මමත්, වෛද්‍ය තේනුවරත් සිටියේ වාට්ටුවේ බිත්ති පුවත්පතට පළ කිරීමට ලැබුණ කාව්‍ය නිර්මාණයක් ගැන කතාබහ කරමිනි. කවිය ලියා දී තිබුණේ මෘත ශරීරාගාරයේ සේවය කරන තරුණ කම්කරුවෙකු විසිනි. ‘සිංහයාගේ මළගම’ ලෙසින් නම් කර තිබූ ඒ කවිය විශේෂ වැදගත්කමකින් යුතු විය. ඔහු කතා කර තිබුණේ සුවිශාල වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් ගැන ය. මම වෛද්‍ය තේනුවරට ඇසෙන්නට නැවත වරක් කවිය කියවූවෙමි.

වඳ මන්තරේ මතුරාගෙන කෙකින්නී
මාස් පතා ගෙයින් ගෙයට එබෙන්නී
බෙහෙත් පෙති අහුරු ගමට ම බෙදන්නී
යකඩයාගෙ මළකඩ කන යකින්නී

“කවිය නම් හොඳයි. ඒත් මිඩ්වයිෆ්ල තරහ වෙයි ඕක අපි දැම්මොත්…”

තේනුවර කීවේ වටපිට ද බලමිනි. අපේ මේසයේ අනෙක්පසින් සිටින්නේ හෙද නිලධාරිනී මංගලිකා පමණකි. මට ද සිනා පහළ විය.

“ඇත්ත. ඒත් මේක විශාල කාලීන වැදගත්කමක් තියෙනවා. මේ කොල්ල මේක මේ තරම් හොඳට කොහොම ලිව්ව ද මන්ද.. තේනුවර අන්තිම කවිය කියෙව්ව ද?” යි මම කවි කොළය ඔහු අතට දෙමින් ඇසුවෙමි.

මුස්ලිම් මවක් වාට්ටුවෙන් පිටව යාමට වුවමනා කටයුතු කර ගැනීම පිණිස අප අතරට පැමිණියෙන් අපේ කතා බහ නතර විණි. මම ඉක්මනින් ටිකට් එක ලියා අත්සන් කර දුනිමි.

“ගිහින් එන්නම් ඩොක්ටර්.” යි කියූ ඕ ෆර්දාවෙන් හිස වසාගෙන පෙරටු වූවා ය. සිඟිති දරුවා ව දෝතින් ගත් ඇගේ තරුණ ස්වාමියා ඈ පසුපසින් ගමන් කළේ ය. වාට්ටුවේ දොරටුව අසල දී තවත් කුඩා දරුවෝ තුන් දෙනෙකු ඇගේ දිගු ගවුමේ එල්ලිණි. ඒ ඇගේ වැඩිමහල් දරුවන් ය. මගේ සිත නැවතත් කවියේ අදහස සමඟ එකතු විය. මුස්ලිම් මව්වරු දරුවන් වදති. අපේ මව්වරු වඳ පෙති බොති. නැති නම් පොවති.

“මංගලිකාට දරුවො කී දෙනෙක් ඉන්නව ද?”

මම හෙදියගෙන් ඇසුවේ උපන් කලකිරීමෙනි. සාමාන්‍යයෙන් මම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ගැන නොසොයන්නෙමි. නමුත් මෙවෙලේ මා තුළ ඇතිවූ බලවත් කලකිරීම නිසා ම ය මම එසේ ඇසුවේ.

“එක්කෙනයි ඩොක්ටර්…”

“එක්කෙනා ද? අයියෝ තව දෙතුන් දෙනෙක් දරුවො හදන්න ඔයාට පුළුවන්නෙ.”

තේනුවර කුමන සිතුවිල්ලකින් කීවාදැයි මම නොදනිමි. හෙදිය නිහඬ වූවා ය.

“ඇත්තටම මංගලිකා ඇයි එක දරුවෙකුගෙන් නැවතුනේ?”

මම පිළිතුරක් අවශ්‍ය ම ආකාරයෙන් ඇසීමි.

“මහත්තය කැමති නැහැ.”

“ඇයි?”

එක්වර ම පිළිතුරක් දුන්නේ ඇය නො වේ. මගේ පෙරැත්ත කිරීම නිසා ම ඇය කතා කළා ය.

“මහත්තයලගෙ පවුලෙ දරුවො හත් දෙනෙක්. ඉතිං එයාල පුංචි කාලෙ ගොඩක් දුක් විඳල තියෙනවා. ඒ නිසා මහත්තය කැමති නැහැ වැඩිපුර දරුවො හදල එයාල දුක් විඳිනවට.”

මගේ සිත සැණෙකින් අතීතයට ඉගිලිනි.

උදෑසන පහටත් පෙරාතුව අවදි වූ අපි, මමත් අයියලා දෙදෙනාත් නංගිලා තිදෙනාත් නිදි පැදුරේ ම එක පෙළට වාඩි වී සිටින්නෙමු. රාත්‍රියේ දී අපත් සමඟ ම නිදාගත් අම්මාත්, තාත්තාත් ඒ වෙත්දී නැගිට සිටියෙන් පහසුවෙන් වාඩි වීමට ඉඩකඩ අපිට නිවසේ සාලයේ ලැබේ. ඒ අනුව රාත්‍රියේ දී නිදා ගැනීමට අඩි එක හමාරක පමණ ඉඩක් ලද අපිට මෙවෙලේ හිඳ ගැනීමට අඩි දෙකක ඉඩකඩ ලැබෙන්නේ අපි සියල්ලන් නිදාගන්නා නිවසේ සාලය ලෙසින් පැවති මේ කොටස දිගේ අඩි දොළහක් ද පළලින් අඩි දහයක් ද වූ නිසාවෙනි.

අපේ නිවසේ ඉස්තෝප්පුවක් ද ඊට යාබද ව කාමරයක් ද කුඩා මුළුතැන්ගෙයක් ද විය. කාමරයේ රෝගීව සිටින ආත්තම්මා හුන් අතර පායන කාලයට පමණක් අයියලා දෙදෙනා ඉස්තෝප්පුවේ නිදා ගනී. කාලයක් මම ආත්තම්මා සමඟ කාමරයේ නිදා ගත්තෙමි. නමුත් අම්මා එයට තදින් විරුද්ධ වූයේ ආත්තම්මා ක්ෂය රෝගයෙන් පෙළෙතැයි විශ්වාස කළ නිසාවෙනි. පරිස්සම හොඳ බව අම්මා නිතර කීවා ය.

නිවසේ අප නිදාගන්නා කොටසට පමණක් සිමෙන්ති දමා තිබුණි. ඉතිරි කොටස්වල වූයේ ගොම මැටි ය. සිමෙන්ති දැමූ සාලයේ කොටස් හයක් වශයෙන් සිමෙන්ති දමා තිබුණි. ඒ හැම කොටසක් ම ප්‍රමාණයෙන් ද පැහැයෙන් ද එකිනෙකට වෙනස් බව පැහැදිලි ව ම පෙනුනේ පෙදරේරුවෙකු වූ තාත්තා වැඩ කළ තැන්වල ඉතිරි වූ සිමෙන්ති ප්‍රමාණයන් වෙනස් වූ නිසාත්, විවිධ වර්ගවලින් යුතු ඒවා විවිධ පැහැ ගත් නිසාත් ය. තාත්තා වැඩ අවසන් කොට හවස ගෙදර පැමිණෙන එවැනි සමහර දවස්වල සිමෙන්ති කොළවල ඔතාගෙන ගෙනෙන ලද සිමෙන්ති එසේ බිමට අතුරන ලදී. තාත්තා ඒවා සොරකම් කරගෙන ආවාදැයි, අයිතිකරු ව දැනුවත් කොට රැගෙන ආවාදැයි අපි නොදන්නෙමු.

“කාගෙන්වත් දෙයක් කවදාවත් හොරකම් කරන්නෙපා” යි තාත්තා අපට නිතර අවවාද දුන් නිසා තාත්තා සොරකම් කළ බවක් සිතිය නොහැක. කෙසේ වෙතත් ඒ ආකාරයෙන් හෝ බිම සිමෙන්ති දමා තිබුණෙන් ගමේ බොහෝ දෙනෙකුට නොලැබුණ පහසුවක් අපට ලැබී තිබුණි. එනම් සිමෙන්ති දැමූ සමතලා බිමක පැදුරු එළාගෙන නිදා ගැනීමේ වාසනාව යි. ඒ ඇතත් නැතත් ඇත්තට ම ඒ කාලයේ අපේ ජීවිතවල උතුරා යන සතුටක් නම් පැවති බව කිව යුතු ම ය.

නිවසේ වහළ පවා කොටස් තුනකි. සෙවිලි වර්ග ද තුනකි. ඉස්තෝප්පුවටත්, ඊට යාබද කාමරයටත් උළු සෙවිලිකොට තිබුණි. අපි නිදා ගත් සාලයක් වැනි කොටසට ඇස්බැස්ටෝස් ෂීට් දමා තිබුණි. මුළුතැන්ගෙය ටකරන් ය. තදින් වැසි වසින දවස්වලට නොතෙමෙන්නේ අප නිදාගන්නා කොටස පමණකි. වතුර බිංදු බේරෙන තැන්වලට කුමක් හෝ භාජන තබා අපි සිමෙන්ති පොළොවේ සුවසේ නිදා ගන්නෙමු. සුව සේ අවදි වීමු.

නිදි පැදුරේ හිඳ සිටිය දී ම අපිට කහට කෝප්පය බැගින් අතට සීනි ටික ටික ලැබේ. තේ බීමට පෙර අප කට සේදුවේ නම් කලාතුරකිනි.

බිමට එළිය වැටුණ පසු අපට මිදුල අතු ගෑම, ගඟට ගොස් වතුර ගෙන ඒම, කඬේට යාම වැනි කටයුතු කරන්නට සිදු වෙයි. ඒ වෙත්දී තාත්තා වැඩට පිටත්ව ගොස් තිබුණෙන් නිවසේ කලබලයන් ද රණ්ඩු සරුවල් ද බෙහෙවින් වැඩි වේ. එහෙත් ජීවිතය පුරා උතුරා යන සතුට නොසිඳී පැවතුණි. ඒ කෙසේදැයි කියන්නට මම අද ද අපොහොසත්මි.

උදෑසන ආහාරය වශයෙන් බොහෝ විට අපට ලැබුණේ පාන් කෑල්ලක් හා රාත්‍රියේ ඉතිරි වූ ව්‍යංජනයකි. ව්‍යංජන ඇතිලිය සාලය මැද තබාගන්නා අපි හය දෙනා ඒ වටා එකතු වී පාන් කන්නෙමු. ඒ අතීතය සොඳුරු ය. අද නවීන පන්නයේ මේසයක ඉඳගෙන කෑම වර්ග රාශියක් ඉදිරියේ හුදෙකලාව ගිල දමනවාට වඩා…

“ඔළුව කන්නැත්නම් මට දෙන්න” යි ලොකු අයියා කියයි. ඔළුව යැයි කියන්නේ පාන්වල කර වූ උඩ කොටසට ය. අකමැත්තෙන් වුවත් කවුරු ම හරි ලොකු අයියාට පාන් ඔළුවක් දෙන්නේ සහෝදරකමට ය. කිසි දවසක කිසිවෙකු කෑම මදියි කියා කිව්වේ නැත. කෑම මදි බවක් ද නොසිතුණ තරම් ය. ඇත්තෙන්ම අපි ලැබුණ දෙයින් කුස පුරවා නොගත්තේ මුත් හිත පුරවා ගතිමු. ලැබුණ තරමින් සතුටු වූවා මිස කවදාවත් දෙමාපියන්ට ඒ ගැන කරදර නොකළෙමු.

අපි හය දෙනාම පාසල් ගියේ එකට ම ය. එක ම පාසලට ය. පහළ පංතිවල සිටි අපට පමණක් දහවල බිස්කට් අට බැගින් ලැබුණි. එයින් කිහිපයක් කන අපි කිහිපයක් වැඩිමල් සහෝදරයන්ට සේ ම ඉහළ පංතිවල අයියලාටත්, අක්කලාටත් දී ලොකු ගණිතය පොතේ පිට කවරය අස්සේ දමාගෙන අම්මාට ද එකක් හෝ ගෙන එන්නට අමතක නොකළෙමු.

දහවලට නිවසින් අපට කෑමට ලැබෙන්නේ බතුත්, ව්‍යාංජනයකුත්, මැල්ලුමක් හෝ තැම්බූ කොස් දෙල් වැනි දෙයකි. ඇත්තෙන්ම ඒ ආහාර වේල රස ය. අම්මාගේ හාස්කමක් දැයි නොදැනේ. අද මේ හෝටල්වලින් කන කෑමටත් වඩා ඒ ආහාරය රස ම රස ය.

රාත්‍රියට ව්‍යංජන දෙකක් සමඟ බත් ලැබේ. තාත්තා නිවසට පැමිණි විගස පවුලේ අපි අට දෙනා ම එකතුව එකට කෑම කන්නෙමු. සමහර විටෙක තාත්තාට වැඩ කරන තැන්වලින් කෑම නොලැබෙනවා ද වෙන්නට පුළුවන. කොහොමටත් අපි හැමදාම හවස හයට පෙර රාත්‍රී ආහාරය ගන්නට පුරුදු වූයේ එසේ ය.

දවස පුරාවට අපි හය දෙනා විසින් කරන ලද වැරදි අම්මා තාත්තාට කියන්නේ කෑම කන අතරතුර ය. එනිසා අපිට බැණුමක් හෝ තර්ජනයක් මිස ගුටියක් නම් ලැබෙන්නේ නැත. අපේ සමහර ලොකු වැරදි අම්මා තාත්තා සමඟ කියන්නේ ද නැත.

කලාතුරකින් හෝ තාත්තාගෙන් ගුටියක් කෑවේ නම් පවුලේ මා පමණකි. ඒ ඉඳහිට පොඩි අයියාගේ ඔළුව ගල් ගසා පැළීම නිසාවෙනි. එයත් වාර හයක් පමණකි. දෙවතාවක් සොහොනේ සහ අහල පහළ ගඩොල් පෝරණුවක සැඟවී සිට තාත්තාගෙන් බේරෙන්නට මම සමත් වීමි. සොහොනේ හැංගුන දා සිට තාත්තා මට ගැසූ බවක් සිහි කර ගන්නට නොහැක. ඔය ආකාරයට හැබෑම සතුටක් අපේ ජීවිතවල එදවස පැවතුණි.

අද ටයි කෝට් අඳිතත්, විවිධ වර්ගවල ඇඳුම් අඳිතත් එදවස එනම් අතීතය ගැන සිහි කරන්නේ නම් මා සතුව පැවති ඇඳුම්වලින් මට මතකයට නඟා ගත හැක්කේ කමිස දෙකක් පමණකි. කලිසම් කොයි වගේ ඒවා දැයි මතකයක්වත් නැත.

මතක ඇති කමිස දෙකෙන් එකක් කහ පාට ය. අනෙක ළා කොළ පැහැති පසුබිමක සිහින් මල් හෝ කොළ මුද්‍රිත එකකි. පාසලටත්, මඟුල් ගෙදරටත්, අන් සියලු තැනටත් මේ කමිස දෙක වෙනසක් නොකරම ඇන්දෙමි. අව්ව වැස්ස සීතල ලොකු පොඩිකම් අපට වෙනසක් නොවුණි. එහෙයින් ඒ යටගියාව සුන්දර ය. මිහිරි ය.

වසරකට දෙතුන් වතාවක්වත් කලු ගඟ පිටාර යන්නී බාල අපට මහත් සතුටක් ගෙන දෙයි. එක දිගට වැසි වසිත්දී අපි බලාපොරොත්තුව සිටින ආරංචිය නම් රත්නපුරය ජලයෙන් යට වී ඇති බව ගුවන් විදුලියේ හවස ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියවීම යි. එස ඇසෙත් ම අපේ සිත් සතුටින් පිනා යයි. දෙමාපිය වැඩිහිටි පිරිස් නම් කලබලයට හා අපහසුතාවයට පත් වේ.

සති දෙකක කාලයක්වත් ගංවතුර පවතී. ඒ කාලයේ දුෂ්කර ම දෙය ඇඳුම් ය. තිබෙන ඇඳුම් කිහිපයත් අපි ඉක්මනින් ම තෙමා ගන්නෙමු. එක දිගට වැස්ස පවතින නිසා වේළා ගන්නට ද නොහැක. අන්තිමේ දී ගොඩබිමක් ඇති තැනක ආවරණයක් සකස් කොට දර අවුළුවා ගින්දරට අල්ලා රත්කර ගන්නා ඇඳුම් අඳින්නේ තරමක තෙත බවකින් ද යුතු ව ය. දර ද තෙමී ඇති බැවින් ගින්දරට වඩා නැගෙන්නේ දුම යි. එසේ වේළා ගත් ඇඳුම්වලින් නැගෙන දුම් ගඳ පවා එදවස අපට සුවඳකි.

ගෙයත් ගං වතුරෙන් යට වූවොත් වඩාත් හොඳ ය. එවිට අපිට ගමේ ගොඩබිම් කොටස වන ඉහළ කොටසේ ජීවත්වන ඥාතීන්ගේ නිවෙස්වල නතර විය හැක. සාමාන්‍යයෙන් ගෙදරින් බැහැරව රාත්‍රියක් හෝ ගතකරන පුරුද්දක් එකල අප කිසිවෙකුටවත් නොවුණි. දෙමාපියන්ගේ ඇස් මානයේ ම අපි හැදී වැඩුනෙමු.

“මේ දරුවන් ව දාල ගෑනු කොහොම රට යනව ද මන්ද…”

ගමේ කාන්තාවන් පසු කලෙක ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත වන්නට පටන් ගත් විට ආච්චී කියන්නේ කම්පාවෙනි. වාසනාවකට අපේ කාලයේ හැම දරුවෙකුට ම දෙමාපිය උණුසුම නම් අහිමි නො වී ය.

නිවසේ වටිනා යැයි යමක් වේ නම් ඒවා ඇතුල් බිත්ති මත තබන තාත්තා අපිවත්, අම්මාවත් ඥාතීන් වෙත පිටත් කොට ගෙදර නවතින්නේ අප සතු යමක් හොරා ගනීවි යැයි සිතා ය. මිලෙන් ඉතා අඩු දෙයක් වුව ද එකල අපට ඒවා ඉහළ වටිනාකකින් යුතු විය. තාත්තා මේසයක් හෝ ඇඳක් මතට නැගී වතුර බැස යන තුරු ම හිඳී. තාත්තාට කෑමත්, වතුරත් ගෙන ඒම අප තුළ විශේෂ සතුටක් ඇති කළ කරුණකි.

ගංවතුර කාලයට ආහාරවලින් නම් හිඟයක් නොවුණි. ගමේ පන්සලේ දහවලටත්, රාත්‍රියටත් ගමේ කාටත් ආහාර පිසින ලදී. පළමුව ගංවතුරින් යට වූ පවුල්වලටත්, ඉතිරිය ගොඩබිම සිටින පිරිසටත් බෙදා දුන්නේ ලොකු හාමුදුරුවන් විසිනි. වතුරින් යටවෙන කොටසේ බොහෝ දෙනෙකු සතුව ඔරු තිබෙන නිසා ප්‍රවාහන දුෂ්කරතා ද නොවිණි. ගමේ කාටත් හොඳින් පිහිනීමට ද පුළුවන. එහෙයින් ජීවිත අනතුරු ද නැත. ඇත්තෙන්ම ජීවිත කාලය පුරා ම එවැනි අනතුරක් අහල ගම් හතකවත් අපි අසා නැත්තෙමු. ඔය ආකාරයෙනි, ගංවතුරට පවා අපේ සිත්වල තිබූ සතුට යටකර දැමීමට නොහැකි වූයේ…

“අන්න ආධාර ලොරියක් ඇවිල්ලා” යි ගමේ ආරංචිය පැතිර යන්නේ වතුර බැසගිය පසු ය. ඒ කාලය අපට ඇඳුම් ලැබෙන කාලය යි. එසේ ලැබෙන බොහොමයක් ඇඳුම් පරණ ඒවා වුව ද කාලයේ හැටියට නරක ම නැත. අගල් ආධාර වශයෙන් අප විසින් හඳුන්වන එකී ඇඳුම් දිරා යන තුරු ම අපි ඇන්දෙමු.

පල්ලියේ පාදිලි උන්නාසේලා ද විවිධ ආධාර රැගෙන ගමට පැමිණේ. ඒවා අතර අප එතෙක් නොදැක සිටි ආහාර වර්ග ද ඇත. සමහර පවුල්වලට සල්ලි ද දෙයි. කුමක් දුන්න ද ගමේ කිසිවෙකුත් පන්සල අත්හැරියේ නැත. පසු කාලයේ දී ගංවතුරින් පසු පාදිලි උන්නාන්සේලා ගමට පැමිණියේ ම නැත. ගංවතුරින් පසු පොළොව මතුපිට සිටින පණුවන් කෑමට පැමිණෙන සුදු කොකුන් දකිද්දී “අන්න පාදිලියෙක් ඇවිල්ලා” යි අප කියන්නේ අපට සුදට පෙනුනාට කොකා සුදු ම නොවන නිසාවෙන් පාදිලි උන්නාසේලාගේ ද යටි අරමුණ කුමක්දැයි අපි දැනගෙන සිටි නිසාවෙනි. එහෙයින් අපි සොම්නසින් දුප්පත් නොවීමු.

ගංවතුරින් පසු බෝවෙන රෝග පැතිර යන බවට මතයකි. ගමේ අපට එවැනි අත්දැකීමක් නැත. උණක් හෙම්බිරිස්සාවක් හැදුනට බෙහෙත් ගන්නේ ද නැති තරම් ය. ගොඩ බෙහෙත්වලින් සුවයක් නොලදහොත් පමණක් එගොඩවත්තේ ආණ්ඩුවේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නෙමු. ගංවතුර බැස ගිය පසු පන්සලේ සායන පැවැත්වුව ද ඒවායින් බෙහෙත් ගන්නේ අසනීපවලට ම නොව පුරුද්දට ය. ඒ පුරුද්ද අපූරු එකකි.

සතියක් හැර සතියක් අඟහරුවාදා දිනවලට ගමේ පන්සලට ආණ්ඩුවේ වෛද්‍යවරයෙක් එයි. අද කාලයේ මෙන් හිස් කොළ ටිකක් පමණක් නොව බෙහෙත් බෝතල් කිහිපයක් ද ඔහුගේ කබල් මෝටර් රථයේ ගෙනෙයි. බෙහෙත් කලවම් කිරීමට මෝටර් රථය සමාන ම තවත් සේවකයෙකු ද පැමිණෙන අතර ඔහු විසින් කලවම් කරන බෙහෙත් හැමදාමත් දම්පාට, රතුපාට හා ළා රෝස පැහැ විය. බෙහෙත් පෙති බෝතල් හත අට ඔහුට ඉතා කීකරු වෙති. අත දැමූ සැණින් හරියට ම ගණනට ඔහුගේ අතට බෙහෙත් පෙති එතැයි මම ඉස්සර සිතා පුදුමයට පත් වීමි. හේ අතට හසුවෙන තරමක් දෙන බව මා දැනගත්තේ පසු කලෙක දී ය.

