මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම මුල් කරගෙන උන්වහන්සේට ගෞරව සම්මාන දක්වලා තියෙන්නේ වර්තමාන පිරිසට වඩා එකල සිටි රජවරුයි. එකල සිංහල රජවරු රත්තරනින් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් හදලා අනුරාධපුරයේ වීදි පුරා වීදි සංචාරය කරවලා තියෙනවා. ඒකෙන් අදහස් කළේ හුදෙක් පෙරහරවල් කරන්නට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලබාදීම වෙනුවෙන් උන්වහන්සේට කෘතගුණ දැක්වීමට යි.

වර්තමානයේ ගත්තොත් පොසොන් එනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ නම පමණක් කතා කරමින් පෙරහරවල් සැණකෙළි පවත්වන්නට, පොසොන් කූඩු තරඟ, තොරණ් ආදී දේවල් තුලින් පමණක් විනෝද වීමට මහන්සි ගන්නවා මිසක් මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු දායාදය වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න බවක් නම් පේන්න නැහැ. සමහරුන්ට පොසොන් එනකොට මතක් වෙන්නෙ ගෘහ නිර්මාණ ශිල්පය ගැනයි, කලාකෘති ගැනයි. ඇළවේලි, වැව් අමුණු, කැටයම් කලාව ආදී සංස්කෘතික අංග ගැන කතා කරනවා මිසක් මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු ධර්මය ගැන කතා කරන්නෙ නැහැ. මේක හරිම සෝචනීය තත්ත්වයක්. සමහරු හිතාගෙන ඉන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ල චුල්ලහත්ථිපදෝපම සූත්‍රය විතරයි කිව්වෙ කියලා. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත සූත්‍ර දේශනා එකසිය තිස්පහක් පමණ ඇතුළත් වන සංයුත්ත නිකායේ සච්ච සංයුත්තය, ඊ ළඟට පේතවත්ථු, විමානවත්ථු කියන කොටස අයත් දේශනාවන්, මජ්ඣිම නිකායට අයිති දේවදූත සුත්‍රය, සංයුත්ත නිකායේ ඛජ්ජනීය සුත්‍රය, දම්සක් පැවතුම් සුත්‍රය, අංගුත්තර නිකායේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය වැනි සූත්‍ර දේශනා රාශියක් දේශනා කරලා තියෙනවා.

ඇත්තෙන්ම අපි මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව කරනවා නම් ගෞරව කළයුත්තේ උන්වහන්සේ ලාංකීය ජනතාවට ලබාදුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීමෙන් ම යි. ඒ ධර්මය අවබෝධ කිරීමට මහන්සි ගැනීමෙන් ම යි. අපි සියලු දෙනා ම එකතු වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ලාංකීය ජනතාවට පෙන්වා දීපු ආකාරයට ධර්මයේ හැසිරෙනවා නම් ආයෙමත් අපට මේ ශ්‍රී ලංකාව තුළ මිහිඳු යුගයක් ඇතිකිරීමට හැකියාව තිබෙනවා.