කස්සකලෙණ මහාමිත්ත මහරහතන් වහන්සේ
බුදුරජාණන් වහන්සේනමක් ලෝකයට පහළ වන්නේ ඉතාමත් කලාතුරකින්. බුදු කෙනෙකුගේ පහළ වීම කෙතරම් දුර්ලභ ද යත් කල්ප ගණන් බුදුරජාණන් වහන්සේලා නැති බුද්ධශූන්‍ය කාලයන් පවතිනවා. බුදු කෙනෙකුන් ලෝකයේ ඇති කල්හි පමණයි ධර්ම රත්නය ලොවට පහළ වන්නේ. ඒ ශ්‍රාවක සංඝ රත්නය අතර ඉහළින් ම වැඩ සිටින්නේ රහතන් වහන්සේලා යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “යාවතා භික්ඛවේ සත්තාවාසා යාවතා භවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මිං යදිදං අරහන්තෝති” – “යම්තාක් සත්තාවාසයන් ඇත්ද, භවග්‍රයන් ඇත්ද, ඒ සියල්ලෙන් ම අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලායි.” යනුවෙනුයි. ඒ රහතන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගන්නට ලැබුණොත් එය අපගේ ජීවිතයට ලැබෙන වාසනාවක්. උන්වහන්සේලාගේ ජීවිත නෙළුම් කොළයක් වගෙයි. නෙළුම් කොළේකට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොළේට උරා ගන්නේ නෑ. රහතන් වහන්සේලාගේ සිතත් ඒ වගෙයි. උන්වහන්සේලා සමහර දවස්වල ගහක් යට, සමහර දවස්වල ගල් ලෙනක, එහෙමත් නැත්නම් කුටියක… උන්වහන්සේලාට මේ කිසිම තැනක වෙනසක් නෑ. විල අතහැර යන හංසරාජයන් සේ යි උන්වහන්සේලා චාරිකාවේ වඩින්නේ. මෙවැනි උතුමන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනින් දඹදිව්තලයේ වැඩ සිටියා.
අපගේ ශාස්තෘන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ද බුද්ධ ශාසනය ඉන්දියාවේ පැවති ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ ද බුදු සසුන බැබළුණා. රහතන් වහන්සේලා එකල ද වැඩ සිටියා. මුළු දඹදිව ම කසාවතින් බැබළුණ ඒ යුගයේ අසූහාරදහසක් වෙහෙර විහාර දඹදිව්තලයේ ගොඩ නැගුණා.
එකල ම තුන්වෙනි ධර්ම සංගායනාව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්, ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් රහතන් වහන්සේලා දහසකගේ සහභාගිත්වයෙන් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඈත පිටිසර රාජ්‍යයන්හි බුදු සසුන පිහිටියා. ඒ අතර අපගේ ලංකාද්වීපයට ද ඉතා සොඳුරු වු ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය රැගෙන, අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ ලංකාද්වීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ සිය නිකෙලෙස් හද මඬලේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය දරාගෙන වැඩම කළා. උන්වහන්සේ නිකෙලෙස් හදමඬලින් දරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්දිව පින් තිබූ මනුෂ්‍යයන් මහරහතන් වහන්සේලා බවට පත් වූවා. කෙලෙස් සහිත මිනිසුන් පා තබාගෙන යන මේ පොළොවේ නිකෙලෙස් උතුමන් පය තබා යන්නට පටන් ගත්තා. ලංකාවේ රහතන් වහන්සේලා බිහි වුණා. අතිශයින් ම සුන්දර යුගයක් උදා වුණා.
වීර්යවන්ත මිනිසුන්ගේ යුගයක් උදා වුණා. ඔවුන් අඹු දරුවන්, හරකාබාන, ගෙවල් දොරවල් අතහැර සසුන්ගත වී සදාතනික විමුක්තියක් උදෙසා කැප වුණා. එම නිසා ම මේ පුංචි දිවයිනේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් උතුමන් වහන්සේලා බිහි වුණා. උන්වහන්සේලා ලැබුණු දේකින් සතුටු වුණා. බඩගින්නට මොනවා හරි වළඳන්න පාත්තරෙයි, සිවුරුයි විතරක් රැගෙන ගියා. හරියට කුරුල්ලෙක් අත්තටු දෙක විතරක් අරගෙන යනවා වගේ…
උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරුණා. නමුත් ඒ යුගය අද අපට නැහැ. එවන් පිවිතුරු ජීවිත ගත කළ උතුමන් වහන්සේලා දකින්නට වාසනාව ද අපට නැහැ. ඒ යුගය අවසන් වී හමාරයි. එවන් උදාර ශ්‍රේෂ්ඨ චරිත බිහිකළ නිර්මල ශ්‍රී සද්ධරමය අපට කියවන්නට, අසන්නට, සිත පහදවා ගන්නට වාසනාවක් ලැබී තිබෙනවා. ඒ තුළින් උන්වහන්සේලා ගත කළ ජීවිතය පිළිබඳ යම් විදියකින් දැනගන්නට පුළුවනි. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත පිළිබඳ සිත පහදවා ගන්නට පුළුවනි. එය බොහෝ කාලයක් යහපත පිණිස, හිතසුව පිණිස හේතු වන බව නොඅනුමානයි.
ඒ රහතන් වහන්සේලාට දන් පැන් පුදා සුගතියේ ගිය බොහෝ ලක්වැසි මිනිසුන් එදා සිටියා. තමන් නොකා, නොබී ඒ උතුමන්ට දන් පැන් පිදූ ඔවුන් ජීවිත පරිත්‍යාගයෙනුයි දන් දුන්නේ. ඒ විදියට තමන් උදෙසා දන් දෙන බව දැනගත් සමහර භික්ෂූන් වහන්සේලා ඒ දානය නිසා ම වීර්යය වඩා රහත් වූවා. එසේ රහත් වූ බොහෝ භික්ෂූන් මේ ලංකාදීපයේ වැඩ සිටියා. අද අප හිත පහදවා ගන්නේ එසේ වීර්යය වඩා අරහත්වයට පත් වූ කස්සක ලෙනේ වැඩ සිටි මහමිත්ත මහරහතන් වහන්සේ ගැනයි.
**************************
මහමිත්ත තෙරුන් වහන්සේ කස්සක නම් ගල්ලෙනෙහි වාසය කළේ ය. උන්වහන්සේ අසල ගමට පිණ්ඩපාතය ලබාගන්නට වැඩම කරන්නේ ය. ඒ ගමේ සිටි එක් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක තමන්ගේ ම පුතෙකුට මෙන් තෙරුන් වහන්සේට උපස්ථාන කළා ය.
එක් දිනක් ඇය වනයට යන්නට පෙර තමන්ගේ දුව කැඳවා, “මයේ දුවේ, අසවල් අසවල් තැන්වල පරණ සහල්, කිරි, ගිතෙල් හා පැණි අරන් තියාපුවා ඇති. ඔබේ සොයුරා වන මහාමිත්ත තෙරුන් වහන්සේ වැඩියාට පස්සේ බත් උයාලා, කිරි ගිතෙල්, පැණි සමඟ දෙන්න. ඉතුරුවා නුඹ කාපන්. මම ඊයේ ඉතුරු වුණු බතක් මිරිස් හොද්දක් සමඟ කෑවා.” යැයි පැවසුවා ය. එවිට ඒ දියණිය අසන්නී, “අම්මා දවල්ට මොනවා ද කන්නේ?” “පළා කොළ දමා සුන් සහල්වලින් ඇඹුල් කැඳක් උයා තබන්න.” යැයි කියා ඇය යන්නට ගියා ය.
ගෙය සමීපයට අවුත් සිවුරු පොරවා පාත්‍රය අතට ගන්නා තෙරුන්ට මේ කතාව ඇසුණි. එවිට උන්වහන්සේ තමන්ට ම මෙසේ අවවාද කර ගත්තේ ය.
‘උදේ හීල් බත් කෑ උපාසිකාව දවල්ට ඇඹුල් කැඳ බොන්නී ය. මට පරණ සහල්වලින් බත් උයා කිරි ගිතෙල් පැණි සමඟ වළඳන්නට දෙන්නී ය. මම නිසා ඈට කෙත් වතු ආදියක්වත්, කෑම, ඇඳුම් පැලඳුම්වත් ලැබෙන්නේ නැත. ඇය ඒ දේවල් ගැන බලාපොරොත්තුවකුත් නැත. හුදෙක් ත්‍රිවිධ සම්පත් පතමින් දන් දෙයි. නුඹ ඇයට ඒ සම්පත් ලබා දෙන්නට සමත් වේ ද? මේ පිණ්ඩපාත දානය මා විසින් රාග, ද්වේෂ, මෝහ සහිතව ගැනීම හොඳ දෙයක් නම් නොවෙයි.’ මෙසේ සිතා පාත්‍රය නැවත තවිකයෙහි දමාගෙන, නැවත සිවුර ඒකාංශ කොට පොරවා තමන් හිටි ගල් ලෙනට ම වැඩිය සේක. ඉන් පසු පාත්‍රය ඇඳ යට තබා සඟල සිවුර වැලෙහි එල්ලා “රහත් බවට නොපැමිණ මෙම ගල් ලෙනින් පිටතට නොයන්නෙමි” යි අධිෂ්ඨාන කොට හිඳ ගත්තේ ය.
බොහෝ කාලයක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ තිබූ බැවින් තමන්ගේ සීලය සිහිවෙත් ම සිතේ ප්‍රමුදිත බව ඇති විය. සිතේ පිහිටුවාගත් අධිෂ්ඨාන බලයත්, පුණ්‍ය ශක්තියත් හේතුවෙන් ටිකෙන් ටික සිත සමාධිගත විය. උන්වහන්සේ ඉපදෙන මැරෙන සසරින් සදහට ම නිදහස් වෙමින් විමුක්තියට පත් වූ සේක. නිකෙලෙස් හද මඬලක් දරාගෙන වැඩ සිටින උත්තමයෙක් බවට පත් වූ සේක.
එවිට ලෙනදොර වෘක්ෂයෙහි වසනා දේවතාවා, “නමෝතේ පුරිසාජඤ්ඤ, නමෝ තේ පුරිසුත්තම, යස්සතේ ආසවා ඛීණා, දක්ඛ්න්යාති මාරිස….” යනුවෙන් උදාන ගාථා කීවේ ය. හේ “ආර්යන් වහන්ස, පිඬු පිණිස හැසිරෙන ඔබ වහන්සේ වැනි රහතුන්ට පිණ්ඩ දානය දී මහලු කාන්තාව දුකින් මිදෙන්නී ය.” යැයි ද කීය. උන්වහන්සේ දොර විවර කොට බලා පෙරවරුව ඉක්ම නොගිය බව දැන පා සිවුරු ගෙන ගමට වැඩියහ. එම උපාසිකාවගේ දියණිය ද ‘මා සොහොයුරු තෙරුන් වහන්සේ දැන් එති’ යි මග බලා හුන්නී ය. තෙරුන් වහන්සේ දොරකඩට පැමිණෙන විට ඇය වෙනදාට වඩා මුහුණෙහි වෙනසක් දුටුවා ය. පිපෙන පියුමක් වැනි ය. ඇය පාත්‍රය අතට අරගෙන ඒ දානය කිරි පැණි ගිතෙල් සමඟ පාත්‍රය පුරවා බෙදා උන්වහන්සේට පූජා කොට වන්දනා කළා ය. තෙරුන් වහන්සේ “සුවපත් වේවා!” යි අනුමෝදනා කොට වැඩියහ.
ඇගේ අම්මා වනයේ සිට ආවාට පසුව, “දුව, ඔබේ සොහොයුරා ආවේ ද?” යැයි ඇසුවා ය. “එසේ ය මෑණියනි, නමුත් වෙනදාට වැඩිය මුහුණ බැබළුණේ ය. ඉඳුරන් ප්‍රසන්න ය.” යැයි ඇය කීවා ය. තෙරුන් වහන්සේ එදා රහත් ඵලය ලැබූ බව උපාසිකාව එයින් තේරුම් ගෙන “දියණිය, ඔබේ සොහොයුරා බුදු සසුනෙහි නොකලකිරෙන්නේ ය. මහණදමෙහි ඇලෙන්නේ ය. මපුතු පැවිදි කිස මුදුන්පත් කර ගත්තේ ය.” යැයි කියා සතුටු වී මහ හඬින් සාදුකාර දුන්නා ය.
ඇත්තෙන් ම ආශ්චර්යයි. අද්භූතයි. දන් දෙන විදිය අසාත් සංවේගය උපදවා රහත් වුණු උතුමන් වහන්සේලා මේ ලංකාද්වීපයේ වැඩ සිටියහ. උන්වහන්සේලාගේ වීර්යය පුදුම සහගත ය. එසේ ම තමන්ට දෙන දානය මහත් ඵල කර දෙන්ට උන්වහන්සේලාගේ සිතේ තිබුණු අනුකම්පාව, කරුණාව කොතරම් උතුම් ද? එම නිසා, දන් පිදූ ඇත්තෝ ද දෙව්ලොව ගියෝ ය. දන් වැළඳූ උතුමෝ ද සසරින් නිදහස් වූහ. ඒ මහා මිත්ත මහරහතන් වහන්සේගේ උතුම් වීර්යයට, අනුකම්පාවට, නිකෙලෙස් ගුණයට අපගේ නමස්කාරය වේවා!
– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි
උත්තම වූ මහා රහත් මුණිවරයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
දානයක මහිම.එක බත් පිඩක් පූජා කර දෙව්ලොව උපත ලැබූ අයුරැද අසා ඇත්තෙමි.දීම කෙතරම් අපහසු වුවත් සැදැහැ සිතින් ස්වල්පයක් දුන්නත් පින් රැස්වෙන බව බුදුහිමියන් දේශනා කල සේක.
උතුම් දහම මුණ ගැසීමට පෙර මාද මගේ දෙයක් බෙදා ගැනීමට අකැමැති කෙනෙක් විය.නමුදු මේ උතුම් දහමේ අසිරිය..දෙයක් මා සතු කර ගැනීමට වඩා තවකෙකුට දී සතුටු වන්නට සිත හැදුන හැටි..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා.මේ සියල්ලම නිවරදිව අප හට කියා නොදෙන්නට අප කිසිවක් නොදන්නෙමු.
සියලු දනන්ගේ සිතද දන්දීම පිණිසම යොමු වේවා.තෙරුවන් සරනයි!!!.
සැරියුත් මහමුගලන් මහා ශ්රාවකයින්
වහන්සේලාගෙන් පැවත එන මහාසාර
පින් කෙත් බඳු මහා සංඝ රත්නයේ
ගුණ අනන්තයි
ඒ මහා ශ්‍රාවක ගුණයට
මාගේ නමස්කාරය වේවා.
සාධු සාධු සාධු!!!