දොස්තර මහතාගේ අත් ගුණයත්, කරුණාවත් පුදුම සහගත ය. කුමන අසනීපයට උවත් තියෙන බෙහෙත් ටිකෙන් ම දෙයි. පුදුමය නම් සියලු අසනීප ඒ බෙහෙත්වලින් සුව වීම යි. එහි තවත් රහසක් ද ඇත. එනම් බොහෝ දෙනෙක් බෙහෙත් ගන්නේ වැළඳුන අසනීපවලට නොව ඉදිරි දින දහ හතර තුළ, එනම් දොස්තර මහතා පැමිණෙන්නට පෙර වැළඳෙතැයි අනුමාන කළ අසනීපවලට වීම ය. එසේ කළේ අසනීපයක් වුවහොත් ඒ සඳහා අනවශ්‍ය කරදරයක් හා මුදල් නාස්තියක් වීම වළක්වා ගැනීම පිණිස ය.

අපේ ගෙදරින් බෙහෙත් ගන්න යන්නේ ආච්චි සමඟ මා ය.

“අද මොකද?”

දොස්තර මහතා කාරුණික ලෙස කාගෙනුත් අහන්නේ එයයි.

“හයියෙන් කහින්න. දිව දික් කරන්න…”

සුපුරුදු ඊ ළඟ වචන කිහිපය යි. නළාව තබා ලෙඩ බලන්නේ කලාතුරකිනි. හැමදාම බෙහෙත් ඉල්ලාගෙන එන ගම්මුන්ගේ හදගැස්ම හෙතෙම ඉතා හොඳින් දන්නා සේ ය. ගම්මුන් බොහෝ දෙනෙකුගේ නම් ද වයස් ද දොස්තර මහතා දනී.

“මේ ටික බිව්වම හොඳ වෙයි. සීතල ජාති කන්නෙපා.”

ආපසු එන්න යැයි කීමක් ඔහු තුළ කවදාවත් නැත. කීවත් නැතත් අපි නම් හැමදාම ගියෙමු. නිකරුණේ පැමිණියත් ඔහු තුළ කිසිදා වෙනසක් නොමැති බව ඉරහඳ මෙන් විශ්වාස ය.

“අමාරුවක් උණොත් ඕන රෑක උනත් එන්න. ගමේ නම කිව්වම දොර අරිනවා.”

ඔහු කියයි. ඒ බෝසත් වෙදැදුරු මගේ ජීවිතයේ දුටු උතුම් ම මිනිසෙකි. මමත් වෛද්‍යවරයෙකු වුවහොත් හොඳ යැයි මට පළමුවරට සිතුණේ ඔහු අපේ ආච්චිට තරමක් වැඩිපුර අසනීප ව සිටි දවසේ එසේ කියූ වේලාවේ දී ය.

අපි ඉගෙන ගන්නට නගරයේ කොලීජි සොයා නොගියෙමු. ගමේ කවුරුත් ගියේ ගමේ පාසලට ය. අමතර පංති යාමක් එකල නොතිබුණි. අපට තිබුණ ලොකු ම අඩුපාඩුව ගුරු හිඟය යි. එහෙත් අපේ ගුරුවරු එක් අයෙක් විෂයන් දෙක බැගින් භාරගෙන අපට ඉගැන්වූහ. ඒ හැම කෙනෙකුට ම විෂය මාලාව ආවරණය කිරීමට හවස පංති පැවැත්වීමට ද සිදු විය. අපත් සමඟ ම ඇල්වතුර බී ඔව්හු ඉගැන්වූහ. අපෙන් කියා සිනාවක් තරමේ අපේක්ෂාවක් ඔවුන් තුළ නොවුණි. එදා ඔවුන් අබියස පාත් වූ අපගේ හිස් අදටත් ඔවුන් අසල දී නොම එසවෙන්නේ ඒ උතුම් සෙනෙහස නිසාවෙනි.

