භාග්‍යවතුන් වහන්සේ ගිහි-පැවිදි ශ්‍රාවකයන්ට නිතර නිතර නුවණින් සිහිකළ යුතු කරුණක් ලෙස පෙන්වා දුන්නේ ‘මම කර්මය දායාද කර ගත් කෙනෙක්’ යන්න යි. එම නිසා සමාජයේ සියලු දෙනාට එක හා සමාන කුසලතා හෝ එක හා සමාන දුර්වලතා පිහිටන්නේ නෑ.

චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ දුප්පත්-පොහොසත්, ලස්සන-අවලස්සන, මහේශාක්‍ය-අල්පේශාක්‍ය ආදී වෙනස්කම්වලට කර්මානුරූපී බලපෑමක් තිබෙන බවයි. එම නිසා ඔබ සිදු කළ යුත්තේ අන් අයගේ යහපත, සැපත, සාර්ථකත්වය බලා තමාට එසේ නොමැත කියා හීනමානයට වැටීම නො වේ. අන් අයගේ යහපත, සැපත, සාර්ථකත්වය ගැන සතුටු වීමයි. එයට හදවතින් ම ආශීර්වාද කිරීම යි. මුදිතාව යනු එය යි. එවිට රැස්වෙන උතුම් පින ඔබගේ ද සාර්ථකත්වයට හොඳ පදනමක් වේවි.

එමෙන් ම මිනිස් උපතක් ලැබීමටත්, නිරෝගී කයක්-මනසක් ලැබීමටත් ඔබත් සසරේ පින් කර තිබේ. එම නිසා පසුතැවීම අතහැර ඔබත් උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කොට දියුණු වීමට මංපෙත් විවර කර ගන්න. ඒ පිණිස පින බලවත් කර ගන්න. මේ සඳහා ඉතා හොඳ මඟපෙන්වීමක් අංගුත්තර නිකාය 5 වන ග්‍රන්ථයෙහි ඇතුලත් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා.