නිතර ඇසුර ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,
සාමාන්‍යයෙන් කාහටත් යාළු මිත්‍රයන් ඉන්නවා. ඇතැම් යාළුමිත්‍රකම් ඉතාමත් ලෙන්ගතුව බොහෝ කල් පවතිනවා. සමහරවිට එයට හේතුව පෙර ආත්මවල පටන් එන හිතවත් කමක් වෙන්ටත් බැරි නෑ. මේ කථාවත් එබඳු දෙයක් ගැනයි.

ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කළේ සැවැත් නුවර ජේතවනයේ. ඔය කාලේ සැවැත් නුවර වයසක උපාසක මිතුරන් දෙදෙනෙක් සිටියා. එයින් එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. ජේතවනයේ වාසය කළා. දැන් මේ මහලු පැවිද්දා සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. දානෙ පාත්‍රයත් අරගෙන කෙලින්ම යන්නේ පැරණි යහලුවාගේ ගෙදරටයි. ඒ යහළුවාත් තම හිතවත් භික්ෂුව වෙනුවෙන් මොනවාහරි දනට පිළියෙල කරනවා. ඒ මිත්‍රයා තම හිතවත් භික්ෂුවට ඒ දානෙ පිළිගන්වනවා. ඊටපස්සේ තමාත් අනුභව කරනවා. අර භික්ෂුව විහාරයට වඩිද්දි යහළුවාත් ඒ සමගම යනවා. කුටියට ගොහින් බුලත්විටක් සප්පායම් වෙනවා. හොඳටම හවස් වෙනකල් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනවා. රෑ බෝ වේගෙන එද්දි උපාසක තම නිවසට යන්ට පිටත් වෙනවා. මහලු භික්ෂුවත් ඔහු සමග පසුගමන් ගොහින් මගට යනකල් ඇරලවනවා. මේ වයසක දෙන්නාගේ අඹ යහළුකම ගැන අනිත් භික්ෂූන්ටත් දැනගන්ට ලැබුනා. දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කථා කරමින් සිටියා. එතනට වැඩිය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, ඔය දෙන්නාගේ යාළුකම මේ ආත්මයේ විතරක් නොවෙයි. පෙර ආත්මෙත් ඔය වගේමයි. දෙන්නට දෙන්නා වෙන් කරන්ට බෑ” එතකොට භික්ෂූන් වහන්සේලා මේ දෙන්නාගේ අපූරු හිතවත්කම ගැන පෙර ආත්මේ කථාව කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉතාම ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා. දැන් දෙන්නම අඹ යාළුවෝ. එකම බඳුනේ බත් කනවා. කලක් යනකොට දෙන්නට දෙන්නා වෙන් වී වාසය කරන්ට බැරිතරම් ළං වුනා. බල්ලා ඇත් සොඬය අරගෙන සෙල්ලම් කරනවා. මේ බලු පැටියත් ලස්සනයි. දවසක් ගමේ මිනිහෙක් ඇවිදින් ඇත්ගොව්වාට මුදල් දී අර බලුපැටියාව තමන්ගේ ගමට අරන් ගියා.

එදා පටන් තම ආදර බලුපැටියා දකින්ට නැති නිසා ඇතා වෙනස් වුනා. හැමතැනම වටපිටාවේ කැරකි කැරකී ඇතා බලුපැටියාව සෙව්වා. කොහේවත් පේන්ට නෑ. ඇතාට සාංකාව වගේ. දැන් ඇතා කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. නාන්නෙත් නෑ. හූල්ල හූල්ලා ඉන්නවා. සේවකයෝ ගිහින් රජතුමාට මේ බව සැළකළා. මේ කාරණය සොයාබලන්ට කියා රජතුමා බෝසත් ඇමතියාව යෙදෙව්වා. “පණ්ඩිතයෙනි, ගිහින්ට බලන්ට. අපේ ඇත්රජාට හොඳටම අසනීපයිලු. කෑමක් බීමක් නෑමක් නැතුව බලාගත්ත අතේ බලාන ඉන්නවාලු”

බෝසත් ඇමතියා ගිහින් ඇතාව පරීක්ෂා කළා. දැනගන්ට කිසිම රෝගාබාධයක් නෑ. ඇත් ගොව්වාට කථා කළා. “එම්බා පුරුෂය…. මේ ඇතා
රෝගාබාධයකින් පෙළෙන බවට ලකුණක් නෑ. මේ ඇතා බලවත් ශෝකයකින් ඉන්නා බව නම් පේනවා. කවුරුහරි සමග මේ ඇතා දැඩි මිත්‍රත්වයකින් සිටියාද?” “එහෙමයි හිමියනි…. බලන්ට එපායැ දෙන්නා සිටි අපූරුව. මෙහේට පුරුදු වෙලා හිටියා අපූරු බලු කුක්කෙක්. දෙන්නා හරිම විනෝදයෙන් සිටියේ. මනුස්සයෙක් ඒ බලුපැටියාව තමන්ගේ ගෙදර අරගෙන ගියා. එදා සිටන් තමයි මෙයා වෙනස් වුනේ”

“දැන් කොහේද ඒ බලු කුක්කා ඉන්නේ?” “අනේ දන්නෙ නෑ හිමියනි” බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට ගිහින් කාරණාව පැහැදිලි කොට මේ ගාථාව පැවසුවා.

“ඇත්රජා නැත බත් කන්නේ
නැත තණ කන්නේ නැත නාගන්නේ
බල්ලා සමගයි ආදරයෙන් උන්නේ
දැන් දකින්ට ඌ නොලැබෙන්නේ
ඒකයි හේ සෝකෙන් ඉන්නේ”

එතකොට රජ්ජුරුවෝ ඇමතියාගෙන් මෙහෙම ඇහුවා. “පණ්ඩිතයෙනි, දැන් අපි මොකදෑ කරන්නේ? කොහොමහරි අපේ ඇත්රජාව බේරාගන්ට ඕනෑ”

“දේවයන් වහන්ස, දැන් කරන්ට තියෙන්නේ එක දෙයයි. ‘අපගේ මංගල හස්තිරාජයාගේ ගජමිතුරා වූ බලුකුක්කාව එක්තරා මිනිසෙක් ගෙන ගොහින් තිබේ. යමෙකුගේ නිවසේ ඒ බලු පැටියා දකින්ට ලැබුනොත් ඔහුට මේ මේ දඬුවම් විඳින්ට සිදුවෙයි. එයින් බේරෙන්ට නම් වහාම බලුපැටියා කලින් සිටිය තැනට ගෙනැවිත් දැමිය යුත්තේය’ කියා අඬබෙර ගස්සවන්ට.”

එතකොට රජ්ජුරුවෝ අඬබෙර ගැස්සුවා. බලුපැටියා ගෙන ගිය මිනිසා හොඳටෝම භය වුනා. හොරෙන්ම බලු පැටියා ගෙනැවිත් ඈතින් තිබ්බා. එතකොට බලු පැටියා කන්දෙක උස්සාගෙන එක පිම්මේ ඇතාව සොයා දුවගෙන ආවා. ඇත්  සොඬ්‍ෙ බදාගෙන ලෙවකන්ට පටන් ගත්තා. ඇතාත් බලුපැටියාව සොඬෙන් අරගෙන ඇත්කුඹ මත තියාගෙන නටන්ට පටන් ගත්තා. සතුටෙන් පෙරලුනා. කඳුළු සැලුවා.

ඇත්කුඹෙන් බස්සවලා ඉස්සෙල්ලාම බල්ලාට කන්ට දුන්නා. ඊටපස්සෙයි ඇතා කෑවේ. ඇත්රජා සුවපත් වීම ගැන රජ්ජුරුවන්ට ගොඩාක් සතුටුයි. තිරිසන්ගත සත්වයන්ගේ අදහස් පවා තේරුම් ගන්ට ඇමතියා දක්ෂ වීම ගැන සතුටු වූ රජ්ජුරුවෝ ඔහුට බොහෝ තෑගිබෝග  දුන්නා.
“පින්වත් මහණෙනි, මේ දෙන්නාගේ විශ්වාසය ඔය විදිහට පෙර ආත්මේ ඉඳන් එන එකක්. එදා ඇතා වෙලා සිටියේ ඒ මහලු භික්ෂුව. බලු පැටියා වෙලා උන්නේ ඒ උපාසක. ඇමතියා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ අභිණ්හ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