නේ ය. ප්‍රමුදිත වන්නේ ය. උපක්ලේශ ප්රහාණය වන්නේ ය. මග ඵල නිවන් පසක් කරන්නේ ය. සසර දුක් කෙළවර කරන්නේ ය…
“මීට කල්ප තිස් එකකට කලින් මං දියුණු කරලා තියෙන්නේ බුද්ධානුස්සති සංඥාව යි. ඉතින් ඒ භාවනාව මුල් කරගෙන අරහත්වයට පත්වෙන්න මට පුළුවන් වුණා.”
-සන්ධික රහත් මුනිඳුන්-
මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments