ප්‍රිය කෙනෙක් හෝ ප්‍රිය දෙයක් වෙන් වූ විට යළි යළි මතකයට එන අවස්ථාවක් නම් මෙහෙම සිතන්න. ‘මට අයත්, ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වන්නට සිදු වෙනවා ම යි. මම ඒ ස්වාභාවය ඉක්මවා නැහැ. ඒ වගේ ම ඉපදෙන මැරෙන සියලු සත්වයන් ද එම ස්වාභාවය ඉක්මවා නෑ’ කියා (ඨාන සූත්‍රය, මුණ්ඩරාජ සූත්‍රය). මෙය නිතර නිතර සිහි කරන විට ප්‍රියමනාප දේ ගැන ඇල්ම අඩු වී අපහසුව දුරු වී යයි.

ඒ වගේ ම ඇතැම් අයට කාටවත් කිව නො හැකි ළාමක සිතුවිලි ඇති වී මානසික පීඩාවට පත් වේ. එමෙන් ම තමන් අතින් සිදුවූ පරණ වැරදි, අකුසල් අමතක කරගත නොහැකි අවස්ථා ද ඇත. බොහෝ අය එවැනි අවස්ථාවන්හිදී අනවශ්‍ය ලෙස බියට පත් වේ. තමාට දුරු කර ගැනීමට අවශ්‍ය වුව ද මායාකාරී විඤ්ඤාණයෙන් නැවත නැවත මවලා දෙන මෙම ස්වභාවය මෝහය බව තේරුම් ගන්න. ‘මට ගොඩාක් පවු සිද්ධ වෙයි’ ආදී වශයෙන් ඇති වෙන අනවශ්‍ය බිය මුලින් ම බැහැර කරන්න. ඊ ළඟට ‘මෙය දුරු නො වේ’ යැයි සිතෙන අනවශ්‍ය සැකයත් අත්හරින්න. (පරණ වරදක් මතක් වේ නම් ‘මා දැන් නිවැරදි වුණා’ කියා සිතා) සිත මධ්‍යස්ථ කර ගත යුතුයි. සැහැල්ලු කර ගත යුතුයි. දැන් විතක්ක සණ්ඨාන සූත්‍රයේ (ම. නි. 1) බුදුරජුන් පෙන්වා දුන් පහත ක්‍රමවලින් ඔබට ඒ අරමුණු සිතින් අත්හළ හැකි ය.

1. (බුදු ගුණ, මෛත්‍රිය වැනි හිත ප්‍රසාදට පත් වන) සුදුසු වෙනත් කුසල් අරමුණක් සිහි කිරීම කළ යුතුයි.

2. තවත් අකුසල් දුරු නො වේ නම් ‘මෙය අකුසලයක්, මට හිත සුව පිණිස පවතින්නේ නෑ’ කියා ආදීනව මෙනෙහි කරන්න.

3. තවත් දුරු නො වේ නම්, ඒ සිතිවිල්ල කෙරෙහි අවධානය අත්හැර, මෙනෙහි නො කර සිටිය යුතුයි. (තමා අකමැති පුද්ගලයෙක් ඉදිරියට එන විට අහක බලා ගන්නවා වගේ.)

4. ඒත් දුරු නො වේ නම් ‘මේ සිතුවිල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි’ කියා, ‘මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා ගන්න බෑ’ කියා සිතිය යුතුයි.

5. තවත් පවතී නම් දිවෙන් තල්ල තද කර අකුසලය මඩින්න කියා බුදු සමිඳුන් පෙන්වා වදාළා.