පළාත් පාලන මැතිවරණය ළඟ ළඟ ම ය. මැතිවරණයට දින නියම වීමත් සමඟ ම ඡන්දදායකයන් බහුතරය තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම හෝ නොකිරීමත්, ප්‍රකාශ කරන්නේ නම් ඒ කවර පක්ෂයක කවර අපේක්ෂකයන්ට ද යන්නත් තීරණය කළ බවට සැක නැත. එසේ වන්නේ, රට තුළ පවත්නා දේශපාලනික සංස්කෘතියෙන් අපට දායාද වී තිබෙන්නේ අටුවන් බැසගත් දේශපාලනික දැක්මක් වීම නිසාවෙනි. එකරුණෙහි ලා අප කලින් කලට වෙනස් කෙරෙන මතිමතාන්තර වෙත යොමු වන්නේ ඉතා කලාතුරකිනි.

ඡන්දය යනු සරලව ම කිවහොත් කැමැත්ත ය. අපේ කැමැත්ත මත තෝරා ගැනෙන පාලකයන් කවුරුන් ද යන්න අප විසින් තීරණය කරන්නේ බොහෝසෙයින් සිතා බලා, කල් ගත කොට හෙමින් සීරුවේ නො වේ. ඒ ගැන අපට අමුතුවෙන් සිතන්නට දෙයක් නැති තරමට ම අප තුළ බලවත් කර ගත් කැමැත්තක් යම් පාර්ශවයක් කෙරෙහි පවතී. සමාජයීය ව්‍යවහාරයේ ‘ඡන්දය’ නම් වූ මේ කටයුත්ත කෙරෙහි අප තුළ පවත්නා නියත ගති ස්වභාවය, ධර්මය මාර්ගය තුළ විස්තර කෙරෙනා ‘ඡන්දය’ නම් වූ කුසලය හා සමානුපාත කරලිය හැකි නම් අපට සැලසෙන යහපත අති මහත් ය.

දේශපාලනික ඡන්දය අප අගතිය කරා ගෙන යද්දී කුසලය කෙරෙහි වන ඡන්දය අප ව සුගතිය සහ නිවන කරා යොමු කරවයි. ශබ්ද රසයෙන් එකක් වූව ද මෙය පරතරය මෙතෙකැයි කිව නො හැකි අර්ථ රසයක් ඇති ව්‍යවහාරයන් දෙකකි.

ඒකාන්ත යහපත හිතසුව පිණිස පවතින්නේ යැයි ධර්මයෙහිලා කියන ඡන්දය අපට වඩාත් හුරුපුරුදු ‘කුසලච්ඡන්දය’ යන නමිනි. ඒ කුසලච්ඡන්දය වැඩෙන අයුරු කරුණු හතරක් ඔස්සේ ධර්මය තුළ විස්තර කෙරේ. එනම්, මුළුමහත් නිවන් මඟ ම කැටි කොට දක්වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අන්තර්ගත සතර සම්‍යක්ප්‍රධාන වීර්යය යි.

සියලු ලොවට සියලු යහපත දන් දුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අකුසලය නූපදවා සිටීමේත්, මැඩ පැවැත්වීමෙහිත් ලා සහ කුසලය ඉපදවීමේත්, දියුණු කිරීමෙහිත් ලා ඒ හතර ආකාර වූ වීර්යයන් විග්‍රහ කරන්නේ මේ අයුරිනි.

“සෝ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.”

“හේ නූපන් අකුසල ධර්මයයන් නූපදවා සිටීම පිණිස කැමැත්ත උපදවා ගනී, වෑයම් කරයි, වීර්යය අරඹයි, සිත දැඩි කොට ගනියි, බලවත් ව වීර්යය කරයි.”

මේ අයුරින් ම, උපන් අකුසලය ප්‍රහාණය කිරීම පිණිස ද නූපන් කුසලය උපදවා ගැනීම පිණිස ද උපන් කුසලය වැඩිදියුණු කර ගැනීම පිණිස ද කැමැත්ත උපදවා ගැනීමත්, වෑයම් කිරීමත්, විරියාරම්භයත්, සිත දැඩි කර ගැනීමත්, බලවත් ව වීර්යය කිරීමත් ‘පධන් වෙර වැඩීම’ වශයෙන් ධර්මයේ දැක්වේ. සියලු දුක් නිමා කොට සසරෙන් එතෙර වෙමින් අරහත්වය සාක්ෂාත් කිරීම පිණිස වූ කැමැත්ත ප්‍රමුඛ ව මෙකරුණු දියුණු වන්නේ නම්, ධර්මය තුළ අතිශය බලවත් භාවයක් උපදවන ඍද්ධිපාදයක් බවට එය වැඩී යයි. ‘ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදය’ යනු එය යි.

එකිනෙකා කෙරෙහි අවලාද නගමින්, එකිනෙකාගේ දොස් ගෙන හැර දක්වමින්, සාංසාරික ව බොහෝ කලක් විපාක දීම පිණිස වන කර්මයන් පොදි ගසමින් දින ගණනාවක් පුරා දිවා රැය නොබලමින් ක්‍රියාත්මක කෙරෙන සමාජයීය ඡන්ද ව්‍යාපාරයන්ගේ ප්‍රතිඵලය ලෙස ද්වේෂය, වෛරය, පළිගැනීම, අමනාපය ශේෂ වද්දී, අකුසලය මැඩලමින් කුසලය විපුල කරලීම උදෙසා වන ඡන්දය අප ව සසර අර්බුදයන්ගෙන් නිදහස් කරලයි. ප්‍රමුඛ කර ගත යුත්තේ කවර ඡන්දය ද යන්න තීරණය කිරීම භාර අපට ම ය.

අපේ තීරණය, අගතියෙන් මිදී ගත් සුගතියත්, නිවනත් කරා අප ව ගෙන යන්නේ නම්… ගෞතම සසුන තුළ ඡන්දයෙන් දිනුවෝ වන්නේ අප ම ය…!