මාන්නය ගැන බුද්ධ දේශනාවේ තුන් අයුරකින් විස්තර වෙනවා. එනම් සෙය්‍යමාන (තමන් උසස් යැයි අදහස), සදිසමාන (තමන් සමාන යැයි අදහස), හීනමාන (තමන් පහත් යැයි අදහස) ආදී වශයෙන්.

බොහෝ විට කෙනෙකුට මාන්නය ඇති වන්නේ තමන්ගේ රූපය, සහජ හැකියාවන්, අනෙකුත් දක්ෂතා, අධ්‍යාපන සුදුසුකම්, තනතුරු, ප්‍රසිද්ධිය ආදී වූ කරුණු මුල්කර ගනිමිනුයි. ධම්මපදයේ බාල වර්ගයේ සඳහන් ගාථාවක දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “සෑම දෙයක් ගැනම දන්නේ තමන් යැයි සිතා, අන් හැමෝම තමන්ගෙන් විමසා කටයුතු කළයුතු” යැයි සිතීම බාලයාගේ සිතිවිල්ලක් බවත් එයින් ඔහුගේ පාපී ආශාවන් හා මාන්නය වැඩෙන බවත් ය.

එමෙන් ම අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධිපක්ඛිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ “මම වෙමි”යි යන මානය මුලින්ම නැසීමට අනිත්‍ය සංඥාව වැඩිය යුතු බවයි.(අනිච්චසඤ්ඤා භාවේතබ්බා අස්මිමානසමුග්ඝාතාය). එහිදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව හට අනාත්ම සංඥාව පිහිටන බවත් අනාත්ම සංඥාව ඇති භික්ෂුවකගේ සිතේ අස්මිමානය මුළුමනින්ම නැති වී යන බවත්ය.

එබැවින් මාන්නය ඇති වීමට හේතු වන කාරණාවන් සියල්ලක් ම හේතූන් නිසා හටගෙන හේතු නැති වී යාමෙන් නැති වී යන දේවල් ලෙස දැකීමෙන් එම කරුණු හේතු කරගෙන මානයක් ඇති කර නොගෙන වාසය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එබැවින් අනිත්‍ය සංඥාව මාන්නය දුරුකර ගැනීමට බෙහෙවින් උපකාරී වන්නක්. සියලු ආකාර වූ මාන්නය මුළුමනින්ම ප්‍රහාණය වන්නේ අරහත්වයේදී ය.