දොස්තරල ඉංජිනේරුවන් වීමේ සිහින අප තුළ දැඩිව නොවුණි. අපව දොස්තරලා ඉංජිනේරුවන් කිරීමේ තරඟ ද අපේ දෙමාපියන් තුළ නොවුණි. පුළුවන් කෙනා විසින් අනෙක් අයට හැම අතින් ම උපකාර කළේ ය. මම අනෙක් අයට පාඩම් කියා දුන්නෙමි. ඒ වෙනුවට මට ඉඳිආප්ප මුල් ප්ලැටිග්නම් සුදු කොළ ආදිය සුලභ ව ලැබුණි. බැරිම කෙනෙකුට උත්තරය පමණක් කියා දුනිමි. කොච්චර ද කීවොත් මගේ පිටිපස්සේ සිටි මිතුරා සාමාන්‍ය පෙළ විභාගයේ දී බුද්ධ ධර්මයට පමණක් සම්මාන සාමාර්ථයක් ද ලබා තිබුණි. ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැති සිත්වල සතුට පමණක් ම උතුරා ගියේ එලෙසිනි.

“සල්ලි හම්බකරන්න විතරක් නෙවෙයි වියදම් කරන්නත් ඉගෙන ගන්න ඕන.”

ලොකු මිස් අපට ඉගැන්වූවා ය.

“දරුවනේ ජීවත් වීම කියන්නෙ සුන්දර කලාවක්. ඒක ඉගෙන ගනිල්ලා…” ඇගේ ප්‍රතාපවත් හඬ මෙවැනි අවස්ථාවල දී ගීතවත් බවක් පළ කළේ ය.

“හිතට දුකක් දීල කයට සැපක් දෙන්න හිතන්නෙපා. අන්තිමට ලෙඞ්ඩුවෙලා විඳවන්න විතරයි වෙන්නෙ.”

එවැනි විටෙක ඇගේ ස්වරය කාරුණික ය. දයාර්ද්‍ර ය.

“උපන් රටට ණයකාරයෙක් නොවී මැරෙන්න පුළුවන් නම් ඒක තමයි කෙනෙක් ලබන ලොකු ම ජයග්‍රහණය.”

ඇගේ උදාර හඬ තවමත් දෙසවන් තුළ නිංනාද වෙනවා මෙනි. ඇත්තෙන් ම ඇයට වඩා ලොකු මිස් කෙනෙක් මේ ලෝකයේ අපට නැත. ඈ කියූ දේවල් ද අපට ලොකු ය. ඒ කියන්නේ වටින්නේ ය.

“අපි ඉස්සරහ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. දරුවො කිහිපදෙනෙක් හදන්න අපට සිද්ධ වෙලා තියෙනවා…”

මංගලිකාට කීවේ තේනුවර ය. ඔහුගේ හඬින් මගේ සිතුවිලි දැහැන බිඳිණි. මම තේනුවර දෙසත්, මංගලිකා දෙසත් බැලුවෙමි.

“අමාරුයි ඩොක්ටර්. ගෙයි ලෝන් එකයි, වාහනේ ලෝන් එකයි දෙකක්. පුතාගෙ ස්කූල් වෑන් එකටයි, ටියුෂන්වලටයි ලොකු ගාණක් ඕන. මහත්තයා බිස්නස් කරන නිසා සතියකට දෙක තුනක් පාර්ටිවලට යන්න වෙනවා. ඔය ටික කරලා ආවට පස්සෙ මාසෙ අන්තිමට ණයත් වෙලා…”

මංගලිකා කීවේ බොරුවක් නොවන බව පෙණිනි. මම තේනුවර අතින් කවි කොළය ගෙන දීර්ඝ කවි පෙළේ අවසන් කවිය කාටත් ඇසෙන්නට කියවූවෙමි. එහෙත් මගේ මේ අවාසනාවන්ත ශෝකී හඬ කාට නම් ඇසෙත්දැයි මම නොදනිමි.

අන්තිමේදි සිංහයාගෙන් කඩුව බිම වැටුණේ ය
කෙළවරේ බෝපත් සියල්ල ම සිහ ලෙයින් තෙමුණේ ය
පණ අදී සිංහයා කොඩියේ මළගමත් ළඟ ඒ ය
මරණ තුන දැක දැකත් පෙර’කෙක් අහෝ මී පැණි කෑ ය

පසුවදන –
අවසන් කවිය නැවත නැවත සිහි කළ මැනව…
චන්දන එස්. කුමාර